2021
එළිදරව් කිරීමේ මූලධර්මයට වැඩෙන්න
2021 ජනවාරි


“එළිදරව් කිරීමේ මූලධර්මයට වැඩෙන්න,” ලියහෝනා 2021 ජනවාරි

මාසික ලියහෝනා පණිවිඩය, 2021 ජනවාරි

එළිදරව් කිරීමේ මූලධර්මයට වැඩෙන්න

ස්වාමින්වහන්සේට ඔබට දීමට අවශ්‍ය අවබෝධය ඔබට ලබාගත හැකිවන පරිදි වඩා හොඳින් හා නිතර නිතර උන්වහන්සේට සවන්දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඔබව දිරිමත් කරමි.

රූපය
ශාකය

ගෙටි රූප වලින් ගත් ඡායාරූපයකි

2017 සැප්තැම්බර් 30 වන දින, ප්‍රධාන සම්මන්ත්‍රණයේ දහවල් සැසිවාරයෙන් පසුව, මගේ ආදරණීය ගණපූරණ සාමාජික වැඩිහිටි රොබට් ඩී. හේල්ස් ගැන බැලීම සඳහා මම රෝහල අසල නතර වුනෙමි. දින කිහිපයකට පෙර ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහුව රෝහල්ගත කර තිබුණි.

එය අපට අපූරු හමුවීමක් වූ අතර, ඔහු යහපත් අතට හැරෙන වන බවක් පෙනෙන්නට තිබුණි. ඔහු තනිවම හුස්ම ගනිමින් සිටි අතර, එය හොඳ සලකුණකි.

කෙසේවෙතත්, ඉරිදා රෝහලට ආපසු යා යුතු බව පවසමින්, එදින සවස් වරුවේ, ආත්මයාණන්වහන්සේ මාගේ හදවතට හා මනසට කතා කළේය. ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා උදෑසන සැසිවාරය අතරතුරදී, එම ප්‍රබල හැඟීම නැවතත් ඇතිවිය. උදෑසන සැසිවාරය අවසන් වූ විගසම මම දිවා ආහාරය අතහැර වැඩිහිටි හේල්ස්ගේ ඇඳ ළඟට ඉක්මනින්ම යා යුතු යැයි මට හැඟුණි, මම එසේ කළෙමි.

මම එහි ගිය විට, වැඩිහිටි හේල්ස් වඩාත් නරක අතට හැරී ඇති බව මට දැකගත හැකිවුණි. කණගාටුවට කරුණක් නම්, මා එහි ගොස් මිනිත්තු 10 කට පසු ඔහු අභාවප්‍රාප්ත විය, නමුත් ඔහු මේ ජීවිතය හැරයන විට ඔහුගේ සුන්දර බිරිඳ, මේරි, සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා සමඟ මම ඔහු සමඟ සිටීම ගැන මම ස්තූතිවන්ත වෙමි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිමිණුම් මා වෙනත් ආකාරයකින් කළ නොහැකිව තිබූ දෙයක් කිරීමට මාව පෙළඹවීම ගැන මම කෙතරම් ස්තූතිවන්ත වෙනවාද. එමෙන්ම එළිදරව් වල යථාර්ථය ගැනත් ස්වර්ගය යළිත් වරක් විවෘත වීම ගැනත් මම ස්තූතිවන්ත වෙමි.

මේ වසරේ පෞද්ගලික හා පන්ති කාමර අධ්‍යයනය සඳහා අපගේ අවධානය යොමුවන්නේ දහම සහ ගිවිසුම් පොතටයි. මෙම “දිව්‍යමය එළිදරව් කිරීම් සහ දේවානුභාවයෙන් කරන ලද ප්‍රකාශයන්” මගින් ඒවා අධ්‍යයනය කරන සහ ඒවායේ දිව්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන සැමට ආශිර්වාද කළ හැකිය. ඒවා “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬ ඇසීමට සෑම තැනකම සිටින සියල්ලන්ට”1 ආරාධනා කරයි, මක්නිසාද සැබවින්ම “ස්වාමින්වහන්සේගේ හඬ සියලු මනුෂ්‍යයන් හටය” (දහම සහ ගිවිසුම් 1:2).

