එන්න, මා අනුගමනය කරන්න 2024
මැයි 20–26: “අපි උන්වහන්සේ සමඟ ගිවිසුමකට එළඹ ඇත්තෙමු.” මොසායා 18–24


“මැයි 20–26: ‘අපි උන්වහන්සේ සමඟ ගිවිසුමකට එළඹ ඇත්තෙමු.’ මොසායා 18-24” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මැයි 20–26. මොසායා 18–24,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ලිම්හිගේ ජනතාව පලායමින්

මිනෙර්වා කේ. ටේචර්ට් (1888-1976), Escape of King Limhi and His People [ලිම්හි රජු සහ ඔහුගේ ජනතාවගේ පලායාම] 1949-1951, මැසොනයිට් මත තෙල්, 35 7/8 x 48 අඟල්. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.

මැයි 20–26: අපි උන්වහන්සේ සමඟ ගිවිසුමකට එළඹ ඇත්තෙමු

මොසායා 18–24

මොසායා 18; 23–24 තුළ ඇල්මා සහ ඔහුගේ සෙනග පිළිබඳ විස්තරය පෙන්වන්නේ “ දෙවියන්වහන්සේගේ රැල තුළට පැමිණීම” යන්නෙහි තේරුම කුමක්ද කියායි (මොසායා 18:8). ඇල්මාගේ ජනතාව බව්තීස්ම වූ විට, ඔවුන් “උන්වහන්සේට සේවය කර උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට” දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත්තා (මොසායා 18:10). මෙය දෙවියන්වහන්සේ සමඟ වූ පුද්ගලික කැපවීමක් වූවත්, ඔවුන් එකිනෙකාට සැලකූ ආකාරය සමඟද එය සම්බන්ධ වෙනවා. ඔව්, ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යන ගමන පුද්ගලිකයි, ඒ වගේම කිසිවෙකුට අපගේ ගිවිසුම් අප වෙනුවෙන් තබාගන්නට බැහැ, නමුත් එයින් අපි තනිව සිටින බවක් අදහස් කෙරෙන්නේ නෑ. අපට එකිනෙකාව අවශ්‍යයි. ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වශයෙන්, අපි එකිනෙකාට උදවු කරමින් හා සේවය කරමින්, “එකිනෙකාගේ බර දරාගනිමින්” (මොසායා 18:8–10) දෙවියන්වහන්සේට සේවය කිරීමට ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. අප සියලුදෙනාට මෙන්ම, ඇල්මාගේ මිනිසුන්ට දරාගැනීමට අනිවාර්යයෙන්ම බරක් තිබුණා. “අපගේ බර පහසුවෙන් දරාගැනීම සඳහා” (මොසායා 24:15) ස්වාමින්වහන්සේ අපට උදවු කරන එක් ක්‍රමයක් තමයි, අපි ඔවුන් වෙනුවෙන් කරන්නට පොරොන්දු වූ ආකාරයටම, අප සමඟ වැලපෙමින් සැනසීමට පොරොන්දු වූ ශුද්ධවන්තයන්ගේ ප්‍රජාවක් අපට ලබාදීම.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 18:1–17

මම බව්තීස්ම වෙද්දි, මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇතිකර ගන්නවා.

මොසායා 18 තුළ විස්තර කර ඇති ඇදහිලිවන්තයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කොතරම් ගැඹුරින් හැඟී තිබෙනවාද කියා සලකා බලන්න. උන්වහන්සේ ගැන ඉගෙන ගැනීම සඳහා විශාල අවදානමක් යටතේ රහසේ හමුවීමට ඔවුන්ට සිදුවුණා (බලන්න පදය 3). බව්තීස්මයේ ගිවිසුම මගින් ඔවුන්ගේ කැපවීම පෙන්වීමට අවස්ථාවක් ලැබුණු විට, “ඔවුන් ප්‍රීතියෙන් අත්පොලොසන් දී, අපගේ හදවත් වල ආශාව මෙයයි” කියා කෑ ගැසුවා (මොසායා 18: 11).

ඔබේ ගිවිසුම් ඔබට කොතරම් වැදගත්ද කියා මෙනෙහි කිරීමට මෙම පද කියවීම හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන්ම මොසායා 18:8–14 කියවද්දි, මෙවැනි ප්‍රශ්ණ ඇසීම ගැන සලකා බලන්න.

  • බව්තීස්මයේදී ඔබ දුන් පොරොන්දු ගැන මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? දෙවියන්වහන්සේ ඔබට පොරොන්දු වන්නේ මොනවාද? (බලන්න 10, 13 පද).

  • දෙවියන්වහන්සේට සේවය කිරීමේ ගිවිසුම එකිනෙකාට සේවය කිරීමට අප දරන උත්සාහයට සම්බන්ධ වන්නේ කොහොමද? (බලන්න 8–9 පද).

  • “දෙවියන්වහන්සේගේ [සාක්ෂිකරුවෙකු] ලෙස නැගී සිටීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (9 වෙනි පදය).

