එන්න, මා අනුගමනය කරන්න 2024
පෙබරවාරි 12–18: “අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු.” 2 නෙපී 3–5


“පෙබරවාරි 12–18: ‘අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු.’ 2 නෙපී 3–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“පෙබරවාරි 12–18. 2 නෙපී 3–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
නෙපී සහ ඔහුගේ බිරිඳ

පෙබරවාරි 12–18: “අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු”

2 නෙපී 3–5

1 නෙපී කියවද්දි, නෙපී කියන්නෙ වැඩි අවධානයකට යොමු වූ විශාල කෙනෙක් බවට හැඟීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. ශාරීරිකව සහ අධ්‍යාත්මික වශයෙන් “පෞරුශයෙන් විශාල වූ” (1 නෙපී 2:16) ඔහු මුහුණ දුන් පීඩාවලින් නොසැලී සිටින බවක් පෙනෙන්නට තිබුණා. නැතිනම් අවම වශයෙන් අපට උපකල්පනය කරන්න පුළුවන් එහෙමයි. නෙපීගේ ඇදහිල්ල විශිෂ්ට වුණත්, වඩාත් ඇදහිලිවන්ත මිනිසුන්ට පවා සමහර අවස්ථාවලදී පරීක්ෂාවන්ගෙන් “අසරණ බවක්” සහ “පහසුවෙන් පැටලී සිටින” බවක් දැනෙන බව 2 නෙපී 4 තුළ ඔහුගේ මුදු මොළොක් වදන් හෙළිදරව් කරනවා. මෙහිදී අපි උත්සහ කරන කෙනෙකුව දකිනවා, [ඔහු] ප්‍රීතියෙන් සිටීමට කැමති නමුත් “[ඔහුගේ] පව් හෙතුවෙන් [ඔහුගේ] හදවත සුසුම්ලනවා.” අපට එයටත්, ඒ වගේම පහත සඳහන් බලාපොරොත්තු සහගත අධිෂ්ඨානයටත් සම්බන්ධ වෙන්න පුළුවන්: “කෙසේ වෙතත්, මා විශ්වාසය තබා ඇති තැනැන්වහන්සේ කව්ද කියා මම දනිමි” (බලන්න 2 නෙපී 4:15–19).

නෙපී සහ ඔහුගේ සෙනඟ “ප්‍රීතිමත් ආකාරයෙන්” ජීවත් වීමට ඉගෙන ගත් අතර (2 නෙපී 5:27), ප්‍රීතිය පහසුවෙන් හෝ දුක්ඛිත කාලපරිච්ඡේදයකින් තොරව නොපැමිණෙන බවත් ඔවුන් ඉගෙන ගත්තා. එය අවසානයේ පැමිණෙන්නේ “[අපගේ] ධර්මිෂ්ඨකමේ පර්වතය” (2 නෙපී 4:35) වන ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන්.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 3:6–24

ශුභාරංචිය නැවත පිහිටුවීම සඳහා ජෝසෆ් ස්මිත්ව කලින් නියම කර තිබුණා.

ඊජිප්තුවේ යෝසෙප් දුන් අනාවැකියක් ලෙහි තම පුත් යෝසෙප් සමඟ බෙදාගත්තා. ඒ අනාවැකිය අනාගත “දිවැසිවරයෙකු” වූ ජෝසෆ් ස්මිත් ගැනයි. 6–24 පදවල පවසන පරිදි, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ සෙනගට ආශිර්වාද කිරීමට කරන්නේ මොනවාද? ජෝසෆ් ස්මිත්ගේ කාර්යය ඔබට “ඉතා වටිනා” දෙයක් වී ඇති ආකාරය ගැන සලකා බලන්න. මෙවැනි ප්‍රශ්න ගැන සිතා, ඔබේ පිළිතුරු සටහන් කිරීම ගැන සලකා බලන්න:

  • ජෝසෆ් ස්මිත් ඉගැන්වූ දේ නිසා ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ දන්නේ මොනවාද?

  • ජෝසෆ් ස්මිත් හරහා ස්වාමින්වහන්සේ නැවත පිහිටවූ දේ නිසා ඔබේ ජීවිතය වෙනස් වී තිබෙන්නේ කොහොමද?

  • නැවත පිහිටුවීම සිදු නොවූයේ නම් ඔබේ ජීවිතය කොයි වගේ වෙයිද?

ජෝසෆ් ස්මිත්ගේ ධර්මදූත සේවයේ එක් වැදගත් කොටසක් වුණේ මොර්මොන්ගේ පොත ඉදිරියට ගෙන ඒමයි. මොර්මොන්ගේ පොතේ වැදගත්කම ගැන මෙම පරිච්ඡේදයෙන් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? විශේෂයෙන්ම, ඔබට 7, 11–13, 18–24 පද තුළින් හේතු සොයන්න පුළුවන්.

රූපය
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්

ඩේවිඩ් ලින්ඩ්ස්ලි විසින්, Prophet of the Lord [ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා]

2 නෙපී 4:15–35

“අහෝ ස්වාමිනී, මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇත්තෙමි.”

