අලුත් ගිවිසුම 2023
පෙබරවාරි 13–19. මතෙව් 5; ලූක් 6: “නුඹලා ආශිර්වාදිතය”


“පෙබරවාරි 13–19. මතෙව් 5; ලූක් 6: ‘නුඹලා ආශිර්වාදිතය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“පෙබරවාරි 13–19. මතෙව් 5; ලූක් 6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ කන්ද උඩ උගන්වමින්

ගුස්ටාව් ඩෝරේ විසින්, Jesus Preaching Sermon on the Mount [යේසුස්වහන්සේ කන්ද උඩ දේශනාවක් දෙමින්]

පෙබරවාරි 13–19

මතෙව් 5; ලූක් 6

“නුඹලා ආශිර්වාදිතය”

මතෙව් 5 සහ ලූක් 6 කියවන විට ඔබට ලැබෙන හැඟීම් කෙරෙහි අවධානය යොමුකර ඒවා අධ්‍යයන සඟරාවක හෝ වෙනත් ආකාරයකින් සටහන් කරන්න. මෙම ආකෘතිය මගින් මෙම පරිච්ඡේද වල සමහර වැදගත් මූලධර්ම හඳුනාගැනීමට ඔබට උපකාර කළ හැකි නමුත්, ඔබේ අධ්‍යයනයේදී ඔබ සොයාගන්නා වෙනත් දේවල් වලටද විවෘතව සිටින්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ දේවසේවයේ මේ අවස්ථාව වන විට, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේගේ කාලයේ සිටි මිනිසුන් ඇහුම්කන්දුන් ඒවාට වඩා වෙනස් බව පැහැදිලි විය. දුප්පතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යය ලැබේ? නිහතමානී අයට පොළොව උරුම වේවි? පීඩා ලබන අය භාග්‍යවන්තයෝය? ලියන්නන් සහ පරිසිවරුන් එවැනි දේවල් ඉගැන්වූයේ නැත. එහෙත් දෙවියන්වහන්සේගේ නීතිය සැබවින්ම අවබෝධ කරගත් අය ගැලවුම්කරුවාණන්ගේ වචන වල සත්‍යය හඳුනාගත්හ. “ඇසකට ඇසක්ය” සහ “තාගේ සතුරාට වෛරකරව” යන ඒවා අඩු නීති විය (මතෙව් 5:38, 43). නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ උසස් නීතියක් ඉගැන්වීමටය (බලන්න 3 නෙපි 15:2–10), “ස්වර්ගයේ සිටින [අපගේ] පියාණන් පරිපූර්ණව සිටින ලෙස, පරිපූර්ණ වීමට” අපට උපකාර කිරීම සඳහා එය නිර්මාණය කර ඇත (මතෙව් 5:48).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 5:1–12; ලූක් 6:20–26, 46–49

සදාකාලික ප්‍රීතිය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ ආකාරයට ජීවත්වීමෙනි.

සෑමකෙනෙකුම සතුටින් සිටීමට කැමති නමුත්, සෑමකෙනෙකුම එකම ස්ථාන වල සතුට සොයන්නේ නැත. සමහරු ලෞකික බලය හා තත්වය තුළත්, තවත් අය ධනයෙන් හෝ ශාරීරික රුචිය තෘප්තිමත් කිරීම තුළත් එය සොයති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ සදාකාලික ප්‍රීතියට මාර්ගය ඉගැන්වීමටත්, සැබවින්ම ආශිර්වාද ලැබීම යන්නෙන් අදහස් කරන දේ ඉගැන්වීමටත්ය. මතෙව් 5:1–12 සහ ලූක් 6:20–26 කියවීමෙන් සදාකාලික ප්‍රීතිය ලබාගැනීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ප්‍රීතිය පිළිබඳ ලෝකයේ දෘෂ්ටියට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම ගැන ලූක් 6:46–49 හා ඉහත පද වලින් ඔබට උගන්වන්නේ මොනවාද? මෙම පද වල විස්තර කර ඇති ගුණාංග වර්ධනය කරගැනීම සඳහා කටයුතු කිරීමට ඔබ තුළ ඇති පෙළඹීම කුමක්ද?

මතෙව් 5:13

“නුඹලා පොළොවේ ලුණුය.”

