2022
වැටීම දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් විය
2022 ජනවාරි


“වැටීම දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් විය,” ලියහෝනා, 2022 ජනවාරි

මාසික ලියහෝනා පණිවිඩය, 2022 ජනවාරි

වැටීම දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් විය

වැටීම නිසා, අපට පොළොවට පැමිණි හැකිවූ අතර, යම් දිනක ස්වර්ගයේ අපගේ පියාණන්වහන්සේ සමඟ ජීවත් වීමට ආපසු යාමට හැකිය.

රූපය
ආදම් සහ ඒව

ආදම් සහ ඒව ඒදන් උයනේ, රොබට් ටී. බැරට් විසිනි

ඒදන් උයනේදී දෙවියන්වහන්සේ ආදම් සහ ඒවට ආඥා කළේ යහපත සහ නපුර පිළිබඳ දැනුම සහිත ගසේ ගෙඩි අනුභව නොකරන ලෙසයි. එවිට උන්වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක, “ඔබට ඔබ විසින්ම තෝරාගත හැක, … නමුත්, මා එය තහනම් කරන බව මතක තබාගන්න” (මෝසෙස් 3:17). සාතන් ඒවව ගහේ ගෙඩි අනුභව කිරීමට පෙළඹෙව්වේය. ඔහු ඇයට මෙසේ පැවසුවේය, “ඔබ යහපත හා නපුර දැන, දෙවිවරුන් මෙන් වන්නහුය” (මෝසෙස් 4:11). ඇය පළතුර අනුභව කර ඉන්පසුව ආදම් සමඟ එය බෙදාගත්තාය. දෙවියන්වහන්සේ ඔවුන්ව ඒදන් උයනෙන් පිටමන් කළ සේක.

වැටීම

රූපය
ආදම් සහ ඒව

ආදම් සහ ඒව උයනෙන් පිටමං කිරීම, ගැරී එල්. කැප් විසිනි, පිටපත් කළ නොහැකි වේ

ආදම් සහ ඒව ඒදන් උයනෙන් පිටව යන විට, ඔවුන් තවදුරටත් දෙවියන්වහන්සේ අභියස සිටියේ නැත. මෙම දෙවියන්වහන්සේගෙන් වෙන්වීම ආත්මික මරණය ලෙස හැඳින්වේ. උයනෙන් පිටවීම යන්නෙන් ආදම් සහ ඒව ලෞකික වූ සහ එමගින් මියයාමට හැකි වූ බවද අදහස් විය. ආදම් සහ ඒව තවදුරටත් දෙවියන්වහන්සේ සමඟ නොසිටියත් එමෙන්ම දැන් ලෞකික වුවත්, ඔවුන්ට වර්ධනය විය හැකි බව දුටු විට ඔවුන් සතුටින් හා බලාපොරොත්තුවෙන් සිටියහ (බලන්න මෝසෙස් 5:10–11). “ආදම් වැටුණේ මිනිසුන් පවතිනු පිණිසය, තවද මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය තිබෙනු පිණිසය” (2 නෙපි 2:25).

පරීක්ෂා කිරීමෙහි කාලයක්

අප ඉපදෙන විට, වැටීමෙන් පසු ආදම් සහ ඒව කළාක් මෙන්, අපි දෙවියන්වහන්සේගෙන් වෙන්ව ජීවත් වෙමු. වැරදි තීරණ ගැනීමට සාතන් අපව පොළඹවයි. මෙම පෙළඹවීම් අපව පරීක්ෂා කර හරි වැරැද්ද තෝරාගැනීමට ඉඩ සලසයි (බලන්න ඇල්මා 12:24). අපි පව් කර පසුතැවිලි නොවන සෑම අවස්ථාවකම, අපි ස්වර්ගික පියාණන්වහන්සේගෙන් තවත් දුරස් වෙමු. නමුත් අපි පසුතැවිලි වෙනවා නම්, අපි ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේට සමීප වෙමින් සිටින්නෙමු.

භෞතික මරණය

රූපය
සුසාන භූමිය

පොළොව නිර්මාණය කර ඇත්තේ අප වෙනුවෙන්ය (බලන්න 1 නෙපි 17:36). වැටීම නිසා අපට භෞතික ශරීරයකින් පොළොවට පැමිණීමට ඉඩ සලසමින්, ආදම් සහ ඒවට දරුවන් ලැබීමට වූ දෙවියන්වහන්සේගේ ආඥාව ඉටුකිරීමට හැකිවිය. අපගේ ශරීර කවදා හෝ මියයනු ඇති නමුත්, අපගේ ආත්මයන් දිගටම ජීවත් වනු ඇත. අප මරණයෙන් නැවත නැගිටින විට අපගේ ශරීර සහ ආත්මයන් නැවත එක්වනු ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ගලවාගෙන

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම

මරණයෙන් නැවත නැගිටීම, හැරී ඇන්ඩර්සන් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය තුළින්, අපට ශාරීරික සහ ආත්මික මරණය ජයගත හැකිය. ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා, මේ පොළොවේ ඉපදෙන සෑම කෙනෙකුම නැවත නැගිටුවනු ලබන අතර සදහටම ජීවත් වනු ඇත. එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපයන් සඳහා දුක් වින්ද බැවින්, අපට පසුතැවිලි වී සමාව ලැබිය හැකි අතර එවිට අපට අපගේ පියාණන්වහන්සේ සමඟ නැවත ස්වර්ගයේ ජීවත් විය හැකිය.

මුද්‍රණය කරන්න