එන්න, මා අනුගමනය කරන්න 2024
මැයි 6–12: “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්.” මොසායා 7–10


“මැයි 6–12: ‘ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්’ මොසායා 7-10” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මැයි 6–12. මොසායා 7–10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
අම්මෝන් ලිම්හි රජුට උගන්වමින්

මිනර්වා ටීචර්ට් (1888-1976), Ammon before King Limhi, [ලිම්හි රජු ඉදිරියේ අම්මෝන්] 1949–1951, මේසොනයිට් මත තෙල්, අඟල් 35 15/16 × 48. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.

මැයි 6–12: “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්”

මොසායා 7–10

මොසායා රජුගේ ජනයා සාරාහෙම්ලා තුළ “අඛණ්ඩ සාමය” භුක්ති විඳිමින් සිටියදී (මොසායා 7:1), මීට වසර ගණනාවකට පෙර ලෙහි-නෙපී දේශයේ වාසය කිරීමට පිටත්ව ගිය අය වන තවත් නෙපීවරුන් කණ්ඩායමක් වෙත ඔවුන්ගේ සිතුවිලි යොමු වුණා. පරම්පරාවන් ගෙවී ගොස් තිබුණු අතර, මොසායාගේ සෙනග ඔවුන් පිළිබඳ කිසිඳු ආරංචියක් ලබා තිබුණේ නැහැ. එබැවින් පිටත්ව ගිය නෙපීවරුන් සෙවීමේ පාර්ශවයක් මෙහෙයවන ලෙස මොසායා අම්මෝන්ගෙන් ඉල්ලා සිටියා. “අයුතුකම නිසා” (මොසායා 7:24) එම නෙපීවරුන් ලාමන්වරුන්ට වහල්භාවයේ සිටින බව සෙවුම් පාර්ශවයට සොයාගත හැකි වුණා. නමුත් අම්මෝන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ පැමිණීමත් සමඟම, හදිසියේම ගැලවීම පිළිබඳ බලාපොරොත්තුවක් එහි ඇතිවුණා.

සමහරවිට අපිත් මේ වහල් නෙපීවරුන් වගේ, අපගේ පව් නිසා දුක්විඳිමින්, අපට නැවත සාමය ලැබෙන්නේ කොහොමද කියා කල්පනා කරමින් සිටිනවා වෙන්න පුළුවන්. සමහරවිට අම්මොන් වගේ, අපට අන් අය වෙත ළඟා වීමට පෙලඹීමක් ඇති වූ විට, අවසානයේ අපගේ උත්සාහයන් “ඔවුන්ගේ හිස ඔසවා ප්‍රීතිවීමට හා දෙවියන්වහන්සේ කෙරෙහි [ඔවුන්ගේ] විශ්වාසය තැබීමට” ඔවුන්ව පොළඹවා ඇති බව අපිට සොයාගන්න පුළුවන් (මොසායා 7:19). අපගේ තත්වයන් කුමක් වුවත්, “උන්වහන්සේ … [අපව] ගලවාගනු ඇත” යන ඇදහිල්ල ඇතිව, අප සියල්ලන්ම පසුතැවිලි වී “සම්පූර්ණ අරමුණ ඇතිව විශ්වාසය සමඟ ස්වාමින්වහන්සේ වෙතට හැරිය යුතු[යි]” (මොසායා 7:33).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොසායා 7:14–33

මා මුදා ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය තිබෙනවා.

අම්මෝන්ව මුණගැසීම, ලිම්හි රජුට බලාපොරොත්තුවක් ලබාදුන් අතර, එම බලාපොරොත්තුව තම සෙනගටත් ලබාදීමට ඔහුට අවශ්‍ය වුණා. සමහරවිට ඔහුගේ වදන් ඔබටත් බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. පසුබිම දැනගැනීම සඳහා, මොසායා 7:20–25 තුළ ලිම්හිගේ ජනයාගේ තත්වය සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. ඔබ මොසායා 7:14–33 කියවද්දි මේ ගැන සිතන්න:

  • ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තම සෙනඟගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව ශක්තිමත් කිරීමට ලිම්හි පැවසුවේ කුමක්ද?

