එන්න, මා අනුගමනය කරන්න 2024
ජූලි 29–අගෝස්තු 4: “දෙවියන්වහන්සේ දෙස බලා ජීවත්වන්න.” ඇල්මා 36–38


“ජූලි 29–අගෝස්තු 4: ‘දෙවියන්වහන්සේ දෙස බලා ජීවත්වන්න.’ ඇල්මා 36–38,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජූලි 29–අගෝස්තු 4. ඇල්මා 36–38,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
කාන්තාවක් යාච්ඤා කරමින්

ජෙන් ටොල්මන් විසින්, Woman [කාන්තාව], පිටපත් කළ නොහැකිය

ජූලි 29–අගෝස්තු 4: “දෙවියන්වහන්සේ දෙස බලා ජීවත්වන්න”

ඇල්මා 36–38

ඇල්මා තමා වටා ඇති දුෂ්ටකම දුටු විට, ඔහුට ගැඹුරු “ශෝකයක්”, “පීඩාවක්” සහ “ප්‍රාණයේ වේදනාවක්” දැනුණා (ඇල්මා 8:14). ඔහු සෝරාම්වරුන් ගැන කිව්වේ, “මේ ජනයා අතර දුෂ්ටකම” “මාගේ ප්‍රාණයට වේදනා ගෙනදෙයි” ලෙසයි (ඇල්මා 31:30). සිය මෙහෙයුමෙන් සෝරාම්වරුන් වෙත ආපසු පැමිණි පසු ඔහුට ඒ හා සමාන දෙයක් දැනුණා—නෙපීවරුන් බොහෝ දෙනෙකුගේ “හදවත් දැඩි වීමට පටන්ගත් බවත්, වචනයේ ස්ථීර බව නිසා ඔවුන් අමනාප වීමට පටන්ගත් බවත්” ඔහු නිරීක්ෂණය කළා, ඒවගේම මේ නිසා ඔහුගේ හදවත “අතිශයින්ම දුක් [වුණා]” (ඇල්මා 35:15). ඔහු දුටු සහ ඔහුට දැනුණු දේ ගැන ඇල්මා කළේ මොනවාද? ඔහු හුදෙක් ලෝකයේ තත්වය ගැන අධෛර්යයට හෝ නුරුස්සන සුළු බවට පත් වුණේ නෑ. ඒ වෙනුවට, “ඔහු තම පුතුන්ට එක්රැස් කිරීමට [සැලැස්වුවා]” ඒවගේම “ධර්මිෂ්ඨකමට අදාළ දේවල්” ඔවුන්ට [ඉගැන්වුවා] (ඇල්මා 35:16). ඔහු ඔවුන්ට මෙසේ ඉගැන්වුවා, “මනුෂ්‍යයාගේ ගැලවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේ කෙරෙන් හැර, වෙනත් මාර්ගයක් නොමැත. … බලන්න, උන්වහන්සේ ලෝකයේ ජීවනයය සහ ආලෝකයය” (ඇල්මා 38:9).

නිවසේ සහ සභාවේ ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 36; 38:5–6

මට දෙවියන්වහන්සේගෙන් උපත ලබන්න පුළුවන්.

ඇල්මාගේ හැරීම තරම් නාට්‍යමය අත්දැකීම් තිබිය හැක්කේ අපෙන් කිහිප දෙනෙකුට පමණයි. නමුත් එය සාමාන්‍යයෙන් හෙමි-හෙමින් සිදු වුවත් සෑම කෙනෙකුම “දෙවියන්වහන්සේගෙන් ඉපදිය” යුතුමයි (ඇල්මා 36:23; 38:6). ඔබ ඇල්මා 36 කියවද්දි, දෙවියන්වහන්සේගෙන් උපත ලැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සිතන්න. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගෙන් උපත ලැබීමේ ක්‍රියාවලියේදී, පාපය ගැන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? දෙවියන්වහන්සේගෙන් උපත ලැබීම ඔබේම වැරදිවලට ප්‍රතිචාර වශයෙන් ඔබ කරන දෙයට බලපාන්නේ කොහොමද? ඔබගේ විශ්වාසයන් සහ ක්‍රියාවන් තුළ සිදුවන වෙනත් වෙනස්කම් මොනවාද? ඔබ මෙම වෙනස්කම් අත්විඳින ආකාරය ගැන මෙනෙහි කරන්න.