  • බව්තීස්ම ගිවිසුම පැවැත්වීම ඔබට “ආත්මයාණන්ගෙන් පූර්ණ” වීමට උදවු කරන්නේ කොහොමද? (මොසායා 18:14). ඔබේ ගිවිසුම පවත්වාගැනීමට ආත්මයාණන්වහන්සේ ඔබට උදවු කරන්නේ කොහොමද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් දෙවියන්වහන්සේට ගිවිසුම් සහ නියෝග වැදගත් වන්නේ ඇයි කියා මෙනෙහි කිරීමට ඔබව යොමුකරන්න පුළුවන්. ඔබට වැඩිහිටි ජෙරිට් ඩබ්. ගොන්ග්ගේ “ගිවිසුමට අයත් “ (ලියහෝනා, 2019 නොවැ. 80–83) යන පණිවිඩයෙන් හෝ ජීන් බී. බිංහැම් සභාපතිනියගේ “දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් අපව ශක්තිමත් කරයි, ආරක්ෂා කරයි, සදාකාලික මහිමය සඳහා සූදානම් කරයි “ (ලියහෝනා, මැයි 2022, 66–69) යන පණිවිඩයෙන් ඔබට අදහස් ලබාගන්න පුළුවන්. ඔබේ ගිවිසුම්වලට ඔබ කෘතඥ වන්නේ ඇයි? ඔබේ පොරොන්දු ඉටුකිරීමට ඔබ කරන්නේ මොනවාද?

ශුද්ධලියවිලි වලින් සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන් මඟින් සත්‍යය උගන්වන්න. ඔබ උගන්වද්දි සහ ඉගෙන ගද්දි—ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වැඩි කිරීමට හොඳම ක්‍රමයක් වෙන්නෙ ශුද්ධලියවිලි සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ වචන කෙරෙහි අවධානය යොමු කිරීම බව මතක තබා ගන්න (බලන්න මොසායා 18:19).

මොසායා 18:17–30

දෙවියන්වහන්සේ තම සෙනඟට එක්රැස් වීමට, සංවිධානය වීමට සහ එක්සත් වීමට අඥා කරනවා.

සමහර මිනිසුන්, අපට සභාවක් අවශ්‍ය වන්නේ ඇයි කියා කල්පනා කරනවා. මොසායා 18:17–31 තුළ ඇල්මාගේ සෙනඟ “ක්‍රිස්තුස්වහන්සේගේ සභාව” තුළ එක්රැස් වීමෙන් සොයාගත් වටිනාකම සොයන්න (මොසායා 18:17). ඇල්මාගේ දවසේ සහ අපේ දවස්වල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ ඔබ දකින සමානකම් මොනවාද?

සංවිධානාත්මක සභාවක් අවශ්‍ය බව විශ්වාස නොකරන මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් වීම පිළිබඳව ඔබ කෘතඥ වන්නේ ඇයි?

ඔබේ කොට්ඨාශ හෝ ශාඛා සාමාජිකයින්ට “එකමුතුකමින් හා ආදරයෙන් බැඳී සිටීමට” උදවු වීමට ඔබට කරන්න පුළුවන් මොනවාද කියා මෙනෙහි කරන්න (මොසායා 18:21).

තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “සභාවක අවශ්‍යතාවය,” ලියහෝනා, නොවැ. 2021, 24–26.

මොසායා 21–24

මගේ බර උසුලන්නට දෙවියන්වහන්සේ මට උදව් කරනවා.

විවිධ තත්වයන් යටතේ වුවද ලිම්හිගේ ජනතාව සහ ඇල්මාගේ ජනතාව වහල්භාවයට පත්වුණා. මොසායා 19–22 තුළ ලිම්හිගේ ජනයාගේ හා මොසායා 18; 23–24 තුළ ඇල්මාගේ ජනයාගේ වාර්තා සන්සන්දනය කිරීමෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔබ එසේ කරද්දි, ඔබේ ජීවිතයට අදාළ වන පණිවිඩ සොයන්න. උදාහරණයක් වශයෙන්, “ටිකෙන් ටික සමෘද්ධිමත් වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මොසායා 21:16). මෙම මූලධර්මය ඔබට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

මොසායා 23:21–24; 24:8–17

මට ස්වාමින්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්.

ඔවුන් කළ පාප ගැන පසුතැවිලි වුවද, ඇල්මා සහ ඔහුගේ ජනතාව තවමත් වහල්භාවයේ සිටිය බව ඔවුන්ට පෙනුණා. ස්වාමින්වහන්සේව විශ්වාස කිරීම හා අපගේ ගිවිසුම් වලට අනුව ජීවත්වීම සැමවිටම දුෂ්කරතා වළක්වන්නේ නැති වුණත්, ඒවා ජයගැනීමට එය අපට උදවු වන බව ඔවුන්ගේ අත්දැකීම් වලින් පෙනී යනවා. ඔබ මොසායා 23:21–24 සහ 24:8–17 කියවද්දි, ඔබගේ තත්වයන් නොසලකා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට ඉගෙනගැනීමට උදවු වන වචන සහ වාක්‍ය ඛණ්ඩ සටහන් කරන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 18:7–17

මම බව්තීස්ම වෙද්දි, මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇතිකර ගන්නවා.