අන්තරාය, අන්ධකාරය, රැවටීම

COVID -19 වසංගතය අපට මතක්කර දී ඇති පරිදි, භෞතික හා අධ්‍යාත්මික පරීක්ෂාවන් පොළොවේ ජීවිතයේ කොටසක් වේ. උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර කාලය තුළ, ගැලවුම්කරුවාණන් මහත් පීඩාවන්ගෙන් යුත් දින පුරෝකථනය කළ සේක. උන්වහන්සේ මෙසේ කී සේක, “විවිධ ස්ථාන වල, සාගතයන්, එමෙන්ම වසංගත, හා භූමිකම්පා ඇතිවනු ඇත” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:29).

එවැනි පීඩා වැඩිවීම යනු අප වටා ඇති අන්ධකාරය සහ රැවටීම වැඩි වර්ධනය වීමයි. යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසූ පරිදි, උන්වහන්සේගේ නැවත පැමිණීමට පෙර “අයුක්තිය බහුල වේ” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:30).

සාතන් තම හමුදාව සන්නද්ධ කර ඇති අතර ස්වාමින්වහන්සේගේ කාර්යයන්ට හා එහි නියැලී සිටින අයට එරෙහිව කෝපයෙන් සිටියි. අප මුහුණදෙන වැඩිවන අන්තරායන් නිසා, දිව්‍ය මගපෙන්වීම සඳහා අපගේ අවශ්‍යතාවය කිසිවිටෙකත් මෙතරම් වැඩිවී නොමැත, එමෙන්ම අපගේ මැදිහත්කරුවාණන්, ගැලවුම්කරුවාණන්, සහ මිදුම්කරුවාණන් වන—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬ ඇසීමට අප දැරූ උත්සාහයන්—කිසිවිටෙකත් මෙලෙස ඉතා හදිසි වී නොමැත.

සභාවේ සභාපති ලෙස මාව කැඳවනු ලැබීමෙන් ටික කලකට පසු මා පැවසූ පරිදි, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ මනස අපට හෙළිකිරීමට සූදානම්ය. එය අපට උන්වහන්සේගෙන් වූ උතුම්ම ආශිර්වාද වලින් එකකි.2

අපේ කාලයේදී, උන්වහන්සේ මෙසේ පොරොන්දු වී ඇත, “නුඹලා ඉල්ලන්නේ නම්, නුඹලා එළිදරව්ව පිට එළිදරව්ව, දැනුම පිට දැනුම ලබන්නෝය” (දහම සහ ගිවිසුම් 42:61).

උන්වහන්සේ අපගේ ආයාචනා වලට ප්‍රතිචාර දක්වනු ඇති බව මම දනිමි.

අපි උන්වහන්සේට සවන්දෙන්නේ කෙසේද

ආත්මයාණන්වහන්සේ කතා කරන ආකාරය දැනගැනීම අද අත්‍යවශ්‍ය වේ. පුද්ගලික එළිදරව් ලබාගැනීමට, පිළිතුරු සෙවීමට, සහ ආරක්ෂාව සහ මගපෙන්වීම ලබාගැනීමට, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා අප වෙනුවෙන් තැබූ රටාව අපට මතකයි.

පළමුව, අපි ශුද්ධලියවිලි වල අපව ගිල්වා ගනිමු. එසේ කිරීමෙන් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සහ සත්‍යයන් වෙත අපගේ මනස හා හදවත් විවෘත වේ. විශේෂයෙන් අවිනිශ්චිත හා නැගිටීම් ඇති මේ දිනවල, ක්‍රිස්තුස්වහන්සේගේ වචන “[අප] කළ යුතු සියල්ල [අපට] කියනු ලබන්නේය” (2 නෙපි 32:3).

