සභාවේ නම සාකච්ඡා කර වෙනස් කළ නොහැක
ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා තුළින් එළිදරව් කර ඇති ස්වාමින්වහන්සේගේ අවවාදය අපි කැමැත්තෙන්ම පිළිපදින විට, විශේෂයෙන්ම එය අපගේ මූලික චින්තනයට පටහැනි නම්, නිහතමානීකම සහ පරිත්‍යාගය අවශ්‍ය නම්, ස්වාමින්වහන්සේ අපට ඒ සඳහා අමතර අධ්‍යාත්මික බලයක් ලබාදෙනවා.
2018 අගෝස්තු 16 වන දින පැවති මාධ්‍ය හමුවකදී සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “ස්වාමින්වහන්සේ විසින් තම සභාවේ නම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස එළිදරව් කිරීමේ ඇති වැදගත්කම මගේ මනසට කාවැදීමට සලස්වා තිබෙනවා. 1 උන්වහන්සේගේ කැමැත්තට එකඟව කටයුතු කිරීමට අපට අප ඉදිරියේ කාර්යයන් තිබෙනවා.” 2
ඊට දින දෙකකට පසු, අගෝස්තු 18 දා, මම සභාපති නෙල්සන් සමඟ කැනඩාවේ මොන්ට්‍රියෙල් හි සිටියා. පලෙයිස් ද කොන්ග්‍රේ හි පැවති අපේ සාමාජික හමුවෙන් පසු සභාපති නෙල්සන් වාර්තාකරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. “[සභාවේ නම නැවත ස්ථාපිත කිරීම] සහ වසර සියයකට වඩා වැඩි සම්ප්‍රදායක් නැවත හැරවීම අභියෝගයක් වීමට යන බව” ඔහු පිළිගත්තා. නමුත් ඔහු මෙහෙම එකතු කළා, සභාවේ නම සාකච්ඡා කර වෙනස් කළ නොහැකියි.” 3
සති හතකට පසු, සභාපති නෙල්සන් ප්‍රධාන සම්මන්ත්‍රණයේ කතා කළා: “ස්වාමින්වහන්සේ විසින් තම සභාවේ නම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස නියම කිරීමේ ඇති වැදගත්කම මගේ මනසට කාවැදීමට සලස්වා තිබෙනවා.… ‘මක්නිසාද මාගේ සභාව එලෙස හඳුන්වනු ඇත”’ කියා පැවසුවේද ගැලවුම්කරුවාණන්මයි. ඉන්පසු සභාපති නෙල්සන් නැවතත් මෙසේ පැවසුවා, “සභාවේ නම සාකච්ඡා කර වෙනස් කළ නොහැක.” 4
හොඳ ප්‍රශ්නයක්
හොඳ ප්‍රශ්නයක් මතුවුණා: ඇයි දැන්, දශක ගණනාවක් තිස්සේ අපි “මොර්මොන්” යන අනුවර්ථ නාමය වැළඳගෙන සිටියා නේද? “මොර්මොන් ටැබර්නකල් ගීතිකා කණ්ඩායම,” “මම මොර්මොන් කෙනෙක්” යන වීඩියෝ පට, “මම මොර්මොන් පිරිමි ළමයෙක් වෙමි” යන ප්‍රාථමික ගීතය?
