සියලුම ජාතීන්, වර්ගයන් සහ භාෂාවන්
අපට අපගේම ආකාරයට ස්වාමින්වහන්සේගේ අනාවැකි හා පොරොන්දු ඉටුකිරීමේ කොටසක් බවට පත්විය හැකියි—ලෝකයට ආශිර්වාද කරන ශුභාරංචියේ කොටසක් වීමට හැකියි.
ආදරණීය සහෝදර සහෝදරියනි, COVID-19 මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම මෑතකදී දේවමාළිගා මුද්‍රා තැබීමක යෙදුනා. ධර්මදූත සේවයක් නිමවී ඇදහිලිවන්තව පැමිණි, මනාලිය හා මනාලයා යන දෙදෙනාම ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සමග එහි සිටියා. එය පහසු වුණේ නෑ. මනාලිය දරුවන් දස දෙනෙකුගෙන් නවවැන්නා. ඇගේ සහෝදර සහෝදරියන් නවදෙනා වයස පිළිවෙලින්, වැඩිමල්ලාගේ සිට බාලයා දක්වා, සමාජ දුරස්ථභාවය තබාගෙන වාඩි වී සිටියා.
එම පවුල ජීවත් වූ සෑම තැනකම හොඳ අසල්වැසියන් වීමට උත්සාහ කර තිබුණා. කෙසේවෙතත්, එක් ප්‍රජාවක් අපිට අකමැති වුණා—මොකද, මනාලියගේ මව පැවසූ පරිදි, ඒ ඔවුන්ගේ පවුල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වූ නිසයි.
පාසලේ මිතුරන් ඇතිකර ගැනීමට, දායක වීමට, හා පිළිගැනීමට ලක්වීමට පවුලේ අය සෑමදෙයක්ම කළ නමුත් එයින් කිසිදු ඵලක් වී නෑ. හදවත් මෘදු වන ලෙස මෙම පවුල බොහෝ යාච්ඤා කළා.
එක් රාත්‍රියක, ඉතා අනපේක්ෂිත ආකාරයකින් ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරු ලැබුණු බවක් පවුලේ අයට දැනුණා. ඔවුන්ගේ නිවසේ ගින්නක් හටගෙන නිවස බිමටම ගිනිබත් වුණා. නමුත් තවත් දෙයක් සිදුවුණා. එම ගින්න ඔවුන්ගේ අසල්වැසියන්ගේ හදවත් මෘදු කළා.
ඔවුන්ගේ අසල්වැසියන් සහ ප්‍රාදේශීය පාසල විසින් සියල්ල අහිමි වූ පවුලට අවශ්‍ය ඇඳුම්, සපත්තු සහ වෙනත් අවශ්‍යතා එක්රැස් කළා. කරුණාවන්ත බව අවබෝධය විවෘත කළා. ඒ පිළිතුරු ලැබීම මෙම පවුල බලාපොරොත්තු වූ හෝ අපේක්ෂා කළ ආකාරය නොවේ. කෙසේවෙතත්, එම හෘදයාංගම යාච්ඤා වලට ලැබුණු අසීරු අත්දැකීම් සහ අනපේක්ෂිත පිළිතුරු තුළින් ඔවුන් ඉගෙනගත් දෙයට ඔවුන් කෘතඥතාව පළ කළා.
