අපගේ හදවතේ ගැඹුරේ
ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් ලබාගැනීමට ස්වාමින්වහන්සේ අපට—අප සියලුදෙනාටම—උපකාර කිරීමට උත්සාහ කරන අයුරු අපි දකිනවා.
සහෝදර සහෝදරියනි, අප ජීවත්වන්නේ මොනතරම් තේජාන්විත දවසකද. නැවත පිහිටුවීමේ ආරම්භය අප සමරන විට, අප අත්විඳින අඛණ්ඩ නැවත පිහිටුවීම සැමරීමද සුදුසුයි. මේ දවසේ ජීවත්වීමට ලැබීම ගැන මම ඔබ සමග සතුටු වෙනවා.1 ස්වාමින්වහන්සේ උන්වහන්සේව පිළිගැනීමට සූදානම් වීමට අපට උපකාර කිරීම සඳහා අවශ්‍ය සියල්ල දිගටම ක්‍රියාත්මක කරනවා.2
නව ළමා හා යෞවන මුලපිරීම, අවශ්‍ය වන ඒ දේවල් වලින් එකක්. අරමුණු තැබීම, අයත් නව ලාංඡන ලබාගැනීම, සහ යෞවනයන් සඳහා ශක්තිය සම්මන්ත්‍රණ, මෙම වැඩසටහනේ අවධාරණය කිරීම් බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. අපගේ දරුවන්ගේ හා තරුණයින්ගේ හදවත් තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැඹුරින් ලබාගැනීමට උපකාර කිරීම යන, මෙම වැඩසටහන ගොඩනගා ඇති මූලධර්ම සහ ඒවායේ අරමුණ පිළිබඳව අපගේ දෘෂ්ටිය වලාකුළු වලට වැසී යාමට ඉඩනොදිය යුතුයි.3
අපි මෙම මූලධර්ම තේරුම්ගන්නා විට, මෙය වයස අවුරුදු 8 සිට 18 දක්වා වූ සාමාජිකයින් සඳහා වූ වැඩසටහනකට වඩා වැඩි යමක් ලෙස අපි දකිනු ඇති බව මම විශ්වාස කරනවා. ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් ලබාගැනීමට ස්වාමින්වහන්සේ අපට—අප සියලුදෙනාටම—උපකාර කිරීමට උත්සාහ කරන අයුරු අපි දකිනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එකට එක්ව ඉගෙනගැනීමට උපකාර කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.
සබඳතා—“ඔවුන් සමග සිටින්න”4
සබඳතා යනු පළමු මූලධර්මයයි. මන්ද ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ස්වාභාවික කොටසක්, අපගේ අඛණ්ඩ හැරීම තුළ සබඳතා වල ඇති වැදගත්කම සමහර වෙලාවට අපට අමතක වෙලා යනවා. ගිවිසුම් මාර්ගය තනිවම සොයාගැනීමට හෝ ගමන්කිරීමට අපෙන් බලාපොරොත්තු වන්නේ නෑ. දෙමව්පියන්, අනෙකුත් පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ නායකයින්ගෙන් අපට ආදරය හා සහයෝගය අවශ්‍ය වෙනවා.
මේ ආකාරයේ සබඳතා සඳහා කාලය ගතවෙනවා. එකට ඉන්නා කාලය. එකට සිනහවීමට, සෙල්ලම් කිරීමට, ඉගෙනගැනීමට හා සේවය කිරීමට ගතවන කාලය. එකිනෙකාගේ අභිලාෂයන් සහ අභියෝග අගය කිරීමට ගතවන කාලය. අපි එකට එක්ව වඩා හොඳ වීමට උත්සාහ කරන විට එකිනෙකා සමග විවෘතව හා අවංකව කටයුතු කිරීමට කාලය. මෙම සබඳතා පවුල්, ගණපූර්ණය, පන්ති සහ සභා ලෙස එක්රැස් කිරීමේ මූලික අරමුණු වලින් එකකි. ඵලදායී දේවසේවයේ පදනම ඒවායි.5
වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ් මෙම සබඳතා වර්ධනය කරගැනීම සඳහා අපට යතුරක් ලබාදෙමින් මෙසේ කිව්වා: “සභාවේදී, අන් අයට ඵලදායී ලෙස සේවය කිරීම සඳහා අප ස්වර්ගික පියාණන්ගේ … දෑස් තුලින් ඔවුන්ව දැකගත යුතුය. ආත්මයක සැබෑ වටිනාකම වටහාගැනීමට අපට පටන්ගත හැක්කේ එවිට පමණි. ස්වර්ගික පියාණන්වහන්සේ සිය සියලු දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමය අපට දැනෙන්නේ එවිට පමණි.”6
