එන්න, මා අනුගමනය කරන්න 2024
මැයි 13–19: “කවරදාකවත් අඳුරු කළ නොහැකි … ආලෝකයක්.” මොසායා 11–17


“මැයි 13–19: ‘කවරදාකවත් අඳුරු කළ නොහැකි … ආලෝකයක්.’ මොසායා 11-17” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මැයි 13–19. මොසායා 11–17,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
අබිනාදි නෝවා රජුට සාක්ෂි දෙමින්

ඇන්ඩෘ බොස්ලි විසින්, Abinadi before King Noah [නෝවා රජු ඉදිරියේ අබිනාදි]

මැයි 13–19: “කවරදාකවත් අඳුරු කළ නොහැකි … ආලෝකයක්”

මොසායා 11–17

විශාල ගින්නක් තනි ගිනි පුපුරකින් ආරම්භ වෙන්න පුළුවන්. අබිනාදි කියන්නෙ බලවත් රජෙකුට සහ එම රජුගේ උසාවියට එරෙහිව සාක්ෂි දුන් එක් මිනිසෙක් පමණයි. ඔහුගේ වචන බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන ලද අතර ඔහුට මරණ දණ්ඩනය නියම වුණා. ඒ වුණත්, “කවරදාකවත් අඳුරු කළ නොහැකි … ආලෝකය” (මොසායා 16:9) වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔහුගේ සාක්ෂිය, තරුණ පූජක ඇල්මා තුළ යම් දෙයක් පුපුරවා හැරියා. ඇල්මා තවත් බොහෝ දෙනෙකුව පසුතැවිලි වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට ගෙන ඒමත් සමඟම එම පරිවර්තනයේ පුපුරේ වේගය සෙමින් වැඩි වුණා. අබිනාදි ඝාතනය කළ ගිනිදැල් අවසානයේදී පහව ගිය නමුත්, ඔහුගේ වචන මගින් නිර්මාණය කරන ලද ඇදහිල්ලේ ගින්න නෙපීවරුන්ට—සහ අද ඔහුගේ වචන කියවන අයට සදාකාලික බලපෑමක් ඇතිකරනවා. අපගේ සාක්ෂි නිසා අපගෙන් බොහෝ දෙනෙකුට කිසිවිටෙකත් අබිනාදිට සිදුවූ දෙයට මුහුණදීමට සිදුවෙන එකක් නෑ, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමේදී අපගේ ධෛර්යයේ හා ඇදහිල්ලේ පරීක්ෂණ අප සියල්ලන්ටම තිබෙනවා. සමහරවිට අබිනාදිගේ සාක්ෂිය අධ්‍යයනය කිරීමෙන් ඔබේ හදවතේ ඇති සාක්ෂි සහ ධෛර්යයද වඩ වඩාත් දැල්වෙයි.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 11–1317

මම තනිව සිටිද්දි පවා මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නැගී සිටින්න පුළුවන්.

මොසායා 11–13; 17, අධ්‍යයනය කරන අතරතුර මෙම දළ සටහනේ අබිනාදිගේ පින්තූර දෙස බලන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? විශේෂයෙන්, ඔබට මෙවැනි ඡේද සහ ප්‍රශ්න කෙරෙහි ඔබේ අධ්‍යයනය යොමු කරන්න පුළුවන්:

  • නෝවා සහ ඔහුගේ සෙනඟ ගැන ඔබ විස්තර කරන්නේ කොහොමද? ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ පණිවිඩය බෙදා ගැනීමට අබිනාදිට ධෛර්යය අවශ්‍ය වන්නේ ඇයි?(බලන්න මොසායා 11:1–19, 27–29; 12:9–15).

  • ඔබ අබිනාදිව විස්තර කරන්නේ කොහොමද? ඔහුගේ සාක්ෂියේදී නිර්භීත වීමට ඔහුට උදවු වූ අබිනාදි තේරුම් ගත් දේ කුමක්ද? (බලන්න මොසායා 13:2–9, 28, 33–35; 17:8–10, 20).

ගැලවුම්කරුවාණන්ව සහ උන්වහන්සේගේ ශුභාරංචිය ආරක්ෂා කිරීම සඳහා ඔබ තනිවම නැගී සිටි බවක් ඔබට දැනී තිබෙනවාද? උන්වහන්සේ ඔබ සමඟ සිටින බව දැනෙන්නට උන්වහන්සේ ඔබට උදවු කළේ කොහොමද? ඔබ මේ ගැන මෙනෙහි කරද්දි, ඔබට 2 රාජාවලිය 6:14–17 තුළ එලිෂා සහ ඔහුගේ තරුණ සේවකයාගේ වාර්තාව කියවන්න පුළුවන්. මෙම වාර්ථාව ගැන ඔබව දිරිමත් කරන්නේ මොනවාද?

