2021
දේවශීර්ෂය යනු කුමක්ද?
2021 ජුනි


දේවශීර්ෂය යනු කුමක්ද?,” ලියහෝනා, 2021 ජුනි

මාසික ලියහෝනා පණිවිඩය, 2021 ජුනි

දේවශීර්ෂය යනු කුමක්ද?

ස්වර්ගික පියාණන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සහ ශුද්ධාත්මයාණන්වහන්සේ යනු එකම අරමුණක් ඇති වෙනම ජීවීන් තිදෙනෙකි.

රූපය
පළමු දර්ශනය

පළමු දර්ශනයෙහි විස්තරය, ජෝන් මැක්නොටන් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් විශ්වාස කරන්නේ මොනවාද යන්න, පුවත්පත් කතුවරයෙක් වරක් ජෝසෆ් ස්මිත්ගෙන් විමසුවේය. ඊට ප්‍රතිචාර වශයෙන්, අනාගතවක්තෘවරයා ඇදහිල්ලේ කරුණු 13 ක් ලිවීය. එහි පළමු ප්‍රකාශය මෙසේයි, “අපි සදකාලික පියාණන් වන දෙවියන්වහන්සේ කෙරෙහිද, එමෙන්ම උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිද, එමෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේ කෙරෙහිද විශ්වාස කරමු” (ඇදහිල්ලේ කරුණු 1:1). මෙම තිදෙනා තුළින් අප දේවශීර්ෂය ලෙස හඳුන්වන දෙය සෑදී ඇත.

සදකාලික පියාණන් වන, දෙවියන්වහන්සේ

දෙවියන්වහන්සේට නැවත නැඟිටුවනු ලැබූ, මාංශ හා ඇටකටු සහිත ශරීරයක් ඇත. උන්වහන්සේ අපගේ ආත්මයන්ගේ පියාණන් වේ. උන්වහන්සේ තම සෑම දරුවෙකුටම පරිපූර්ණ ලෙස ප්‍රේම කරයි. දෙවියන්වහන්සේ පරිපූර්ණයි, සියලු බලය ඇත, එමෙන්ම සියල්ල දනියි. උන්වහන්සේ යුක්තිසහගතයි, දයානුකම්පිතයි, සහ කරුණාවන්තයි. අපි ඉපදීමට පෙර අපි දෙවියන්වහන්සේ සමඟ ආත්මයන් ලෙස ජීවත් වුණෙමු. ඉගෙනීමට හා වර්ධනය වීමට උන්වහන්සේ අපව පොළොවට එවා ඇත. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආශාව වන්නේ අප මියගිය පසු උන්වහන්සේගේ සෑම දරුවෙකුම නැවත උන්වහන්සේ සමඟ ජීවත්වීමට පැමිණීමයි. දෙවියන්වහන්සේ අපට උගන්වන්නේ දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමට අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ යුතු බවයි.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ දේශනා කරමින්

ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ දේශනා කරමින්, රොබර්ට් ටී. බැරට් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේටද නැවත නැඟිටුවනු ලැබූ, මාංශ හා ඇටකටු සහිත ශරීරයක් ඇත. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කුළුඳුල් පුත්‍රයායි. අප ඉපදීමට පෙර, දෙවියන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ලෙස උන්වහන්සේව තෝරා ගත්තේය. මෙයින් අදහස් කරන්නේ යේසුස්වහන්සේ පොළොවට පැමිණියේ අපට ආදර්ශයක් වීමටත්, උන්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීමටත්, අපගේ පව් වෙනුවෙන් වන්දිගෙවීමටත්, එමෙන්ම අපව මරණයෙන් ගලවා ගැනීමටත් බවය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අප පසුතැවිලි වන විට අපට අපගේ පව් වලට සමාව ලැබිය හැකිය. අපව තේරුම්ගෙන අපට උපකාර කිරීමට හැකිවන පිණිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ පීඩා වින්දේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මියගොස් නැවත ජීවත්වූ නිසා, සෑම කෙනෙකුටම නැවත ජීවත්වීමට හැකියාව ලැබිණි.

රූපය
ක්‍රිස්තුවහන්සේගේ භූමදානය

ගෙටි රූප වලින් ගත් ඡායාරූපයකි

ශුද්ධාත්මයාණන්වහන්සේ

ශුද්ධාත්මයාණන්වහන්සේ යනු භෞතික ශරීරයක් නොමැතිව දේවශීර්ෂයේ සිටිනා එකම සාමාජිකයායි. උන්වහන්සේ ආත්මයක්. ශුද්ධාත්මයාණන්වහන්සේට අපගේ ආත්මයන් සමඟ කෙලින්ම සන්නිවේදනය කිරීමට හැකියාව ඇත. දෙවියන්වහන්සේ සැබෑ බවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බවත් උන්වහන්සේ අපට සාක්ෂි දරයි. ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ දූතයා ලෙස ක්‍රියා කරන්නේ අපට ප්‍රේමය, මගපෙන්වීම, හෝ සැනසීම ලබාදීම සඳහාය. අප බව්තීස්ම වී ස්ථිර වූ විට, අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබේ. අපගේ බව්තීස්මයෙන් පසුව, අපි දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින විට ශුද්ධාත්මයාණන්වහන්සේට සැමවිටම අප සමඟ සිටිය හැකිය.

රූපය
පළමු දර්ශනය

පළමු දර්ශනය, වෝල්ටර් රේන් විසිනි

ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනය

කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් දේවශීර්ෂය පිළිබඳව ව්‍යාකූල වී ඇත. දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ කෙබඳු අයද යන්න පිළිබඳව මිනිසුන් එකඟ වී නොමැත. ජෝසෆ් ස්මිත්ට ලැබුණු පළමු දර්ශනය මෙතරම් වැදගත් වීමට මෙය එක් හේතුවකි. ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ශරීර ඇති බවත්, එමෙන්ම වෙනම ජීවීන් දෙදෙනෙකු බවත් ඔහු දුටුවේය.

රූපය
සවන්දීම

සවන්දීම, මයිකල් ජාර්විස් නෙල්සන් විසිනි

වෙනම නමුත් එක්සත්

දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ එකම අරමුණක් ඇති වෙනම ජීවීන් බව ශුද්ධලියවිලි හා නූතන අනාගතවක්තෘවරුන් අපට උගන්වයි: එම අරමුණ අපගේ අමරණීයභාවය හා සදාකාල ජීවනයයි (මෝසෙස් 1:39 බලන්න). එකම කණ්ඩායමේ සාමාජිකයන් මෙන්, උන්වහන්සේලා සෑම දිනකම අපට උදව් කිරීමට එකට වැඩ කරති. අපගේ පව් ගැන පසුතැවිලි වී හරි දේ තෝරාගන්නා විට අපට උන්වහන්සේලා සමඟ සමීප බවක් දැනිය හැකිය.

දේවශීර්ෂය පිළිබඳ ශුද්ධලියවිලි

  • ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අරමුණින් එක් අයෙකි (යොහාන් 10:30 බලන්න).

  • ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාට කතා කළේය (මතෙව් 3:16–17 බලන්න).

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන්ට කතා කළේය (යොහාන් 11:41 බලන්න).

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යාච්ඤා කළේ යම් දවසක අප එක්කෙනෙකු වන ලෙසයි (යොහාන් 17:11 බලන්න).

  • ජෝසෆ් ස්මිත් ස්වර්ගික පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටුවේය (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17 බලන්න).

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බව ශුද්ධාත්මයාණන්වහන්සේ සාක්ෂි දරයි (යොහාන් 15:26 බලන්න).

මුද්‍රණය කරන්න