එන්න, මා අනුගමනය කරන්න 2024
පෙබරවාරි 19–25: “අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් ශ්‍රේෂ්ඨද.” 2 නෙපී 6–10


“පෙබරවාරි 19–25: ‘අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් ශ්‍රේෂ්ඨද.’ 2 නෙපී 6–10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා:: මොර්මොන්ගේ පොත 2024 (2024)

“පෙබරවාරි 19–25. 2 නෙපී 6–10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
යේසුස්වහන්සේ ගෙත්සෙමනෙහි යාච්ඤා කරමින්

හැරී ඇන්ඩර්සන් විසින්, Not My Will, but Thine, Be Done [මාගේ කැමැත්ත නොව, නමුත් ඔබගේ කැමැත්ත වේවා]

පෙබරවාරි 19–25: “අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් ශ්‍රේෂ්ඨද”

2 නෙපී 6–10

ලෙහිගේ පවුල යෙරුසලමෙන් පිටවී අවුරුදු 40 ක් පමණ ගත වී තිබෙනවා. ඔවුන් සිටියේ යෙරුසලමේ සිට ලෝකයේ අඩක දුරින් පිහිටි අමුතු මෙන්ම නව දේශයක. ලෙහි මියගොස් ඇති අතර, “දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම් සහ එළිදරව් කිරීම් විශ්වාස කළ” නෙපීවරුන් සහ එසේ නොකළ ලාමන්වරුන් අතර ශතවර්ෂ ගණනාවක් පුරා පවතින මතභේදයක් ඔහුගේ පරම්පරාව තුළ මේ වද්දිත් ආරම්භ වී තිබෙනවා. (2 නෙපී 5:6). නෙපීගේ බාල සොහොයුරා වූ සහ දැන් නෙපීවරුන්ගේ ගුරුවරයෙකු ලෙස කැදවීම් ලබා සිටින යාකොබ්ට අවශ්‍ය වූයේ දෙවියන්වහන්සේ ඔවුන්ව කිසිදා අමතක නොකරන නිසා ඔවුන් කිසිවිටෙකත් උන්වහන්සේව අමතක නොකළ යුතු බව, ගිවිසුම්ගත ජනතාව දැනගැනීමයි. මෙය අද අපට නිසැකවම අවශ්‍ය පණිවිඩයක් (බලන්න දහම සහ ගිවිසුම් 1:15–16). “අප ඉවත නොදමනු ලබනු පිණිස, … අපි උන්වහන්සේව සිහියේ තබාගනිමු. … ස්වාමින්වහන්සේගේ පොරොන්දු බලවත්ය,” ලෙස යාකොබ් පැවසුවා (2 නෙපී 10:20–21). එම පොරොන්දු අතර, මරණය හා නිරය ජයගැනීම සඳහා “අසීමිත වන්දිගෙවීම” පිළිබඳ පොරොන්දුවට වඩා වටිනා වෙනත් දෙයක් නෑ (2 නෙපී 9:7). “එබැවින්, ඔබේ හදවත් සතුටු කරන්න!” කියමින් යාකොබ් අවසාන කළා. (2 නෙපී 10:23).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 නෙපී 6–8

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සෙනගට අනුකම්පා කරනවා ඒ වගේම උන්වහන්සේගේ ගිවිසුම් ඉටුකරනවා.

යාකොබ් ඉශ්‍රායෙල් වංශයේ කොටසක් බවත්, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් තම සෙනගට තේරුම්ගැනීමට උදවු කිරීම සඳහා, 2 නෙපී 6–8 තුළ වාර්තා කර ඇති යෙසායාගේ අනාවැකි යාකොබ් විසින් උපුටා දැක්වූවා. පසුදවස් වල ශුද්ධවන්තයන්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟගේ කොටසක් වන නිසා, එම පණිවිඩය ඔබ සඳහාත් අදාළයි. ඔබ මේ පරිච්ඡේද කියවද්දි, පහත සඳහන් ප්‍රශ්න වැනි ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න:

  • ගැලවුම්කරුවාණන්ට මා කෙරෙහි ඇති මුදවාගැනීමේ ප්‍රේමය ගැන මා ඉගෙනගන්නේ මොනවාද? මෙම ප්‍රේමය විශේෂයෙන්ම හොඳින් ප්‍රකාශ කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද?

  • ගැලවුම්කරුවාණන් උන්වහන්සේව සොයන මිනිසුන්ට ලබාදෙන්නේ මොනවාද?

  • ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද සඳහා වඩාත් ඇදහිලිවන්තව “බලාසිටීමට” මට කුමක් කළ හැකිද?