“මගේ ප්‍රාණයේ දේවල් ලියන” බව නෙපී පැවසුවා (15 වෙනි පදය). 2 නෙපී 4:15–35 තුළ ඔහු ලියූ දේ ඔබ කියවද්දි, ඔබ ඔබෙන්ම මෙහෙම අහන්න “මගේ ප්‍රාණයේ දේවල් මොනවාද?” නෙපී කළාක් මෙන් ඒවා ලිවීම සහ ඔබ ආදරය කරන අය සමඟ ඒවා බෙදා ගැනීම ගැන සලකා බලන්න.

නෙපීට යටපත් වීමක් හෝ කනස්සල්ලක් වැනි හැඟීමක් දැනුණු විට ඔහු සැනසීම සොයාගත් ආකාරය දැනගැනීම, ඔබටත් ඒ හා සමාන හැඟීම් ඇති වෙද්දි උදවුවක් වෙන්න පුළුවන්. ඔබට සැනසිල්ල ගෙන දෙන ඡේද සඳහා 15–35 පද බලන්න. මෙම ඡේදවලින් සැනසීමක් ලැබිය හැකි වෙනත් කෙනෙකුව ඔබ දන්නවාද?

තවත් බලන්න රොනල්ඩ් ඒ. රස්බෑන්ඩ්, “මගේ ප්‍රාණයේ දේවල්,” ලියහෝනා, නොවැ. 2021, 39–41.

2 නෙපී 5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමෙන් මට ප්‍රීතිය සොයාගන්න පුළුවන්.

ඔබ සිතන ආකාරයට සතුටින් සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? තම ජනතාව ජීවත් වූයේ “ප්‍රීතිමත් ආකාරයෙන්” බව නෙපී ලිව්වා (2 නෙපී 5:27). නෙපීට සහ ඔහුගේ ජනයාට ප්‍රීති වීමට උදවු කළ තෝරාගැනීම් ඔබට සොයන්න පුළුවන් (උදාහරණයක් ලෙස බලන්න, 2 නෙපී 5:6, 10–17). නෙපීගේ ජනතාවට වගේ ඔබටත් ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනගාගන්න උදවු වෙන්න පුළුවන් දේවල් මොනවාද?

2 නෙපී 5:20–21

ලාමන්වරුන් මත පැමිණි ශාපය කුමක්ද?

නෙපීගේ දවස් වලදී ලාමන්වරුන් මත පැමිණි ශාපය වුණේ “ඔවුන්ගේ අයුතුකම් නිසා … [ස්වාමින්වහන්සේගේ] අභිමුඛයෙන් ඔවුන්ව කපා දමා තිබීමයි” (2 නෙපී 5:20–21). මෙයින් අදහස් කළේ ස්වාමින්වහන්සේගේ ආත්මය ඔවුන්ගේ ජීවිත වලින් ඉවත්කර ඇති බවයි. පසුකලෙක ලාමන්වරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගත් විට “දෙවියන්වහන්සේගේ ශාපය තවදුරටත් ඔවුන් පසුපස [පැමිණියේ නෑ]” (ඇල්මා 23:18).

නෙපීවරුන් ඔවුන්ගෙන් වෙන්වූ පසු ලාමන්වරුන් මත අඳුරු සමේ සලකුණක් පැමිණි බවත් මොර්මොන්ගේ පොතෙහි සඳහන් වෙනවා. මෙම සලකුණෙහි ස්වභාවය සහ පෙනුම සම්පූර්ණයෙන් වටහාගෙන නෑ. මෙම සලකුණ මූලිකවම ලාමන්වරුන්ව නෙපීවරුන්ගෙන් වෙන් කර පෙන්නුවා. පසුව, නෙපීවරුන් සහ ලාමන්වරුන් යන දෙපාර්ෂවයම දුෂ්ටකමේ සහ ධර්මිෂ්ඨකමේ කාල පරිච්ඡේද හරහා ගමන් කළ විට, එම සලකුණ තවදුරටත් අදාළ වුණේ නෑ.

අඳුරු සම කියන්නෙ දිව්‍යමය අප්‍රසාදයේ හෝ ශාපයේ ලකුණක් නොවන බව අපේ කාලයේ අනාගතවක්තෘවරු සහතික කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගැනීම ඔබගේ සමේ පැහැය මත තීරණය නොවන බව මම ඔබට සහතික වෙනවා. දෙවියන්වහන්සේ කෙරෙහි දක්වන ප්‍රසාදය හෝ අප්‍රසාදය රඳාපවතින්නේ දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආඥා කෙරෙහි ඇති ඔබගේ භක්තිය මත මිස ඔබේ සමේ වර්ණය මත නොවේ” (“දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, 2020 නොවැ. 94).

නෙපී ඉගැන්වූ පරිදි, ස්වාමින්වහන්සේ “උන්වහන්සේ වෙතට එන කිසිවෙක් එනම් කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියක උන්වහන්සේ එපා නොකරන සේක; … තවද සියල්ලෝම දෙවියන්වහන්සේට සමානය” (2 නෙපී 26:33).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 3:6–24

ජෝසෆ් ස්මිත් කියන්නෙ අනාගතවක්තෘවරයෙක්.