තවත් බලන්න මොසායා 5:7; 27:25–26; ඇල්මා 5:14; 22:15; හිලමන් 3:35.

ඇල්මා 36:12–24; 38:8–9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශෝකය වෙනුවට ප්‍රීතිය ආදේශ කරනවා.

සමහර විට මිනිසුන් පසුතැවිලි වීමට බිය වන්නේ පසුතැවීම පාපයට වේදනාකාරී දඬුවමක් ලෙස ඔවුන් දකින නිසයි. ඔබ සිතන විදියට ඇල්මා ඒ ගැන මොකක් කියයිද? ඒ ගැන සොයාගන්න නම්, ඇල්මා පසුතැවිලි වීමට පෙර ඔහුගේ ජීවිතය සමඟ (බලන්න ඇල්මා 36:6–7) ඔහු පසුතැවිලි වූ පසු ඔහු ඔහු ගැනම කළ විස්තරය සසඳන්න පුළුවන් (බලන්න 18–27 පද). ඇල්මා 36:17–18 අනුව, ඇල්මා මෙම සමාව ලබාගත්තේ කොහොමද?

තවත් බලන්න මැතිව් එස්. හොලන්ඩ්, “පුත්‍රයාණන්ගේ උත්කෘෂ්ට දීමනාව,” ලියහෝනා, නොවැ. 2020, 45–47.

ඇල්මා 37

ශුද්ධලියවිලි සංරක්ෂණය කර තිබෙන්නේ “ඥාණවන්ත අරමුණක් සඳහායි.”

අද ශුද්ධලියවිලි තිබීමේ ආශ්චර්යය සහ ආශිර්වාදය ගැන සිතන්න! ඔබ ඇල්මා 37 කියවද්දි, ශුද්ධලියවිලි තිබීමෙන් ලැබෙන ආශිර්වාද ගැන සොයන්න (උදාහරණයක් ලෙස බලන්න, 7–10, 18–19, 44–45 පද).

ඇල්මා 37:38–47 තුළ ඇල්මා “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය” ලියහෝනාව සමඟ සංසන්දනය කළා. ඔබ මෙම සංසන්දනය ගැන මෙනෙහි කරද්දි, “දිනෙන් දින” ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් වල ආශ්චර්යය හා බලය ඔබ අත්විඳ ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න (ඇල්මා 37:40).

රූපය
කාන්තාවක් ශුද්ධලියවිලි කියවමින්

දෙවියන්වහන්සේව අනුගමනය කරන ආකාරය ශුද්ධලියවිලි අපට උගන්වනවා.

ඇල්මා 37:1–14

රූපය
seminary icon
“කුඩා හා සරල දේවල් වලින් ශ්‍රේෂ්ඨ දේවල් ගෙන එනු ඇත.”

සමහරවිට අපගේ ගැටළු විශාල හා සංකීර්ණ නිසා, විසඳුම්ද විශාල හා සංකීර්ණ වියයුතු යැයි අපට හැඟෙන්නට පුළුවන්. නමුත් එය සැමවිටම ස්වාමින්වහන්සේගේ මාර්ගය නොවේ. ඔබ ඇල්මා 37:1–14 කියවද්දි, ඔහු ඔහුගේ කාර්යය කරන ආකාරය ගැන ඔබේ සිත් ඇදගන්නා දේ ගැන සලකා බලන්න. එවිට ඔබ ඔබේ ජීවිතයේ මෙම මූලධර්මය දැක ඇති ආකාරය ගැන මෙනෙහි කර වාර්තා කරන්න ඔබට පුළුවන්.