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 9:1–26

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාව පාපයෙන් සහ මරණයෙන් ගලවාගත්තා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ අගය කිරීම ගැඹුරු කරගැනීමට එක් ක්‍රමයක් තමයි, උන්වහන්සේ නොමැතිව අපට කුමක් සිදුවේදැයි සිතීම. ඔබ 2 නෙපී 9:1–26 කියවද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නොමැතිව අපට කුමක් සිදුවේද යන්න එක වර්ණයකින් ලකුණු කිරීම ගැන සලකා බලන්න. පසුව, වෙනත් වර්ණයකින්, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අපට ලැබිය හැකි දේ ඔබට ලකුණු කරන්න පුළුවන්. ඔබ කියවන දේ මත පදනම්ව, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අවශ්‍ය වන්නේ ඇයි කියා ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? ඔබ සොයාගත් ආකාරයට “දෙවියන්වහන්සේගේ නුවණ, උන්වහන්සේගේ කරුණාව සහ අනුග්‍රහය” ගැන ප්‍රශංසා කිරීමට, ඔබව පොළඹවන දේවල් මොනවාද? (2 නෙපී 9:8).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව ගලවාගත්තේ කුමකින්ද යන්න ඉගැන්වීමට අමතරව, උන්වහන්සේ එය කළ ආකාරය ගැන අවබෝධයක්ද යාකොබ් ලබා දුන්නා. 2 නෙපී 9:11–15, 20–24 තුළ ඔබ සොයා ගන්නා දේ සටහන් කරගැනීම ගැන සලකා බලන්න.

දෙවියන්වහන්සේගේ මිදීමේ සැලැස්ම ගැන යාකොබ් කොතරම් විස්මයට පත් වූවාද කිවහොත්, “අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් බලවත්ද” කියා ඔහු කෑගැසුවා. 2 නෙපී 9 තුළ ඔහුගේ විස්මයන් සොයන්න (ඒවායින් බොහොමයක් 8–20 පදවල සොයාගන්න පුළුවන්). දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? යාකොබ්ට හැඟුණු දේවලින් සමහරක් හැඟෙන්නට ඔබට උදවු වුණු අත්දැකීම් මොනවාද? ඔබේ නමස්කාරයේ සහ අධ්‍යයනයේ කොටසක් ලෙස, උන්වහන්සේ ගැන ඔබට හැඟෙන ආකාරය ප්‍රකාශ කළ හැකි ගීතිකාවක් සෙවීම ගැන සලකා බලන්න.

2 නෙපී 9:7

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අසීමිතයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ “අසීමිත වන්දිගෙවීම” වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබට කළ හැක්කේ මොනවාද? (2 නෙපී 9:7). සමහරවිට කෙතක තණකොළ තල, වෙරළේ වැලි ඇට හෝ අහසේ තරු මෙන්—ඔබට අසීමිත යැයි පෙනෙන දේවල් දෙස බලන්න ඔබට පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අසීමිත වෙන්නේ කොහොමද? එය පුද්ගලික වෙන්නේත් කොහොමද? ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් කළ දේ පිළිබඳව ස්තූතිවන්ත වීමට ඔබට උදවු කරන 2 නෙපී 9 තුළ ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද?

2 නෙපී 9:27–54

මට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ දෙවියන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන්න පුළුවන්.

2 නෙපී 9 තුළ යාකොබ් බලවත් හා එකිනෙකට වෙනස් වාක්‍ය ඛණ්ඩ දෙකක් භාවිතා කළා: “ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන්වහන්සේගේ කරුණාවන්ත සැලැස්ම” සහ “දුෂ්ඨ තැනැත්තාගේ කපටි සැලැස්ම” (2 නෙපී 9:6, 28). සමහරවිට ඔබට මාර්ගයක් ඇඳ එය ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම ලෙස නම් කරන්න පුළුවන්. ඉන්පසු 2 නෙපී 9:27–52 උවමනාවෙන් කියවන්න. මෙම සැලැස්ම අනුගමනය කිරීමට අපට උදවු කිරීමට යාකොබ් දුන් අනතුරු ඇඟවීම් සහ ආරාධනා සොයන්න. ඔබ සොයාගන්නා දේවල් එම මාර්ගය අසලින් ලියන්න. දෙවියන්වහන්සේගේ සැලැස්මෙන් අපව ඈත් කිරීමට සාතන් උත්සාහ කරන්නේ කොහොමද? යාකොබ්ගේ අනතුරු ඇඟවීම් සහ ආරාධනාවලට ප්‍රතිචාර වශයෙන් ඔබට දේවානුභාවයෙන් හැඟෙන්නේ මොනවා කරන්නටද?

2 නෙපී 10:20, 23–25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගයට මට ප්‍රීතිය ගෙන දෙන්න පුළුවන්.