  • බව්තීස්ම වීමට සූදානම් වීමට ඔබේ දරුවන්ට උදවු කළ හැකි එක් වැදගත් ක්‍රමයක් තමයි ඔවුන් බව්තීස්ම වූ විට ඇතිකර ගන්නා ගිවිසුම ගැන ඔවුන්ට ඉගැන්වීම. එසේ ඉගැන්වීම, මෙම සතියේ දළ සටහන අවසානයේ පින්තූරය පෙන්වීම සහ මොසායා 18:9–10 තුළ ඔවුන් සමඟ ඇති ගිවිසුම ගැන කියවීම තරම් සරල දෙයක් වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට මෙය ඉගැන්වීම සඳහා දැනටමත් බව්තීස්ම වී ඇති දරුවෙකුට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. ඔබේ බව්තීස්මය ගැන ඇසීමෙන් ඔබේ දරුවන් සතුටු වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම් පැවැත්වීම ඔබේ ජීවිතයට ආශිර්වාද කර තිබෙන්නේ කොහොමද?

  • බව්තීස්ම වූ දරුවන්ට ඔවුන් ඇතිකර ගත් ගිවිසුම් ගැන නිතර මතක් කිරීම් භාවිතා කළ හැකි අතර සක්‍රමේන්තුව සමඟ ඒවා සෑම සතියකම අලුත් කරන්න පුළුවන්. සමහර විට ඔබේ දරුවන්ට මොසායා 18:8–10 තුළ විස්තර කර ඇති බව්තීස්ම ගිවිසුම, දහම සහ ගිවිසුම් 20:77, 79 තුළ විස්තර කර ඇති සක්‍රමේන්තු යාච්ඤාවන් සමඟ සසඳන්න පුළුවන්. අපගේ බව්තීස්මය මෙන්ම, සක්‍රමේන්තුවත් විශේෂ, ගෞරවනීය කාලයක් බවට අපට පත්කරගන්න පුළුවන් කොහොමද?

රූපය
කුඩා ගැහැණු ළමයෙකු බව්තීස්ම වෙමින්

අපි බව්තීස්ම වූ විට අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගන්නවා.

මොසායා 18:17–28

මම බව්තීස්ම වූ විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු බවට පත්වෙනවා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන් දන්නවාද? මොසායා 18:17–28 තුළ සඳහන් සභාවේ සාමාජිකයන් කළ දේවල් නියෝජනය කරන පින්තූර සොයා ගැනීමට ඔවුන්ට උදවු කිරීම ගැන සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, පූජකවරයට නියම කිරීම සහ දසයෙන් කොටස ගෙවීමේ පින්තූර. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු වීම ගැන ඔබ කෘතඥ වන්නේ ඇයිදැයි ඔවුන්ට කියන්න.

  • දරුවන්ට ප්‍රේමයෙන් සහ එකමුතුකමින් එකට බැඳී සිටීමට” උදවු කිරීම (මොසායා 18:21) ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සභාවට සම්බන්ධ වී සිටීමට උදවු කරනවා. මොසායා 18:17–28 කියවීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. ඇල්මාගේ කාලයේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එකිනෙකාට ප්‍රේම කිරීමට හා සේවය කිරීමට කළේ මොනවාද? අපගේ කොට්ඨාශයේ, ශාඛාවේ හෝ ප්‍රජාව තුළ අපට මෙය කරන්න පුළුවන් කොහොමද?

මොසායා 24:8–17

දෙවියන්වහන්සේට මාගේ බර සැහැල්ලු කරන්න පුළුවන්.

  • භාණ්ඩ යොදාගෙන කරන සරල පාඩමක් ඉගෙනගන්නා දේ මතකතබා ගැනීමට උදව් කරනවා. බෑගයක් බර භාණ්ඩ වලින් පුරවා (කරදර නියෝජනය කිරීම සඳහා) බෑගය ඔසවා ගැනීමට දරුවෙකුට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. ඔබ ඔබේ දරුවන් සමඟ මොසායා 24:8–17 කියවද්දි, ඇල්මා සහ ඔහුගේ සෙනඟ ඔවුන්ගේ බර මත දෙවියන්වහන්සේගේ පිහිට පැතීමට කළ දෙයක් ගැන ඇසෙන සෑම අවස්ථාවකම බෑගයෙන් භාණ්ඩයක් ඉවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. අපි උන්වහන්සේගේ උදවු සොයද්දි ස්වර්ගික පියාණන්වහන්සේ අපගේ බර සැහැල්ලු කරන්නේ කොහොමද කියා ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
බව්තීස්ම වන මිනිසුන්

ජොර්ගෝ කොකෝ විසින්, The Waters of Mormon [මොර්මොන්ගේ ජලය]

මුද්‍රණය කරන්න