ඔබ මෙම මූලධර්මය යමෙකුට ඉගැන්වීමට යනවා නම්, එය නිදර්ශනය කිරීමට සොබාදහමෙන් හෝ එදිනෙදා ජීවිතයෙන් ඔබ භාවිතා කරන උදාහරණ මොනවාද? ඔබට ඒවායින් සමහරක් සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “කුඩා සහ සරල දේවල්” (ලියහෝනා, මැයි 2018, 89–92) යන පණිවිඩයෙන් සොයාගන්න පුළුවන්.

ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබව සමීප කරන කුඩා හා සරල දේවල් මොනවාද?

බොහෝ විට, අපගේ “කුඩා සහ සරල” තේරීම් අපගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කරනවා. යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක් තුළින් මාතෘකාවක් තෝරා ගෙන, මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම ඇසීම ගැන සලකා බලන්න: මේ පිළිබඳ මගේ තේරීම් මට සහ මා අවට සිටින පුද්ගලයින්ට බලපාන්නේ කොහොමද? වැඩි සාමයක් සහ සතුටක් ගෙන දීමට මට කළ හැකි කුඩා හා සරල වෙනස්කම් මොනවාද?

තවත් බලන්න මයිකල් ඒ. ඩන්, “එක් ප්‍රතිශතයකින් වඩා යහපත්වලියහෝනා, නොවැ. 2021, 106–8.

කුඩා හා සරල දේවල් භාවිතා කරන්න. ජීවිතයේ වෙනත් බොහෝ දේ මෙන්ම, ශුභාරංචිය ඉගැන්වීම සහ ඉගෙනීම ද කුඩා හා සරල ක්‍රම හරහා කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, කුඩා හා සරල දේවල බලය ඉගැන්වීම සඳහා ලුණු හෝ යීස්ට් ස්වල්පයක් භාවිතා කරන්න පුළුවන් කොහොමද? (බලන්න මතෙව් 5:13; 13:33).

ඇල්මා 37:35–37

“ස්වාමින්වහන්සේ සමඟ සාකච්ඡා කරන්න.”

ඇල්මා 37:35–37 තුළ, ඇල්මාගේ පුත් හිලමන් වෙත ඔහු කළ ආරාධනාවන් සොයන්න. ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මෙම ආරාධනා වලින් කුමන ඒවා මත ක්‍රියා කරන්නටද? නිදසුනක් වශයෙන්, “ස්වාමින්වහන්සේ සමඟ සාකච්ඡා කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතා බලන්න පුළුවන් (37 වෙනි පදය). ඔබ මෙය කිරීමට උත්සාහ කර ඇත්තේ කොහොමද? උන්වහන්සේ ඔබව යහපත සඳහා යොමු කර ඇත්තේ කොහොමද?

ඇල්මා 38

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මගේ සාක්ෂිය බෙදාගැනීමෙන් මට මම ආදරය කරන අයව ශක්තිමත් කරන්න පුළුවන්.

ඇල්මා ඔහුගේ පුත් ෂිබ්ලොන්ට පැවසූ වචන, ශුභාරංචිය අනුව ජීවත් වෙද්දි අපි ආදරය කරන මිනිසුන්ව ශක්තිමත් කිරීම සහ දිරිගැන්වීම සඳහා හොඳ උදාහරණයක් සපයනවා. පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ශක්තිය සොයා ගැනීමට උදවු කිරීම සඳහා ඔබට ඇල්මා 38 අධ්‍යයනය කිරීමෙන් යම් අදහස් ලබා ගන්න පුළුවන්. ඔබ සොයා ගන්නා දේ ලියන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 36:6–24

පසුතැවීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ප්‍රීතිය ගෙන දෙනවා.

