එන්න, මා අනුගමනය කරන්න 2024
ඔක්තෝම්බර් 7–13: “බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය.” 3 නෙපී 17–19


“ඔක්තෝම්බර් 7–13: ‘මාගේ ප්‍රීතිය සම්පූර්ණය.’ 3 නෙපී 17–19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ඔක්තෝම්බර් 7–13. 3 නෙපී 17–19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සහාව සඳහා: 2024 (2023)

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින්

ගැරී එල්. කැප් විසින්, The Light of His Countenance Did Shine upon Them [උන්වහන්සේගේ මුහුණෙහි ආලෝකය ඔවුන් මත බැබලුවේය]

ඔක්තෝම්බර් 7–13: “බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය”

3 නෙපී 17–19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බවුන්ටිෆුල් දේශයේ දේවසේවයේ යෙදෙමින්, උන්වහන්සේගේ ශුභාරංචිය උගන්වමින්, මරණයෙන් නැවත නැගිටි ශරීරයේ සලකුණු මිනිසුන්ට දැකීමට සහ දැනෙන්නට සලස්වමින්, ඒවගේම පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් බවට සාක්ෂි දෙමින් දවස ගෙවා තිබුණා. දැන් පිටත්ව යන වෙලාව ආවා. “මගේ කාලය ආසන්නය,” කියා උන්වහන්සේ කිව්වා (3 නෙපී 17:1). උන්වහන්සේ උන්වහන්සේගේ පියා වෙත ආපසු යාමට සූදානම්ව සිටියා, ඒවගේම උන්වහන්සේ ඉගැන්වූ දේවල් ගැන මෙනෙහි කිරීමට මිනිසුන්ට කාලය අවශ්‍ය බවත් උන්වහන්සේ දැන සිටියා. එබැවින්, ඊළඟ දවසේ ආපසු එන බවට පොරොන්දු වූ උන්වහන්සේ සමූහයාව ඔවුන්ගේ නිවෙස් වලට පිටත් කර හැරියා. නමුත් කිසිවෙකු ගියේ නෑ. ඔවුන්ට හැඟෙන දේ ඔවුන් නොකියූ නමුත් යේසුස්වහන්සේට එය තේරුම්ගන්න පුළුවන් වුණා: උන්වහන්සේ “ඔවුන් සමඟ තව ටික වේලාවක් රැඳී සිටිනු ඇතැයි” ඔවුන් බලාපොරොත්තු වුණා (3 නෙපී 17:5). උන්වහන්සේට කරන්න වෙනත් වැදගත් දේවල් තිබුණා, නමුත් දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි අනුකම්පාව දැක්වීම සැමවිටම උන්වහන්සේට ඉහල ප්‍රමුඛතාවයක් වුණා. ඉතින් යේසුස්වහන්සේ තව ටික වෙලාවක් රැඳී සිටියා. පසුව සිදු වූ දෙය ශුද්ධලියවිලි වල වාර්තා කර ඇති දේවසේවයේ වඩාත්ම මුදු මොළොක් උදාහරණය වෙන්න පුළුවන්. පැමිණ සිටි අයට කියන්න පුළුවන් වුණේ එය විස්තර කළ නොහැකි දෙයක් බව පමණයි (බලන්න 3 නෙපී 17:16–17). යේසුස්වහන්සේම මෙම සරල හා බලවත් වචන සමඟ මේ සැලසුම් නොකළ අධ්‍යාත්මික පිටාර ගැලීම මෙහෙම සාරාංශ කළා: “තවද දැන් බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය” (3 නෙපී 17:20).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 17; 18:24–25, 30–32

දේවසේවය සඳහා මගේ හොඳම උදාහරණය තමයි ගැලවුම්කරුවාණන්.

ගැලවුම්කරුවාණන් දර්ශනය වන විට මිනිසුන් 2,500 ක් පමණ පැමිණ සිටියා, නමුත් උන්වහන්සේ ඔවුන් සෑම කෙනෙකුටම දේවසේවය කරන්න මාර්ගයක් සොයා ගත්තා. 3 නෙපී 17; 18:24–25, 28–32 තුළ උන්වහන්සේ සේවය කළ ආකාරය ගැන ඔබ දකින්නේ මොනවාද? උන්වහන්සේ සේවය කළේ කුමන අවශ්‍යතා සඳහාද? උන්වහන්සේගේ දේවසේවය ඵලදායි වූයේ කුමන ගුණාංග නිසාද? උන්වහන්සේ ඔබට දේවසේවය කරන ආකාරය ගැනත් ඔබට සිතන්න පුළුවන්. ඔබට උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද? (තවත් බලන්න 3 නෙපී 18:24–25 සහ 28–32.)

3 නෙපී 17:13–22; 18:15–25; 19:6–9, 15–36

ගැලවුම්කරුවාණන් මට යාච්ඤා කරන ආකාරය ඉගැන්නුවා.

ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් යාච්ඤා කිරීම ඇසීම කෙබඳු වේදැයි සිතා බලන්න. එවැනි අත්දැකීමක් ඔබ යාච්ඤා කරන ආකාරය කෙරෙහි බලපාන්නේ කොහොමද? 3 නෙපී 17:13–22; 18:15–25; සහ 19:6–9, 15–36 අධ්‍යයනය කරන විට ඔබ මෙය මෙනෙහි කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයෙන් සහ යාච්ඤාව පිළිබඳ ඉගැන්වීම්වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? යාච්ඤා කළ යුත්තේ කෙසේද, කවදාද, කොහේද, කවුරුන් සඳහාද සහ ඇයිද යන්න පිළිබඳ අවබෝධයක් සෙවීම සලකා බලන්න. මෙම පදවලින් ඔබට ලැබෙන වෙනත් අවබෝධයන් මොනවාද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 10:5.

3 නෙපී 18:1–12

රූපය
සෙමනේරි නිරූපකය
මම සක්‍රමේන්තුව ගන්නා විට මට ආත්මයාණන්ගෙන් පූර්ණ වෙන්න පුළුවන්.

අපි නිතර නිතර යමක් කරද්දි එය පුරුද්දක් හෝ සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. අපි සමහර වෙලාවට හිතන්නෙවත් නැතුව ඒ දේ කරනවා. සතිපතා සක්‍රමේන්තු නියෝගයේදි එය සිදු නොවීමට ඔබ වග බලාගන්නේ කොහොමද? ඔබ 3 නෙපී 18:1–12 කියවද්දි, ඔබ සක්‍රමේන්තුව ගන්නා සෑම අවස්ථාවකදීම ඔබට අධ්‍යාත්මිකව “පූර්ණ” වෙන්න පුළුවන් කොහොමද කියා මෙනෙහි කරන්න (තවත් බලන්න 3 නෙපී 20:1–9). 5–7, 11 පදවලට අනුව, ඔබ “සැමවිටම” කළ යුතු දේවල් මොනවාද? යේසුස්වහන්සේ අපට සක්‍රමේන්තු නියෝගය ලබා දුන්නේ ඇයි කියා සහ සක්‍රමේන්තුව ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ අරමුණු ඉටු කරනවාද කියා ඔබට මෙනෙහි කරන්න පුළුවන්. ඔබට සක්‍රමේන්තුව පරිශුද්ධ වන්නේ ඇයි?

සභාපති හෙන්‍රි බී. අයිරින්ගේ “සැමවිටම උන්වහන්සේව සිහිකරන්න” (ලියහෝනා, පෙබ. 2018, 4–6) යන පණිවිඩයේ “ඔබ සක්‍රමේන්තුවේ පූජනීය සලකුණු වලට සහභාගී වන විට සෑම සතියකම ඔබට මතක තබා ගත හැකි දේවල් තුනක් ගැන යෝජනා කළා.” ඔහුගේ යෝජනා සම්බන්ධයෙන් ඔබට කැපී පෙනෙන්නේ මොනවාද? සක්‍රමේන්තුව අතරතුර සහ සතිය පුරාවට ඔබේ නමස්කාරය වැඩිදියුණු කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද?

වඩා අර්ථවත් ලෙස නමස්කාර කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද? ඔබට මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසන්න පුළුවන්: “ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය මගේ දෛනික ජීවිතයට බලපාන්නේ කොහොමද?” “උන්වහන්සේගේ ගෝලයෙකු වශයෙන් මා හොඳින් කරන්නේ මොනවාද සහ මට වැඩිදියුණු කරගන්න පුළුවන් මොනවාද?”

තවත් බලන්න මතෙව් 26:26–28; ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “බලන්න දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්,” ලියහෝනා, මැයි 2019, 44–46.

මෙනෙහි කිරීමට කාලය දෙන්න. සමහර වෙලාවට, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම; කියවීම, යාච්ඤා කිරීම සහ මෙනෙහි කිරීමේ සම්මිශ්‍රණයක් බවට පත්වෙනවා. ඔබ ඉගෙන ගන්නා දේ ගැන දෙවියන්වහන්සේ සමඟ මෙනෙහි කිරීමට සහ කතා කිරීමට ඔබ නිහඬ වේලාවකට ඉඩ දෙන විට, ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ වචනයේ බලය වැඩි කරගන්න පුළුවන්.

3 නෙපී 18:22–25

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය “ඔසවාගෙන ඉන්න” පුළුවන්.

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු බව දැනගැනීමට අමතරව උන්වහන්සේ ගැන කිසිවක් නොදන්නා මිතුරෙකු ඔබට සිටියා යැයි සිතන්න. ඔබේ ක්‍රියා මත ඔබේ මිතුරා උන්වහන්සේ ගැන කුමක් නිගමනය කරයිද? “නුඹලාගේ ආලෝකය ලෝකය වෙතට බැබලෙන පිණිස එය ඔසවන්න” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (3 නෙපී 18:24). ඔබට එම ආලෝකය රඳවා ගැනීමට උදවු වීමට, ගැලවුම්කරුවාණන් 3 නෙපී 18:22–25 තුළ ලබාදුන් වෙනත් ආරාධනා මොනවාද?

