එන්න, මා අනුගමනය කරන්න 2024
ජනවාරි 8–14: “මම ගොස් එය කරන්නෙමි.” 1 නෙපී 1–5


“ජනවාරි 8–14: ‘මම ගොස් එය කරන්නෙමි.’ “1 නෙපී 1–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජනවාරි 8–14. 1 නෙපී 1–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2024 (2024)

රූපය
ලෙහිගේ පවුල කාන්තාරයේ ගමන් කරමින්

ගැරී ස්මිත් විසින්, Lehi Traveling Near the Red Sea [ලෙහි රතු මුහුද අසලින් ගමන් කරමින්]

ජනවාරි 8–14: “මම ගොස් එය කරන්නෙමි”

1 නෙපී 1–5

මොර්මොන්ගේ පොත ආරම්භ වන්නේ සැබෑ පවුලක් සැබෑ අරගල අත්විඳින විස්තරයක් සමඟින්. එය සිදුවූයේ ක්‍රි.පූ 600 දී, නමුත් මෙම වාර්තාව පිළිබඳ කරුණු අද පවුල් වලටද හුරුපුරුදු වෙන්න පුළුවන්. මෙම පවුල දුෂ්ඨකමින් යුත් ලෝකයක ජීවත් වුණත්, ඔවුන් උන්වහන්සේව අනුගමනය කරනවා නම් උන්වහන්සේ ඔවුන්ව ආරක්ෂාව කරා ගෙන යන බව ස්වාමින්වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා. අතරමගදී ඔවුන්ට හොඳ අවස්ථා සහ නරක අවස්ථා උදා වුණා; ඔවුන් මහත් ආශිර්වාද හා ප්‍රාතිහාර්යයන්ද අත්විඳි නමුත් ඔවුන් අතර වාද විවාද හා මතභේදද ඇති වුණා. තම පවුල තුළ ඇදහිල්ල ඇති කිරීමට වෙහෙසෙන හා ඔවුන්ගේ ආරක්ෂාව ගැන කරදර වන දෙමාපියන්, තම දෙමාපියන් විශ්වාස කරනවාද නැද්ද යන්න තීරණය කරමින් සිටින දරුවන්, ඒවගේම ඊර්ෂ්‍යාව සහ මතභේද සමඟ පොරබදින—සහ සමහර අවස්ථා වල එකිනෙකාට සමාව දෙන සහෝදරයන් සිටින පවුලක් ශුභාරංචිය අනුව ජීවත්වීමට උත්සාහ කිරීම පිළිබඳව ශුද්ධලියවිලි වල සඳහන් වන්නේ කලාතුරකින්. සමස්තයක් වශයෙන්, මෙම අසම්පූර්ණ පවුලේ ඇදහිල්ලේ ආදර්ශයන් තුළ බලයක් තිබෙනවා.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

1 නෙපී 1–5

දෙවියන්වහන්සේගේ වචනය මට “ඉතා වටිනවා.”

මොර්මොන්ගේ පොතේ සඳහන් එක් ප්‍රමුඛ පණිවිඩයක් තමයි දෙවියන්වහන්සේගේ වචන වල ඇති “බලවත් වටිනාකම” (1 නෙපී 5:21). ඔබ 1 නෙපී 1–5 කියවද්දි, දෙවියන්වහන්සේගේ වචනය සෘජුව හෝ වක්‍රව ලෙහිගේ පවුලට ආශිර්වාද කළ ආකාරය සොයන්න (උදාහරණයක් ලෙස බලන්න, 1:11–15, 3:19–20, 5:10–22). දෙවියන්වහන්සේගේ වචනය ගැන මෙම පරිච්ඡේද ඔබට උගන්වන්නේ මොනවාද? ඔබ සොයාගත් ආකාරයට ශුද්ධලියවිලි පද සෙවීමට ඔබව පොළඹවන්නේ මොනවාද?