සැබවින්ම, දැකීමට විශ්වාසවන්ත හදවත් සහ ඇස් ඇති අයට, ස්වාමින්වහන්සේගේ මුදු මොළොක් දයාව ජීවිතයේ අභියෝග මධ්‍යයේ ප්‍රකාශ වෙනවා. ඇදහිලිවන්තව මුහුණදුන් අභියෝග සහ පරිත්‍යාග ස්වර්ගයේ ආශිර්වාද ගෙන එනවා. මෙම ලෞකික ජීවිතය තුළ, අපට යම් දෙයක් අහිමි වීමට හෝ යම් දේවල් සඳහා කාලයක් බලා සිටීමට සිදුවිය හැකිය, නමුත් අවසානයේදී අපට වඩාත්ම වැදගත් දේ සොයාගත හැකි වෙනවා. 1 එයයි උන්වහන්සේගේ පොරොන්දුව. 2
අපගේ 2020 ද්විශතවාර්ෂික ප්‍රකාශය ආරම්භ වන්නේ “දෙවියන්වහන්සේ ලෝකයේ සෑම ජාතියකම තම දරුවන්ට ප්‍රේම කරන සේක” යන ගැඹුරු පොරොන්දුවෙන්. 3 සෑම ජාතියක්ම, වර්ගයක්ම, භාෂාවක්ම සහ ජනතාවකම, 4 වන අප සෑම කෙනෙකුටම, දෙවියන්වහන්සේ පොරොන්දු වී, ගිවිසුම් තබා, උන්වහන්සේගේ බහුල වූ ප්‍රීතිය හා යහපත්කමට සහභාගි වන ලෙස අපට ආරාධනා කරනවා.
දෙවියන්වහන්සේ සියලු මිනිසුන් කෙරෙහි දක්වන ප්‍රේමය ශුද්ධලියවිලි පුරාම සනාථ වෙනවා. 5 ආබ්‍රහම්ගේ ගිවිසුම, උන්වහන්සේගේ විසිරුණු දරුවන් එක්රැස් කිරීම 6 සහ අපගේ ජීවිතයේ සන්තෝෂය පිළිබඳ සැලැස්ම එම ප්‍රේමයට ඇතුළත් වෙනවා.
ඇදහිල්ලේ ගෘහයේ ආගන්තුකයන්, විදේශිකයන්, 7 ධනවතුන් හා දුප්පතුන් 8 හෝ බාහිර “අන් අය” සිටිය යුතු නෑ. “ශුද්ධවන්තයින් සමඟ සිටින පුරවැසියන්” 9 ලෙස ඇතුළත සිට පිටතට, එක් පුද්ගලයෙකු, එක් පවුලක්, වරකට එක් අසල්වැසියෙක් බැගින්, අපට ලෝකය වෙනස් කිරීමට ආරාධනාවක් ලැබී තිබෙනවා.
අප ශුභාරංචිය අනුව ජීවත් වී එය බෙදාගන්නා විට මෙය සිදුවෙනවා. සෑම තැනකම සිටින සෑම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ ආදරය සොයාගැනීමත්, එමෙන්ම වර්ධනය වීමට සහ වෙනස් වීමට උන්වහන්සේගේ බලය අත්දැකීමත් ස්වර්ගික පියාණන්වහන්සේගේ දැඩි ආශාව බවට, මෙම කාලපරිච්ඡේදයේ මුල් අවධියේදී, ජෝසෆ් අනාගතවක්තෘවරයාට අපූරු අනාවැකියක් ලැබුණා.
එම අනාවැකිය ලැබුණේ නිව්යෝර්ක්, පැල්මයිරා හි ස්මිත් පවුලේ ලෑලි නිවසේදීයි. 10
ස්මිත් නිවස එහි මුල් අත්තිවාරම මත ප්‍රතිසංස්කරණය කර 1998 දී නිමකර තිබෙනවා. 1823 සැප්තැම්බර් 21 දින සවස තරුණ ජෝසෆ් වෙත දෙවියන්වහන්සේගෙන් තේජාන්විත පණිවිඩකරුවෙකු ලෙස මොරෝනි පැමිණි, දෙවෙනි තට්ටුවේ නිදන කාමරයේ අඩි 18 x 30 x 10 (5.5 x 9 x 3m) ක භෞතික අවකාශය තවමත් එලෙසම තිබෙනවා. 11
ජෝසෆ් අනාගතවක්තෘවරයා පැවසූ දේ ඔබට මතකද:
“[මොරෝනි] මෙසේ පැවසුවා, මට කිරීම සඳහා කාර්යයක් දෙවියන්වහන්සේ වෙතින් තිබේ; එමෙන්ම මගේ නම සියලුම ජාතීන්, වර්ගයන්, සහ භාෂාවන් අතර යහපත හා නපුර යන දෙයාකාරයෙන්ම පවතියි …
“[මොරෝනි] මෙසේ පැවසුවා එහි පොතක් තැන්පත් වී ඇත, … ශුභාරංචියේ පරිපූර්ණත්වය එහි අන්තර්ගත වී ඇත.” 12
මෙහි අපි මදකට නවත්වමු. අපි නමස්කාර කරන්නේ සදාකාලික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මිස ජෝසෆ් අනාගතවක්තෘවරයාට හෝ කිසිම ලෞකික මනුෂ්‍යයෙකුට හෝ ස්ත්‍රියකට හෝ නොවේ.