ක්‍රිස්තුස්වහන්සේගේ දහම වෙනස් වන්නේ නෑ එමෙන්ම එය සදාකාලිකයි. කෙසේවෙතත් ගැලවුම්කරුවාණන්ගේ කාර්යයේ නිශ්චිත හා වැදගත් පියවර නියම වේලාවට එළිදරව් කෙරෙනවා. අද උදෑසන සභාපති නෙල්සන් මෙසේ පැවසුවා “නැවත පිහිටුවීම ක්‍රියාවලියක් මිස සිද්ධියක් නොවේ.” 5 ඒවගේම ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා, “සියලුම දේවල් නියමිත කාලයේදී සිදුවිය යුතු වන්නේය.” 6 දැන් අපේ කාලයයි, අපි සභාවේ එළිදරව් කළ නාමය නැවත ස්ථාපිත කරමින් සිටිනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තන්ගෙන් යුත් සභාවේ අනන්‍යතාවයට සහ ඉරණමට අවශ්‍ය වන්නේ අපව උන්වහන්සේගේ නමින් හඳුන්වනු ලැබීමයි. මම මෑතකදී, සභාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා “මෙම සභාව උතුරු සහ දකුණු අමෙරිකාව පුරවාවි—එය මුළු ලෝකයම පුරවාවි” යන අනාවැකිය ප්‍රකාශ කළ, ඔහායෝ, කර්ට්ලන්ඩ් හි සිටියා. 7 මෙම කාලපරිච්ඡේදයේ කාර්යය ස්වාමින්වහන්සේ විස්තර කළේ “පුදුමාකාර ක්‍රියාවක් හා පුදුමයක්” ලෙසයි. 8 උන්වහන්සේ විසින් “මුළු පොළොවටම ආශිර්වාද කිරීමට” ඉඩ සලසමින් “අවසාන කාලයේදී ඉටු[වන] ගිවිසුමක්” ගැන කතා කළා. 9
මෙම සම්මන්ත්‍රණයේ වචන භාෂා 55 කට සජීවීව පරිවර්තනය වෙනවා. අවසානයේදී, මෙම වචන රටවල් සහ ප්‍රදේශ 220 කට වැඩි ගණනක භාෂා 98 කින් ඇසීමට සහ කියවීමට හැකි වෙනවා.
ගැලවුම්කරුවාණන් නැවත තේජසින් හා මහිමයෙන් යුතුව පැමිණෙන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් සියලු ජාතීන්, සියලු ජනයන්, සියලු වර්ගයන්, සහ ලෝකයේ සියලුම සංස්කෘතීන් අතර සිටියි.
සභාවේ වර්ධනය වන බලපෑම
නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ බලපෑම තිබෙනුයේ සභාවේ සාමාජිකයින් මත පමණක් නොවේ. අපේ කාලයේ ස්වර්ගීය ප්‍රකාශනයන් නිසා, ශුද්ධලියවිලි, සහ ශුද්ධාත්මයාණන්ගේ බලවත් දීමනාව නැවත පොළොවේ පිහිටුවනු ලැබූ අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අවිශ්වාසයේ අඳුරු සෙවනැලි ලෝකය අඳුරු කරන විට අපි කන්ද මත ආලෝකයක් වී සිටිනවා. ලෝකයට ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල වලාකුළු වලින් වැසී යාමට බොහෝදෙනෙක් ඉඩ හැරියත්, නමුත්, අපි “[අපේ] ස්ථානයෙන් ඉවත් [වන්නේ නෑ].” 10 අපගේ සාමාජිකත්වය අතර නැති ක්‍රිස්තියානුවන් අපගේ භූමිකාව සහ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ නිසැක සාක්ෂිය පිළිගනියි. අප දෙස සැකයෙන් බලන ක්‍රිස්තියානුවන් පවා අපව මිතුරන් ලෙස වැළඳගනු ලබයි. මේ ඉදිරි දින වලදී, අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නමින් හඳුන්වනු ලැබෙයි.
සභාවේ සැබෑ නම ඉදිරියට ගෙන යාමට ඔබ ගත් උදාර උත්සාහයට ඔබට ස්තූතිවන්ත වෙනවා. වසර තුනකට පෙර සම්මන්ත්‍රණයේදී, සභාපති නෙල්සන් අපට මෙසේ පොරොන්දු වුණා: “ගැලවුම්කරුවාණන්ගේ සභාවේ නම … නිවැරදි ලෙස භාවිතා කරන්නට වූ අපගේ තදබල අවධානය, වර්ධනය වූ ඇදහිල්ලකටත් උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් තුල විශාල ආත්මීය බලයකටත් උපකාරී වනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා.” 11
මෙම පොරොන්දුව ලොව පුරා සිටින කැපවූ ගෝලයන් විසින් සාක්‍ෂාත් කරගෙන තිබෙනවා. 12
සභාවේ සම්පූර්ණ නම හුවමාරු කරගැනීම සමහරවිට තමාට නුහුරු දෙයක් ලෙස දකින බව නැගෙනහිර එක්සත් ජනපදයේ සහෝදර ලෝරි අහෝලා පිළිගන්නවා. නමුත් අනාගතවක්තෘවරයාගේ උපදෙස් නිසා ඔහු එය නොනවත්වා කරගෙන යනවා. එක් අවස්ථාවකදී ඔහු වෙනත් ඇදහිල්ලක මිතුරෙකුව එක සභාවක බැහැදකිමින් සිට තිබෙනවා. මෙන්න ඔහුගේ වචන:
අඳුනන කෙනෙක් මෙහෙම ඇහුවා “ඔයා මොර්මොන් කෙනෙක්ද?”