  • ඔබට බලාපොරොත්තුවක් දැනීමට උදවු වූයේ කුමන වාක්‍ය ඛණ්ඩද? (බලන්න 19, 33 පද).

  • දෙවියන්වහන්සේට ඔබව ගලවා ගැනීමට හැකි බවත්, ඔබව ගලවා ගන්නා බවත් විශ්වාස කිරීමට ඔබට උදවු වී ඇති අත්දැකීම් මොනවාද?

මොසායා 7:26–27

මාව මවා ඇත්තේ “දෙවියවහන්සේගේ ස්වරූපයෙන්.”

මොසායා 7:26–27 තුළ ලිම්හි අබිනාදි විසින් ඉගැන්වූ සමහර සත්‍යයන් පැහැදිලි කළා. මෙම පදවලින් ඔබට හඳුනාගත හැකි සත්‍යයන් මොනවාද? මෙම සත්‍යයන් ඔබ දෙවියන්වහන්සේව සහ ඔබව දකින ආකාරය කෙරෙහි බලපන්නේ කොහොමද?

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 8:13–19

ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත් වීම පිණිස ලබා දෙනවා.

ස්වාමින්වහන්සේ අනාගතය දකින්නෙකු එසවූ බවට අම්මෝන්ගේ සාක්ෂිය ලිම්හිට ඇසුණු විට, ලිම්හි “අතිශයින් ප්‍රීති වී දෙවියන්වහන්සේට ස්තූති කළා” (මොසායා 8:19). ඔබ සිතන ආකාරයට ඔහුට එසේ හැඟුණේ ඇයි? මොසායා 8:13–19 තුළ අම්මෝන්ගේ වචන වලින් අනාගතය දකින්නන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

අද අපි පළමු සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන්ව; අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් ලබන්නන් ලෙස ස්ථීර කරනවා. ඔවුන් ඔබට “මහත් ප්‍රයෝජනයක්” වී තිබෙන්නේ කොහොමද? (මොසායා 8:18). ඔවුන් ඔබට ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වා තිබෙන්නේ මොනවාද?

අනාගතවක්තෘවරුන්, දිවැසිවරුන් සහ එළිදරව් කරන්නන්ගේ අවශ්‍යතාව ගැන අම්මොන් මෙන් ඔබට නිර්භීතව කතා කරන්න පුළුවන් කොහොමද? (බලන්න මොසායා 8:13–18). උදාහරණයක් ලෙස, ඔබට ඔබේ පවුලේ අය සමඟ හෝ සමාජ මාධ්‍යවල බෙදා ගත හැකි දේවල්:

  • (දෙවියන්වහන්සේගේ ස්වභාවය, අපගේ දිව්‍යමය අනන්‍යතාවය හෝ පවුලේ සදාකාලික ස්වභාවය වැනි) ජෝසෆ් ස්මිත් සහ ස්වාමින්වහන්සේගේ අනෙකුත් අනාගතවක්තෘවරුන් විසින් අපගේ කාලයේ නැවත පිහිටුවා ඇති සත්‍යයන්. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම” හෝ “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” (ශුභාරංචි පුස්තකාලය) පිළිබඳ සමාලෝචනයක් කිරීම ඔබට මෙම සත්‍යයන් කිහිපයක් ගැන සිතීමට උදවු වෙන්න පුළුවන්.

  • ආඥා හෝ නියෝගයන් වලින් ලැබෙන ආශිර්වාද (ප්‍රඥාවේ වචනය, නිර්මල බවේ නීතිය හෝ පවුල් මුද්‍රා තැබීම වැනි).

පසුගිය මාසයේ, ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපිට අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන්ගෙන් පණිවිඩ ලැබුණා. ඔබට පළඹවීමක් ලබා දුන් පණිවිඩ මොනවාද? ඔබ ඉගෙන ගත් දේ මත පදනම්ව ඔබ වෙනස් ලෙස කරන්නේ මොනවාද? “ඉදිරියට තිබෙන දේවල්” ගැන ස්වාමින්වහන්සේගේ අනාගතය දකින්නන් පැවසුවේ මොනවාද? (මොසායා 18:17).