දෙවියන්වහන්සේ දකිනවා මෙන් අන් අයව දැකීම තෑග්ගක්. මෙම තෑග්ග ලබාගැනීමට සෙවීමට මම සියලුදෙනාටම ආරාධනා කරනවා. අපගේ ඇස් දැකීමට විවෘතව ඇති හෙයින්,7 දෙවියන්වහන්සේ මෙන් තමන්ව දැකීමට අන් අයට උපකාර කිරීමටද අපට හැකිවෙනනවා.8 සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ කිව්වා: “වඩාත්ම වැදගත් දෙය නම් [යෞවනයන්] ඔවුන් සැබවින්ම කවුරුන්ද යන්න සහ ඔවුන්ට විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳව [ඔබෙන්] ඉගෙනගන්නා දෙයයි. මගේ අනුමානය නම් ඔවුන් දේශන වලින් එතරම් ඉගෙන නොගන්නා බවයි. ඔබ කවුරුන්ද, ඔවුන් කවුරුන්දැයි ඔබ සිතන ආකාරය, සහ ඔවුන්ට කවුරුන් වියහැකි යැයි ඔබ සිතනවාද යන හැඟීම් වලින්, ඔවුන් එය ලබාගන්නවා.”9 ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය සහ අරමුණ තේරුම්ගැනීමට අන් අයට උපකාර කිරීම අපට දිය හැකි උතුම්ම ත්‍යාගයක්.10 දෙවියන්වහන්සේ මෙන්ම අන් අයව හා අපව දැකීමෙන්, අපගේ හදවත් “එකමුතුකමින් හා ප්‍රේමයෙන්” බැඳී තිබෙයි.11
දිනෙන් දින වර්ධනය වන ලෞකික බලවේග අප වෙත ඇදී එත්ම, ප්‍රේමණීය සබඳතා වලින් ලැබෙන ශක්තිය අපට අවශ්‍ය වෙනවා. එබැවින් අපි ක්‍රියාකාරකම්, රැස්වීම් සහ වෙනත් එකතුවීම සැලසුම් කරන විට, මෙම රැස්වීම් වල ප්‍රධාන අරමුණ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුල ගැඹුරින් ලබාගැනීමට උපකාර කිරීමට, ශක්තිමත් කිරීමට, එක්සත් වීමට, ආදරණීය සබඳතා ගොඩනගාගැනීමයි.12
එළිදරව්, තෝරාගැනීමේ නිදහස සහ පසුතැවීම—“ඔවුන්ව ස්වර්ගය හා සම්බන්ධ කරනවා”13
ඇත්තවශයෙන්ම, එකට බැඳී සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. විවිධ හේතූන් වටා සමගිය ඇති කරන බොහෝ කණ්ඩායම් සහ සංවිධාන තිබෙනවා. නමුත් අප සොයන එකමුතුකම නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්කෙනෙකු වීමට, උන්වහන්සේ සමග අපව සම්බන්ධ කිරීමයි.14 අපගේ හදවත් ස්වර්ගය හා සම්බන්ධ කිරීම සඳහා, අපට වැඩිහිටි ඇන්ඩර්සන් ඉතා පැහැදිලිව කථා කළ පරිදි, අපට තනි අධ්‍යාත්මික අත්දැකීම් අවශ්‍ය වෙනවා.15 ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනය හා ප්‍රේමය අපගේ මනසට හා හදවතට ගෙනයන විට එම අත්දැකීම් පැමිණෙනවා.16
මෙම එළිදරව් ශුද්ධලියවිලි තුලින්, විශේෂයෙන් මොර්මොන්ගේ පොත තුලින්, ජීවමාන අනාගතවක්තෘවරුන්ගෙන් සහ වෙනත් විශ්වාසවන්ත ගෝලයන්ගෙන් ලැබෙන ආනුභාව ලත් වචන වලින් සහ නිහඬ සිහින් කටහඬ තුළින් අපට පැමිණෙනවා.17 මෙම වචන පිටුවක තීන්ත, අපේ කන්වල ශබ්ද තරංග, අපගේ මනසෙහි සහ හදවත් තුල ඇති සිතුවිලි හෝ, අපගේ හදවත් වල හැඟීම් වලට වඩා වැඩි දෙයක්. දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යාත්මික බලයයි.18 එය සත්‍යය හා ආලෝකයයි.19 ඒ අපිට උන්වහන්සේව ඇසෙන ආකාරයයි! එය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ආරම්භ කරන සහ වැඩි කරන අතර ගැලවුම්කරුවාණන් හා සමාන වීමට ඇති ආශාව අප තුල ඇති කරයි, එනම් පසුතැවිලි වී ගිවිසුම් මාවතේ ගමන් කිරීමයි.20
මෙම එළිදරව්මය ගමනේ පසුතැවිල්ලේ ප්‍රධාන කාර්යභාරය තේරුම්ගැනීමට සභාපති රසල් එම්. නෙල්සන් පසුගිය අප්‍රියෙල් මාසයේදී අපට උදව් කළා.21 ඔහු මෙසේ කිව්වා: “පසුතැවීමට අපි තෝරාගන්නා විට, වෙනස්වීමට අපි තෝරාගන්නවා! අපගේ හොඳම පිටපත වීමට අපව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. … අපි වඩ වඩාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්න තීරණය කරනවා!”22 දෙවියන්වහන්සේගේ වචන වලින් අනුබල දෙන, මෙම වෙනස් කිරීමේ ක්‍රියාවලිය අප ස්වර්ගය හා සම්බන්ධ වන ආකාරයයි.
