2021
ප්‍රධාන සම්මන්ත්‍රණය: ලෝක ව්‍යාප්ත සභා රැස්වීමක්
2021 සැප්තැම්බර්


“ප්‍රධාන සම්මන්ත්‍රණය: ලෝක ව්‍යාප්ත සභා රැස්වීමක්,” ලියහෝනා, 2021 සැප්තැම්බර්

මාසික ලියහෝනා පණිවිඩය, 2021 සැප්තැම්බර්

ප්‍රධාන සම්මන්ත්‍රණය: ලෝක ව්‍යාප්ත සභා රැස්වීමක්

ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපි අනාගතවක්තෘවරුන්ට සහ අනෙකුත් සභාවේ නායකයින්ට සවන්දෙන්නෙමු. දෙවියන්වහන්සේ අප සවන්දෙනවාට කැමති දේ ඔවුන් අපට උගන්වති.

රූපය
සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පිටත

සෑම අප්‍රියෙල් සහ ඔක්තෝම්බර් මාස වලම, සභාව ප්‍රධාන සම්මන්ත්රණය යනුවෙන් හැඳින්වෙන රැස්වීම් මාලාවක් පවත්වයි. නායකයන් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන උගන්වති එමෙන්ම සාක්ෂි දරති. ප්‍රධාන සම්මන්ත්‍රණය අමෙරිකා එක්සත් ජනපදයේ, යූටා හි, සෝල්ට් ලේක් නගරයේ පැවැත්වෙන අතර එය ලොව පුරා භාෂා 80 කට අධික සංඛ්‍යාවකින් විකාශය කෙරෙයි. සියලුම සාමාජිකයින්ට සහ උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම කෙනෙකුට එම කතාවන් වලට සවන්දීමට ආරාධනා කර ඇත.

රූපය
සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ඇතුලත

සභාවේ පළමු සම්මන්ත්‍රණය

සභාව නිල වශයෙන් සංවිධානය කරනු ලබා ඇත්තේ 1830 අප්‍රියෙල් 6 වන දින පැවති රැස්වීමකදීය (දහම සහ ගිවිසුම් 20 බලන්න). 1830 ජුනි 9 දින, පළමු ප්‍රධාන සම්මන්ත්‍රණය පැවැත්විණි. එතැන් පටන්, සභාවේ සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ සාමාජිකයින්ට රැස්විය හැකි ඕනෑම ස්ථානයක ප්‍රධාන සම්මන්ත්‍රණ පැවැත්විණි. 1840 ගණන් වලදී, නායකයින් විසින් වසරකට දෙවරක් සම්මන්ත්‍රණ පැවැත්වීමට පටන්ගත්හ.

රූපය
සභාපති නෙල්සන් දේශනා කූඩුව අසල

අද සම්මන්ත්‍රණ සංවිධානය වන ආකාරය

ප්‍රධාන සභාපතිත්වය, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය, සහ සභාවේ අනෙකුත් නායකයින් ‍ප්‍රධාන සම්මන්ත්‍රණය අතරතුර කතා කරති. දේවමාළිගා චතුරශ්‍රයේ පිහිටි ටැබර්නකල් ගීතිකා කණ්ඩායම සහ අනෙකුත් සභාවේ ගීතිකා කණ්ඩායම් සංගීතය සපයනවා ඇත. සෑම සම්මන්ත්‍රණයකටම සැසිවාර පහක් ඇත: සෙනසුරාදා තුනක් සහ ඉරිදා දෙකක්. අප්‍රියෙල් මාසයේදී, සෙනසුරාදා තුන්වන සැසිවාරය ආරෝනික සහ මෙල්කිසදෙක් පූජක ගණපූරණ සාමාජිකයින් සඳහා වේ. ඔක්තෝම්බර් මාසයේදී එය සහන සමිතිය සහ තරුණ කාන්තාවන් සඳහා වේ.

නායකයින්ගේ ඉගැන්වීම්

සම්මන්ත්‍රණයට මාස කිහිපයකට පෙර, සභාවේ නායකයින් ඉගැන්විය යුත්තේ කුමක්ද කියා යාච්ඤා කරති. ඔවුන් ඉගැන්විය යුත්තේ කුමක්දැයි කියා ස්වාමින්වහන්සේ ඔවුන්ට පෙළඹවීම් ලබාදෙයි. ඔවුන් ශුභාරංචි සත්‍යයන් උගන්වන අතර දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපට ආරාධනා කරති. එමෙන්ම ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන අතර උන්වහන්සේව අනුගමනය කිරීමට අපව දිරිමත් කරති.

ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් ඉගෙනීම

ප්‍රධාන සම්මන්ත්‍රණයට පෙර, අප ඉගෙනෙගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ ඇසීම සඳහා අපට යාච්ඤා කළ හැකිය. අප එම කතා වලට සවන්දෙන විට, අප දැනගත යුතු දේ ආත්මයාණන්වහන්සේ අපට උගන්වයි. සම්මන්ත්‍රණයෙන් පසු, සියලුම කතා ChurchofJesusChrist.org, ශුභාරංචි පුස්තකාල යෙදුමේ, සහ ලියහෝනා හි දිස්වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන තව තවත් දැනගැනීම සඳහා අපට යාච්ඤාපූර්වකව එම කතාවන් අධ්‍යයනය කළ හැකිය.

ශුද්ධලියවිලි වලින්

අපි නිතර එකට එක්ව මුණගැසිය යුතු බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්නුවේය (3 නෙපි 18:22 බලන්න).

සභාවේ සාමාජිකයන් එකට නමස්කාර කරන විට, ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ සිටිනු ඇත (මතෙව් 18:20 බලන්න).

“උපදෙස් දෙමින් එකිනෙකාව වර්ධනය කරගන්නා” ලෙස ස්වාමින්වහන්සේ සභාවේ සාමාජිකයින්ට ආඥා කළේය (දහම සහ ගිවිසුම් 43:8).

සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වන විට, ඔවුන් මුණගැසෙන විට උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ වනු ඇත (දහම සහ ගිවිසුම් 44:2 බලන්න).

මුද්‍රණය කරන්න