එන්න, මා අනුගමනය කරන්න 2024
අප්‍රියෙල් 29–මැයි 5: “බලවත් වෙනසක්.” මොසායා 4–6


“අප්‍රියෙල් 29–මැයි 5: ‘බලවත් වෙනසක්.’ මොසායා 4–6” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“අප්‍රියෙල් 29–මැයි 5. මොසායා 4–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
බෙන්යමින් රජු ඔහුගේ සෙනගට උගන්වමින්

වෝල්ටර් රනේ විසින්, In the Service of Your God [ඔබේ දෙවියන්වහන්සේගේ සේවයේ]

අප්‍රියෙල් 29–මැයි 5: “බලවත් වෙනසක්”

මොසායා 4–6

යමෙකු කථා කරන දේ අසා, ඔබේ ජීවිතය වෙනස් කිරීමට පෙළඹවීමක් ඔබට කෙදිනක හෝ දැනී තිබෙනවාද? ඔබ ඇසූ දේ නිසා, ටිකක් වෙනස් ලෙස ජීවත්වීමට හෝ බොහෝ වෙනස් ආකාරයකින් ජීවත්වීමට සමහරවිට ඔබ තීරණය කළා වෙන්න පුළුවන්. බෙන්යමින් රජුගේ දේශනය එබඳු දේශනයක් වූ අතර ඔහු ඉගැන්වූ සත්‍යයන් ඒවා ඇසූ අය කෙරෙහි එබඳු බලපෑමක් ඇති කළා. “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය” තුළින් පුදුමාකාර ආශිර්වාද ලැබිය හැකි බවට වූ—දේවදූතයෙක් තමාට ඉගැන්වූ දේ බෙන්යමින් රජ තම සෙනග සමඟ බෙදාගත්තා (මොසායා 4:2). ඔහුගේ පණිවිඩය නිසා ඔවුන්ට ඔවුන් ගැනම තිබූ සම්පූර්ණ දැක්ම වෙනස් වුණා (බලන්න මොසායා 4:2), ආත්මයාණන් ඔවුන්ගේ ආශාවන් වෙනස් කළා (බලන්න මොසායා 5:2), එලෙසම ඔවුන් සැමවිටම දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන බවට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇතිකරගත්තා (බලන්න මොසායා 5:5). බෙන්යමින් රජුගේ වචන ඔහුගේ ජනතාවට බලපෑවේ මේ ආකාරයටයි. ඒවා ඔබට බලපාන්නේ කොහොමද?

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොසායා 4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට මගේ පව් වලට සමාව ලබාගෙන එය රඳවා ගන්න පුළුවන්.

සමහරවිට, ඔබේ පව් වලට සමාව ලැබී ඇති බවක් ඔබට දැනුනත්, එම හැඟීම තබාගෙන ධර්මිෂ්ඨ මාවතේ රැඳී සිටීමට ඔබ අරගල කරන බවක් ඔබට දැනෙන්න පුළුවන්. පව් වලට සමාව ලබාගෙන සහ රඳවා තබාගෙන ශුද්ධවන්තයින් ලෙස නිරතුරුවම ජීවත්විය හැකි ආකාරය බෙන්යමින් රජ ඔහුගේ ජනයාට ඉගැන්වූවා. ඔබ මොසායා 4 වෙනි පරිච්ඡේදය කියවද්දි, මෙවැනි ප්‍රශ්ණ ඇසීම ගැන සලකා බලන්න.

1–8 පද.දෙවියන්වහන්සේ ඔබගේ පව්වලට සමාව ලබා දෙන කොන්දේසි මොනවාද? ඔබ මෙම පදවලින් උන්වහන්සේ ගැන ඉගෙන ගන්නා කුමන දේවල් පසුතැවිලි වීමට ඔබව පොළඹනවාද? ඔබ පසුතැවිලි වී ඇති බව ඔබ දැනගන්නේ කොහොමද?