1 නෙපී 2

ස්වාමින්වහන්සේ වෙතට හැරීමෙන් මට මාගේම සාක්ෂියක් ලබාගෙන එය ශක්තිමත් කරගන්න පුළුවන්.

නෙපී ස්වාමින්වහන්සේ කෙරෙහි ඔහුගේ බලවත් ඇදහිල්ල සඳහා ප්‍රසිද්ධයි, නමුත් අප සියල්ලන් මෙන් ඔහුගේ සාක්ෂිය ලබා ගැනීමට ඔහුටත් වැඩ කිරීමට සිදු වුණා. ඔබ 1 නෙපී 2 තුළ කියවන ආකාරයට, තම පියාගේ වචන සත්‍ය බවට සාක්ෂියක් ලබා ගැනීමට නෙපීට හැකි වූයේ ඇයි? ලාමන් සහ ලැමුවෙල් මෙම සාක්ෂිය ලබා නොගත්තේ ඇයි? (තවත් බලන්න 1 නෙපී 15:2–11). ස්වාමින්වහන්සේ ඔබේ හදවත මෘදු කරන බව ඔබට දැනුණේ කවදාද?

රූපය
සෙමනේරි නිරූපකය

1 නෙපී 3–4

මම දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකරන පිණිස, උන්වහන්සේ මා වෙනුවෙන් මාර්ගයක් සූදානම් කරනවා.

පිත්තල තහඩු ලබාගන්නා ලෙස ස්වාමින්වහන්සේ ලෙහිගේ පුතුන්ට ආඥා කළ විට, එය කළ යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් උන්වහන්සේ ලබාදුන්නේ නෑ. දෙවියන්වහන්සේගෙන් අපට ලැබෙන ආඥා සම්බන්ධයෙන් මෙය බොහෝ විට සත්‍යයක් වන අතර, උන්වහන්සේ “අමාරු දෙයක්” අපෙන් බලාපොරොත්තු වෙනවා කියා හැඟීමටද මෙය හේතු වෙනවා (1 නෙපී 3:5). 1 නෙපී 3:7, 15–16 තුළ දක්වා ඇති ස්වාමින්වහන්සේගේ ආඥාවට නෙපී දක්වන ප්‍රතිචාරයෙන් ඔබට පෙළඹවීමක් ලැබෙන්නේ කුමක් කරන්නටද?

ඔබ 1 නෙපී 3–4 කියවද්දි, නෙපී මුහුණ දුන් විවිධ දුෂ්කරතා සොයන්න. නෙපීට “ස්වාමින්වහන්සේ [ආඥා කළ] දේ සම්පූර්ණ කිරීමට” ස්වාමින්වහන්සේ “මාර්ගයක් පිළියෙළ කළේ” කොහොමද? ස්වාමින්වහන්සේ නෙපී වෙනුවෙන් කළ දේ දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?

දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උන්වහන්සේ අපව සූදානම් කර ඇති එක් බලවත් ක්‍රමයක් තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් ලෙස එවීම. සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද” යන පණිවිඩය කියවීම ගැන සලකා බලන්න. (ලියහෝනා, මැයි 2021, 75–77). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප එක් එක්කෙනා වෙනුවෙන් මාර්ගයක් පිළියෙළ කර තිබෙන්නේ කොහොමද? උන්වහන්සේ ඔබ වෙනුවෙන් සියල්ල ජයගත් බව දැනගැනීමෙන්, ඔබට පැහැදීමක් ඇතිවෙන්නේ කුමක් “ගොස් කිරීමට” ද?

ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට කතන්දර සහ උදාහරණ භාවිතා කරන්න. ඔබ ඉගැන්වීමට සූදානම් වෙද්දි, ශුද්ධලියවිලිවල ඇති වාර්ථාවලට දෙවන සාක්ෂියක් එක් කළ හැකි පෞද්ගලික අත්දැකීම් ගැන සිතන්න. උදාහරණයක් ලෙස, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඔබට මාර්ගයක් සූදානම් කළේ කොහොමද?

