දෙවියන්වහන්සේ නොසිතූ දෙයක් කරයි
දෙවියන්වහන්සේ මේ කාලය සඳහා උන්වහන්සේගේ දරුවන් සහ උන්වහන්සේගේ සභාව සූදානම් කර තිබෙනවා.
සෝල්ට් ලේක් නිම්නයට පැමිණ වැඩි කලක් යන්නට මත්තෙන්, පසු-දවස්වල ශුද්ධවන්තයින් විසින් ඔවුන්ගේ ශුද්ධ වූ දේවමාළිගාව ඉදිකිරීමට පටන්ගත්තා. ඔවුන්ට හැඟුණා අවසානයේදී ඔවුන්ට දෙවියන්වහන්සේට සාමයෙන් හා පීඩා වලින් තොරව නමස්කාර කළ හැකි ස්ථානයක් හමු වූ බව.
කෙසේවෙතත්, දේවමාළිගාවේ අත්තිවාරම අවසන් වෙමින් තිබියදී, එක්සත් ජනපද සොල්දාදුවන්ගේ හමුදාවක් නව ආණ්ඩුකාරයෙකු බලහත්කාරයෙන් ස්ථාපනය කිරීමට පැමිණියා.
සභාවේ නායකයන් හමුදාව කෙතරම් සතුරු වේදැයි නොදැන සිටි හෙයින්, බ්‍රිගම් යන්ග් ශුද්ධවන්තයින්ට එතනින් ඉවත් වී දේවමාළිගාවේ අත්තිවාරම සඟවන ලෙස අණ කළා.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැඟීමට ගත් උත්සාහයන් නිරන්තරයෙන් කලකිරීමට පත්වූයේ මන්දැයි සභාවේ සමහර සාමාජිකයන් කල්පනා කළ බව මට විශ්වාසයි.
අවසානයේදී, අනතුරුදායක තත්වය පහව ගිය අතර දේවමාළිගා අත්තිවාරම් කැණීම් කර පරීක්ෂා කළා. මුල් වැලිගල් වලින් සමහරක් ඉරිතලා ඇති බවත් එය අත්තිවාරමක් ලෙස නුසුදුසු බවත් පුරෝගාමී තනන්නන් විසින් සොයාගන්නා ලද්දේ එවිටයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, බ්‍රිගම් විසින් අත්තිවාරම අලුත්වැඩියා කර ඇති අතර එමඟින් මහිමාන්විත සෝල්ට් ලේක් දේවමාළිගාවේ කළුගල් බිත්ති වලට 1 ප්‍රමාණවත් ලෙස ආධාරකයක් විය හැකි වෙනවා. 2 අවසාන වශයෙන්, ශුද්ධවන්තයින්ට “How Firm a Foundation” 3 යන ගීතිකාව ගායනා කළ හැකිවූ අතර, ඔවුන්ගේ ශුද්ධ වූ දේවමාළිගාව පරම්පරා ගණනාවක් පවතින ලෙස ශක්තිමත් පදනමක් මත ගොඩනඟා ඇති බව දැනගත හැකිවුණා.
දෙවියන්වහන්සේ තම අරමුණු ඉටුකරගැනීම සඳහා විපත් භාවිතා කරන ආකාරය මෙම කතාවෙන් අපට උගන්වනවා.
ලෝක ව්‍යාප්ත වසංගතයක්
අද අප සිටින තත්වයන් අනුව මෙය හුරුපුරුදු යැයි හැඟේ නම්, එයට හේතුව එයම තමයි.
මගේ කටහඬ ඇසෙන හෝ මගේ වචන කියවන පුද්ගලයෙක් ලොව පුරා වසංගතයට ගොදුරු නොවූ අයෙක්ව සිටින බවට මට සැකයි.
පවුලේ අය සහ මිතුරන් අහිමි වීම ගැන වැලපෙන අය වෙනුවෙන්, අපි ඔබ සමඟ වැලපෙමු. ඔබව සනසවා අස්වසන්නට අපි ස්වර්ගික පියාණන්ගෙන් අයැද සිටිනවා.