මම මෙහෙම කිව්වා ‘මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක්, ඔව්.’ ‘මොර්මොන් සභාව විශ්වාස කරනවාද …?’ යනුවෙන් පටන් ගනිමින් ඔහු මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට පටන්ගත්තා. ඒ සෑම අවස්ථාවකදීම මම මගේ පිළිතුර ආරම්භ කළේ: ‘නැවත පිහිටුවන ලද [යේසුස්] ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ, අපි විශ්වාස කරන්නේ …’ යන වැකියෙනුයි.
“… මම ‘මොර්මොන්’යන නම නොපිළිගන්නා බව ඔහු දුටු විට ඔහු මගෙන් මෙහෙම ඇහුවා ‘ඔබ මොර්මොන් කෙනෙක් නොවේද?’
“ඉතිං මොර්මොන් කියන්නේ කවුද කියලා ඔහු දන්නවද කියා මම ඔහුගෙන් ඇහුවා—ඔහු දැනගෙන හිටියේ නෑ. මොර්මොන් කියන්නේ අනාගතවක්තෘවරයෙකු බවත් … [ඔහු] සමඟ හවුල්කරුවෙකු වීම මට ගෞරවයක් බවත් මම ඔහුට පැවසුවා.
“‘නමුත්,’ මම තවදුරටත් කිව්වා, ‘මොර්මොන් මගේ පව් නිසා මියගියේ නෑ. මොර්මොන් (මා වෙනුවෙන්) ගෙත්සෙමනේදී දුක් වින්දේවත් … නැතහොත් කුරුසියේදී මිය ගියේවත් නෑ. … මාගේ දෙවියන්වහන්සේ සහ මාගේ ගැලවුම්කරුවාණන් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. … ඒ වගේම උන්වහන්සේගේ නමින් මාව හඳුනාගන්නවාට මම කැමතියි. …’
තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයෙන් පසු මෙම පුද්ගලයා කිව්වේ ‘ඉතිං ඔබ ක්‍රිස්තියානුවෙක්!’ කියායි.’” 13
සභාපති නෙල්සන්ගේ වචන මතකද? “ස්වාමින්වහන්සේගේ සභාවේ නිවැරදි නාමය නැවත පිහිටුවීමට අපි අපේ උපරිමය කරනවා නම්, මෙම සභාව අයිති වන උන්වහන්සේ, උන්වහන්සේගේ බලය හා ආශිර්වාදය පසුදවස් වල ශුද්ධවන්ත ප්‍රධානීන් මතට අප කෙදිනවත් දැක නැති ආකාරයට වත්කරනු ඇති බව මම පොරොන්දු වෙනවා.” 14
ස්වාමින්වහන්සේ සෑමවිටම මාර්ගය විවෘත කරයි
ස්වාමින්වහන්සේ සෑම විටම තම පොරොන්දු ඉටුකරනවා. අපි උන්වහන්සේගේ කාර්යය කරන විට උන්වහන්සේ අපට මාර්ගය විවෘත කරනවා.
ChurchofJesusChrist.org සහ ChurchofJesusChrist.com යන අන්තර්ජාල වසම් මිලදී ගැනීමට වසර ගණනාවක් තිස්සේ අපි බලාපොරොත්තුවෙන් සිටියා. ඒ එකක්වත් අඩු මිලට තිබුණේ නෑ. සභාපති නෙල්සන්ගේ නිවේදනය ලබාදෙන කාලය වන විට, ඒ දෙකම හදිසියේම ලබාගත හැකිවුණා. එය ආශ්චර්යයක්. 15
සභාවට දිගු කලක් තිස්සේ සම්බන්ධ වී තිබූ නම් සංශෝධනය කිරීමේ අපගේ උත්සාහය ස්වාමින්වහන්සේගේ විසින් විශාල කළා.