පසුතැවිලි වීමට වූ සභාපති නෙල්සන්ගේ ආරාධනය තෝරාගැනීමේ නිදහසේ මූලධර්මයයි. අපි අප විසින්ම පසුතැවිල්ල තෝරාගත යුතුයි. ශුභාරංචිය අපගේ හදවතට බල කළ නොහැකියි. වැඩිහිටි රෙන්ලන්ඩ් මෙසේ කිව්වා, “අපගේ ස්වර්ගික පියාණන්ගේ දෙමව්පිය පරමාර්ථය නම්, උන්වහන්සේගේ දරුවන්ට හරි දේ කරවීම නොවේ; උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගැනීමට සැලැස්වීමයි.”23
ළමා හා යෞවන වැඩසටහන මගින් ප්‍රතිස්ථාපනය කරන ලද වැඩසටහන් වලදී, විවිධ පිළිගැනීම් ලබාගැනීම සඳහා විවිධ අවශ්‍යතා 500 කට වඩා සම්පූර්ණ කරන්නට තිබෙනවා.24 අද, අත්‍යවශ්‍යයෙන්ම තිබෙන්නේ එකයි. එය ගැළවුම්කරුවාණන් මෙන් වීමට තෝරාගැනීමට ආරාධනයක්. අප මෙය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වචනය ලැබීමෙන් හා අපව අපගේ හොඳම අනුවාදය බවට වෙනස් කිරීමට ක්‍රිස්තුස්වහන්සේට ඉඩදීමෙන්.
මෙය ඉලක්ක තැබීමේ හෝ ස්වයං-වැඩිදියුණු කිරීමේ ව්‍යායාමයකට වඩා වැඩි දෙයකි. එනම් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් පිළිගනිමින්—එළිදරව්, තෝරාගැනීමේ නිදහස සහ පසුතැවීම තුළින් ස්වර්ගය සමග සම්බන්ධ වීමට මෙය අවස්ථාවකි.
නියැලීම හා පරිත්‍යාග කිරීම—“ඔවුන්ට නායකත්වය ගැනීමට ඉඩදෙන්න”25
අවසාන වශයෙන්, එනම් අපගේ කාලය හා දක්ෂතා ඒ සඳහා ලබාදීමෙන්, ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුල ගැඹුරින් ලබාගැනීම සඳහා අප එහි නිරත විය යුතුයි.26 අප සැමටම අර්ථවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය වන අතර මෙය විශේෂයෙන් නැගී එන පරම්පරාව සම්බන්ධයෙන් සත්‍යයක්. ඔවුන් හේතුවක් සොයනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලෝකයේ ශ්‍රේෂ්ඨතම හේතුවයි. සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන් මෙසේ කිව්වා: “මෙම ශුභාරංචිය ලොවට ගෙන යන ලෙස දෙවියන්වහන්සේ අපට අණකර ඇත. අද අපව එක්සත් කළයුතු හේතුව එයයි. ලෝකය තමන්ගේම විනාශයේ විපත්තියෙන් ගලවාගන්නේ ශුභාරංචිය පමණි. සියලු වර්ගයන්ට හා ජාතීන්ට අයත් පිරිමින් සහ ස්ත්‍රීන් සාමයෙන් එක්සත් කරන්නේ ශුභාරංචිය පමණි. මිනිස් පවුලට ප්‍රීතිය, සතුට හා ගැලවීම ගෙන එන්නේ ශුභාරංචිය පමණි.”27
වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පොරොන්දු වුණා, “අපි තරුණයින්ට ආරාධනා කිරීමෙන් හා ක්‍රියා කිරීමට ඉඩදීමෙන් ඔවුන්ව සවිබල ගන්වන විට සභාව ආශ්චර්යමත් ආකාරයෙන් ඉදිරියට යනු ඇත.”28 ක්‍රිස්තුස්වහන්සේගේ මේ උතුම් අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අපි බොහෝවිට තරුණයන්ට ආරාධනා කර හෝ ඉඩදී නැත. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ නිරීක්ෂණය කළා, “[අපගේ] යෞවනයන් [දෙවියන්වහන්සේගේ කාර්යයන්ගෙන්] යටපත් වී ඇත්නම්, ඔවුන් ලෝකය නිසා යටපත් වීමට වැඩි ඉඩක් ඇත.”29