මෙම වෛරසයේ දිගුකාලීන ප්‍රතිවිපාක ශාරීරික සෞඛ්‍යයෙන් ඔබ්බට විහිදී යනවා. බොහෝ පවුල් වලට ආදායම් අහිමි වී ඇති අතර කුසගින්න, අවිනිශ්චිතතාවය සහ බියසැකෙන් පීඩා විඳිනවා. මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා බොහෝ දෙනෙකුගේ පරාර්ථකාමී උත්සාහය අපි අගය කරනවා. අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට, සුව කිරීම සහ සහය දීම සඳහා තමන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කර ඇති අයගේ නිහඬ පරිත්‍යාගය සහ උදාර උත්සාහය නිසා අපි නිහතමානී වෙනවා. ඔබගේ යහපත්කම සහ දයානුකම්පාව පිළිබඳව අපගේ හදවත් කෘතඥතාවයෙන් පිරී තිබෙනවා.
දෙවියන්වහන්සේ ස්වර්ගයේ කවුළු විවෘත කර ඔබගේ ජීවිත දෙවියන්වහන්සේගේ සදාකාලික ආශිර්වාද වලින් පුරවන ලෙස අපි බලවත් ලෙස යාච්ඤා කරනවා.
අපි තමයි බීජ
මෙම වෛරසය පිළිබඳව තවමත් නොදන්නා බොහෝ දේ තිබෙනවා. නමුත් මා දන්නා එක් දෙයක් තිබෙනවා, එනම් මෙම වෛරසය ස්වර්ගික පියාණන්ව පුදුමයට පත්කළේ නෑ. අනපේක්ෂිත අවශ්‍යතාවයක් සඳහා දේවදූතයන්ගේ අතිරේක බලඇණි එක්රැස් කිරීම, හදිසි රැස්වීම් කැඳවීම හෝ ලෝක මැවීමේ අංශයෙන් සම්පත් හරවා යැවීම උන්වහන්සේට අවශ්‍ය වුනේ නෑ.
මෙම වසංගතය අපට අවශ්‍ය හෝ අපේක්ෂා කළ දෙයක් නොවුනත්, දෙවියන්වහන්සේ මේ කාලය සඳහා තම දරුවන් සහ උන්වහන්සේගේ සභාව සූදානම් කර ඇති බව, අද මගේ පණිවිඩයයි.
අපි මෙය විඳදරාගන්නවා, ඔව්. නමුත් අපි දත්මිටිකමින්, තදින් අල්ලා ගැනිමින් සහ දේවල් යථා තත්ත්වයට පත්වන තෙක් බලා සිටිනවාට වඩා වැඩි දෙයක් කරමු. අපි ඉදිරියට යමු, එහි ප්‍රතිඵලයක් ලෙස අපි වඩා හොඳ වෙයි.
එක්තරා විදියකට අපි තමයි බීජ. බීජ වලට ඒවායේ විභවතාවයට ළඟාවීමට නම් ඒවා පැළ වීමට පෙර වළලනවා. සමහර අවස්ථා වලදී ජීවිතයේ පීඩා වලින් අපව වළලා දමා ඇති බවක් හෝ චිත්තවේගීය අන්ධකාරයකින් වටවී ඇති බවක් අපට හැඟුණත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ආශිර්වාදයන් සිතාගත නොහැකි දෙයක් ඉස්මතු වන්නට ගෙනඑයි.
ආශිර්වාද පැමිණෙන්නේ දුෂ්කරතා වලිනි
සෑම කාලපරිච්ඡේදයක්ම එහි අභියෝග හා දුෂ්කරතා වලට මුහුණදී තිබෙනවා.