තවත් බලන්න බොනී එච්. කෝර්ඩන්, “ඔවුන් දකිනු පිණිස,” ලියහෝනා, මැයි 2020, 78–80.

3 නෙපී 18:36–37; 19:6–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සොයනවා.

ඔබ මෑතකදී කළ යාච්ඤා ගැන සිතන්න. ඔබේ ගැඹුරු අභිප්‍රායන් ගැන ඔබේ යාච්ඤාවලින් ඔබට උගන්වන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන් ඉදිරියේ දිනක් ගතකිරීමෙන් පසු, සමූහයා ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය වන—“තමන් වඩාත්ම ආශා කළ දේ උදෙසා යාච්ඤා [කළා]” (3 නෙපී 19:9). ශුද්ධාත්මයාණන්ගේ දීමනාව මෙතරම් අභිප්‍රායෙන් යුතු එකක් වන්නේ ඇයි? ඔබ මෙම ඡේද කියවන විට, ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය සඳහා ඔබේම අභිප්‍රාය මෙනෙහි කරන්න. ඔබට උනන්දුවෙන් එම සහකාරත්වය සොයන්න පුළුවන් කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

3 නෙපී 17:7, 20–25

ගැලවුම්කරුවාණන් ස්වර්ගික පියාණන්වහන්සේගේ සෑම දරුවෙකුටම ආදරය කරනවා.

  • 3 නෙපී 17 තුළ ඇති කතාව දෘශ්‍යමාන කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා ඔබට මෙම දළ සටහනේ ඇති පින්තූරයක් භාවිතා කරන්න පුළුවන්. 3 නෙපී 17 තුළ ඇති ගැලවුම්කරුවාණන් ජනතාව කෙරෙහි දක්වන ප්‍රේමය අවධාරණය කරන වාක්‍ය ඛණ්ඩ හෝ පද කියවීම සලකා බලන්න (7 සහ 20–25 පද වැනි). ඉන්පසු ඔබේ දරුවන්ට ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටින පින්තූරයක් අඳින්න පුළුවන්. ඔවුන් එසේ කරන විට, යේසුස්වහන්සේ ඔවුන්ට ප්‍රේමය පෙන්වූ ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට උපකාර කරන්න.

රූපය
යේසුස්වහන්සේ දරුවන්ට ආශිර්වාද කරමින්

ගැරී එල්. කැප් විසින්, Behold Your Little Ones [ඔබේ කුඩා අය දෙස බලන්න]

3 නෙපී 18:1–12

මම සක්‍රමේන්තුව ගන්නා විට මට යේසුස්වහන්සේ ගැන සිතන්න පුළුවන්.

  • සක්‍රමේන්තුව අතරතුර සිදු වන දේ පැවසීමට සමහරවිට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට 3 නෙපී 18:1–12 කියවා, වර්තමානයේ අප කරන දේවල් වලට සමාන දෙයක් ඇසෙන විට ඔබේ දරුවන්ට අත ඔසවන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. සක්‍රමේන්තුව අතරතුරදී අපි මතක තබාගන්නවාට හෝ සිතනවාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමති දේවල් මොනවාද? (බලන්න 3 නෙපී 18:7, 11).

3 නෙපී 18:15–24; 19:6–9, 15–36

යේසුස්වහන්සේ මට යාච්ඤා කරන ආකාරය ඉගැන්නුවා.

  • ඔබට සහ ඔබේ දරුවන්ට 3 නෙපී 18:18–21 කියවා යාච්ඤාව ගැන යේසුස්වහන්සේ ඉගැන්වූ දේ ගැන කතා කරන්න පුළුවන්. ඔවුන් යාච්ඤා කරන විට ඔවුන්ට හැඟෙන ආකාරය ඔබට පැවසීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම ඔවුන්ට ඔවුන්ගේ යාච්ඤාව පිළිබඳ සාක්ෂිය බෙදාගැනීමට උදවු වෙන්න පුළුවන්.

  • යාච්ඤාවේ වටිනා ආශිර්වාද කිහිපයක් සොයාගැනීම සඳහා සෙවීම දරුවන්ට විනෝදයක් වෙන්න පුළුවන්. ඔබට පහත සඳහන් ශුද්ධලියවිලි පද කඩදාසි කැබලි මත ලියා ඒවා සඟවන්න පුළුවන්: 3 නෙපී 18:15; 3 නෙපී18:20; 3 නෙපී 18:21; 3 නෙපී 19:9; සහ 3 නෙපී 19:23. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හෝ උන්වහන්සේගේ ගෝලයන් යාච්ඤාව ගැන ඉගැන්වූ දේවල් සොයමින් ඔබේ දරුවන්ට එම කඩදාසි කැබලි සොයාගෙන එම පද කියවන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
දේවදූතයන් යේසුස්වහන්සේ සහ නෙපීවරුන්ගේ දරුවන් වටා

වෝල්ටර් රනේ විසින්, Angels Ministered unto Them [දේවදූතයන් ඔවුන්ට සේවය කළහ]

මුද්‍රණය කරන්න