එන්න, මා අනුගමනය කරන්න 2024
අගෝස්තු 12–18: “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න.” ඇල්මා 43–52


“අගෝස්තු 12–18: ‘ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න.’ ඇල්මා 43–52,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“අගෝස්තු 12–18. ඇල්මා 43–52,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මොරෝනි සහ නිදහසේ කොඩිය

ස්කොට් එම්. ස්නෝ විසින්, For the Blessings of Liberty [නිදහසේ ආශිර්වාදයන් සඳහා]

අගෝස්තු 12–18: “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න”

ඇල්මා 43–52

ඇල්මා 43 වෙනි පරිච්ඡේදය ආරම්භයේදී—“දැන් මම නෙපීවරුන් සහ ලාමන්වරුන් අතර යුද්ධ පිළිබඳ විස්තරයක් වෙත ආපසු යමි”—යන වචන අපි කියවද්දි, තහඩු මත සීමිත ඉඩකඩ තිබියදීත් මොර්මොන් මෙම යුධ කථා ඇතුළත් කළේ ඇයි කියා සිතීම ස්වාභාවිකයි (බලන්න මොර්මොන්ගේ වචන 1:5). අවසාන දිනවල අපගේ යුද්ධ සම්බන්ධ කොටසක් අප තිබෙන බව සත්‍යයක්, නමුත් යුද්ධයේ උපායමාර්ගය සහ ඛේදවාචකය පිළිබඳ විස්තරයෙන් ඔබ්බට ඔහුගේ වචන වල වටිනාකමක් තිබෙනවා. අපි සෑම දිනකම නපුරු බලවේගයන්ට එරෙහිව සටන් කරන යුද්ධය සඳහා, “we are all enlisted” (Hymns, no. 250) [අපි සියල්ලන්වම බඳවාගෙන ඇත] යන ඔහුගේ වචන අපිව සූදානම් කරනවා. මෙම යුද්ධය ඉතා සැබෑ එකක්, ඒවගේම එහි ප්‍රතිඵලය අපගේ සදාකාලික ජීවිතයට බලපානවා. නෙපීවරුන් වගේම අපිත් ශුද්ධ වූ අරමුණකින් ආභාෂය ලබනවා—ඒ තමයි “අපගේ දෙවියන්වහන්සේද, අපගේ ආගමද, නිදහසද, අපගේ සාමයද, අපගේ භාර්යාවන්ද, අපගේ දරුවන්ද” වෙනුවෙන් “කිතුනුවන්ගේ කාරණය” ලෙස මොරෝනි හැඳින්වූ දේ (ඇල්මා 46:12, 16).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 43–52

මගේ අධ්‍යාත්මික සටන්වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මට උදවු කරන්න පුළුවන්.

ඔබ ඇල්මා 43–52 කියවද්දි, ඔවුන් සාර්ථක (හෝ අසාර්ථක) වීමට නෙපීවරුන් කළ දේවල් සැලකිල්ලට ගන්න. ඔබේ අධ්‍යාත්මික සටන් ජයග්‍රහණය කිරීමට ඔබ ඉගෙනගත් දේවල් භාවිතා කරන්නේ කෙසේදැයි සිතා බලන්න. ඔබගේ අදහස් පහත සටහන් කරන්න:

  • ඇල්මා 43:19: නෙපීවරුන් සන්නාහයෙන් සූදානම් වුණා. (මාව අධ්‍යාත්මික සන්නාහයෙන් සූදානම් කරගැනීමට මට උත්සාහ කරන්න පුළුවන්.)

  • ඇල්මා 43:23–24: ඔවුන් අනාගතවක්තෘවරයාගේ මගපෙන්වීම සෙව්වා.

  • ඇල්මා 44:1–4.

  • ඇල්මා 45:1.

  • ඇල්මා 46:11–20.

  • ඇල්මා 48:7–9.

  • ඇල්මා 49:3, 12–14.

ඒ වගේම නෙපීවරුන්ගේ සතුරන්ගේ ප්‍රයත්න වලින් ඔබට ඉගෙනගත හැකි දේ මොනවාද කියා බලන්න. සාතන් ඔබට ඒ හා සමාන ආකාරයකින් පහරදිය හැකි ආකාර ගැන මෙනෙහි කරන්න:

  • ඇල්මා 43:8 ඔහුට ඔවුන් මත බලය ලබාගැනීමේ උවමනාවෙන්, සාරාහෙම්නා තම සෙනගව කෝපයට පත්කිරීමට උත්සාහ කළා. (කෝපයෙන් ක්‍රියා කිරීමට සාතන්ට මාව පොළඹවන්න පුළුවන්.)

  • ඇල්මා 43:29.

  • ඇල්මා 46:10.

  • ඇල්මා 47:10–19.

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්න,” ලියහෝනා, නොවැ, 2020, 73–76.

රූපය
ලාමන්වරුන්ට එරෙහිව සටන් කරන නෙපීවරුන්

ටෙයිචර්ට් (1888–1976), Defense of a Nephite City [නෙපීවරුන්ගේ නගරය ආරක්ෂා කිරිම] 1949–1951, මැසොනයිට් මත තෙල්, 36 x 48 අඟල්. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.

