යෞවනයින්ගේ ශක්තිය සඳහා
බලවත් සම්බන්ධතාවයක්
2024 අගෝස්තු


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 අගෝස්තු

බලවත් සම්බන්ධතාවයක්

ගිවිසුමක් කියන්නෙ කේන්ත්‍රාත්තුවකට වඩා වැඩි දෙයක්; එය සම්බන්ධතාවයක්.

රූපය
කොළ පාට පුටු

ආර්ජන්ටිනාවේ අපේ ගෙදර මගේ පවුලට උගන්වද්දී වැඩිහිටි පිස්ටෝන් සහ වැඩිහිටි මොරාස්කෝ වාඩි වී සිටි කොළ පාට පුටු වල පින්තූරයක් මා සතුව තවමත් තිබෙනවා. ඔවුන් කෙතරම් ආධ්‍යාත්මික බලයකින් ඉගැන්වූයේද කියනවා නම්, මගේ 10 හැවිරිදි සහෝදරිය සහ මම (අවුරුදු 9) ඔවුන් ගිය පසු ඒ පුටු ස්පර්ශ කිරීමට දුවන්නේ එම බලය අප මත තැවරෙනු ඇතැයි අපේක්ෂාවෙනුයි.

එම බලය පැමිණියේ පුටුවෙන් නොව දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සබඳතාවයකින් බව මම ඉක්මනින්ම දැන ගත්තා.

මගේ බව්තීස්ම අත්දැකීම

මම මගේ පළමු ගිවිසුම ඇතිකර ගත්තෙ 1977 නොවැම්බර් 13 වැනිදා. මගේ බව්තීස්මය ගැන මට එතරම් මතකයක් නැහැ, නමුත් වැඩිහිටි පිස්ටෝන් මට වතුරට බැසීමට උදව් කළ අතර වැඩිහිටි මොරස්කෝ මගේ හිසකෙස් තෙත් වී තිබියදී මාව ස්ථිර කළ බව මට මතකයි. නව කොට්ඨාශයේ මිතුරන් ආජන්ටිනාවේ ආකාරයට වැළඳ ගැනීම් හා සිපගැනීම් ලබා දුන් විට මට දැනුණු සතුට සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ විශ්වාසවන්ත දියණියක් වීමට මා තුළ ඇති වූ දැඩි ආශාව මට මතකයි.

රූපය
බව්තීස්මයක සිටිනා පවුලක්

තරුණ ස්පැනාවුස් සහෝදරිය (මැද) ඇගේ දෙමාපියන් (වමේ), ඇගේ සහෝදරිය සිල්විනා (ඈත දකුණේ), වැඩිහිටි මොරාස්කෝ සමඟ.

මට දැනෙන ප්‍රීතිය පැමිණියේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවෙන් බව පසුව මට තේරුණා. මම දෙවියන්වහන්සේ සමඟ මගේ ගිවිසුම් විශ්වාසවන්තව තබා ගන්නා විට, ආත්මයාණන්වහන්සේ මා සමඟ සිටින බව මම ඉගෙන ගත්තා. ශුද්ධාත්මයාණන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ගිවිසුම් සම්බන්ධතාවයෙන් ලැබෙන බලවත් ආශිර්වාදවලින් එකක් පමණයි.

දැන්, මගේ චේතනා, සිතුවිලි සහ ක්‍රියාවන් හීන වූ විට පවා, දිගටම උත්සාහ කිරීමට මට බලාපොරොත්තුවක්තිබෙනවා. ඇයි? මොකද, සක්රමේන්තුවට සහභාගී වීමෙන් සෑම සතියකම මගේ ගිවිසුම් අලුත් කිරීමට සහ නව ගිවිසුම් ඇති කර ගැනීමට මට පුළුවන් වෙනවා. ඒ ආශිර්වාදයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

උණුසුම්, ගිවිසුම් සම්බන්ධතාවයක්

ගිවිසුම් යනු අප සහ දෙවියන්වහන්සේ අතර ඇති දෙයාකාර පොරොන්දු බව අපට නිතර අසන්නට ලැබෙනවා. එය සත්යයක් වුවද, ගිවිසුම් යනු ඒවා පමණක්ම නොවෙයි. යථාර්ථයේ දී, “ගිවිසුම් පැවැත්වීම සීතල ව්යාපාරික ගනුදෙනුවක් නොව උණුසුම් සම්බන්ධතාවයකි.”