ඊනොක් සහ ඔහුගේ සෙනඟ ජීවත් වූයේ දුෂ්ටකමේ, යුද්ධවල හා ලේ වැගිරීම් වල කාලයකයි. “නමුත් ස්වාමින්වහන්සේ පැමිණ ඔහුගේ සෙනඟ සමඟ වාසය කළ සේක.” උන්වහන්සේගේ මනසේ ඔවුන් වෙනුවෙන් සිතාගත නොහැකි දෙයක් තිබුණා. “ධර්මිෂ්ඨ කමින් වාසය කළ” “එක සිතින් හා එකම මනසින්” යුත් සෙනගකට—සයොනය පිහිටුවීමට උන්වහන්සේ උපකාර කළා. 4
යාකොබ්ගේ පුත් වූ තරුණ යෝසෙප්ව වළකට දමා, වහල්භාවයට විකුණා, පාවාදී, අත්හැර දමා තිබුණා. 5 දෙවියන්වහන්සේ ඔහුව අමතක කළාද කියා යෝසෙප් කල්පනා කරන්න ඇති. දෙවියන්වහන්සේගේ මනසේ යෝසෙප් ගැන සිතාගත නොහැකි දෙයක් තිබුණා. උන්වහන්සේ මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය යෝසෙප්ගේ චරිතය ශක්තිමත් කිරීමට සහ ඔහුගේ පවුල බේරාගැනීමට සුදුසු තත්වයකට ඔහුව පත්කරන්නට භාවිතා කළා. 6
ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ලිබර්ටි බන්ධනාගාරයේ සිරගතව සිටියදී, දුක් විඳින ශුද්ධවන්තයින්ට සහනයක් ඉල්ලා අයැද සිටි ආකාරය ගැන සිතන්න. එම තත්වයන් තුළ සයොනය ස්ථාපිත වන්නේ කෙසේදැයි ඔහු කල්පනා කරන්නට ඇති. නමුත් ස්වාමින්වහන්සේ ඔහුට සාමය කතා කළ අතර, ඉන්පසුව ඇතිවූ මහිමාන්විත එළිදරව්ව ශුද්ධවන්තයින්ට සාමය ගෙනදුන් අතර, එය ඔබටත් මටත් තවමත් සාමය ගෙන එනවා. 7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මුල් අවදියේදී ශුද්ධවන්තයින්ගේ බලාපොරොත්තු සුන්වී දෙවියන්වහන්සේ ඔවුන්ව අමතක කර ඇත්දැයි කල්පනා කළ අවස්ථා කෙතරම් තිබෙන්නට ඇත්ද? නමුත් පීඩා, අන්තරායන් සහ සමූල ඝාතන තර්ජන තුළින් ඊශ්‍රායෙල්හි දෙවියන් වූ ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කුඩා රැළ වෙනුවෙන් වෙනත් දෙයක් සිතේ තබාගෙන සිටියා. එය සිතාගත නොහැකි දෙයක්.
මෙම උදාහරණ වලින් සහ ශුද්ධලියවිලි වල ඇති තවත් සිය ගණනකින් අප ඉගෙනගන්නේ කුමක්ද?
පළමුවැන්න, ධර්මිෂ්ඨයන්ට සෙවණැලි මාවත් වලින් මිදීමට ඉඩ සලසන නොමිලේ අවසර පත්‍රයක් ලබාදෙන්නේ නෑ. අප සියලුදෙනා දුෂ්කර කාල තුළින් ගමන් කළ යුතුමයි, මක්නිසාදයත්, අපගේ විපත්තියේදී අපගේ චරිත ශක්තිමත් කරන මූලධර්ම ඉගෙනගෙන දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ඒවා හේතුවෙනවා.
දෙවැන්න, අප දුක් විඳින බව අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ දන්නවා, අපි උන්වහන්සේගේ දරුවන් බැවින් උන්වහන්සේ අපව අත්හරින්නේ නෑ. 8
රෝගීන්ට, තනි වූවන්ට, සැකයට හා බලාපොරොත්තු සුන්වීමට පත්වූවන්ට දේවසේවය කිරීමට තම ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළ දයානුකම්පිත ගැලවුම්කරුවාණන් ගැන සිතන්න. 9 අද උන්වහන්සේ ඔබ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඔබ සිතනවාද?