කල්තබාගැනීමට, රසකිරීමට, හා පවිත්‍ර කිරීමට බොහෝ කාලයක් තිස්සේ ලුණු භාවිතා කර ඇත. ලුණු සඳහා ඊශ්‍රායෙල්වරුන්ට ආගමික අර්ථයක්ද තිබුණි. එය මෝසෙස්ගේ නීතිය යටතේ වූ පුරාණ සත්ව පූජා කිරීම හා සම්බන්ධ විය (බලන්න ලෙවී කථාව 2:13; ගණන් කථාව 18:19). ලුණු රසයෙන් අඩුවූ විට එය අකාර්යක්ෂම වේ, නැතහොත් “කිසිදෙයකට යහපත් නොවේ” (මතෙව් 5:13). මෙය සිදුවන්නේ එය වෙනත් මූලද්‍රව්‍ය සමඟ මිශ්‍ර වූ විට හෝ දූෂිත වූ විටය.

ඔබ මතෙව් 5:13 මෙනෙහි කරන විට මෙය මතකයේ තබාගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස ඔබ ඔබේ රසය තබාගන්නේ කෙසේද? පොළොවේ ලුණු මෙන් ඔබේ සුරැකීමේ සහ පවිත්‍ර කිරීමේ කාර්යය ඔබ ඉටුකරන්නේ කෙසේද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 103:9–10.

රූපය
ලුණු

“නුඹලා පොළොවේ ලුණුය” (මතෙව් 5:13).

මතෙව් 5:17–48; ලූක් 6:27–35

ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය මෝසෙස්ගේ නීතිය අභිබවා යයි.

මෝසෙස්ගේ නීතිය කෙතරම් හොඳින් පිළිපදින්නේද යන්න ගැන ආඩම්බර වූ, ලියන්නන්ගේ හා පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවා යා යුතු බව යේසුස්වහන්සේ පැවසූ විට (බලන්න මතෙව් 5:20) ගෝලයන් පුදුමයට පත්වන්නට ඇත.

ඔබ මතෙව් 5:21–48 සහ ලූක් 6:27–35 කියවන විට, මෝසෙස්ගේ නීතියේ (“නුඹ එය අසා ඇත…”) අවශ්‍ය හැසිරීම් සහ එම හැසිරීම් උසස් කිරීමට යේසුස්වහන්සේ ඉගැන්වූ දේ සලකුණු කිරීම ගැන සලකා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ මාර්ගය උසස් නීතියක් යැයි ඔබ සිතන්නේ ඇයි?

නිදසුනක් වශයෙන්, අපගේ සිතුවිලි සම්බන්ධයෙන් අපගේ වගකීම පිළිබඳව යේසුස්වහන්සේ මතෙව් 5:27–28 දක්වා ඉගැන්වූයේ මොනවාද? ඔබේ මනසට සහ හදවතට එන සිතුවිලි සහ හැඟීම් තව තවත් පාලනය කිරීමට ඔබට හැක්කේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 121:45).

මතෙව් 5:48

ස්වර්ගික පියාණන්වහන්සේ ඇත්තටම මා පරිපූර්ණ වනු ඇතැයි අපේක්ෂා කරනවාද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වීය:

පරිපූර්ණ යන වචනය පරිවර්තනය කර ඇත්තේ ග්‍රීක භාෂාවෙන් ටෙලියෝස් යන වචනයෙන් වන අතර එහි අර්ථය ‘සම්පූර්ණ’ යන බවයි. … එම ක්‍රියාපදයේ අසීමිත ස්වරූපය වන්නේ ටෙලියෝනෝය, එහි අර්ථය වන්නේ ‘ඈත කෙළවරකට ළඟාවීම, පූර්ණ ලෙස සංවර්ධනය කිරීම, ඉටුකිරීම, හෝ අවසන් කිරීම’ යන්නයි. එම වචනයේ අර්ථය ‘වැරැද්දෙන් නිදහස් වීම’ නොවන බව කරුණාවෙන් සලකන්න; එයින් ගම්‍ය වන්නේ ‘දුරස්ථ අරමුණක් සාක්ෂාත් කරගැනීම’ යන්නයි. …

“… ස්වාමින්වහන්සේ මෙසේ ඉගැන්වූයේය, ‘නුඹලාට දැන් දෙවියන්වහන්සේගේ සමීපයේ වාසය කිරීමට … නොහැකිය; එසේහෙයින්, නුඹලාව පරිපූර්ණ කරන තුරු දිගටම ඉවසිල්ලෙන් සිටින්න’ [දහම සහ ගිවිසුම් 67:13].