  • ඔබේ දරුවන්ට පසුතැවීම සතුට ගෙන දෙන බව තේරුම් ගැනීමට උදවු කිරීම සඳහා, එක් පැත්තක ප්‍රීතිමත් මුහුණක් සහ අනෙක් පැත්තේ දුක්මුසු මුහුණක් ඇති කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලබාදෙන්න ඔබට පුළුවන්. ඔබ ඇල්මා 36:13, 17–20 කියවන අතරතුර හෝ සාරාංශ කරන අතරතුර එයට සවන් දෙන ලෙසත්, ඇල්මාට හැඟෙන ආකාරය පෙන්වීමට එක් මුහුණක් ඔසවාගෙන සිටින ලෙසත් ඔවුන්ට කියන්න. ඔහුට හැඟුණු ආකාරය විස්තර කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ වැඩිහිටි දරුවන්ට සටහන් කරන්න පුළුවන්. ඇල්මාව දුකට පත් කළේ මොනවාද, ඒවගේම ඔහුට ප්‍රීතිය ගෙන දුන්නේ මොනවාද? එවිට ඔබ පසුතැවිලි වෙද්දි ඔබට දැනෙන ප්‍රීතිය ගැන ඔබට ඔවුන්ට කියන්න පුළුවන්.

ඇල්මා 37:6–7

“කුඩා හා සරල දේවල් වලින් ශ්‍රේෂ්ඨ දේවල් ගෙන එනු ඇත.”

  • විශාල දේවල් සිදු කරන කුඩා අයිතම සොයා ගැනීමෙන් ඔබේ දරුවන්ට සතුටු වෙන්න පුළුවන්. බැටරියක්, මෝටර් රථ යතුරක් හෝ ඔවුන්ව සනසන සෙල්ලම් බඩුවක් වැනි අයිතම උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඉන්පසු ඔබට එකට එකතු වී ඇල්මා 37:6–7 කියවා, දෙවියන්වහන්සේ අප කරනවාට කැමති කුඩා හෝ සරල දේවල් ගැන සිතන්න පුළුවන්. අපි මෙම කුඩා හෝ සරල ආඥාවලට කීකරු වෙද්දි සිදු විය හැකි විශාල දේවල් මොනවාද?

  • ඔබේ දරුවන්ට මෙවැනි දෙයක් වුවත් උත්සාහ කරන්න පුළුවන්: වරකට වතුර බිංදුවක් බැගින්, කෝප්පයක් වතුරෙන් පුරවන්න. මෙය ඇල්මා 37:6–7 හා සම්බන්ධ වන්නේ කොහොමද? දිනපතා ශුද්ධලියවිලි කියවීම වැනි, ස්වාමින්වහන්සේගේ “කුඩා හා සරල දේවල්” කෝප්පයක ඇති ජල බිංදු මෙන් වන ආකාරය ගැන ඔබට කතා කරන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට නිවසේ, පාසලේ හෝ සභාවේ විශිෂ්ට දේවල් කළ හැකි ආකාරය ගැන සිතීමට උදවු කරන්න.

ඇල්මා 37:38–47

ශුද්ධලියවිලි වලට සෑම දිනකම මට උදවු කරන්න පුළුවන්.

  • ඇල්මා හිලමන් කෙරෙහි කළාක් මෙන්, දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කර ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන් කොහොමද? ඔවුන්ට ලියහෝනාවේ පින්තූරයක් පෙන්වන හෝ ඔවුන් ඒ ගැන දන්නා දේ බෙදා ගන්නා අතරතුර එවැනි එකක් ඇඳීමට ඔවුන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න (බලන්න ඇල්මා 37:38–47; 1 නෙපී 16:10, 28–29). ශුද්ධලියවිලි ලියහෝනාව මෙන් වෙන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ඇල්මාට සහ මොසායාගේ පුතුන්ට දේවදූතයෙකු දර්ශනය වීම

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, Angel Appears to Alma and the Sons of Mosiah [ඇල්මාට සහ මොසායාගේ පුතුන්ට දේවදූතයෙකු දර්ශනය විය]

මුද්‍රණය කරන්න