දෙවියන්වහන්සේගේ කැමැත්ත දෙසට හැරීම
අපගේ පුද්ගලික හැරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලෝකය සමඟ බෙදාගැනීමේ වගකීම ඇතුළත් වෙනවා.
අද දින සභාපති රසල් එම්. නෙල්සන්ගේ ධර්මදූත සේවය සඳහා වූ ප්‍රබල අනාවැකිමය කැඳවීමට සහ සභාපති එම්. රසල් බැලර්ඩ්ගේ සහ වැඩිහිටි මාර්කොස් අයිදුකයිටීස්ගේ ප්‍රබෝධමත් ධර්මදූත පණිවිඩ සඳහා මම ස්තූතිවන්ත වෙනවා.
පසුගිය වසරේ අගභාගයේදී මහා බ්‍රිතාන්‍යයේ ධර්මදූත පැවරුමක්, ධර්මදූතවරයෙකු ලෙස සේවය කිරීමට මා ගත් තීරණයට මූලික වූ වටිනා අධ්‍යාත්මික සිදුවීම් ගැන මෙනෙහි කිරීමට මට ඉඩ සැලසුවා.1 මට වයස අවුරුදු 15 දී, මගේ ආදරණීය වැඩිමහල් සොහොයුරා වන ජෝට වයස අවුරුදු 20 යි—ඒ එවිට ධර්දූමත සේවයක් කිරීමට සුදුසුකම් ලැබිය යුතු වයස. එක්සත් ජනපදයේ, කොරියානු ගැටුම නිසා, සේවය කිරීමට අවසර ලැබුණේ ඉතා සුළු පිරිසකට පමණයි. වසරකට එක් කොට්ටාශයකින් කැඳවිය හැක්කේ එක් අයෙකුව පමණයි.2 අපේ පියා සමඟ මෙම හැකියාව ගැන කතා කරන ලෙස අපගේ සභානායකවරයා ජෝගෙන් ඉල්ලා සිටීම පුදුමයට කරුණක් වුණා. ජෝ වෛද්‍ය විද්‍යාලය සඳහා අයදුම්පත් සකස් කරමින් සිටියා. සභාවේ ක්‍රියාශීලී නොවූ අපේ තාත්තා, ඔහුට උදව් කිරීමට මූල්‍යමය සූදානමක් කර තිබූ අතර ජෝ ධර්දූමත සේවයක් කරනවාට කැමැත්තක් දැක්වූයේ නෑ. ජෝට වෛද්‍ය විද්‍යාලයට යාමෙන් වඩා හොඳ දෙයක් කළ හැකි බව තාත්තා යෝජනා කළා. මේක අපේ පවුලට ලොකු ප්‍රශ්නයක් වුණා.
මගේ නැණවත් සහ ආදර්ශවත් වැඩිමහල් සහෝදරයා සමඟ කළ කැපීපෙනෙන සාකච්ඡාවකදී, අපි නිගමනය කළේ ධර්දූමතයක සේවය කිරීම සහ ඔහුගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීම පිළිබඳ ඔහුගේ තීරණය ප්‍රශ්න තුනක් මත රඳාපවතින බවයි: (1) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දිව්‍යමයද? (2) මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනයද? (3) ජෝසෆ් ස්මිත් යනු නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයාද? මෙම ප්‍රශ්න වලට පිළිතුර ඔව් නම්, කලින් වෛද්‍යවරයකු වීමට වඩා ජෝට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලොවට ගෙනයාමෙන් වඩා හොඳ දෙයක් කළ හැකි බව පැහැදිලි වුණා.3
එදා රෑ මම උනන්දුවෙන් සහ සැබෑ චේතනාවෙන් යාච්ඤා කළා. ප්‍රතික්ෂේප කළ නොහැකි බලවත් ආකාරයකින්, මෙම ප්‍රශ්න තුනටම පිළිතුර ඔව් යන බව ආත්මයාණන්වහන්සේ විසින් මට තහවුරු කළා. මෙය මට මහත් විශාල සිදුවීමක් වුණා. මගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා මා ගන්නා සෑම තීරණයකටම මෙම සත්‍යයන් බලපාන බව මට වැටහුණා. අවස්ථාවක් ලැබුණොත් මම ධර්මදූතයක් සේවය කරන බවත් මම දැනසිටියා. ජීවිත කාලය පුරාවටම සේවය සහ අධ්‍යාත්මික අත්දැකීම් තුලින්, සැබෑ හැරීම යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත සවිඥානිකව පිළිගැනීමේ ප්‍රතිඵලයක් බවත්, ශුද්ධාත්මයාණන්ට අපගේ ක්‍රියාවන් වලදී අපට මගපෙන්විය හැකි බවත් මම තේරුම්ගත්තා.
ලෝකයේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳ සාක්ෂියක් මට ඒ වෙනකොටත් තිබුණා. එදා රාත්‍රියේ මට මොර්මොන්ගේ පොත4 සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ගැන අධ්‍යාත්මික සාක්ෂියක් ලැබුණා.
ජෝසෆ් ස්මිත් යනු ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක්
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක් වූ බව ඔබේ යාච්ඤා තුළින් ඔබේ හදවතින් දැනගත් විට ඔබේ සාක්ෂිය ශක්තිමත් වෙයි. පසුගිය වසර අට තුළ, ප්‍රේරිතවරුන් දොළොස්දෙනා තුළ මගේ පැවරුම් වලින් එකක් වුණේ, ජෝසෆ් ස්මිත්ගේ සියලු කැපීපෙනෙන ලිපි ලේඛන සහ ශුද්ධවන්තයින්ගේ වෙළුම් ප්‍රකාශයට පත්කිරීමට හේතු වූ පර්යේෂණ සමාලෝචනය කර කියවීමයි.5 අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ ජීවිතය සහ කලින් නියම කරන ලද අනාවැකිමය දේවසේවය පිළිබඳ ආශ්වාදජනක තොරතුරු කියවීමෙන් පසු ඔහු ගැන මගේ සාක්ෂිය සහ ප්‍රශංසාව බෙහෙවින් ශක්තිමත් වී වැඩි දියුණු වෙලා තිබෙනවා.
දෙවියන්වහන්සේගේ ත්‍යාගය සහ බලය මගින් ජෝසෆ් විසින් මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීම නැවත පිහිටුවීම සඳහා පදනම වුණා.6 මොර්මොන්ගේ පොත අභ්‍යන්තරව ස්ථාවරයි, අලංකාර ලෙස ලියා තිබෙනවා, ඒවගේම ජීවිතයේ විශිෂ්ට ප්‍රශ්න වලට පිළිතුරු අඩංගු වෙනවා. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්. ජෝසෆ් ස්මිත් ධර්මිෂ්ඨ බවත්, ඇදහිල්ලෙන් පිරුණු බවත්, මොර්මොන්ගේ පොත පෙරට ගෙන ඒමේදී ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක් බවත් මම සාක්ෂි දරනවා.
දහම සහ ගිවිසුම් හි වාර්තා කර ඇති එළිදරව් සහ සිදුවීම් ගැලවීම සහ උසස් කිරීම සඳහා අවශ්‍ය යතුරු, නියෝග, සහ ගිවිසුම් සපයනවා. ඒවා පිහිටෙව්වේ සභාව පිහිටුවීමට අවශ්‍ය අත්‍යවශ්‍ය කරුණු පමණක් නොවේ නමුත් ජීවිතයේ අරමුණ අවබෝධ කරගැනීමට සහ අපට සදාකාලික ඉදිරිදර්ශනයක් ලබාදෙන ගැඹුරු දහමක්ද ඒවා සපයනවා.
ජෝසෆ් ස්මිත්ගේ අනාවැකිමය භූමිකාව ගැන බොහෝ උදාහරණ වලින් එකක් දහම සහ ගිවිසුම් 76 වන කොටසේ දක්නට ලැබෙනවා. එය 1832 පෙබරවාරි 16 වන දින අනාගතවක්තෘ ජෝසෆ් සහ සිඩ්නි රිග්ඩන් විසින් ලැබීමට ආශිර්වාදිත වූ, රාජ්‍යයන්හි මහිමය ඇතුළු, ස්වර්ගයේ දර්ශනය පිළිබඳ පැහැදිලි වාර්තාවක්. එකල තිබූ සභා වලින් අතිමහත් බහුතරයක් උගන්වමින් සිටියේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම බොහෝ මිනිසුන්ට ගැලවීම ලබා නොදෙන බවයි. කීපදෙනෙක් බේරෙනු ඇතැයි විශ්වාස කරන ලද අතර, අතිමහත් බහුතරයක් අතිශය බිහිසුණු සහ කිව නොහැකි තීව්‍රතාවයේ නිමක් නැති වධ හිංසා ඇතුළු, අපායට හා සාපයට හසුවනු ඇති බව විශ්වාස කළා.7
ඔවුන්ගේ පෙර ආත්මික තත්වයේදී නිර්භීත වූ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ගෙන් බහුතරයක් අවසාන විනිශ්චයෙන් පසුව අති මහත් ලෙස ආශිර්වාද ලබන එම මහිමයේ තත්වයන් පිළිබඳ මහිමාන්විත දර්ශනයක්, 76 වැනි කොටසේ අඩංගු එළිදරව්වේ ඇතුළත් වෙනවා.8 මහිමයේ තත්ත්ව තුනේ දර්ශනයේ, “සියලු තේරුම්ගැනීම් අභිබවන”9 අවම මහිමය, බහුතරයක් අපායට හා සාපයට යන බවට එවකට පැවති ප්‍රබල නමුත් වැරදි මූලධර්මය සෘජුවම ප්‍රතික්ෂේප කිරීමක්.