“පරිපූර්ණත්වය සඳහා අපගේ දැඩි උත්සාහය දැන් එතරම් වෙහෙසකර හා නිමක් නැති බවක් පෙනෙන්නට තිබේ නම් අපි කලබල වියයුතු නැත. පරිපූර්ණත්වය අපේක්ෂිතය. එය සම්පූර්ණයෙන් පැමිණිය හැක්කේ නැවත නැගිටීමෙන් පසුව සහ ස්වාමින්වහන්සේ තුළින්ම පමණි. එය උන්වහන්සේට ප්‍රේම කරන සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින සියල්ලන් වෙනුවෙන්ම බලාසිටියි ” (“Perfection Pending,” Ensign, Nov. 1995, 86, 88).

තවත් බලන්න 2 පේත්‍රැස් 1:3–11; මොරෝනි 10:32–33; දහම සහ ගිවිසුම් 76:69; ජෙෆ්රි අර්. හොලන්ඩ්, “අවසානයේදී—නුඔලා පරිපූර්ණ වන්න,” ලියහෝනා, නොවැ. 2017, 40–42.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 5:1–9.මතෙව් 5:1–9 හි උගන්වා ඇති මූලධර්ම වලින් ඔබේ නිවසට වඩාත් ප්‍රීතිමත් ස්ථානයක් වීමට උදව් කරන ඒවා මොනවාද? ඔබේ පවුලට විශේෂයෙන් වැදගත් යැයි පෙනෙන එකක් හෝ දෙකක් ඔබට තෝරාගත හැකිය. නිදසුනක් වශයෙන්, අපට සාමය ඇති කරන්නන් වීමට උපකාර කළ හැකි අප සොයාගන්නා ඉගැන්වීම් මොනවාද? (බලන්න මතෙව් 5:21–25, 38–44). අපට තැබිය හැකි ඉලක්ක මොනවාද? අප පසුවිපරම් කරන්නේ කෙසේද?

මතෙව් 5:13.ලුණු දමා පදම් කළ ආහාර සහ ලුණු රහිත එම ආහාරයම එකවර අනුභව කරන්න. අපට දකින්නට ලැබෙන වෙනස්කම කුමක්ද? “පොළොවේ ලුණු” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට මෙය කළ හැක්කේ කෙසේද?

මතෙව් 5:14–16.“ලෝකයේ ආලෝකය” යන්නෙහි තේරුම තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඔබේ නිවසේ, ඔබේ අසල්වැසි ප්‍රදේශයේ, සහ ලෝකයේ ආලෝක ප්‍රභවයන් කිහිපයක් ගවේෂණය කළ හැකිය. ඔබ ආලෝකයක් සැඟවූ විට කුමක් සිදුවේද යන්න පෙන්වීම ප්‍රයෝජනවත් විය හැකිය. “නුඹලා ලෝකයේ ආලෝකයය” කියා යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? (මතෙව් 5:14). අපේ පවුලට ආලෝකයක් මෙන් වී ඇත්තේ කවුද? අප අන් අයට ආලෝකයක් වන්නේ කෙසේද? (බලන්න 3 නෙපි 18:16, 24–25).

මතෙව් 5:43–45.ඔබේ පවුලේ අය මෙම පද වල ගැලවුම්කරුවාණන්ගේ වචන කියවන විට, ඔබට විශේෂයෙන් ආදරය කිරීමට, ආශිර්වාද කිරීමට, සහ යාච්ඤා කිරීමට හැඟෙන්නේ කවුරුන් ගැනද කියා කතා කළ හැකිය. අපට ඔවුන් කෙරෙහි අපගේ ආදරය වැඩිකර ගතහැක්කේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

නිරීක්ෂකයෙකු වන්න. “ඔබේ [දරුවන්ගේ] ජීවිතයේ සිදුවෙමින් පවතින දේ කෙරෙහි ඔබ අවධානය යොමුකරන විට, ඔබට විශිෂ්ට ඉගැන්වීමේ අවස්ථා සොයාගත හැකිය. … [ඔවුන්] ලබාදෙන අදහස් හෝ ඔවුන් අසන ප්‍රශ්න ඉගැන්වීමේ අවස්ථාවන්ටද හේතු විය හැකිය” (Teaching in the Savior’s Way16).

රූපය
ඉටිපන්දම

“නුඹලා ලෝකයේ ආලෝකයය” (මතෙව් 5:14).

මුද්‍රණය කරන්න