රූපය
ලෙහි සහ සාරියා නෙපී සහ ඔහුගේ සහෝදරයන්ව පිළිගනිමින්

වෝල්ටර් රනේ විසින්, Their Joy Was Full [ඔවුන්ගේ ප්‍රීතිය සම්පූර්ණය]

1 නෙපී 4:1–3; 5:1–8

දෙවියන්වහන්සේගේ ක්‍රියා සිහිකිරීම තුළින්, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට මට ඇදහිල්ල ලබාදෙනවා.

ලාමන්ට සහ ලැමුවෙල්ට මැසිවිලි නගන්නට හෝ පැමිණිලි කිරීමට දැනුණු විට, ඔවුන්ව දිරිමත් කර අවවාද කරන්නට සාමාන්‍යයෙන් නෙපී සහ ලෙහි ඔවුන් අසල සිටියා. ඔබට මැසිවිලි නගන්නට සිතෙද්දි, නෙපී සහ ලෙහිගේ වචන කියවීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට අන් අයට උදවු කිරීමට නෙපී සහ ලෙහි උත්සාහ කළේ කොහොමද? (බලන්න 1 නෙපී 4:1–3; 5:1–8; තවත් බලන්න 1 නෙපී 7:6–21). ඔබ ඉගෙනගත් ආකාරයට, ඔබ මැසිවිලි නගන්නට හෝ පැමිණීලි කරන්නට පෙළඹෙද්දි ඔබට උදවු වෙන දේවල් මොනවාද?

1 නෙපී 4:5–18

“මාව මෙහෙයවනු ලැබුවේ ආත්මයාණන් විසිනි.”

1 නෙපී 4:5–18 තුළ නෙපී ආත්මයාණන්වහන්සේව හඳුනා ගැනීමට සහ ආත්මයාණන්වහන්සේව අනුගමනය කිරීමට ඇති හැකියාව ගැන ඔබව විශ්මයට පත් කරන්නේ මොනවාද? ස්වාමින්වහන්සේගෙන් එළිදරව් ලබා ගැනීම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා සභාපති රසල් එම් නෙල්සන්ගේ “සභාව සඳහා එළිදරව් අපගේ ජීවිතය සඳහා එළිදරව්” (ලියහෝනා, මැයි 2018, 93–96) යන පණිවිඩය ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

1 නෙපී 2:16

මට මගේම සාක්ෂියක් ලබාගන්න පුළුවන්.

  • තම පියා ඉගැන්වූ දේ සත්‍ය බව නෙපී දැනගත්තේ කොහොමද? 1 නෙපී 2:16, 19 තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. නෙපීගේ ක්‍රියාවන් බිල්ඩින්ග් බ්ලොක්ස් හෝ වෙනත් ද්‍රව්‍ය මත ලියා එම ද්‍රව්‍ය භාවිතා කර යමක් ගොඩනගා ගැනීමෙන් ඔවුන්ට සතුටු වෙන්න පුළුවන්. අපට සාක්ෂියක් ගොඩනගා ගැනීමට උදවු වන ආකාරය පිළිබඳ සංවාදයකට මෙය හේතු වෙන්න පුළුවන්.

  • ඔබට ඔබේ දරුවන්ට මොර්මොන්ගේ පොතේ පිටපතක්, දේවමාළිගාවක හෝ ජීවමාන අනාගතවක්තෘවරයාගේ පින්තූර වැනි ඔවුන් සාක්ෂියක් අපේක්ෂා කළ හැකි දේවල් නියෝජනය කරන පින්තූර හෝ භාණ්ඩ පෙන්වන්න පුළුවන්. ඒවායින් එක් දෙයක් තෝරාගෙන ඉන්පසු ඔවුන්ට ඒ දේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි බෙදා ගැනීමට ආරාධනා කරන්න. ඔබේ සාක්ෂිය ලබා ගත් ආකාරය ඔබට ඔබේ දරුවන් සමඟ බෙදාගන්න පුළුවන්. අපට අපගේම සාක්ෂියක් අවශ්‍ය වන්නේ ඇයි?