ඉන්පසු අපි යාච්ඤා කරමු. යාච්ඤාවට මූලිකත්වය අවශ්‍යයි, එබැවින් අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වෙමු, නිතිපතා යා හැකි නිහඬ ස්ථානයක් සොයාගෙන, අපගේ හදවත් උන්වහන්සේ වෙතට වත්කරමු.

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, “මා නුඹලා වෙතට ලඟාවන්නාක් මෙන් මා වෙතට ලඟාවන්න; මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය; ඉල්ලන්න, තවද නුඹලාට ලැබෙන්නේය; තට්ටු කරන්න තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය” (දහම සහ ගිවිසුම් 88:63).

ස්වාමින්වහන්සේ වෙතට ලංවීම සැනසිල්ල හා දිරිගැන්වීම, බලාපොරොත්තුව සහ සුවය ගෙන එයි. එබැවින්, අපගේ කනස්සල්ල හා දුර්වලතා, අපගේ ආශාවන් සහ අපගේ ආදරණීයයන්, අපගේ කැඳවීම් සහ අපගේ ප්‍රශ්න පිළිබඳව අපි උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමු.

ඉන්පසු අපි ඇහුම්කන්දෙමු.

අපගේ යාච්ඤාව අවසන් කිරීමෙන් පසු අපි ටික වේලාවක් දණින් වැටී සිටියහොත්, සිතුවිලි, හැඟීම් සහ මගපෙන්වීම අපගේ මනසට එනු ඇත. එම හැඟීම් වාර්තා කිරීම මගින් ස්වාමින්වහන්සේට අවශ්‍ය අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග මතක තබාගැනීමට අපට උපකාරී වේ.

රූපය
කාන්තාවක් අධ්‍යනය කරමින්

අපි මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුකරන විට, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ වචන වලින් පවසනවා නම්, අපි, “එළිදරව් කිරීමේ මූලධර්මයට වැඩෙමු.”3

එළිදරව්ව ලැබීමට සුදුසුකම

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිමිණුම් හඳුනාගැනීමට අපට ඇති හැකියාව පිරිපහදු කිරීම සහ එළිදරව් ලැබීමේ හැකියාව වැඩි කිරීම සඳහා සුදුසු වීම අවශ්‍යයි. සුදුසු වීමට පරිපූර්ණත්වය අවශ්‍ය නැත, නමුත් අප වැඩි පවිත්‍රතාවයක් සඳහා උත්සාහ කිරීම එයට අවශ්‍ය වෙයි.

ස්වාමින්වහන්සේ දෛනික උත්සාහය, දෛනික දියුණුව, දෛනික පසුතැවීම අපේක්ෂා කරයි. සුදුසු වීම පාරිශුද්ධභාවය ගෙනදෙන අතර, පාරිශුද්ධභාවය ශුද්ධාත්මයාණන්වහන්සේ සඳහා අපව සුදුසු කරයි. “තවද [අපගේ] මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේව” අප ලබාගන්නා විට (දහම සහ ගිවිසුම් 45:57), අපි පුද්ගලික එළිදරව් සඳහා සුදුසුකම් ලබන්නෙමු.

යම් දෙයක් අපව ස්වර්ගීය දිශාවට දොර විවර කිරීමෙන් වළක්වන්නේ නම්, අපට පසුතැවිලි වීමට අවශ්‍යය. පසුතැවීම අපට දොර විවර කිරීමට ඉඩ සලසයි, එවිට අපට ස්වාමින්වහන්සේගේ හඬ නිතර නිතර හා පැහැදිලිව ඇසෙනු ඇත.