එහෙත්, දෙවියන්වහන්සේ තම සේවකයන්ට දෙන අනාවැකි ඉටුවන ආකාරය සලකා බලන්න. 13 සමහර ඒවා කලින් සම්පූර්ණ වී තිබෙනවා, සමහර ඒවා පසුව සිදුවී තිබෙනවා, නමුත් සියල්ල ඉටුවී තිබෙනවා. 14 ස්වාමින්වහන්සේගේ අනාවැකිමය ආත්මයට අප සවන්දෙන විට, අපට අපගේම ආකාරයට උන්වහන්සේගේ අනාවැකි හා පොරොන්දු ඉටුකිරීමේ කොටසක් බවට පත්විය හැකියි—ලෝකයට ආශිර්වාද කරන ශුභාරංචියේ කොටසක් වීමට හැකියි.
1823 දී, ජෝසෆ් යනු අලුතෙන් ස්වාධීන වූ රටක, අපැහැදිලි ගම්මානයක ජීවත් වුනු කවුරුත් නාඳුනන 17 හැවිරිදි පිරිමි ළමයෙක්. එය සත්‍යයක් නොවේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ කාර්යයේ මෙවලමක් වනු ඇතැයි පැවසීමට සහ සෑම තැනකම ප්‍රසිද්ධ වන දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මගින් පරිශුද්ධ ශුද්ධලියවිලි පරිවර්තනය කිරීම වනු ඇතැයි කීමට ඔහු සිතන්නේ කෙසේද?
එහෙත්, එය සත්‍යයක් බැවින්, එය ඉදිරියට ගෙන යාමට අපට ලැබී ඇති ආරාධනය මෙන්ම එම අනාවැකිය ඉටුවී ඇති බව ඔබටත් මටත් සාක්ෂි දරන්නට පුලුවන්.
සහෝදර සහෝදරියනි, ලොව පුරා, 2020 ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට සහභාගී වන අප සෑම කෙනෙකුම එම අනාවැකියේ පැවසූ පරිදිම ජාතීන්, වර්ගයන්, සහ කතා කළ භාෂාවන්.
අද දින, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්, ජාතීන් හා ප්‍රදේශ 196 ක ජීවත් වන අතර, ඒවායෙන් 90 කම ස්ටේක 3,446 ක් තිබෙනවා. 15 අපි භූගෝලීය පළල සහ ශක්තියේ මධ්‍යස්ථාන යන දෙකම නියෝජනය කරනවා.
1823 දී, 2020 වන වසරේදී එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ බ්‍රසීලය වැනි රටවල් තුනක්—මිලියනයකට වඩා වැඩි සාමාජිකයන් සිටින රටවල් තුනක් වනු ඇතැයි සිතුවේ කවුද?
නැතහොත් රටවල් 23 ක, එක් එක් සභාවේ සාමාජිකයන් 100,000 කට වඩා සිටින රටවල් වේ යැයි සිතුවේ කවුද—උතුරු ඇමරිකාවේ තුනක්, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ දාහතරක්, යුරෝපයේ එකක්, ආසියාවේ හතරක් සහ අප්‍රිකාවේ එකක්? 16
සභාපති රසල් එම්. නෙල්සන් මොර්මොන්ගේ පොත හඳුන්වන්නේ “ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයක්” ලෙසයි. 17 එහි සාක්ෂිකරුවන් සාක්ෂි දරන්නේ, “එය සියලු ජාතීන්ට, වර්ගයන්ට, භාෂාවන්ට හා ජනයාට දැනගත හැකි වේවා” ලෙසයි. 18 අද, ප්‍රධාන සම්මන්ත්‍රණය භාෂා 100 කින් ලබාගත හැකියි. සභාපති නෙල්සන් ජාතීන් 138 ක් තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳව සාක්ෂි දී තිබෙනවා, එය තවත් වැඩි වෙමින්ද පවතිනවා.