නව වැඩසටහන තරුණ තරුණියන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමුකරනවා. ඔවුන් තමන්ගේම ඉලක්ක තෝරාගන්නවා. ගණපූර්ණය සහ පන්ති සභාපතිත්වයන් ඔවුන්ගේ නිසි කාර්යභාරය තුළ තබා තිබෙනවා. කොට්ටාශ යෞවන මන්ත්‍රණ සභාව, කොට්ටාශයේ මන්ත්‍රණ සභාව මෙන්ම ගැලවීම හා උසස් කිරීමේ කටයුතු කෙරෙහි අවධානය යොමුකරනවා.30 ගණපූර්ණයන් සහ පන්ති ඔවුන්ගේ රැස්වීම් ආරම්භ කරන්නේ දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති කාර්යය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදේශනයත් සමගයි.31
සභාපති නෙල්සන් සභාවේ යෞවනයන්ට මෙසේ කිව්වා: “ඔබ තෝරාගන්නේ නම්, ඔබට අවශ්‍ය නම්… ඔබට විශාල දෙයක, ශ්‍රේෂ්ඨ දෙයක, මහිමාන්විත දෙයක විශාල කොටසක් විය හැකිය! … ස්වාමින්වහන්සේ සදහටම මෙලොවට එවා ඇති හොඳම අය අතර ඔබත් සිටිනවා. වඩා බුද්ධිමත් හා ඥානවන්ත වීමට සහ පෙර කිසිඳු පරම්පරාවකට වඩා ලෝකයට වැඩි බලපෑමක් ඇති කරන්නට ඔබට හැකියාව තිබෙනවා!”32 තවත් අවස්ථාවක සභාපති නෙල්සන් යෞවනයින්ට මෙසේ පැවසුවා: “මට ඔබ ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා. මම ඔබට ආදරෙයි, එමෙන්ම ස්වාමින්වහන්සේත් එසේමයි. උන්වහන්සේගේ ශුද්ධවූ කාර්යයේ නියැලී සිටින අපි උන්වහන්සේගේ සෙනගයි.”33 යෞවනයෙනි, සභාපති නෙල්සන් ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය සහ මෙම කාර්යයට ඔබ කෙතරම් වැදගත්ද කියා ඔබට දැනෙනවාද?
දෙමාපියන් සහ වැඩිහිටි නායකයිනි, සභාපති නෙල්සන් මෙන් යෞවනයින් දැකීමට මම ඔබට ආරාධනා කරනවා. යෞවනයන්ට ඔබේ ආදරය හා විශ්වාසය දැනෙන විට, ඔබ ඔවුන්ට නායකත්වය ගන්නට දිරිමත් කර උගන්වන—පසුව ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත්වූ විට—ඔවුන්ගේ තීක්ෂ්ණ බුද්ධිය, හැකියාවන් සහ ශුභාරංචිය කෙරෙහි ඇති කැපවීම ගැන ඔවුන් ඔබව මවිතයට පත්කරයි.34 මෙම ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් කැපවී පරිත්‍යාග කිරීමට තෝරාගැනීමෙන් ලැබෙන ප්‍රීතිය ඔවුන්ට දැනෙයි. ශුභාරංචිය ඔවුන්ගේ හදවත් වල ගැඹුරටම යන අතර, එම කාර්යය ආශ්චර්යමත් ආකාරයෙන් ඉදිරියටම යයි.
පොරොන්දුව සහ සාක්ශිය
සබඳතා, එළිදරව්, තෝරාගැනීමේ නිදහස, පසුතැවීම සහ මෙම ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කිරීම—යන මෙම මූලධර්ම කෙරෙහි අප අවධානය යොමුකරන විට—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරට ගිලෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. නැවත පිහිටුවීම එහි අවසාන අරමුණ වන ඊශ්‍රායෙලයේ මිදීම සහ ක්‍රිස්තුස්වහන්සේ රජවරුන්ගේත් රජ ලෙස රජකම් කරන, සයොනය ස්ථාපිත කිරීම35 සඳහා ඉදිරියට යන බව අපට පෙනෙයි.
දෙවියන්වහන්සේ තම සෙනගව එදිනට සූදානම් කිරීම සඳහා අවශ්‍ය සියලු දේ දිගටම කරගෙන යන බවට මම සාක්ෂි දරනවා. “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට”36 අප සැවොම වෑයම් කරන විට, මෙම මහිමාන්විත කාර්යයේදී උන්වහන්සේගේ හස්තය අපට පෙනේවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.