ඇදහිල්ලෙන් ඉදිරියට යන විට, මොර්මොන් ටැබර්නකල් ගීතිකා කණ්ඩායමේ නමද දේවමාළිගා චතුරශ්‍රයේ ටැබර්නකල් ගීතිකා කණ්ඩායම ලෙස වෙනස් වුණා. සෑම මසකම මිලියන 21 කට වැඩි ප්‍රමාණයක් පිවිසුණු, LDS.org වෙබ් අඩවිය Church ofJesusChrist.org වෙත මාරු කරනු ලැබුවා. 16 LDS ව්‍යාපාර විද්‍යාලයේ නම එන්සයින් විද්‍යාලය ලෙස වෙනස් කරනු ලැබුවා. Mormon.org යන වෙබ් අඩවියේ නම ChurchofJesusChrist.org වෙත මාරුකළා. “මොර්මොන්” හෝ “LDS” යන නම එකතු වී තිබූ නිෂ්පාදන වල නම් දහසකට වඩා වෙනස් කර තිබෙනවා. ඇදහිලිවන්ත පසුදවස් වල ශුද්ධවන්තයන් ඔවුන්ගේ වෙබ් අඩවි, හඬපට, සහ ට්විටර් ගිණුම් සකස් කළා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් නව සංකේතයක් අපි තෝරාගත්තා.
“එම සංකේතයේ මධ්‍යයේ තෝර්වල්ඩ්සන්ගේ Christus කිරිගරුඬ පිළිමයේ නිරූපණයක් තිබෙනවා. මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ, ජීවමාන ස්වාමින්වහන්සේ තමා වෙතට එන සියල්ලන් වැලඳගැනීමට දෑත් දිගුකරන බව එය නිරූපණය කරනවා.
සංකේතමය වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආරුක්කුවක් යට සිටගෙන සිටින අතර, නැවත නැගිටි ගැලවුම්කරුවාණන් සොහොනෙන් මතුවීම ගැන අපට එය මතක්කර දෙනවා.” 17
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, එහි නමේ ආකාර භාෂා 50 කට වඩා වැඩි ගණනක මුද්‍රණ සකස් කර තිබෙනවා. ලොව පුරා නව වසම් නම් ලබාගෙන තිබෙනවා.
අන් අයගේ උදව් සඳහා අගය කිරීම
අපගේ නිවැරදි නමින් හැඳින්වීමට ඇති අපගේ ආශාවට ගරු කළ බොහෝ යහපත් හා කරුණාවන්ත මිනිසුන්ව අපි අගය කරනවා. “පසුදවස් වල ශුද්ධවන්තයන්” ගැන සඳහන් කරමින් කතෝලික කාදිනල්වරයෙක් උපුටා දැක්වූ ලිපියක් මම මෑතකදී කියෙව්වා. 18 නැගෙනහිර එක්සත් ජනපදයේ මාසයකට පෙර මම ක්‍රිස්තියානි සභාවේ නායකයෙකු හමුවීමට ගිය විට, ඔහුගේ පළමු සඳහන් කිරීමේදී අපේ සභාව සම්පූර්ණ නමින්ම හැඳින්වූ අතර, පසුව “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව” ලෙස එය හැම වෙලාවකදීම අනුගමනය කළා.
අපේ නමට වචන හයක් එකතු කිරීම මාධ්‍යයට සුදුසු නොවන බව අපට වැටහී ගිය නමුත් සභාපති නෙල්සන් පැවසූ පරිදි “වගකිව යුතු මාධ්‍ය අපේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමේදී සානුකම්පිත වෙයි.” 19 අප ඉදිරිපත් කරන නම භාවිතා කරමින් සංස්කෘතික, මලල ක්‍රීඩා, දේශපාලන හෝ ප්‍රජා සංවිධාන වෙත ලබාදෙන එම සැලකිල්ලම අපටත් ලබාදීම ගැන ඔබට ස්තූතියි.