මොර්මොන්ගේ පොතෙහි 1830 පළමු සංස්කරණයේ මුද්‍රිත පිටපත් 5,000 කින් පටන්ගෙන, මොර්මොන්ගේ පොතෙහි පිටපත් මිලියන 192 ක් පමණ භාෂා 112 කින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මොර්මෝන්ගේ පොතේ පරිවර්තනයන් අන්තර්ජාලයේ පුළුල් ලෙස ලබාගන්නට පුළුවන්. වර්තමානයේ මොර්මොන්ගේ පොතේ පරිවර්තනයන් මිලියන 50 ක් හෝ ඊට වැඩි පිරිසක් කතා කරන ලෝක භාෂා 23 න් වැඩි ප්‍රමාණයකින්ද, ඒ සමගම බිලියන 4.1 ක ජනතාවකගේ මව් බසින්ද ලබාගන්නට පුලුවන්. 19
අප සෑම කෙනෙකුටම සහභාගී වීමට ආරාධනා කරනු ලැබෙන—කුඩා හා සරල ක්‍රම වලින්— බොහෝ දේ ඉෂ්ට වෙනවා.
නිදසුනක් වශයෙන්, ජනගහනය 2,200 ක් වන යූටාහි මොන්රෝහි පැවති ස්ටේක සම්මන්ත්‍රණයකදී, කී දෙනෙක් ධර්මදූත සේවයක් කර ඇත්දැයි මම විමසුවා. ආසන්න වශයෙන් සෑම අතක්ම වාගේ එසවුණා. මෑත වසර වලදී, එම එක් ස්ටේකයෙන් ධර්මදූතයින් 564 ක් එක්සත් ජනපද ප්‍රාන්ත 50, සහ රටවල් 53 ක—ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයකම සේවය කර තිබෙනවා.
ඇන්ටාක්ටිකාව ගැන කතා කරන විට, ආර්ජන්ටිනාවේ දකුණු කෙළවරේ උෂුවායාහි පවා, අපේ ධර්මදූතයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය “පොළොවේ අවසානය” නම් ස්ථානයක බෙදාගන්නා විට එම අනාවැකි ඉටුවන බව මම දුටුවා. 20
අපගේ ශුද්ධවන්තයන්ගේ වෙළුම් හතරේ කවර වලින් සාදන ලද බිතුසිතුවමක් 21 සෑම තැනකම විශ්වාසවන්ත ශුද්ධවන්තයන් වෙත පැමිණෙන ශුභාරංචිය අනුව ජීවත්වීමේ ඵල පිළිබඳ ගෝලීය විචිත්‍ර තිරයක් නිරූපණය කරනවා. අපගේ සභාවේ ඉතිහාසය මොරෝනි මොර්මොන්ගේ තහඩු පෙන්වූ විශ්වාසවන්ත සහෝදරිය වන මේරි විට්මර් ඇතුළු සෑම සාමාජිකයෙකුගේම සජීවී සාක්ෂි සහ ශුභාරංචි ගමනේ නැංගුරම් ලා තිබෙනවා. 22
2021 ජනවාරියේදී පැමිණෙන, අපගේ නව ගෝලීය සභා සඟරා තුන වන මිතුරා, තාරුණ්‍යයේ ශක්තිය සඳහා සහ ලියහෝනා—අපගේ ලෝක ව්‍යාප්ත ඇදහිලිවන්ත ප්‍රජාව තුළ අත්දැකීම් හා සාක්ෂි බෙදාහදා ගැනීමට සැමට ආරාධනා කරනවා. 23
සහෝදර සහෝදරියනි, ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කරන විට, නැවත පිහිටුවන ලද ශුභාරංචි සත්‍යයන් හා ශුද්ධ වූ ගිවිසුම් තුළින් ලැබෙන ආශිර්වාද ලබාගෙන, අඛණ්ඩව සිදුවන නැවත පිහිටුවීම පිළිබඳව අධ්‍යයනය කරමින්, මෙනෙහි කරමින් සහ බෙදාගනිමින් අපි එම අනාවැකිය ඉටුකිරීමට දායක වී සිටිනවා.