එසේනම් ඔබ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කොහොමද? උන්වහන්සේලා දැනටමත් ඔබට සම්පූර්ණයෙන්ම ආදරය කරන අතර ඔබට ආශිර්වාද කිරීමටඅවශ්‍යයි (බලන්න 3 නෙපී 14:11). නමුත් ඕනෑම ද්වි-මාර්ග සම්බන්ධතාවයකට දෙපාර්ශවයේම කාලය හා ආදරය අවශ්‍ය වෙනවා.

ඔබට උන්වහන්සේලා සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍යද? උන්වහන්සේලා කරන දේවල් ඔබ කරන විට, ඔබ උන්වහන්සේලා සමඟ ඇවිදිනවා! එය දුෂ්කර කාලයකදී මිතුරෙකුට ඇහුම්කන් දීම, සහෝදරයෙකු සමඟ සෙල්ලම් කිරීමට කාලය වෙන් කිරීම හෝ අතහැර දමා ඇතැයි හැඟෙන කෙනෙකු එක්කර ගැනීම වැනි සරල දෙයක් වෙන්න පුළුවන්. මෑතකදී, මම තනිකමින් සිටින ආජන්ටිනාවේ මිතුරෙකුට හඬ පණිවිඩ පටිගත කරමින් සහ කෙටි පණිවිඩ යවමින් දෙවියන්වහන්සේ සමඟ ඇවිදීමට කාලය ගත කළා. මාගේ දේවමාලිගාවේ නිර්දේශය නිතරම සක්‍රියව තබා ගැනීමටද මම තීරණය කරගෙන තිබෙනවා, එවිට මට උන්වහන්සේගේ ශුද්ධ ගෘහයේ කාලය ගත කරන්න පුළුවන්. ස්වර්ගික පියාණන්වහන්සේ සහ ඔබගේ ගැලවුම්කරුවාණන් සමඟ කාලය ගත කිරීමට ඔබට උදව් වන අදහස් ලබාගැනීමට ඔබට යාච්ඤා කරන්න පුළුවන්.

ඔබ උන්වහන්සේලා කෙරෙහි සැලකිල්ල දක්වන බව පෙන්වීමට ඔබට අවශ්‍යද? ඔබ ගිවිසුම් තබාගෙන ඇති ආඥාවන් ගැන, නීති ලැයිස්තුවක් ලෙස නොව ඔබේ ආදරය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස සලකන්න. නිදසුනක් වශයෙන්, ප්‍රඥාවේ වචනය අනුව ජීවත් වීම සඳහා, සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීමට මම ඉගෙන ගත්තා. දැන් මම මගේ දුවලාටත් එහෙම කරන්න කියලා දෙනවා. ඔබ කැමැත්තෙන් යුතුව දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින විට, උන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ප්‍රේමය වර්ධනය වෙනවා.

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් සබඳතා උන්වහන්සේලාව වඩා හොඳින් දැන ගැනීමට සහ අපගේ ජීවිත තුළ උන්වහන්සේලාගේ බලයට වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට අපට උපකාර කරනවා-එය කොළ පාට පුටු කට්ටලයකට පිරිනැමීමට ඇති සියල්ලටම වඩා අනන්තයි. ඒ බලය අපිව සදහටම වෙනස් කරනවා!

සටහන

  1. Ann M. Madsen, in Truman G. Madsen, The Temple: Where Heaven Meets Earth (2008), 69.

මුද්‍රණය කරන්න