“එම ප්‍රමිතිය පැහැදිලිය” ලෙස ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූවේය. “අප සිතන, දකින, අසන හෝ කරන දෙයක් ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් අපව දුරස් කරන්නේ නම්, අප සිතීම, දැකීම, ඇසීම හෝ එම ක්‍රියාව නතර කළ යුතුය. නිදසුනක් වශයෙන්, විනෝදාස්වාදය ලබාදීමට අදහස් කරන යම් දෙයක් ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් අපව ඈත් කරයි නම්, නිසැකවම ඒ ආකාරයේ විනෝදාස්වාදය අප සඳහා නොවේ. අසභ්‍ය, රළු හෝ අශිෂ්ට දේ තුළ ආත්මයාණන්වහන්සේට සිටිය නොහැකි නිසා, ඉතින් පැහැදිලිවම එවැනි දේ අප සඳහා නොවේ.”4

අප වැඩි වර්ධනය වන පවිත්‍ර බව සහ කීකරුකම, සමග නිරාහාරව සිටීම, කඩිසරව සෙවීම, ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන අධ්‍යයනය කිරීම සහ දේවමාළිගාව සහ පවුල් ඉතිහාස කාර්යයන් කිරීම වැනි දේවල් සමග එකතු කළ විට, ස්වර්ගයන් විවෘත වනු ඇත. අනෙක් අතට, ස්වාමින්වහන්සේ තම පොරොන්දුව ඉටුකරනු ඇත: “මාගේ ආත්මය නුඹලා හට මම දෙන්නෙමි, එය නුඹලාගේ මනස ආලෝකමත් කරනු ඇත” (දහම සහ ගිවිසුම් 11:13).

අප ඉවසිලිවන්ත වීම අවශ්‍ය විය හැකිය, නමුත් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේම ආකාරයෙන් හා උන්වහන්සේගේ කාලය තුළ කතා කරනු ඇත.

තේරුම්ගැනීමේ ආත්මයක්

යෝබ් මෙසේ ප්‍රකාශ කළේය, “එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ අනුභාවයද ඔවුන්ට ඥානය දෙන්නේය” (යෝබ් 32:8). මේ අලුත් අවුරුද්දේදී, ස්වාමින්වහන්සේට ඔබට දීමට අවශ්‍ය අවබෝධය ඔබට ලබාගත හැකිවන පරිදි වඩා හොඳින් හා නිතර නිතර උන්වහන්සේට සවන්දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඔබව දිරිමත් කරමි.

2017 ඔක්තෝම්බර් දිනයකදී වැඩිහිටි හේල්ස් මිය යාමට පෙර, ඔහු ප්‍රධාන සම්මන්ත්‍රණය සඳහා කෙටි කතාවක් සූදානම් කළේය, එය ඔහුට ලබාදිය නොහැකි විය. එම කතාවේදී, ඔහු මෙසේ ලිවීය, “අපගේ ඇදහිල්ල ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සිටීමට අපව සූදානම් කරයි.”5

අපට එළිදරව් ලැබුණු විට, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මනස, කැමැත්ත සහ හඬ අපට හෙළිකරන විට, අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාලය ගත කරන්නෙමු (දහම සහ ගිවිසුම් 68:4 බලන්න). උන්වහන්සේගේ පොරොන්දු වූ දේවානුභාවය සඳහා සුදුසු ලෙස ජීවත් වීමෙන් සහ අපට ලැබෙන මගපෙන්වීම අනුව ක්‍රියා කිරීමෙන්, උන්වහන්සේට හඬගසමින්, අපි අපගේ ඇදහිල්ල ක්‍රියාවට නංවමු.

සටහන්:

  1. දහම සහ ගිවිසුම් සඳහා හැඳින්වීම.

  2. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 94 බලන්න.

  3. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 132.

  4. David A. Bednar, “That We May Always Have His Spirit to Be with Us,” Liahona, May 2006, 30.

  5. In Neil L. Andersen, “The Voice of the Lord,” Liahona, Nov. 2017, 125.

මුද්‍රණය කරන්න