1 නෙපී 3–4

දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උන්වහන්සේ මට උදවු කරනවා.

  • නෙපීට පිත්තල තහඩු ලබා ගැනීමට දෙවියන්වහන්සේ උදව් කළ ආකාරය ගැන ඔබේ දරුවන්ට කතා කිරීමට, මෙම සම්පත් වලින් එකක් හෝ කිහිපයක් භාවිතා කිරීම සලකා බලන්න: 1 නෙපී 3–4 සහ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව.

  • 1 නෙපී 3:2–7 තුළ ඇති කතාව රඟ දැක්වීමෙන් ඔබට සහ ඔබේ දරුවන්ට සතුටු වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ ලෙහි ලෙස පෙනී සිට පිත්තල තහඩු ලබා ගැනීම සඳහා යෙරුසලමට ආපසු යන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඔවුන්ට ලාමන් සහ ලැමුවෙල් හෝ නෙපී මෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේම වචනවලින් ප්‍රතිචාර දැක්වීමට ආරාධනා කරන්න. දෙවියන්වහන්සේ අපට කිරීමට ආඥා කර ඇති සමහර දේවල් මොනවාද? (අමතර අදහස් සඳහා බලන්න මොසායා 18:8–10). අපට නෙපී මෙන් වෙන්න පුළුවන් කොහොමද?

1 නෙපී 3:19–21; 5:19–22.

ශුද්ධලියවිලි කියන්නේ විශාල සම්පතක්.

  • ලෙහිගේ පවුලට ශුද්ධලියවිලි ඉතා වැදගත් වුණා. ඔවුන් බොහෝ දුර ගමන් කර, තම රන් රිදී අතහැර, තම ජීවිතය බේරා ගැනීමට ගුහාවක සැඟවී සිටි ආකාරය ගැන කතාව නිදර්ශනය කිරීම සඳහා, පිත්තල තහඩු ලබා ගැනීමට නෙපී සහ ඔහුගේ සහෝදරයන් කළ දේ පැවසීමට හෝ රඟ දැක්වීමට ඔබට උදවු කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. පසුව ඔබට 1 නෙපී 5:21 කියවා ලෙහිගේ පවුලට ශුද්ධලියවිලි මෙතරම් වටින්නේ ඇයි කියා කතා කරන්න පුළුවන්. ඒවා අපට වටින්නේ ඇයි? අපට ශුද්ධලියවිලි වටිනා වස්තුවක් ලෙස අගය කරන්න පුළුවන් කොහොමද?

රූපය
නෙපී සහ ඔහුගේ පවුලේ අය තහඩු අධ්‍යයනය කරමින්

නෙපී සහ ඔහුගේ පවුලේ අය ශුද්ධලියවිලි අගය කළා.

1 නෙපී 4:6

මම ස්වාමින්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ කරද්දි ශුද්ධාත්මයාණන්වහන්සේ මට මගපෙන්වනවා.

  • නෙපී සහ ඔහුගේ සොහොයුරන් පිත්තල තහඩු ලබා ගැනීමට උත්සාහ කළ ආකාරය 1 නෙපී 3 තුළ එකට එක්ව සමාලෝචනය කිරීමෙන් පසුව, අවසානයේ සාර්ථක වීමට නෙපී කළ දේ දැනගැනීමට ඔබේ දරුවන් සමඟ 1 නෙපී 4:6 කියවන්න. ඊට පස්සෙ දෙවියන්වහන්සේ ඔබේ දරුවන් කරනවාට කැමති දේවල් වල ලැයිස්තුවක් ඔවුන්ට හදන්න පුළුවන්. මෙම තත්වයන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උදවු කරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
නෙපී බීමත් ලාබන් අසල සිටගෙන සිටිමින්

වෝල්ටර් රනේ විසින්, I Did Obey the Voice of the Spirit [ආත්මයාණන්ගේ හඬට මම කීකරු වීමි]

මුද්‍රණය කරන්න