“ආදිපීතෘවරුන්: ඔවුන් කවුද සහ එය වැදගත් වන්නේ ඇයි?,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, පෙබ. 2022.
මාසික යෞවනයින්ගේ ශක්තිය සඳහා පණිවිඩය, 2022 පෙබරවාරි
ආදිපීතෘවරුන්
ඔවුන් කවුද සහ එය වැදගත් වන්නේ ඇයි?
සමහරවිට ඔබ ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ් ගැන අසා ඇති. අපි ඔවුන් ගැන බොහෝ විට මොර්මොන්ගේ පොතේ කියවන අතර ඔබ මේ වසරේ පරණ ගිවිසුම අධ්‍යයනය කරන විට ඔවුන් ගැන වැඩි විස්තර ඔබට නිසැකවම ඇසෙනු ඇත. ඔවුන් කෙරෙහි එතරම් අවධානයක් යොමුකර ඇති නිසා, ඔවුන් ඉතා වැදගත් විය යුතුයි, නේද? නමුත් “අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් තිදෙනෙකු අද වැදගත් වන්නේ ඇයි?” කියා ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරනවා විය හැකියි. හොඳයි, එම පිළිතුර සඳහා මාර්ගය සදාකාල ගිවිසුම් සහ දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් පොරොන්දු වූ ආශිර්වාද තුළ පවතී.
ආබ්‍රහම්
ආබ්‍රහම් ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකි. ඔහු ධර්මිෂ්ඨ වූ අතර දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු විය.
ඔහු බව්තීස්ම වී, පූජකත්වය ලබා, සදාකාලයටම ඔහුගේ බිරිඳ සාරාට මුද්‍රා විය.
ඔහුගේ පරම්පරාව මහත් සේ විශාල වන බවත් ඔහුට ලැබුණු ආශිර්වාදම ඔවුන්ට ලැබෙන බවටත් දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.
ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය පොළොවේ ජාතීන්ට ගෙන යනු ඇත.
ඊසාක්
ඊසාක් ආබ්‍රහම් සහ සාරාගේ පුත්‍රයාය.
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කරන ලෙස පැවසුවේය. ආබ්‍රහම් ඊසාක්ට ආදරය කළ නමුත් දෙවියන්වහන්සේට කීකරු වීමට තීරණය කළේය. ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්නට මොහොතකට පෙර දේවදූතයෙක් ආබ්‍රහම්ට එය නවත්වන්නට කීවේය. දෙවියන්වහන්සේට කීකරු වීමට ආබ්‍රහම් සහ ඊසාක්ගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ වන්දිගෙවීම සංකේතවත් කරයි.
ආබ්‍රහම්ට දුන් ආශිර්වාදම ඊසාක්ටද පොරොන්දු විය.
යාකොබ්
ඔහුගේ පියා සහ සීයා මෙන්ම යාකොබ්ද දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටියේය.
ඔහුගේ ඇදහිලිවන්තකම නිසා, ස්වාමින්වහන්සේ යාකොබ්ගේ නම ඊශ්‍රායෙල් ලෙස වෙනස් කළේය, එහි තේරුම “දෙවියන්වහන්සේ සමඟ ජයගන්නා” හෝ “දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන්න” යන්නයි (බලන්න Bible Dictionary, “Israel”).
යාකොබ්ට පුතුන් 12 දෙනෙක් සිටියේය. මේ පුතුන් සහ ඔවුන්ගේ පවුල් ඊශ්‍රායෙල් ගෝත්‍ර ලෙස හඳුන්වනු ලැබීය.
දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇතිකරගත් ගිවිසුම යාකොබ් සහ ඔහුගේ දරුවන් සමඟ අලුත් විය.
ආදිපීතෘවරුන් සහ ඔබ
සභාවේ සාමාජිකයෙකු ලෙස, ඔබ ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ්ගේ පරම්පරාවේ කොටසකි. ඔවුන් දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම ඔබටත් අදාළ වේ!
ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ සාක්ෂිය දැරීමට සහ ශුභාරංචිය බෙදාගැනීමට ඔබටත් එම ආශිර්වාදය සහ වගකීම ඇත.
ගිවිසුම් ඇතිකරගැනීමට සහ පවත්වා ගැනීමටද පූජකත්ව නියෝග ලබාගැනීමට සැමට ආරාධනා කිරීමටද ඔබව කැඳවා ඇත. සභාපති රසල් එම්. නෙල්සන් පවසා ඇත්තේ මේ සියල්ල ඊශ්‍රායලයේ එක්රැස්වීමේ කොටසක් වන අතර එය “අද පොළොවේ සිදුවන වැදගත්ම දෙය” බවයි (“Hope of Israel,” [worldwide youth devotional, June 3, 2018], 8, ChurchofJesusChrist.org).
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, February 2022 හි පරිවර්තනයකි. Sinhala. 18344 408