ඔබ අබිනාදිගෙන් ඉගෙනගත් දේ අදාළ කරගන්නේ කොහොමද?

තවත් බලන්න රෝම 1:16; 2 තිමොති 1:7–8.

ආත්මයාණන්ගෙන් උගන්වන්න. “බලවත් ශුභාරංචි ඉගැන්වීමකට අවශ්‍ය වන්නේ පාඩමක් සූදානම් කිරීම පමණක් නොවේ, නමුත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබ උගන්වද්දි ආත්මයාණන්ගේ මගපෙන්වීමට සවන්දීමට සහ ඒවා අනුගමනය කිරීමට හොඳින් ආත්මිකව සූදානම් වීමයි”. (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 17).

මොසායා 12:19–37

දෙවියන්වහන්සේගේ වචනය තේරුම්ගැනීමට මම මගේ හදවත යෙදවිය යුතුයි.

නෝවා රජුගේ පූජකයන් දෙවියන්වහන්සේගේ වචනය හොඳින් දැන සිටියා. ඔවුන් ශුද්ධලියවිලි වලින් කොටස් උපුටා දක්වා ආඥා ඉගැන්වූවා යයි කියා සිටියා. එහෙත්, ඔවුන්ගේ ජීවිත වල ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ බලපෑමක් නැති බවක් පෙනෙන්නට තිබුණා. එසේ වූයේ ඇයි?

ඔබ ඇල්මා 12:19–37 කියවද්දි මේ ගැන සිතන්න. ඔබ සිතන ආකාරයට දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට ඔබේ හදවත යොමු කරන්න යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ශුභාරංචිය ඉගෙනගැනීමට ඔබ ප්‍රවේශ වන ආකාරයෙහි යම් වෙනසක් කිරීමට ඔබව පොළඹවන වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද?

මොසායා 13:11–26

දෙවියන්වහන්සේගේ ආඥා මගේ හදවතේ ලිවිය යුතුයි.

පූජකයන්ගේ ආඥාවන් “සිත්වල ලියා නැති” බවට වූ අබිනාදිගේ නිරීක්ෂණය මෙනෙහි කරන්න (මොසායා 13:11). මෙම වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක් විය හැකිද? ඔබ මොසායා 13:11–26 කියවද්දි, මෙම ආඥා ඔබේ හදවතේ ලියා තිබේද කියා සලකා බලන්න.

තවත් බලන්න යෙරෙමියා 31:31–34; 2 කොරින්ති 3:3.

මොසායා 14–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් දුක්වින්දා.

මොසායා 14–15 තුළ, ගැලවුම්කරුවාණන් ඔබ උදෙසා විඳින දුක් ගැහැට විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ සැලකිල්ලට ගන්න. උන්වහන්සේ කෙරෙහි ඔබගේ ප්‍රේමය හා කෘතඥතාව ගැඹුරු කිරීමට උදවු වන පද මොනවාද?

මොසායා 15:1–12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේ යන දෙදෙනාම වෙන්නේ කොහොමද?

පුත්‍රයාණන් වන දෙවියන්වහන්සේ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—මාංශයේ වාසය කරමින්, මනුෂ්‍යයෙකු හා දෙවියන් බවට පත් වී, මිදුම්කරුවාණන් (බලන්න මොසායා 15:1) වන බව අබිනාදි ඉගැන්නුවා (2–3 පද). පියාණන් වන දෙවියන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේ සම්පූර්ණයෙන්ම යටත් වුණා (5–9 පද). මේ හේතුව නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන අතර පියාණන් වන දෙවියන්වහන්සේගේ පරිපූර්ණ ලෞකික නිරූපණයත් වෙනවා (බලන්න යොහාන් 14:6–10).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේද පියාණන්ය යන්නෙහි අර්ථය තමයි අප උන්වහන්සේගේ මිදීම පිළිගද්දි, අපි “උන්වහන්සේගේ වංශය” සහ “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමක්කාරයන්” බවට පත්වීම (මොසායා 15:11–12). වෙනත් වචන වලින් කියනවා නම්, අපි උන්වහන්සේ තුළින් අධ්‍යාත්මිකව නැවත ඉපදෙනවා (බලන්න මොසායා 5:7).

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මෙම සත්‍යයන් දැනගැනීම වැදගත් කියා ඔබට හැඟෙන්නේ ඇයි? අබිනාදිගේ සාක්ෂිය ඔවුන් කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද?

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 11–1317

මම තනිව සිටිද්දි පවා මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නැගී සිටින්න පුළුවන්.