මොසායා 9–10

මගේ අභියෝග වලට “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්” මට මුහුණදෙන්න පුළුවන්.

ඔහුගේ වැරදි නිසා තම ජනතාව අසීරු තත්ත්වයකට පත් වූ බව සෙනිෆ් පිළිගත්තා. නමුත් පසුව, ලාමන්වරුන්ට විරුද්ධව යුද්ධයට ගිය විට, ඔහු තම සෙනඟට ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඔවුන්ගේ අභියෝගවලට මුහුණ දීමට උදවු කළා. ඔබ මොසායා 9–10 කියවද්දි, සෙනිෆ්ගේ ජනතාව ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වීමට කළේ කුමක්දැයි සොයා බලන්න. දෙවියන්වහන්සේ ඔවුන්ව ශක්තිමත් කළේ කොහොමද? උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්නේ කොහොමද? “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්” ඉදිරියට යාම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (මොසායා 9:17; 10:10–11).

මොසායා 10:11–17

මගේ තේරීම් නිසා පරම්පරාවන් ගණනාවකට බලපෑම් ඇති වෙන්න පුළුවන්.

ඔබ මොසායා 10:11–17 කියවද්දි, ලාමන්වරුන්ගේ පෙර පරම්පරාවල ක්‍රියා සහ ආකල්ප පසු පරම්පරාවන්ට බලපෑවේ කොහොමද කියා හඳුනා ගන්න. ඔබේ තෝරාගැනීම් තවමත් ඉපදී නැති අය ඇතුළුව—හොඳ හෝ නරක ලෙස—අන් අයට බලපාන ආකාරය ගැන මෙයින් යෝජනා කරන්නේ කුමක්ද?

භාණ්ඩ යොදා කරන පාඩම් භාවිතා කරන්න භාණ්ඩ යොදාගෙන කරන පාඩම් ඉගෙනීම විනෝදජනක සහ අමතක නොවන අත්දැකීමක් බවට පත්කරනවා. මිනිසුන්ගේ තේරීම් ඔවුන්ගේ පරම්පරාවට බලපාන්නේ කොහොමද කියා සමහර විට දාදු කැට පේලියකට [ඩොමිනෝ] පෙන්වෙන්න පුළුවන් (බලන්න මොසායා 10:11–17).

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 7:19.

දෙවියන්වහන්සේ ශුද්ධලියවිලිවල සඳහන් මිනිසුන්ට උදවු කළා, ඒ වගේම උන්වහන්සේට මටත් උදවු කරන්න පුළුවන්.

  • තම සෙනඟට කරදරයක් වූ විට, ලිම්හි රජු ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනැගීම සඳහා ශුද්ධලියවිලි පද බෙදා ගත්තා. ඔබේ දරුවන්ට ඇදහිල්ල ඇති කිරීමට උදවු වන ශුද්ධලියවිලි කතන්දර හෝ චරිත ගැන ඔවුන්ගෙන් අහන්න. පසුව ඔබට ඔවුන් වෙනුවෙන් මොසායා 7:19 කියවා, මෙම පදයේ ඇති කතන්දර සමාලෝචනය කරන්න පුළුවන්. සමහරවිට ඔබේ දරුවන් ඒවා රඟපාන්නට කැමති වෙන්න පුළුවන්. මෙම කථාවලදී ස්වාමින්වහන්සේ මිනිසුන්ට උදවු කළේ කොහොමද? උන්වහන්සේට අපට උදවු කරන්න පුළුවන් කොහොමද?

  • ස්වාමින්වහන්සේ මොර්මොන්ගේ පොතේ මිනිසුන්ට උදවු කළ ආකාරය සහ උන්වහන්සේට අපට උදවු කළ හැකි ආකාරය හඳුනා ගැනීමට ඔවුන්ට උදවු කරන්න.