මාගේ ආදරණීය මිතුරනි, මගේ ආදරණීය සහෝදරවර සහෝදරියනි, අවිනිශ්චිතතාවයේ හා භීතියේ මේ කාල වලදී දෙවියන්වහන්සේ ඔබව එඬේරෙකු මෙන් රැකබලා ගන්නවා. උන්වහන්සේ ඔබව දන්නවා. උන්වහන්සේට ඔබේ ආයාචනා ඇසෙනවා. උන්වහන්සේ ඇදහිලිවන්තයි එමෙන්ම විශ්වාසවන්තයි. උන්වහන්සේ තම පොරොන්දු ඉටුකරනවා.
දෙවියන්වහන්සේ තුළ ඔබට සහ සභාවට සාමූහිකව සිතාගත නොහැකි දෙයක් තිබෙනවා—එය පුදුමාකාර සහ විශ්මිත කාර්යයක්.
අහෝ දෙවියනි, අනාගතවක්තෘවරයෙකු නිසා, අපි ඔබවහන්සේට ස්තූතිවන්ත වෙනවා.
අපේ හොඳම දවස් ඇත්තේ අපට ඉදිරියෙන් මිස අපට පිටුපසින් නොවේ. දෙවියන්වහන්සේ අපට නවීන එළිදරව්වක් ලබාදෙන්නේ මේ නිසායි! එය නොමැතිව, එකම රටාවකට පියාසර කිරීමක් මෙන්, අපට ආරක්ෂිතව ගොඩ බැස්සවිය හැකි වන පිණිස මීදුම නැතිවන තෙක් බලාසිටිනවා මෙන් ජීවිතය දැනෙන්නට පුලුවන්. අප වෙනුවෙන් ස්වාමින්වහන්සේට ඇති අරමුණු ඊට වඩා බොහෝ ඉහළයි. මක්නිසාදයත් මෙය ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වන අතර, උන්වහන්සේ තම අනාගතවක්තෘවරුන්ට මඟපෙන්වන නිසා, අපි ඉදිරියට හා ඉහළට, අප කවදාවත් නොසිටි ස්ථාන කරා, අපට සිතාගත නොහැකි තරම් උසකට අපි යනවා!
දැන්, මින් අදහස් කරන්නේ අප ලෞකිකත්වය හරහා යන අපගේ ගුවන් ගමනේ කැලඹීමක් ඇති නොවන බව නොවෙයි. එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත උපකරණ අසමත්වීම්, යාන්ත්‍රික අක්‍රමිකතා හෝ බරපතල කාලගුණික අභියෝග ඇති නොවන බව නොවෙයි. ඇත්තවශයෙන්ම, තත්වය යහපත් වීමට පෙර තත්වය නරක අතට හැරෙනවා.
ප්‍රහාරක ගුවන් නියමුවෙකු හා ගුවන් කපිතාන්වරයෙකු වශයෙන්, ගුවන් ගමනකදී මට ඇතිවිය හැකි විපත් තෝරාගැනීමට නොහැකි වූවත්, මා සූදානම් වන ආකාරය සහ මා ප්‍රතික්‍රියා කළ ආකාරය තෝරාගත හැකි බව මම ඉගෙනගෙන තිබෙනවා. අර්බුදකාරී කාල වලදී අවශ්‍ය වන්නේ සන්සුන් හා පැහැදිලි විශ්වාසයක්.
අපි මෙය කරන්නේ කෙසේද?
අපි කරුණු වලට මුහුණදී මූලධර්ම වෙත, මූලික ශුභාරංචි මූලධර්ම වෙත, වඩාත්ම වැදගත් දේ වෙත ආපසු යමු. යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය සහ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම වැනි—ඔබේ පෞද්ගලික ආගමික හැසිරීම් ඔබ ශක්තිමත් කළ යුතුයි. ඔබ තීරණ ගත යුත්තේ හොඳම ඔප්පු කළ භාවිතයන් මතයි.
ඔබට කළ හැකි දේ කෙරෙහි අවධානය යොමුකරන්න එමෙන්ම ඔබට කළ නොහැකි දේ කෙරෙහි අවධානය යොමු කරන්න එපා.
ඔබ ඔබේ ඇදහිල්ල රැස්කර ගත යුතුයි. ඔබව ආරක්ෂා කිරීමට ස්වාමින්වහන්සේගේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ මඟපෙන්වන වචනයට ඔබ සවන්දෙන්න.