සෑම තැනකම ජීවිත ආශිර්වාද කරන ශුභාරංචි රටාවකින් අප අපව හා ලෝකය වෙනස් කරමින් සිටිනවා.
අප්‍රිකානු සහෝදරියක් මෙසේ පවසනවා, “මගේ ස්වාමිපුරුෂයාගේ පූජකත්ව සේවය නිසා ඔහු වඩාත් ඉවසිලිවන්ත හා කාරුණික වෙලා. ඒවගේම මම හොඳ බිරිඳක් සහ මවක් බවට පත්වෙනවා.”
මධ්‍යම ඇමරිකාවේ දැන් ගෞරවයට පාත්‍ර වූ ජාත්‍යන්තර ව්‍යාපාරික උපදේශකයෙකු පවසන්නේ දෙවියන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය සොයාගැනීමට පෙර ඔහු ඉලක්ක රහිතව වීදි වල ජීවත් වූ බවයි. දැන් ඔහු සහ ඔහුගේ පවුලේ අය අනන්‍යතාවය, අරමුණ සහ ශක්තිය සොයාගෙන තිබෙනවා.
දකුණු ඇමරිකාවේ තරුණ පිරිමි ළමයෙක් කුකුළන් ඇතිදැඩි කර බිත්තර විකුණමින් තම පවුලේ අය විසින් ඉදිකරන නිවස සඳහා ජනේල මිලදී ගැනීමට උපකාරී වෙනවා. ඔහු මුලින්ම ඔහුගේ දසයෙන් කොටස ගෙවනවා. ඔහු වචනාර්ථයෙන්ම ස්වර්ගයේ කවුළු විවෘත වනවා දකියි.
ෆෝ කෝනර්ස් හි, නිරිතදිග එක්සත් ජනපදයේ ප්‍රජාවක, ස්වදේශික ඇමරිකානු පවුලක් විසින්, ශුභාරංචි ඇදහිල්ල සහ ස්වාධීනත්වයේ සංකේතවත් කරන, කාන්තාරයේ මල් පිපීම සඳහා ලස්සන රෝස පඳුරක් වර්ධනය කරනවා.
අමිහිරි සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගත්, අග්නිදිග ආසියාවේ සහෝදරයෙකු බලාපොරොත්තු සුන් වූ එම ජීවිතයට අර්ථයක් නොමැතිව සිටියා. කළින් ඔහුගේ හිටපු පන්තියේ ළමයෙක් සක්‍රමේන්තු තැටියක් අල්ලාගෙන ගැලවීමේ නියෝග සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන සාක්ෂි දැරීම සිහිනයෙන් දැකීමෙන් ඔහු බලාපොරොත්තුව සොයාගෙන තිබෙනවා.
උන්වහන්සේගේ ප්‍රේමය දැනෙන ලෙසත්, අධ්‍යාපනය, ගෞරවනීය වැඩ, ස්වාධීනත්ව සේවය සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව තුළ අපට හමුවන යහපත්කමේ හා සතුටේ රටාවන් තුළින් ඉගෙනගැනීමට හා වර්ධනය වීමට ස්වර්ගික පියාණන්වහන්සේ සෑමතැනකම සිටිනා අපට ආරාධනා කරනවා.
අපි දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට පැමිණෙන විට, සමහර විට අපගේ අඳුරු, තනිකම දැනෙන, අවිනිශ්චිත අවස්ථාවන්හි ආයාචනා කිරීමෙන්, උන්වහන්සේ අපව වඩා හොඳින් දන්නා බවත්, අප දන්නා හෝ අපි අපිටම ආදරය කරනවාටත් වඩා උන්වහන්සේ අපට ආදරය කරන බවත් අපට දැනගත හැකියි.