  • අපගේ ජීවිතයේ යම් අවස්ථාවන් වලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලට පටහැනි තෝරාගැනීමේ පීඩනයට අප සියලුදෙනාම මුහුණ දෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටීම සාමාන්‍ය දෙයක් නොවෙද්දිදී පවා ඒ වෙනුවෙන් නැගීසිටීම ගැන ඔබේ දරුවන්ට අබිනාදිගෙන් ඉගෙන ගන්න පුළුවන් මොනවාද? මෙම දළ සටහනේ ඇති පින්තූර ඔවුන්ට මොසායා 11–13; 17 තුළ ඇති වාර්තාව දෘශ්‍යමාන කිරීමට උදවු වෙන්න පුළුවන්. අබිනාදි ගැන ඔවුන් කැමති දේවල් මොනවාද කියා ඔවුන්ගෙන් අසන්න.

  • ඔබේ දරුවන් අබිනාදිගේ කතාවේ කොටස් රඟපෑම තුළින් සතුටු වෙන්න පුළුවන්. සැබෑ ජීවිතයේ මෙන්, අනෙක් අය යම් වරදක් කිරීමට පෙළඹෙන අවස්ථාවකදී ඔවුන්ට කළ හැකි දේ නිරූපණය කරන්න ඔවුන්ට පුළුවන්. එසේත් නැතිනම් ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට නිර්භීත වූ අවස්ථාවක අත්දැකීම් ඔවුන්ට බෙදාගන්න පුළුවන්. අබිනාදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළේ කොහොමද? (බලන්න මොසායා 13:2–9; 17:7–10). නෝවා රජු හරි බව දැන සිටි දේ නොකළේ ඇයි?(බලන්න මොසායා 17:11–12)

මොසායා 12:33–36; 13:11–24

මම දස පනතට කීකරු විය යුතුයි.

  • නෝවා රජුගේ පූජකයන් ආඥා දැන සිටියත් ඒවා “[ඔවුන්ගේ] සිත්වල ලියා” තිබුණේ නැහැ (මොසායා 13:11). ඔබේ දරුවන්ට ආඥා දැනගැනීමට සහ ඒවාට ප්‍රේම කිරීමට ඔබ උදවු කරන්නේ කොහොමද? සමහර විට ඔවුන්ට මොසායා 12:33–36 සහ 13:11–2 තුළ දක්වා ඇති ආඥා හදවතක හැඩැය ඇති කඩදාසික් මත ලියන්න පුළුවන්. ඔවුන් එසේ කරද්දි, මෙම ආඥාවලින් අදහස් කරන්නේ කුමක්ද සහ ඒවා පිළිපැදිය යුතු ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න. ඒවා අපගේ හදවත් තුළ ලියන්න පුළුවන් කොහොමද?

  • ඔබට එකට එකතු වී ආඥා ගැන ගීතයක් ගායනා කරන්න පුළුවන්. ආඥා පිළිපැදීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?

රූපය
පියෙකු සහ පුතෙකු ශුද්ධලියවිලි කියවමින්

ශුද්ධලියවිලි අපට දෙවියන්වහන්සේගේ ආඥා උගන්වනවා.

මොසායා 14; 16:4–9.

ස්වර්ගික පියාණන්වහන්සේ මාව නැවත උන්වහන්සේ වෙතට ගෙනයාමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා.

  • මොසායා 14 ඉතා කුඩා පරිච්ඡේදයක් වුවත් එහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ කිහිපයක් තිබෙනවා. සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් එම පරිච්ඡේදය එකට කියවද්දි ඒවා ලැයිස්තුගත කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔබට මෙම වචන සහ වාක්‍ය ඛණ්ඩ අධ්‍යයනය කරද්දි ගැලවුම්කරුවාණන් ගැන හැඟෙන ආකාරය ගැන කතා කරන්න පුළුවන්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීම සඳහා, අබිනාදි අනාගතවක්තෘ යෙසායාව උපුටා දැක්වූ අතර, ඔහු අපව නැතිවූ බැටළුවන්ට සමාන කළා. සමහරවිට ඔබේ දරුවන්ට යමක් අහිමි වූ අවස්ථාවක හෝ තමන්වම අහිමි වූ අවස්ථාවක අත්දැකීම් බෙදාගන්න පුළුවන්. ඔවුන්ට දැනුණේ කොහොමද? ඔවුන් කළේ මොනවාද? පසුව ඔබට එකට එකතු වී මොසායා 14:6 සහ 16:4–9 කියවන්න පුළුවන්. අපි දෙවියන්වහන්සේ වෙතින් ඉබාගාතේ යන බැටළුවන් වගේ වන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට නැවත පැමිණීමට උදවු කරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
අබිනාදි නෝවා රජුට සාක්ෂි දෙමින්

ජෙරමි වින්බර්ග් විසින්, His Face Shone with Exceeding Luster [ඔහුගේ මුහුණ වඩාත් දීප්තියකින් බැබළුණි]

මුද්‍රණය කරන්න