ජෝසෆ් ස්මිත්ගේ වයස අවුරුදු 26 ක් පමණක් බවත්, සීමිත අධ්‍යාපනයක් තිබූ බවත්, බයිබලය පරිවර්තනය කරන ලද සම්භාව්‍ය භාෂා වලට එතරම් නිරාවරණයක් නොමැති බවත් ඔබ තේරුම්ගන්නා විට, ඔහු සැබවින්ම ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක් බව ඔබට තේරෙයි. 76 වන කොටසේ 17 වන පදයේ, යොහාන්ගේ ශුභාරංචියේ භාවිතා කර ඇති ශාපලත් වෙනුවට අධර්මිෂ්ඨයන් යන වචනය භාවිතා කිරීමට ඔහුට පෙළඹවීමක් ලැබී තිබුණා.10
වසර 45 කට පසු ඇන්ග්ලිකන් සභාවේ නායකයෙකු සහ ශාස්ත්‍රීය වශයෙන් පිළිගත් සම්භාව්‍ය විශාරදයෙකු11 වන The Life of Christ12 ලිවූ, ෆ්‍රෙඩ්රික් ඩබ්. ෆාරාර් විසින්ද, බයිබලයේ කිං ජේම්ස් අනුවාදයේ ශාපලත් යන්නෙහි අර්ථ දැක්වීම හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී ඇතිවූ දෝෂයක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කිරීම සිත්ගන්නා කරුණක්.13
අපේ කාලයේ, බොහෝ දෙනෙක් පිළිගෙන ඇත්තේ පාපයේ විපාකයක් නොතිබිය යුතු බවයි. පසුතැවිලි වීමකින් තොරව පාපය කොන්දේසි විරහිතව අනුමත කිරීමට ඔවුහු සහාය වෙනවා. අපගේ එළිදරව් කරන ලද දහම, බොහෝ මිනිසුන් සදාකාලයටම නිරයට හා අපායට හෙළාදකිනු ඇතැයි යන අදහස ප්‍රතික්ෂේප කරනවා පමණක් නොවේ, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සහභාගීකරුවන් වීමට සහ ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියන්නට පුද්ගලික පසුතැවිල්ල ආඥා කළ පූර්ව අවශ්‍යතාවයක් බව තහවුරු කරනවා.14 උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම සඳහා ජෝසෆ් ස්මිත් සැබවින්ම ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක් වූ බවට මම සාක්ෂි දරනවා!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම නිසා, පසුතැවිල්ල සහ “ධර්මිෂ්ඨකමේ ක්‍රියා”15 යන දෙකෙහිම වැදගත්කම අපිට තේරෙනවා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සහ දේවමාළිගාවේ සිදුකරන ලද ඒවා ඇතුළුව උන්වහන්සේගේ ගැලවීමේ නියෝග සහ ගිවිසුම් වල අතිමහත් වැදගත්කම අපිට තේරෙනවා.
“ධර්මිෂ්ඨකමේ ක්‍රියා” හැරීමෙන් ජනිත වන අතර ඒවා එහි ඵලයි. සැබෑ හැරීමක් ඇතිවන්නේ සවිඥානික පිළිගැනීම සහ දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමට ඇති කැපවීම මගිනුයි.16 හැරීමෙන් ගලා එන ප්‍රතිවිපාක සහ ආශිර්වාද රාශිය, මේ ජීවිතයේ කුණාටු නොතකා—සැබෑ සහ ස්ථිර සාමය සහ අවසාන සතුට15 පිළිබඳ පුද්ගලික සහතිකයයි.