11–16 පද.මෙම පද වලට අනුව, 11 වෙනි පදයේ විස්තර කර ඇති දේ කළහොත් අපගේ ජීවිතයේ කුමක් සිදුවේද? ඔබ හෝ ඔබ ආදරය කරන කෙනෙකු මෙම වෙනස්කම් අත්විඳ ඇත්තේ කොහොමද? මෙම වෙනස්කම් මොසායා 3:19 තුළ විස්තර කර ඇති වෙනස්කම් සමඟ සංසන්දනය කරන්න.

16–30 දක්වා පද.ඔබ සතු දේ අන් අය සමඟ බෙදා ගැනීම ඔබේ පව්වලට සමාවක් ලබා ගැනීමට උදවු වෙන්නේ කොහොමද? ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට ඔබ දරන උත්සාහයට 27 වෙනි පදය අදාළ කරගන්න පුළුවන් කොහොමද?

අප සියලුදෙනාම යාචකයින් වන්නේ කුමන අර්ථයෙන්ද? මෙම පද වලට අනුව, අපි දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට සැලකිය යුත්තේ කොහොමද? (බලන්න මොසායා 4:26). අපේ උදව් අවශ්‍ය කාටද?

තවත් බලන්න බෙකී ක්‍රේවන් විසින්, “වෙනස පවත්වාගන්න,” ලියහෝනා, නොවැ. 2020, 58–60.

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 4:5–10

මම දෙවියන්වහන්සේව අදහනවා සහ විශ්වාස කරනවා.

දෙවියන්වහන්සේව ඇදහීමට සහ විශ්වාස කිරීමට බෙන්යමින් රජුගේ ආරාධනය පුරාණ කාලයේ මෙන් අදටත් වැදගත් වෙනවා. ඔබ මොසායා 4:5–10 කියවද්දි, දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමට ඔබට හේතු සපයන සත්‍යයන් සොයන්න. බෙන්ජමින් රජු 10 වෙනි පදයේ දෙන ආරාධනා සැලකිල්ලට ගන්න. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම බෙන්යමින් රජු ආරාධනා කරන දේ කිරීමට පහසු කරන්නේ ඇයි?

දෙවියන්වහන්සේගේ ගුණාංග ලැයිස්තුවක් සෑදීමට මෙම අමතර ශුද්ධලියවිලි පද කිහිපයක් උවමනාවෙන් කියවීම ගැන සලකා බලන්න: යෙරෙමියා 32:17; 1 යොහන් 4:8; 2 නෙපී 9:17; ඇල්මා 32:22; මොර්මොන් 9:9; ඊතර් 3:12; දහම සහ ගිවිසුම් 19:1–3; 88:41. මෙවැනි වාක්‍යයක් සම්පූර්ණ කිරීමට විවිධ ක්‍රම ඉදිරිපත් කිරීමට ඔබට ඔබේ ලැයිස්තුව භාවිතා කරන්න පුළුවන්: “දෙවියන්වහන්සේ බව මම දන්නා නිසා, මට උන්වහන්සේව ලෙස විශ්වාස කරන්න පුළුවන්.”

අපිට දෙවියන්වහන්සේ සමඟ අත්දැකීම් ඇති විට දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය වැඩි වෙනවා. මොසායා 4:1–3, තුළ, බෙන්යමින් රජුගේ සෙනඟට “දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන දැනගැනීමට” උදවු වූයේ මොනවාද? (6 වෙනි පදය ). දෙවියන්වහන්සේ සමඟ ඔබ ලැබූ අත්දැකීම් ගැන සිතන්න. මෙම අත්දැකීම් උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද? දෙවියන්වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය හෝ ඇදහිල්ල ගැඹුරු කිරීමට ඔබ ගන්නා (හෝ ඔබට ගත හැකි) පියවර මොනවාද?