මතක තබාගන්න, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි—එහි ප්‍රධානියා උන්වහන්සේයි.
පසුගිය දශකය තුළ පමණක් සිදුවූ බොහෝ දේවානුභාවයෙන් යුත් දියුණුව ගැන සිතන්න. කිහිපයක් සඳහන් කරනවානම්:
-
සක්‍රමේන්තුව අපගේ සබත් වන්දනාවේ කේන්ද්‍රස්ථානය ලෙස නැවත අවධාරණය කරනු ලැබුවා.
-
එන්න, මා අනුගමනය කරන්න, පුද්ගලයන් සහ පවුල් ශක්තිමත් කිරීම සඳහා ගෘහස්ථ කේන්ද්‍රීය, සභාවේ සහාය ඇති මෙවලමක් ලෙස ලබාදුන්නා.
-
අපි සැමට උසස් හා ශුද්ධ වූ ලෙස දේවසේවය කිරීමට ආරම්භ කළා.
-
ශුභාරංචිය බෙදාගැනීමේදී හා ස්වාමින්වහන්සේගේ කාර්යයන් කිරීම සඳහා තාක්‍ෂණය භාවිතා කිරීම සභාව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
තාක්ෂණයේ පුදුමාකාර මෙවලම් නොමැතිව මෙම ප්‍රධාන සම්මන්ත්‍රණ සැසිවාරයන් පවා කළ නොහැකි වෙනවා.
සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන සිටින විට, සියල්ල නිවැරදි වෙනවා; ඒවා සිතාගත නොහැකි වෙනවා.
ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ කාර්යය ඉදිරියට යයි
ලෝක ව්‍යාප්ත වසංගතයක් ස්වාමින්වහන්සේගේ කාර්යයට මාර්ග බාධකයක් වනු ඇති බව මුලදී පෙනෙන්නට තිබුණා. නිදසුනක් වශයෙන්, ශුභාරංචිය බෙදාගැනීමේ සම්ප්‍රදායික ක්‍රම කළ නොහැකි වුණා. කෙසේවෙතත්, වසංගතය හදවතින් අවංක වූ අය කරා ලඟාවීමේ නව හා වඩා නිර්මාණාත්මක ක්‍රම හෙළි කරනවා. ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ කාර්යය බලයෙන් හා උද්යෝගයෙන් වැඩි වෙමින් පවතිනවා. කතන්දර සිය දහස් ගණනක් මේ බව සනාථ කරනවා.
ලස්සන නෝර්වේහි වෙසෙන හොඳ මිතුරෙක් මෑතකදී බව්තීස්ම ගණන වැඩිවීම ගැන හැරියට්ට සහ මට ලිවුවා. “සභාව කුඩාවට ඇති ස්ථාන වල,” ඇය මෙසේ ලිව්වා, “කුඩා කණ්ඩායම් ශාඛාවන් වෙනවා, ඒවගේම ශාඛාවන් කොට්ටාශ වෙනවා!!”
ලැට්වියාවේදී, අන්තර්ජාල දැන්වීමක් ක්ලික් කිරීමෙන් සභාව සොයාගත් කාන්තාවක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන දැනගැනීම ගැන මහත් සේ ප්‍රීතියට පත්වූ අතර, පැයකට කලින් ඇයගේ හමුවට පැමිණි ඇය ධර්මදූතයින්ගේ පළමු පාඩම අවසන් කිරීමට පෙර බව්තීස්ම වීමට දිනයක් සඳහා ඇය ඉල්ලා සිටියා.
නැගෙනහිර යුරෝපයේ ධර්මදූතයින්ගෙන් ඇමතුමක් ලැබූ එක් කාන්තාවක් මෙසේ අසා තිබුණා, “සහෝදරියනි, ඔබ මීට පෙර කතා නොකළේ ඇයි? මම බලාගෙන හිටියා!”
