2021
හොඳම ඔබව ගොඩනැගීම
2021 සැප්තැම්බර්


“හොඳම ඔබව ගොඩනැගීම,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 සැප්, 6-7.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 සැප්තැම්බර්

හොඳම ඔබව ගොඩනැගීම

සතුටු හා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනැගීමට ක්‍රම පහක් මෙන්න.

දහම සහ ගිවිසුම් 95:13–14

රූපය
තරුණ කාන්තාවකගේ එක්ස් කිරණ, දේවමාළිගා සැලැස්ම

නිදර්ශන ජුලියට් පර්සිවල් විසිනි

කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඉදිකරන ලෙස ජෝසෆ් ස්මිත් හට ස්වාමින්වහන්සේ ආඥා කළ විට, ඒ සියල්ල කරන්නේ කෙසේදැයි තනිවම තීරණය කිරීමට උන්වහන්සේ ඔහුව අතහැරියේ නැත. උන්වහන්සේ විසින් සාර්ථකත්වය කරා ගෙනයන සැලැස්මක් එළිදරව් කළේය.

“එම ගෘහය ගොඩනැගීමට සලස්වන්න, ඒ ලෝකයේ ආකාරයට නොවේ,” යැයි ස්වාමින්වහන්සේ පැවසුවේය. “මම පෙන්වන්නාවූ ආකාරයට අනුව එය ගොඩනගන්නට සලස්වන්න” (දහම සහ ගිවිසුම් 95:13–14). ඉන්පසුව දේවමාළිගාව ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව ස්වාමින්වහන්සේ උපදෙස් ලබාදුන්නේය (දහම සහ ගිවිසුම් 95:15–17 බලන්න).

ස්තූතිවන්ත වන්නට, දේවමාළිගා ඉදිකරන්නේ කෙසේද යන්නට වඩා බොහෝ දේ ස්වාමින්වහන්සේ විසින් අපට පෙන්වා දී තිබේ. අපට වියහැකි හොඳම පුද්ගලයා වීමට අපට උපකාර වන ලෙසද උන්වහන්සේ අපට උපදෙස් ලබා දී තිබේ. අපි ඒවා අනුගමනය කරන විට, අපි අපේ ජීවිතය ගොඩනගාගන්නේ “ලෝකයේ ආකාරය අනුව නොව” නමුත් ස්වාමින්වහන්සේ සැලසුම් කළ ආකාරයට අනුවය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් සතුටු හා ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගාගැනීමට ක්‍රම පහක් මෙන්න.

ස්ථිර පදනමක් ගොඩනගන්න

ඕනෑම ගොඩනැගිල්ලකට ශක්තිමත් පදනමක් අත්‍යවශ්‍ය බව ඕනෑම ගෘහ නිර්මාණ ශිල්පියෙකු හෝ ඉදිකිරීම් කරන්නෙකු ඔබට කියනු ඇත. අපේ ජීවිත සඳහා හොඳම පදනම වන්නේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ වන, අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය” බව හිලමන් ඉගැන්වුවේය (හිලමන් 5:12). උන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේව අපට අපගේ පදනම කරගත හැකිය. ක්‍රිස්තුස්වහන්සේව ඔබේ ජීවිතයේ පදනම කරගැනීමේදී ඔබ කෙසේ කරනවා කියා ඔබට හැඟෙනවාද?

අන් අයට සේවය කරන්න

රූපය
දෙපා

එවකට පළමු සභාපතිත්වයේ දෙවන උපදේශක වූ සභාපති ඩියෙටර් එෆ්. උක්ඩ්‍රොෆ්ට අනුව, අපගේ ජීවිත ගොඩනැගීමට ඇති තවත් එක් ශ්‍රේෂ්ඨ ක්‍රමයක් පැමිණෙන්නේ, “අපි අපේ දෙපා මත සිට ස්වාමින්වහන්සේට සහ අප වටා සිටින අයට සේවය කරන විටය.”1 ඔබ අන් අයට සේවය කරන විට, ඔබ කරන්නේ යේසුස්වහන්සේ කළ දේවල් වන අතර තවදුරටත් උන්වහන්සේ මෙන් වීමට ඉගෙනගනියි. එමෙන්ම ඔබ සේවය කරන මිනිසුන්ගේ ජීවිත වලට ආශිර්වාද කරනවා පමණක් නොවේ, නමුත් ඔබත් ආශිර්වාද ලබනවා ඇත.

යාච්ඤාවේ සහ ශුද්ධලියවිලි අධ්‍යනයේ විධිමත් චර්යාවක් සාදන්න

රූපය
යාච්ඤා කරන දෑත්

සතුටුදායි ජීවිතයක් ගොඩනගාගැනීමට තවත් ක්‍රමයක් නම් ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ සබඳතාවක් ගොඩනගාගැනීමයි. ඒ සඳහා හොඳම ක්‍රමයක් නම් යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යනය කිරීමයි.