අපේ මෙහෙවරේ බැරෑරුම්කම ඉවත් කිරීමට හෝ අඩු කිරීමට බලාපොරොත්තු වන කිහිප දෙනෙක්ම අපට “මොර්මොන්වරුන්” හෝ “මොර්මොන් සභාව” ලෙස දිගටම අමතනවා. වසර 200 කට ආසන්න අපේ නමින් අපව හැඳින්වීමේ අපේ අභිලාෂයට ගරු කරන ලෙස අපි කාරුණිකව, සාධාරණ මාධ්‍යවේදීන්ගෙන් නැවතත් ඉල්ලා සිටිනවා.
පසුදවස් වල ශුද්ධවන්තයින්ගේ ධෛර්යය
සභාවේ නම නිර්භීතව ප්‍රකාශ කළ පසුදවස් වල ශුද්ධවන්තයින් දහස් ගණනක් සිටිනවා. අපි අපේ යුතුකම ඉටුකරන විට අනෙක් අයද එය අනුගමනය කරයි. ටහිටි සිට එන මෙම කතාවට මම කැමතියි.
සභාපති නෙල්සන්ගේ උපදෙස් පිළිපැදීමට දස හැවිරිදි ඉරියුරා ජීන් තීරණය කළා.
“ඇගේ පාසල් පන්තියේදී ඔවුන් සති අන්තය ගැන කතා කළ අතර … ඉරියුරා සභාව ගැන කතා කළා.
“ඇගේ ගුරුවරිය වන වයිට් පිෆාවෝ මෙසේ ඇසුවා, ‘ ආහ්, ඔබ මොර්මොන් කෙනෙක්?’
“ඉරියුරා නිර්භීතව මෙසේ කිව්වා, ‘නෑ, … මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක්!’
ඇගේ ගුරුවරිය පිළිතුරු දුන්නා, ‘ඔව්, … ඔබ මොර්මොන් කෙනෙක්.’
“ඉරියුරා අවධාරණය කළා, ‘නෑ ගුරුතුමියනි, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක්!’
“ඉරියුරාගේ ස්ථිර විශ්වාසය ගැන පිෆාවෝ මෙනවිය මවිතයට පත්වූ අතර ඇගේ සභාවේ [දිගු] නම භාවිතා කිරීමට ඇය මෙතරම් තදින් උත්සහ කරන්නේ මන්දැයි කල්පනා කළා. [ඇය සභාව පිළිබඳ තව ඉගෙනගැනීමට තීරණය කළා.]
“[පසුව,] වයිට් පිෆාවෝ සහෝදරිය බව්තීස්ම වූ අතර සභාපති නෙල්සන්ගේ උපදෙස් වලට ඉරියුරා අවනත වූවාට [ඇය කෘතඥතාව පළකළා].” 20
“සභාවේ නම සාකච්ඡා කර වෙනස් කළ නොහැක.” අපි ඇදහිල්ලෙන් ඉදිරියටම යමු. ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා තුළින් හෙළිදරව් කර ඇති ස්වාමින්වහන්සේගේ අවවාදය අපි කැමැත්තෙන්ම පිළිපදින විට, විශේෂයෙන්ම එය අපගේ මූලික චින්තනයට පටහැනි නම්, නිහතමානීකම සහ පරිත්‍යාගය අවශ්‍ය නම්, ස්වාමින්වහන්සේ අපට ඒ සඳහා අමතර අධ්‍යාත්මික බලයක් ලබාදෙනවා, ඒවගේම අපට උපකාර කිරීමට සහ අප සමඟ සිටීමට උන්වහන්සේගේ දේවදූතයන් එවනවා. 21 ස්වාමින්වහන්සේගේ සහතිකය සහ අනුමැතිය අපට ලැබෙනවා.
මම අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා වන, සභාපති රසල් එම්. නෙල්සන් මත රැඳී තිබෙන ස්වර්ගීය බලය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඔහුගේ වඩාත් අවංකම අභිලාෂය නම් ස්වාමින්වහන්සේව සතුටු කර අපේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමයි. ශුද්ධ වූ, පෞද්ගලික අත්දැකීමෙන්, ඔහු කෙරෙහි වූ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය ගැන මම සාක්ෂි දරනවා. ඔහු දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා.
යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.