අපගේ නිවෙස් වල සහ ප්‍රජාවන් තුළ කල්පවත්නා යුක්තිය, සමානාත්මතාවය, සාධාරණත්වය සහ සාමය ඇතිකිරීමට අපට දෙවියන්වහන්සේගේ උදව් අවශ්‍ය වන්නේ මේ නිසයි. අපගේ සත්‍ය, ගැඹුරු, වඩාත්ම අව්‍යාජ ආඛ්‍යානය, ස්ථානය සහ අයිතිවාසිකම් පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ මුදවාගැනීමේ ප්‍රේමය අපිට දැනෙන විටයි, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වන්දිගෙවීම තුළින් කරුණාව හා ප්‍රාතිහාර්යයන් සොයන විට සහ පූජනීය ගිවිසුම් මගින් කල්පවත්නා සබඳතා ඇතිකරගන්නා විටයි.
වර්තමාන අවුල් සහගත, ඝෝෂාකාරී, දූෂිත ලෝකයේ ආගමික යහපත්කම හා ප්‍රඥාව අවශ්‍ය වෙනවා. මිනිස් ආත්මය නැවුම් කිරීමට, ආශ්වාදයට පත්කිරීමට හා සංස්කරණය කිරීමට අපට හැක්කේ වෙන කොහොමද? 24
හයිටියේ ගස් සිටුවීම යහපත් දේ කිරීමට මිනිසුන් එකට එක්වන බවට උදාහරණ සිය ගණනක් අතරින් එකක් පමණයි. ගස් පරිත්‍යාග කළ අපේ සභාවේ සාමාජිකයන් 1800 ක් ඇතුළු ප්‍රාදේශීය ප්‍රජාව ගස් 25,000 කට ආසන්න ප්‍රමාණයක් සිටුවීමට එක්රැස් වුණා. 25 මෙම බහුවාර්ශික නැවත වන වගා ව්‍යාපෘතිය දැනටමත් ගස් 121,000 කට වඩා සිටුවා තිබෙනවා. එය තවත් දස දහස් ගණනක් සිටුවීමට අපේක්ෂා කරනවා.
මෙම එක්සත් උත්සාහය සෙවන සපයනවා, පස සංරක්ෂණය කරනවා, අනාගත ගංවතුර අවම කරනවා. එය අසල්වැසි ප්‍රදේශ අලංකාර කරනවා, ප්‍රජාව ගොඩනගනවා, රසය තෘප්තිමත් කරනවා, ඒ වගේම ප්‍රාණය පෝෂණය කරනවා. මෙම ගස් වලින් අස්වැන්න නෙළාගන්නේ කවුදැයි ඔබ හයිටි ජාතිකයන්ගෙන් ඇසුවොත්, ඔවුන් පවසන්නේ “බඩගිනි ඕනෑම කෙනෙක්” කියායි.
ලෝක ජනගහනයෙන් සියයට 80 ක් පමණ ආගමික වශයෙන් අනුබද්ධ වෙනවා. 26 ස්වාභාවික විපත් වලින් පසු ක්ෂණික අවශ්‍යතා සඳහා මෙන්ම ආහාර, නවාතැන්, අධ්‍යාපනය, සාක්ෂරතාවය සහ රැකියා පුහුණුව සඳහා වන බොහෝ කලක් තිස්සේ පවතින අවශ්‍යතා සඳහා ආගමික ප්‍රජාවන් පහසුවෙන් ප්‍රතිචාර දක්වනවා. ලොව පුරා, අපගේ සාමාජිකයින්, මිතුරන් සහ සභාවේ උපකාර කරන ප්‍රජාවන් සරණාගතයින්ට සහාය වන අතර ජලය, සනීපාරක්ෂාව, ආබාධිත සංචලතාව සහ දෘෂ්ටි සත්කාර—එක වර එක් පුද්ගලයෙකුට, එක් ගමකට, එක් ගසක් බැගින් සිටුවනවා සේ සපයනවා. 27 සෑම තැනකම, අපි උත්සාහ කරන්නේ හොඳ දෙමව්පියන් හා හොඳ පුරවැසියන් වීමටයි, පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ පුණ්‍යායතන ඇතුළුව අපගේ අසල්වැසි හා සමාජයන් වලට දායකත්වය ලබාදීමටයි. 28
දෙවියන්වහන්සේ විසින් අපට ලෞකික තෝරාගැනීමේ නිදහස—හා ලෞකික වගවීමක් ලබාදෙනවා. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “ස්වාමින්වහන්සේ වන, මම, නුඹලාව නිදහස් කරන්නෙමි, එසේහෙයින් නුඹලා සැබවින්ම නිදහස්ය.” 29 “වහලුන්ට නිදහස” 30 ප්‍රකාශ කිරීමේදී, ස්වාමින්වහන්සේ තම වන්දිගෙවීම සහ ශුභාරංචි මාර්ගයට ලෞකික සහ ආත්මික බැඳීම බිඳ දැමිය හැකි බවට පොරොන්දු වෙනවා. 31 දයානුකම්පිතව, මෙම මිදීමේ නිදහස ලෞකිකත්වය පසුකර ගිය අය කරාම විහිදෙනවා.