ගැලවුම්කරුවාණන් වෙත හැරීම ස්වභාවික මිනිසෙකුව ශුද්ධ වූ, නැවත ඉපදුණු, පවිත්‍ර වූ පුද්ගලයෙකු බවටත්—ක්‍රිස්තුස් වන යේසුස්වහන්සේ තුළ නව මැවිල්ලක් බවටත් පත්කරනවා.18
බොහෝ දෙනෙක් සත්‍යයෙන් වැළකී සිටින්නේ එය කොහෙන් සොයාගත යුතු දැයි ඔවුන් නොදන්නා බැවිනි
හැරීමෙන් ගලා එන බැඳීම් මොනවාද? ලිබර්ටි සිරගෙදරදී, අනාගතවක්තෘ ජෝසෆ් සඳහන් කළේ බොහෝ දෙනෙක්ව “සත්‍යයෙන් සඟවා ඇත්තේ මක්නිසාද එය සොයාගන්නේ කොතැනදැයි ඔවුන් නොදන්නා නිසා”19 බවයි.
දහම සහ ගිවිසුම් සඳහා ස්වාමින්වහන්සේගේ පෙරවදනෙහි, අප සඳහා ස්වාමින්වහන්සේගේ අරමුණ පිළිබඳ විශාල පින්තූරය පිළිබඳ ප්‍රකාශයක් දක්වා තිබෙනවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන මම, පොළොවේ ජීවත් වන්නවුන් හට පැමිණෙන්නට තිබෙන එම විපත්තිය දැන, මාගේ සේවකයා වූ ජෝසෆ් ස්මිත් කනිෂ්ඨ කැඳවා, ස්වර්ගයේ සිට ඔහුට කතා කළෙමි, තවද ඔහුට ආඥාවන් ලබාදුන්නෙමි.” උන්වහන්සේ තවදුරටත් මෙසේ උපදෙස් දුන්නා, “එනම් මාගේ ශුභාරංචියේ පූර්ණත්වය රජවරුන් සහ පාලකයන් ඉදිරියේ ලෝකයේ අන්තයන් දක්වා දුර්වල සහ සරල අයවළුන් වෙතින් ප්‍රකාශ කරනු ලබනු පිණිසය.”20 එයට පූර්ණ කාලීන ධර්මදූතවරුන් ඇතුළත් වෙනවා. ඒකට අපි හැමෝවම ඇතුළත් වෙනවා. මෙය දෙවියන්වහන්සේගේ කැමැත්තට හැරීමෙන් ආශිර්වාද ලත් සෑම කෙනෙකුටම එය ලේසර් වැනි අවධානයක් විය යුතුයි. උන්වහන්සේගේ හඬ සහ උන්වහන්සේගේ දෑත් වීමට ගැලවුම්කරුවාණන් අපට කරුණාවෙන් ආරාධනා කරනවා.21 ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අපගේ මාර්ගෝපදේශක ආලෝකය වෙයි. ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට මෙසේ ඉගැන්වූවා, “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන්ට උගන්වන්න.”22 එමෙන්ම ජෝසෆ් ස්මිත්ට උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “මාගේ ශුභාරංචිය නොලැබූ සියලු ප්‍රාණීන් වෙතට එය දේශනා කරන්න.”23
පාස්කු ඉරිදා සහ පාස්කු උත්සවය වූ 1836 අප්‍රියෙල් 3 වන දින කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපකිරීමෙන් සතියකට පසු, ස්වාමින්වහන්සේ ජෝසෆ් සහ ඔලිවර් කවුඩ්‍රිට විශිෂ්ට දර්ශනයකින් දර්ශනය වුණා. ස්වාමින්වහන්සේ දේවමාළිගාව පිළිගෙන මෙසේ ප්‍රකාශ කළා, “තවද මාගේ ජනතාවගේ හිස්මත වගුරුවන ආශිර්වාදයන්හි ආරම්භය මෙය වන්නේය.”24
මෙම දර්ශනය අවසන් වූ පසුව, මෝසෙස් පෙනී සිටිමින්, “තවද පොළොවේ සතර දිග්භාගයෙන් ඊශ්‍රායෙලය එක්රැස් කිරීමටද, තවද උතුරු දේශය වෙතින් ගෝත්‍ර දහයට මගපෙන්වීමටද එම යතුරු අපට ලබාදුන්නා.”25
සභාපති රසල් එම්. නෙල්සන්, වර්තමානයේ මෙම යතුරු අතැතිව සිටින අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා අද උදෑසන මෙසේ ඉගැන්වුවා: “තරුණයෙනි, ඊශ්‍රායෙල්හි පොරොන්දු වූ එක්රැස් කිරීම පැවැත්වෙන මේ කාලය සඳහා ඔබව වෙන්කර තිබෙනවා. ඔබ ධර්මදූත වල සේවය කරන විට, මෙම පෙර නොවූ විරූ සිදුවීමෙහි ඔබ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනවා!”26