මොසායා 8:16–18

දෙවියන්වහන්සේ අපට අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ලබා දී තිබෙනවා.

  • අනාගතය දකින්නන් ගැන ඉගැන්වීමට එක් ක්‍රමයක් තමයි, වීදුරු, දුරදක්න හෝ අන්වීක්ෂයක් වැනි අපට වඩා හොඳින් දැකීමට උදවු වන දේවල් සමඟ ඔවුන්ව සංසන්දනය කිරීම. පසුව ඔබ ඔබේ දරුවන්ට මොසායා 8:17 කියවද්දි “අනාගතය දකින්නන්” යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම ඔවුන් දුරදක්නය හරහා බලන්නාක් මෙන් ඔවුන්ට ඔවුන්ගේ දෑස් මත දෑත් තබා ගන්න පුළුවන් (තවත් බලන්න මොසායා 6:35–36). අපට දැකීමට නොහැකි, නමුත් අනාගතවක්තෘවරුන්ට “දැකීමට” ස්වාමින්වහන්සේ උදවු කරන දේවල් ගැන ඔවුන් සමඟ කතා කරන්න. ජෝසෆ් ස්මිත් වැනි අපගේ අනාගතවක්තෘවරුන් හෝ අනාගතය දකින්නන් අපට එළිදරව් කර තිබෙන්නේ මොනවාද?

  • මොසායා 8:16–18 කියවීමෙන් පසු ඔබේ දරුවන් සමඟ අනාගතය දකින්නෙක් කියන්නේ … වගේ කෙනෙක්, ඔහු අපිට … ලෙස උදවු කරනවා වැනි වාක්‍යයක් සම්පූර්ණ කිරීමට හැකි ක්‍රම ගැන සිතීමට ඔබට ඔවුන්ට උදවු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට, අනාගතය දකින්නෙක් කියන්නේ යේසුස්වහන්සේ වෙතට අපව යොමු කරන මාර්ග සංඥාවක් වගේ කෙනෙක්.

  • ඔබට කඩදාසි පියසටහන් සාදා, අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් අපට කිරීමට උපදෙස් දී ඇති දේවල පින්තූර ඇඳීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. කාමරය වටා ඇති මාර්ගයක එම අඩි සලකුණු තබන්න, ඔබේ දරුවන්ට මෙම පා සටහන් මත ඇවිදීමට ඉඩ දෙන්න. අනාගතය දකින්නෙකු අපට “මහත් ප්‍රයෝජනයක්” වන්නේ කොහොමද? (බලන්න මොසායා 8:17–18).

මොසායා 9:14–18; 10:10–11

මා දුර්වල වූ විට, ස්වාමින්වහන්සේට මාව ශක්තිමත් කරන්න පුළුවන්.

  • දරුවන් අභියෝගවලට මුහුණ දෙද්දි, ඔවුන්ට සමහර විට දුර්වල හා අසරණ බවක් දැනෙනවා. ස්වාමින්වහන්සේගේ ශක්තිය මත රඳා සිටීමට ඔබ ඔබේ දරුවන්ට උදවු කරන්නේ කොහොමද? ශාරීරිකව ශක්තිමත් වීමට අපට කරන්නේ මොනවාද කියා ඔබට ඔවුන්ගෙන් අහන්න පුළුවන්. “මනුෂ්‍යයින්ගේ ශක්තිය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න මොසායා 10:11). “ස්වාමින්වහන්සේගේ ශක්තිය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න මොසායා 9:17–18; 10:10). “ස්වාමින්වහන්සේගේ ශක්තිය” අපට ලබාගන්න පුළුවන් කොහොමද? ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේගේ ශක්තිය ලබා ගැනීමට උදවු වන දේවල් පිළිබඳ චිත්‍රයක් අඳින්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
මොරෝනි සමඟ ජෝසෆ් ස්මිත්

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, Vision to Joseph Smith [ජෝසෆ් ස්මිත්ට දර්ශනයක්]

මුද්‍රණය කරන්න