යාකොබ්ගේ පණිවිඩය ප්‍රීතිමත් එකක් වුණා. ඔහු මෙහෙම කිව්වා, “මා මේ දේවල් නුඹලා හට කථා කරන්නේ, නුඹලා ප්‍රීතිවනු පිණිසත්, නුඹලාගේ හිස් සදහටම ඔසවනු පිණිසත්ය” (2 නෙපී 9:3). ඔබ 2 නෙපී 10:20, 23–25 කියවද්දි, ඔබ සොයාගන්නා, ඔබගේ හදවත ප්‍රීතිමත් කරන දේවල් මොනවාද? ඔබ අධෛර්යයට පත්වූ විට මේ දේවල් මතකතබාගැනීමට ඔබ කරන්නේ මොනවාද?

තවත් බලන්න යොහාන් 16:33; ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “සාන්තුවරයන්ගේ ප්‍රීතිය,” ලියහෝනා, නොවැ. 2019, 15–18.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 9:6–10, 19–24

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන්.

  • ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවශ්‍ය බව ඔවුන්ට තේරුම් ගැනීමට සහ ඔවුන්ට එය දැනෙන්නට ඔබට උදවු කරන්න පුළුවන් කොහොමද? මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව උදවු වෙන්න පුළුවන්. එය වළක් සහ ඉණිමගක සරල ආදර්ශකයක් භාවිතා කරනවා. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ස්තූතිවන්ත වන්නේ ඇයිද කියා ඔබේ දරුවන් සමඟ කතා කිරීමට 2 නෙපී 9::21–22 භාවිතා කිරීම ගැන සලකා බලන්න.

  • අපට ගැලවුම්කරුවාණන්ව අවශ්‍ය වන්නේ ඇයි කියා ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කිරීමට එක් ක්‍රමයක් තමයි වැටීම ගැන ඔවුන්ට ඉගැන්වීම. ආදම් සහ ඒවගේ පින්තූරයක් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මත සිටින පින්තූරයක් ඔබට පෙන්වන්න පුළුවන්. එක් එක් පින්තූරයේ සිදුවන දේ විස්තර කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටීම ගැන සලකා බලන්න. අපි ආදම් සහ ඒව වගේ වෙන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කළ දේ බැලීමට 2 නෙපී 9:6–10 යන පද ඔවුන්ට උපකාරී වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දරුවන්ගේ හැඟීම් බෙදාගැනීමට ඔවුන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න.

කතන්දර සහ උදාහරණ සමඟ සත්‍යය උගන්වන්න. ඔබ භාවිතා කරන කථා සහ උදාහරණ සත්‍යය උගන්වන බවට වග බලා ගන්න. උදාහරණයක් වශයෙන්, මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කරද්දි, අප පිටතට යද්දි සෑම පියවරකදීම අපට උදවු කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “වළට” පැමිණි බව උගන්වන්න.

2 නෙපී 9:20, 28–29, 42–43, 49

“මාගේ ප්‍රාණය ධර්මිෂ්ඨකම ප්‍රිය කරනවා.”

  • “ධර්මිෂ්ඨකමෙහි [ප්‍රීතිවීමට]” හෝ ප්‍රීතියෙන් ස්වාමින්වහන්සේට කීකරු වීමට ඔබේ දරුවන්ව දිරිමත් කිරීමට (2 නෙපී 9:49), සමහරවිට ඔබට දරුවන් හොඳ තේරීමක් හෝ නරක තේරීමක් කරන උදාහරණ බෙදාගන්න පුළුවන්. යම් තෝරාගැනීමක් සතුට ගෙන දෙද්දි නැගී සිටීමටත් යම් තෝරාගැනීමක් දුක ගෙන දෙද්දි වාඩි වීමටත් දරුවන්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අප තීරණයක් ගත් නිසා අපට සතුටක් දැනුණේ කවදාද?

  • ස්වාමින්වහන්සේගේ ආඥා මෝඩ හෝ යල් පැන ගිය ඒවා යැයි සිතන මිනිසුන් සමඟ ඔබේ දරුවන් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා (ඔවුන් දැනටමත් එසේ කර නොමැති නම්). සමහර විට අපි ආඥා පිළිපැදීම ගැන සතුටු වන්නේ ඇයි කියා යමෙකුට පැහැදිලි කරන ආකාරය, ඔබට සහ ඔබේ දරුවන්ට සාකච්ඡා කරන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ උපදෙස් සම්පූර්ණයෙන්ම තේරුම් නොගත්තත් එය විශ්වාස කිරීම වැදගත් වන්නේ ඇයි? මෙම ප්‍රශ්න ගැන සිතීමට සහ සාකච්ඡා කිරීමට උදවුවක් ලෙස ඔබට 2 නෙපී 9:20, 28–29, 42–43 බලන්නට ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ මිනිසුන්ව සුව කරමින්

ජේ. කර්ක් රිචඩ්ස් විසින්, He Healed Many of Diverse Diseases [උන්වහන්සේ විවිධ රෝග බොහොමයක් සුවකළ සේක]

මුද්‍රණය කරන්න