ඇල්මා 46:11–28; 48:7–17

රූපය
සෙමනේරි නිරූපකය
“ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න.”

ඔබේ ජීවිතයේ විරුද්ධවාදියාගේ බලය අඩු කිරීමට ඔබට අවශ්‍යද? ඇල්මා 48:17 තුළ ඇති අවවාදය අනුගමනය කරන්නට තිබෙන එක් ක්‍රමයක් තමයි “මොරෝනිට සමාන” වීම. ඔබ ඇල්මා 46:11–28; 48:7–17 කියවද්දි මොරෝනිව විස්තර කරන වචන ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. “ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල තුළ ස්ථිරව සිටීම” ගැන මොරෝනිගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? (ඇල්මා 46:27).

“කිතුණුවන්ගේ කාරණය” (ඇල්මා 46:11–22) තුළ මොරෝනි අන් අයට පෙළඹවීමක් ලබා දුන් ආකාරය ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබ එම කාරණය විස්තර කරන්නේ කොහොමද? එයට සහභාගී වීමට ඔබට කළ හැක්කේ මොනවාද? එයට සහභාගී වීමට ඔබට අනෙක් අයටත් අනුභාවයක් ලබාදෙන්න පුළුවන් කොහොමද?

මොරෝනි අන් අයව දිරිමත් කිරීමට කළ එක් දෙයක් තමයි, නෙපීවරුන්ට දේවනුභාවයක් ලබාදීමට මූලධර්ම අවධාරණය කරන නිදහසේ කොඩිය නිර්මාණය කිරීම (බලන්න 12 වෙනි පදය). අපේ කාලයේ අපගේ සභා නායකයන් අවධාරණය කරන ප්‍රතිපත්ති මොනවාද? යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් (පොත් පිංච, 2022), “පවුල: ලෝකයට ප්‍රකාශය,” තරුණ ගැහැණු ළමුන්ගේ සහ ආරෝනික පූජකත්ව ගණපූරණ තේමාවන් හෝ මෑත කාලීන ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ තුළ ඔබට ඒවා සොයන්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ට සහ උන්වහන්සේගේ ශුභාරංචියට සත්‍යවන්ත වීමට ඔබට මතක් කිරීමක් වෙනුවෙන්—ඔබේම නිදහසේ කොඩියක් නිර්මාණය කිරීම සඳහා සරල ප්‍රකාශ කිහිපයක් සමඟින්, ඔබට ඒවා වලින් උගන්වන දේ සාරාංශගත කරන්න පුළුවන්.

ඇල්මා 47

සාතන් ටිකෙන් ටික පොළඹවමින් රවට්ටනවා.

බොහෝදෙනෙක් විශාල පව් කිරීමට හෝ පැහැදිලි බොරු විශ්වාස කිරීමට අකමැති බව සාතන් දන්නවා. එමනිසා, ඔබව ධර්මිෂ්ඨ ජීවන සුරක්ෂිතභාවයෙන් ඈත් කිරීමට, ඔබ පිළිගනු ඇතැයි ඔහු සිතන තරමටම සියුම් බොරු සහ කුඩා පරීක්ෂාවන් ඔහු භාවිතා කරනවා.

මෙම රටාව ඇල්මා 47 තුළ සොයන්න, ඒවගේම සාතන් ඔබව රැවටීමට උත්සාහ කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. වැඩිහිටි රොබට් ඩී. හේල්ස් ලබාදුන් මෙම අදහස් සලකා බලන්න:

“ද්‍රෝහී අමලිකියා ලෙහොන්ටිගෙන් ඉල්ලා සිටියේ ‘පහළට බැස’ මිටියාවතේදී ඔහුව මුණගැසෙන ලෙසයි. නමුත් ලෙහොන්ටි උස් භූමියෙන් ඉවත්ව යද්දි, ඔහු මියයන තුරුම ස්වල්පයෙන් ස්වල්පය විෂ දී තිබූ අතර, ඔහුගේ හමුදාව අමලිකියාගේ අතට පත්වුණා (බලන්න ඇල්මා 47). වාද විවාදවලින්, චෝදනාවලින් සමහර අය උස් බිමෙන් ඉවත්ව යන්නට අපිට ඇමක් දෙනවා. උස් බිම කියන්නෙ ආලෝකය තිබෙන තැන. … එය තමයි ආරක්ෂිත භූමිය” (“Christian Courage: The Price of Discipleship,” Liahona, Nov. 2008, 74).

තවත් බලන්න නෙහෙමියා 6:3; 2 නෙපී 26:22; 28:21–22.

ඇල්මා 50–51

සමගිය ආරක්ෂාව ගෙන එනවා.