  • ජෝසෆ් ස්මිත් හරහා දෙවියන්වහන්සේ ඉටු කළ ශ්‍රේෂ්ඨ කාර්යය ගැන ඔබේ දරුවන්ට උගන්වන්නේ කොහොමද කියා සලකා බලන්න. මෙය පටන් ගැනීමට, ඔබට ඔබේ දරුවන්ට 2 නෙපී 3:6 තුළ “අනාගතය දකින්නා” යන වචනය සොයා ගැනීමට උදවු කරන්න පුළුවන්, ඒ වගේම අපට නොපෙනෙන දේවල් දැකීමට ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ට උදවු කරන නිසා අනාගතවක්තෘවරුන්ව අනාගතය දකින්නන් ලෙස හඳුන්වන බව පැහැදිලි කරන්න. සභාවට නායකත්වය දෙන අනාගතය දකින්නෙකු සිටීම ගැන ඔබ ස්තූතිවන්ත වන්නේ ඇයි කියා බෙදා ගන්න.

  • ජෝසෆ් ස්මිත්ව “තෝරාගත් අනාගතය දකින්නෙකු” ලෙස හඳුන්වන්නේ ඇයි? ජෝසෆ් ස්මිත් කළ “ශ්‍රේෂ්ඨ කාර්යය” කුමක්ද? (7 වෙනි පදය).

2 නෙපී 4:15–355

මම “ස්වාමින්වහන්සේගේ දේවල් වලට” ආදරෙයි.

  • අපව සතුටු කරන්නේ මොනවාද? නෙපීව ප්‍රමෝදමත් කළ හෝ ඔහුව සතුටු කළ දේවල් මොනවාද කියා සොයා ගැනීමට එකට එකතු වී 2 නෙපී 4 කියවීම ගැන සලකා බලන්න (බලන්න 15–16, 20–25, 34–35 පද). වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බැන්ඩ් “මාගේ ප්‍රාණයේ දේවල්” යන ඔහුගේ පණිවිඩයේ ඔහුට වටින “ස්වාමින්වහන්සේගේ දේවල් හතක්” පිළිබඳව බෙදාගත්තා (ලියහෝනා, 2021 නොවැ. 39–41). සමහරවිට ඔබට එකට එකතු වී ඔහුගේ ලැයිස්තුව සමාලෝචනය කර එයින් ඔබට වටින “ස්වාමින්වහන්සේගේ දේවල්” ගැන කතා කරන්න පුළුවන්.

  • 2 නෙපී 5 තුළද නෙපීවරුන්ට “ප්‍රීතිමත් ආකාරයෙන්” ජීවත් වීමට උදවු වූ දේවල් විස්තර කරනවා (27 වෙනි පදය). ඔබට මෙම දේවල් නියෝජනය කරන වචන හෝ පින්තූර කිහිපයක් සපයා ඒවා 5 වෙනි පරිච්ඡේදයේ පද සමඟ ගලපන්නට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන්. සමහර උදාහරණවලට මේ දේවල් ඇතුළත් වෙනවා: පවුල (6 වෙනි පදය), දෙවියන්වහන්සේගේ ආඥා (10 වෙනි පදය), ශුද්ධලියවිලි (12 වෙනි පදය), ක්‍රියා (15 සහ 17 වෙනි පද), දේවමාළිගා (16 වෙනි පදය), සහ සභාවේ කැඳවීම් (26 වෙනි පදය). මේ දේවල් අපිට සතුටක් ගෙන දෙන්නේ කොහොමද?

2 නෙපී 5:15–16

දේවමාළිගාව කියන්නෙ ස්වාමින්වහන්සේගේ නිවස.

  • ඔබ ඔබේ දරුවන්ට 2 නෙපී 5:15–16 කියවද්දි, ඔවුන් නෙපීට දේවමාළිගාවක් ගොඩනැගීමට උදව් කරන බව ඔවුන්ට සිතින් මවාගන්න පුළුවන්. ඔබට දේවමාළිගාවක් ඇතුළු විවිධ ගොඩනැගිලිවල පින්තූරද ඔවුන්ට පෙන්වන්න පුළුවන්. දේවමාළිගාව අනෙකුත් ගොඩනැගිලිවලට වඩා වෙනස් වන්නේ කොහොමද?

ඕනෑම මොහොතක් ඉගැන්වීමේ මොහොතක් වෙන්න පුළුවන්. ඔබේ පවුලට ඉගැන්වීම, විධිමත් පාඩම් කාලයකදී ඔබ සතියකට වරක් කරන දෙයක් ලෙස සිතන්න එපා. එය ඔබ නිතරම කරන දෙයක් ලෙස සිතන්න.

රූපය
නෙපීවරුන් දේවමාළිගාවක් ගොඩනගමින්

මයිකල් ටී. මැල්ම් විසින්, The Temple of Nephi [නෙපීගේ දේවමාළිගාව]

මුද්‍රණය කරන්න