මීට වසර කිහිපයකට පෙර, මධ්‍යම ඇමරිකාවේ පූජකයෙක් විසින් ඔහු පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ “මියගිය අය සඳහා බව්තීස්මය” පිලිබඳ අධ්‍යනය කරන බව මට පැවසුවා. “එය සාධාරණ යැයි පෙනේ,” එම පූජකයා මෙසේ පැවසුවා, “ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත්ව සිටින” කුඩා දරුවන් හැර, ඔවුන් ජීවත් වූ වේලාව හෝ කොතැනක සිටියත්, දෙවියන්වහන්සේ සෑම පුද්ගලයෙකුටම බව්තීස්ම වීමට අවස්ථාව ලබාදෙයි.’ 32 “බව්තීස්මය හා නැවත නැගිටීම බලාපොරොත්තුවෙන් සිටින මළවුන් ගැන ප්‍රේරිත පාවුල් පවසනවා” මෙම පූජකයා සඳහන් කළා. 33 විකල්ප දේවමාළිගා නියෝග වලින් සියලු ජාතීන්, වර්ගයන් සහ භාෂාවන් තුළ සිටිනා කිසිවෙකුට “මරණයේ, නිරයේ හෝ මිනීවළේ වහලෙකු ලෙස සිටීමට අවශ්‍ය නොවන” බව පොරොන්දු වෙනවා. 34
අපි දෙවියන්වහන්සේව සොයාගන්නා විට, සමහර විට අනපේක්ෂිත ලෙස යාච්ඤාවන් වලට ලැබෙන පිළිතුරු අපව වීදියෙන් ගෙන යයි, අපව ප්‍රජාවට ගෙන එයි, අපගේ ආත්මයන්ගෙන් අන්ධකාරය පලවා හරී, අධ්‍යාත්මික රැකවරණය සොයාගැනීමටත්, උන්වහන්සේගේ ගිවිසුම් වල යහපත්කමට හා ප්‍රේමයට බැඳී සිටීමටත් අපට මගපෙන්වයි.
ශ්‍රේෂ්ඨ දේවල් බොහෝ විට කුඩාවට ආරම්භ වන නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දිනපතාම ප්‍රකාශ වෙනවා. ශුද්ධාත්මයාණන්ගේ අතිවිශිෂ්ට ත්‍යාගය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ උන්වහන්සේගේ නාමයෙන් හඳුන්වනු ලබන උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ ඇති උන්වහන්සේ එළිදරව් කරන ලද මූලධර්ම, නියෝග සහ ගිවිසුම් පිළිබඳව අප කෙතරම් කෘතඥ වෙනවාද.
සියලු ජාතීන්, වර්ගයන් සහ භාෂාවන් තුළ දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ සහ අනාවැකි කී ආශිර්වාද සම්පූර්ණ කිරීමට උපකාර කිරීමට සහ ඒවා ලබාගැනීමට වූ දෙවියන්වහන්සේගේ ආරාධනය අපි සතුටින් පිළිගනිමු, මම එසේ යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ හා ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.