අපේ ධර්මදූතයින් බොහෝදෙනෙක් වෙන කවරදාටත් වඩා කාර්යබහුලයි. බොහෝදෙනෙක් වෙන කවරදාටත් වඩා වැඩි පිරිසකට උගන්වනවා. සාමාජිකයන් සහ ධර්මදූතයින් අතර වැඩි සම්බන්ධතාවයක් තිබෙනවා.
අතීතයේ, අප සාම්ප්‍රදායික ප්‍රවේශයන් සමඟ කෙතරම් බැඳී ඇත්ද යත්, අපගේ ඇස් ඇරීමට වසංගතයක් අවශ්‍ය වුණා. සමහරවිට ග්‍රැනයිට් දැනටමත් තිබෙන විට අපි තවමත් වැලි ගල් වලින් ගොඩනගමින් සිටිනවා වෙන්නට පුලුවන්. අත්‍යවශ්‍යයෙන්ම, පැමිණ බැලීමට, පැමිණ උදව් වීමට, සහ පැමිණ අයිති වීමට—සාමාන්‍ය හා ස්වාභාවික ආකාර වලින්—මිනිසුන්ට ආරාධනා කිරීමට, තාක්ෂණය ඇතුළු විවිධ ක්‍රම භාවිතා කරන ආකාර අපි දැන් ඉගෙනගනිමින් ඉන්නවා.
උන්වහන්සේගේ කාර්යය, උන්වහන්සේගේ මාර්ග
මේ ස්වාමින්වහන්සේගේ කාර්යයයි. උන්වහන්සේ විසින් එය කරන ආකාරය සොයාගැනීමට උන්වහන්සේ අපට ආරාධනා කරන අතර, ඒවා අපගේ අතීත අත්දැකීම් වලට වඩා වෙනස් විය හැකියි.
සයිමන් පීටර්ට සහ ටයිබීරියස් මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ගෝලයන්ට මෙය සිදුවුණා.
“එදින රාත්‍රියේ ඔවුන් කිසිවක් අල්ලාගත්තේ නැහැ.
“නමුත් පහන්වන කල්හි, යේසුස්වහන්සේ වෙරළෙහි සිටි සේක …
“ඔරුවේ [අනෙක්] පැත්තෙන් දැල දමාපල්ලා, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.”
ඔවුන් තම දැල් අනෙක් පැත්තට දැමූ අතර “මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය.” 10
දෙවියන්වහන්සේ සිය සර්වබලධාරි හස්තය හෙළිකර ඇති අතර එය දිගටම හෙළිකරනවා. උන්වහන්සේගේ රාජ්‍යය ස්ථිර අත්තිවාරමක් මත ගොඩනැගීම සඳහා, දෙවියන්වහන්සේ අපට වඩා හොඳ මාර්ග—උන්වහන්සේගේ මාර්ග—සොයාගැනීමට උපකාර කළ බව මෙම විපත්ති කාලය දෙස නැවත හැරී බලා දැනගන්නා දවස පැමිණෙනවා.
මෙය දෙවියන්වහන්සේගේ කාර්යයක් බවට මම සාක්ෂි දරනවා, උන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් වන උන්වහන්සේගේ ජනතාව අතර සිතාගත නොහැකි බොහෝ දේ කරනු ඇත. දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ සැලකිලිමත් හා දයානුකම්පිත දෑතින් අල්ලාගෙන සිටිනවා.
සභාපති රසල් එම්. නෙල්සන් යනු අපගේ දවසේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බව මම සාක්ෂි දරනවා.
ස්වාමින්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වශයෙන්, “සියලු දේවල් අප තුළ රැඳී ඇත්තාවූ බලයෙන් සතුටින් කිරීමට,” මම ඔබට ආරාධනා කර ආශිර්වාද කරනවා, “එවිට දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමටත්, තවද උන්වහන්සේගේ හස්තය එළිදරව් වීම උදෙසාත්, දැඩි ස්ථාවරයක් සමඟින් [නුඹලා] නැගීසිටිනු ඇත.” 11 ඒවගේම ස්වාමින්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨ ශ්‍රමයෙන් සිතාගත නොහැකි දේවල් ඇති කරන බවට මම පොරොන්දු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.