සභාපති උක්ඩ්‍රොෆ් මෙසේ පැවසුවේය: “දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීමට නම්, උන්වහන්සේ සමඟ තනිව අපට යම් අර්ථවත් කාලයක් අවශ්‍යයි. දිනපතා පෞද්ගලික යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය කෙරෙහි නිශ්චලව අවධානය යොමුකිරීම … අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට සමීප වීම සඳහා දරන අපේ කාලය සහ ප්‍රයත්නයන් හි නුවණැති ආයෝජනයක් වනු ඇත.”2

යාච්ඤාව යනු ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාවකි. උන්වහන්සේ අපව දනියි, අපට ප්‍රේම කරයි, එමෙන්ම අපගෙන් ඇසීමට උන්වහන්සේට අවශ්‍යයි. අපි අවංකව යාච්ඤා කරන විට, අපගේ ස්තූතිය පුදකරන විට, සහ අපට අවශ්‍ය දේ ඉල්ලන විට, උන්වහන්සේ සවන්දෙන අතර සෑමවිටම උන්වහන්සේගේ ආකාරයෙන් හා වේලාවට පිළිතුරු ලබාදෙයි.

ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේදී, ඒ සඳහා එක් නිවැරදි ක්‍රමයක් නැත. වැදගත්ම දෙය නම් ඔබ එය කිරීමයි! සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවේය, “අධ්‍යාත්මික පැවැත්ම සඳහා දිනපතා දෙවියන්වහන්සේගේ වචනයෙහි ගිලී සිටීම ඉතා වැදගත් වේ.”3 සෑම දිනකම ශුද්ධලියවිලි වල කාලය ගතකිරීම, සැකයකින් තොරව, ඇදහිල්ල හා ශක්තියෙන් යුත් ජීවිතයක් ගොඩනගාගැනීමට ඔබට උපකාරී වනු ඇත.

යහපත් දේ කිරීමට ඔබව දිරිමත් කරන අයගෙන් ඔබව වටකර ගන්න

රූපය
දෑත් විහිදා සිටින පිරිමි ළමයා

ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ අප අන් අය සමඟ සම්බන්ධ වීම සහ සබඳතා ගොඩනගාගැනීමයි—විශේෂයෙන් පවුල සහ මිතුරන් සමඟ. අපි බොහෝ විට හැඩගැසී තිබෙන්නේ අපි කාලය ගතකරන අය මගින්ය. ඔවුන් සභාවේ සාමාජිකයන් වුවත් නොවූවත්, ඔබ වටා සිටිය යුත්තේ ඔබට ශුභාරංචිය තුළ ජීවත් වීමට, ස්වාමින්වහන්සේගේ ප්‍රමිතීන් තබාගැනීමට, සහ වඩාත් හොඳ පුද්ගලයකු වීමට උපකාර කරන මිනිසුන්ය. ඔබ වටා සිටින අයටත් එසේ කිරීමට ඔබට උදව් කළ හැකියි. ධර්මිෂ්ඨකමේ පදනමක් ගොඩනගාගැනීමට ඔබේ මිත්‍රයින්ගෙන් ඔබට උදව් කරන්නේ කවුරුන්ද?

ඔබේ පදනම ගොඩනැගීමේදී ප්‍රීතිය සොයාගන්න

සභාවට ගොස් සක්‍රමේන්තුවට සහභාගී වීම, ගිවිසුම් ඇතිකරගැනීම සහ පැවැත්වීම, සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ උපදෙස් පිළිපැදීමද ඇතුළුව අධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වීමට සහ ප්‍රීතියෙන් සිටීමට ඔබේ ජීවිතය ගොඩනගා ගතහැකි වෙනත් බොහෝ ක්‍රම ඇත.

මේ සියල්ල සඳහා ක්‍රියා සහ කාලය ගතවන බව මතක තබාගැනීම වැදගත්ය. සෑමවිටම ගොඩනැගීම සහ ඉගෙනීම සිදුකළ යුතු නමුත්, ඔබ එය තනිවම කළ යුතු නැත. උන්වහන්සේටත් ඔබටත් ආඩම්බර වියහැකි සහ ඔබට ප්‍රීතිය ගෙනදෙන ජීවිතයක් ගොඩනගාගැනීමට ඔබ උපරිම උත්සාහයක් දරන සෑම දිනකම ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරනු ඇත.

සටහන්

  1. Dieter F. Uchtdorf, “Waiting on the Road to Damascus,” Apr. 2011 general conference (Ensign or Liahona, May 2011, 76).

  2. Dieter. F. Uchtdorf, “Of Things That Matter Most,” Oct. 2010 general conference (Ensign or Liahona, Nov. 2010, 21).

  3. රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” අප්‍රි. 2020 ප්‍රධාන සම්මන්ත්‍රණය (එන්සයින් හෝ ලියහෝනා, මැයි 2020, 89).

මුද්‍රණය කරන්න