පූජනීය අත්දැකීම් බෙදාගන්න. සමහර අත්දැකීම් බෙදා ගැනීමට නොහැකි තරම් පූජනීය හෝ පුද්ගලිකයි. අත්දැකීම් බෙදා ගැනීමට අන් අයට ආරාධනා කරද්දි, ඔවුන්ට ඒවා බෙදාගැනීමට අවශ්‍ය නැතිනම් බලපෑම් කිරීමෙන් වළකින්න.

මොසායා 4:29–30

මම මගේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් ගැන සැලකිලිමත් විය යුතුයි.

දෙවියන්වහන්සේ අපට සියලුම පාපවල ලැයිස්තුවක් ලබා දෙන්නේ නෑ. මොසායා 4:29–30 අනුව, උන්වහන්සේ ඒ වෙනුවට කරන්නේ මොනවාද? ඔබේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් ඔබටත් අන් අයටත් බලපාන ආකාරය ගැන මෙනෙහි කරන්න. ඒවා දෙවියන්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවයට බලපාන්නේ කොහොමද? ඔබ “[ඔබව] බලාගන්නේ” කොහොමද?

මොසායා 5:1–5

ස්වාමින්වහන්සේගේ ආත්මයට මාගේ සිතේ බලවත් වෙනසක් ඇති කරන්න පුළුවන්.

මෙසේ පැවසීම මිනිසුන්ට අසාමාන්‍ය දෙයක් නොවේ, “මට වෙනස් වෙන්න බැහැ. ඒ මගේ හැටි.” ඊට වෙනස්ව, ස්වාමින්වහන්සේගේ ආත්මයට අපගේ හදවත් සැබවින්ම වෙනස් කළ හැකි ආකාරය බෙන්යමින් රජුගේ ජනයාගේ අත්දැකීම් අපට පෙන්වා දෙනවා. ඔබ මොසායා 5:1–5 කියවද්දි, සැබෑ පරිවර්තනයකට තුඩු දෙන “බලවත් වෙනස” ඔබේ ජීවිතයේ සිදුවී ඇති ආකාරය—හෝ සිදුවිය හැකි ආකාරය—ගැන සිතා බලන්න. සියුම්, ක්‍රමානුකූල වෙනස්කම් මෙන්ම “බලවත්” අත්දැකීම් ගැනද සිතන්න. ඔබ පරීක්ෂාවට මුහුණ දෙද්දි මෙම අත්දැකීම් ඔබට උදවු කරන්නේ කොහොමද?

තවත් බලන්න එසෙකියෙල් 36:26–27; ඇල්මා 5:14

රූපය
ක්‍රිස්තුස්වහන්සේ අසනීප කාන්තාවක් සුවකරමින්

ඇඩම් ඒබ්‍රම් විසින්, Healing Hands [සුවකරන දෑත්]

මොසායා 5:5–15

මම උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගද්දි, මම ක්‍රිස්තුස්වහන්සේගේ නාමය මා තුළට ලබාගන්නවා.

ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ විසින්ම ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා මොසායා 5:7–9 තුළින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? සක්‍රමේන්තු යාච්ඤා (බලන්න මොරෝනි 4–5) මේ ගැන උගන්වන්නේ මොනවාද? ඔබ ගැලවුම්කරුවාණන්ට “අයිති” බව අප පෙන්වන්නේ කොහොමද?

තවත් බලන්න ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “ස්වමින්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීම,” ලියහෝනා, මැයි 2021, 11–19.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 4:1–3, 10

පසුතැවීම ප්‍රීතිය ගෙන දෙනවා.

  • පසුතැවිල්ලේ ප්‍රීතිය ගැන ඉගැන්වීමට, ඇතැම් විට ඔබට ඔබේ දරුවන්ගේ දෑත් අපිරිසිඳු වීමට ඉඩ දී ඒවා සේදීමෙන් පසු ඔවුන්ට හැඟෙන ආකාරය ඔබට බලන්න පුළුවන්. ඊට පස්සෙ ඔබට එය මොසායා 4:1–3 තුළ සිටින මිනිසුන්ට ඔවුන්ගේ පව් සමාව ලැබීමට පෙර සහ පසුව දැනුණු ආකාරය හා සංසන්දනය කරන්න පුළුවන්. ආත්මිකව අපව පිරිසිඳු කිරීමට ගැලවුම්කරුවාණන්ට ඇති බලය පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදාගන්න.