නෙපීවරුන්ගේ සන්නාහ සහ බලකොටු තිබියදීත්, ලැමන්වරුන් ඉක්මනින්ම ඔවුන්ගේ නගර බොහොමයක් අල්ලා ගත්තා (බලන්න ඇල්මා 51:26–27). එසේ වුණේ කොහොමද? ඔබ මෙම පරිච්ඡේද කියවද්දි පිළිතුරු සොයන්න (විශේෂයෙන් බලන්න ඇල්මා 51:1–12). ඔබ සඳහා සහ ඔබගේ පවුලේ අය සඳහා මෙම වාර්තාවේ ඇති අනතුරු ඇඟවීම් ගැන සිතා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 43:17–21; 48:7–8; 49:1–5; 50:1–6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළින් මට ආත්මික ආරක්ෂාව සොයාගන්න පුළුවන්.

  • ඇල්මා 43:19 තුළ නෙපීවරුන්ගේ සන්නාහය ගැන ඔබ කියවද්දි, අපගේ ශරීර ආරක්ෂා කරන සන්නාහ සමඟ අපගේ ආත්මයන් ආරක්ෂා කිරීමට දෙවියන්වහන්සේ අපට දී ඇති දේවල් සසඳන්න පුළුවන්. සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට ළමයෙකුගේ පින්තූරයක් ඇඳ, අපව ආත්මිකව ආරක්ෂා කරන දේවල් ලෙස ඔවුන්ට නම් කළ හැකි සෑම දෙයක් සඳහාම සන්නාහයක් ඔවුන්ට එම පින්තූරයට එකතු කරන්න පුළුවන්.

  • මෙම පදවල නෙපීවරුන් ගොඩනගන ලද බලකොටු ගැන විස්තර කරනවා: ඇල්මා 48:7–9; 49:1–9; 50:1–6. එකට එකතු වී මෙම පද කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට පුටු සහ බ්ලැන්කට් වැනි වස්තූන්ගෙන් බලකොටුවක් සෑදීමෙන් සතුටු වෙන්න පුළුවන්.

ඇල්මා 46:11–16; 48:11–13, 16–17

මට කපිතාන් මොරෝනි මෙන් “ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලෙහි ස්ථිරව” ඉන්න පුළුවන්.

  • නිදහසේ කොඩිය පිළිබඳ කතාව පැවසීමට ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ ඇති පින්තූර දෙස බලන්න පුළුවන් (බලන්න ඇල්මා 46:11–16). මිනිසුන් මතක තබා ගන්නවාට මොරෝනි කැමති වූ දේවල් මොනවාද (බලන්න 12 වෙනි පදය)? ස්වර්ගික පියාණන්වහන්සේ කැමති අපි මොනවා මතක තබාගන්නවාටද? සමහරවිට ඔබේ දරුවන්ට මේ දේවල් මතක තබා ගැනීමට උදවු වන වාක්‍ය ඛණ්ඩ හෝ පින්තූර සමඟ ඔවුන්ගේම “නිදහසේ කොඩි” නිර්මාණය කරන්න පුළුවන්.

  • මොරෝනි මෙන් “ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිටීම” ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම සඳහා (බලන්න ඇල්මා 48:13), ඔබට ස්ථිර යමක් සොයා ගැනීමට සහ ස්පර්ශ කිරීමට ඔවුන්ට උදවු වෙන්න පුළුවන්. ඇදහිල්ලෙහි “ස්ථිර” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මොරෝනිගේ ඇදහිල්ල ශක්තිමත් කළේ කුමක් දැයි දැන ගැනීමට එකට එක්ව ඇල්මා 48:11–12 කියවන්න. “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙහි ස්ථිරව” සිටීමට අපට කළ හැක්කේ මොනවාද?

ඇල්මා 47:4–19

සාතන් ටිකෙන් ටික පොළඹවමින් රවට්ටනවා.

එකට එකතු වී ඇල්මා 47:4–19 තුළ තෝරාගත් පද කියවන්න. අමලිකියා ලෙහොන්ටිට මුල ඉඳන්ම කරන්න හිතාගෙන හිටපු දේ කිව්වොත් මොනවා වෙන්න තිබුණද? සාතන් අපව රැවටීමට උත්සාහ කරන ආකාරය ගැන මෙම පදවලින් අපට උගන්වන්නේ මොනවාද?

ඔබේ දරුවන්ට ආත්ම-විශ්වාසය ගොඩනගා ගැනීමට උදවු කරන්න. සමහර දරුවන්ට තනිවම ශුභාරංචිය ඉගෙන ගැනීමට හැකියාවක් නෑ. ඔවුන්ගේ ආත්ම-විශ්වාසය ගොඩනැගීමට හැකි එක් ක්‍රමයක් තමයි, ඔවුන් ඉගෙනීමට සහභාගී වෙද්දි ඔවුන්ව ප්‍රශංසා කිරීම. මෙම දළ සටහනේ ඇති ක්‍රියාකාරකම් සමඟ ඔබට මෙම යෝජනාව යොදාගන්න පුළුවන් කොතැනින්ද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
නිදහසේ කොඩිය ඔසවා සිටින මොරෝනි

ලැරී කොන්‍රැඩ් වින්බෝර්ග් විසින්, Title of Liberty [නිදහසේ කොඩිය]

© 2018 ලැරී කොන්‍රැඩ් වින්බෝර්ග් විසිනි

මුද්‍රණය කරන්න