ශුභාරංචිය බෙදාගැනීමට වූ ගැලවුම්කරුවාණන්ගේ නියෝගයට අප කවුරුන්ද යන්නෙහි කොටසක් වීමට නම්, අපි දෙවියන්වහන්සේගේ කැමැත්තට හැරිය යුතුයි; අපි අපේ අසල්වාසීන්ට ප්‍රේම කළ යුතුයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිට වූ ශුභාරංචිය බෙදාගත යුතුයි, සහ පැමිණ බලන්නට හැමෝටම ආරාධනා කළ යුතුයි. සභාවේ සාමාජිකයන් වශයෙන්, 1842 දී Chicago Democrat (චිකාගෝ ඩිමොක්‍රටික්) හි කතුවරයා වූ ජෝන් වෙන්ට්වර්ත්ට අනාගතවක්තෘ ජෝසෆ් දුන් පිළිතුර අපි අගය කරනවා. ඔහු සභාව ගැන තොරතුරු ඉල්ලා සිටියා. ඇදහිල්ලේ ලිපි දහතුනට පෙරවදනක් ලෙස “සත්‍යයේ ප්‍රමිතිය” භාවිතා කරමින් ජෝසෆ් සිය ප්‍රතිචාරය අවසන් කළා. එම ප්‍රමිතිය සංක්ෂිප්ත ආකාරයකින්, ඉටුකළ යුතු දේ ඉදිරිපත් කරනවා:
“කිසිඳු හස්තයකට මෙම කාර්යය ඉදිරියට යාම වැළැක්විය නොහැක; පීඩා කෝපයෙන් පැමිණිය හැකිය, මැරයන් ඒකාබද්ධ විය හැකිය, හමුදාව එක්රැස් විය හැකිය, නින්දා අපහාස විය හැකිය, නමුත් එය සෑම මහාද්වීපයකටම විනිවිද යන තෙක්, සෑම දේශගුණයකටම ගොස්, සෑම රටක්ම අතුගා දමා, සෑම කනටම හඬ නගන තුරු, දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන තුරු, දෙවියන්වහන්සේගේ සත්‍යය නිර්භීතව, උදාරව, හා ස්වාධීනව ඉදිරියට යනු ඇත, එවිට එම කාර්යය අවසාන බව ශ්‍රේෂ්ඨ යොහෝවාවහන්සේ පවසනු ඇත.”27
පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ, විශේෂයෙන්ම ධර්මදූතවරුන්ගේ පරම්පරා ගණනාවකට මෙය පැහැදිලි කැඳවීමක් වී තිබෙනවා. “සත්‍යයේ ප්‍රමිතියේ” ආත්මය තුළ, ලෝක ව්‍යාප්ත වසංගතයක් මධ්‍යයේ ඇදහිලිවන්ත ධර්මදූතයින් ශුභාරංචිය බෙදාගැනීම ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ධර්මදූතයිනි, අපි ඔබට ආදරෙයි! ස්වාමින්වහන්සේ අප එක් එක් කෙනාගෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේගේ ශුභාරංචිය වචනයෙන් හා ක්‍රියාවෙන් බෙදාගන්නා ලෙසයි. අපගේ පුද්ගලික හැරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලෝකය සමඟ බෙදාගැනීමේ වගකීම ඇතුළත් වෙනවා.
ශුභාරංචිය බෙදාගැනීමේ ආශිර්වාද අතර දෙවියන්වහන්සේගේ කැමැත්තට අපගේ හැරීම වැඩි කිරීම සහ අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම ඇතුළත් වෙනවා.28 හදවතේ “බලවත් වෙනසක්”29 අත්විඳීමට අපි අන් අයට ආශිර්වාද කරමු. ක්‍රිස්තුස්වහන්සේ වෙතට ප්‍රාණයන් ගෙන ඒමට උපකාර කිරීමේදී සැබවින්ම සදාකාලික ප්‍රීතියක් තිබෙනවා.30 තමාගේත් අන්‍යයන්ගේත් හැරීම සඳහා වෙහෙසීම උතුම් කාර්යයක්.31 මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.