  • සම්පූර්ණයෙන් හා අවංකව පසුතැවිලි වන්නේ කොහොමද කියා ඔබේ දරුවන් දන්නවාද? මොසායා 4:1–3, 10 තුළ බෙන්යමින් රජුගේ සෙනඟ කළ දේ සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පසුතැවිලි වීමට ඉඩ සලසන්නේ කොහොමද?

මොසායා 4:12–26

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අන් අයට ප්‍රේමයෙන් හා කරුණාවෙන් සැලකීමට මාව පොළඹවනවා.

  • අන් අයට සේවය කිරීම අපට හොඳ හැඟීමක් ඇති කරනවා. සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන් යමෙකුට ආදරය කළ හෝ සේවය කළ අවස්ථාවකදී එම අත්දැකීම නිසා ඔවුන්ට හැඟුණු ආකාරය ගැන කතා කරන්න පුළුවන්. මිනිසුන් අන් අයට සේවය කිරීමට අකමැති වීමට හේතු මොනවාද? අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උදවු කිරීම සඳහා යමෙකුට ආරාධනා කිරීමට අපට කියන්න පුළුවන් මොනවාද? මොසායා 4:16–26 තුළ අදහස් සොයන්න.

  • අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ අපේ පවුවලට සමාව ලබාගනිද්දි අපි “දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වන” බව බෙන්යමින් රජ ඉගැන්වූවා (මොසායා 4:12). මෙය අන් අය කෙරෙහි ප්‍රේමණීය හා කරුණාවන්ත වීමට අපව පොලඹවනවා. ඔබට සහ ඔබේ දරුවන්ට මොසායා 4:13–16, 26 කියවා අන් අයට සේවය කළහැකි ආකාර දැක්වෙන වාක්‍ය ඛණ්ඩ සෙවීමට පුළුවන්. ඊට පස්සෙ ඔවුන්ට මේ දේවල් රඟපෑමෙන් හෝ ඒවායේ පින්තූර ඇඳීමෙන් එකිනෙකාගේ වාක්‍ය ඛණ්ඩ අනුමාන කරන්න පුළුවන්. නිවසේදී, පාසැලේදී හෝ සභාවේදී අපට ආදරය හා කරුණාව පෙන්වන්න පුළුවන් කොහොමද?

රූපය
තරුණ ගැහැණු ළමයෙක් ළදරුවෙක් සමඟ සෙල්ලම් කරමින්.

අන් අයට කරුණාවන්ත වෙන්න කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ඉගැන්නුවා.

මොසායා 5:5–15

මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා විට, මම ක්‍රිස්තුස්වහන්සේගේ නාමය මා මතට ගන්නවා.

  • ඔබේ දරුවන්ට “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ” යන නාමය ප්‍රදර්ශනය කරමින් ලාංඡන නිර්මාණය කර ඒවා ඔවුන්ගේ හදවත් මත පැළඳීමෙන් සතුටු වෙන්න පුළුවන් (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න). ඔවුන් එසේ කරන අතරතුර, ඔබට මොසායා 5:12 කියවා දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් හෝ පොරොන්දු ඇතිකර ගැනීම ක්‍රිස්තුස්වහන්සේගේ නාමය “[අපගේ] හදවත් තුළ සැමදා ලියා” තබාගැනීම හා සමාන බව ඔබට කතා කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ කුරුල්ලන්ට ආහාර දෙමින්

ග්‍රෙග් කේ. ඔල්සන් විසින්, In His Constant Care [උන්වහන්සේගේ නිරන්තර රැකවරණය තුළ]

මුද්‍රණය කරන්න