අලුත් ගිවිසුම 2023
මාර්තු 13–19. මතෙව් 11–12; ලූක් 11: “මම නුඹලාට විවේකය ලබාදෙන්නෙමි”


“මාර්තු 13–19. මතෙව් 11–12; ලූක් 11: ‘මම නුඹලාට විවේකය ලබාදෙන්නෙමි,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මාර්තු 13–19. මතෙව් 11–12; ලූක් 11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ වලාකුළු මැද සිටගෙන සිටිමින්

මයිකල් මැල්ම් විසින්, Be Not Afraid [බිය නොවන්න]

මාර්තු 13–19

මතෙව් 11–12; ලූක් 11

“මම නුඹලාට විවේකය ලබාදෙන්නෙමි”

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූයේය: “අතීතයේ එළිදරව් කිරීම් වන ශුද්ධලියවිලි, වර්තමානයේ එළිදරව් කිරීම් සඳහා විවෘත වීමෙන් තොරව තේරුම්ගත නොහැකිය. … ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට එළිදරව් ලබාගැනීමට හැකිවේ” (“Scripture Reading and Revelation,” Ensign, Jan. 1995, 7).

ඔබේ හැඟීම් සටහන් කරන්න

බොහෝ ආකාර වලින්, පරිසිවරුන් සහ ලියන්නන් විසින් යොහෝවා වහන්සේට නමස්කාර කිරීම දැරිය නොහැකි ලෙස සකස් කර තිබිණි. ඔවුන් බොහෝවිට සදාකාලික සත්‍යයන් අභිබවමින් දැඩි නීති රීති අවධාරණය කළහ. විවේක දිනයක් වීමට අදහස් කළ, සබත් දවස පිළිබඳ නීති, ඔවුන් මත දැඩි බරක් විය.

ඉන්පසු, යොහෝවා වහන්සේම උන්වහන්සේගේ සෙනඟ අතරට පැමිණියේය. ආගමේ සැබෑ අරමුණ බරක් ඇතිකිරීම නොව නමුත් ඒවායින් මිදීම බව උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූවේය. සබත් දිනයට ගෞරව කිරීම ඇතුළුව, ආඥාවන් දෙවියන්වහන්සේ අපට ලබාදෙන්නේ අපව පීඩාවට පත්කිරීමට නොව නමුත් අපට ආශිර්වාද කිරීමට බව උන්වහන්සේ ඉගැන්වුවේය. ඔව්, දෙවියන්වහන්සේ වෙතට යන මාර්ගය සෘජු සහ පටුය, නමුත් ස්වාමින්වහන්සේ පැමිණියේ අප එය තනිවම ගමන් කළ යුතු නැති බව නිවේදනය කිරීමටය. “මා වෙතට එන්න,” උන්වහන්සේ ආයාචනා කළේය. ඕනෑම හේතුවක් නිසා “අධික බරක්” දැනෙන සෑම කෙනෙකුටම, උන්වහන්සේගේ ආරාධනය වන්නේ, උන්වහන්සේගේ අසල සිටගෙන, අප උන්වහන්සේට බැඳෙමින්, සහ අපගේ බර බෙදාගැනීමට උන්වහන්සේට ඉඩදීමයි. උන්වහන්සේගේ පොරොන්දුව වන්නේ “නුඹලාගේ ප්‍රාණයන්ට සහනය ලැබෙන්නේය” යන්නයි. තනිවම කරගෙන යාමට උත්සාහ කිරීම හෝ ලෞකික විසඳුම් මත රඳා සිටීම—යන විකල්ප සමඟ සසඳන විට—උන්වහන්සේගේ “වියගහ පහසුය, [උන්වහන්සේගේ] බර සැහැල්ලුය.” (මතෙව් 11:28–30.)

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 11:28–30

මම උන්වහන්සේ මත රඳා සිටින විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට විවේකය ලබාදෙනු ඇත.

අප සියල්ලන්ම බර උසුලයි—සමහර ඒවා අපගේම පාප සහ වැරදි වල ප්‍රතිඵල වන අතර, සමහර ඒවා අන් අයගේ තෝරාගැනීම් නිසා ඇති වූ ඒවාය, ඒ වගේම සමහරක් ඒවා කිසිවෙකුගේ වරදක් නිසා නොවන නමුත් හුදෙක් මිහිපිට ජීවිතයේ කොටසක් වේ. අපගේ අරගල වලට හේතුව කුමක් වුවත්, යේසුස්වහන්සේ අපට ආයාචනා කරන්නේ, අපගේ බර දරාගැනීමට සහ සහනයක් ලබාගැනීමට උන්වහන්සේට උපකාර කළ හැකිවන පිණිස, උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසයි (තවත් බලන්න මොසායා 24). වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වීය, “පාරිශුද්ධ ගිවිසුම් ඇතිකරගැනීම හා ඒවා පැවැත්වීම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා අප අතර සම්බන්ධයක් ඇතිකරයි” (“Bear Up Their Burdens with Ease,” Liahona, May 2014, 88). මෙය මතකයේ තබාගෙන, මෙම වගන්ති වල ගැලවුම්කරුවාණන්ගේ වචන වඩාත් හොඳින් තේරුම්ගැනීමට පහත දැක්වෙන ආකාරයේ ප්‍රශ්ණ මෙනෙහි කරන්න: මාගේ ගිවිසුම් මාව ගැලවුම්කරුවාණන් හා සම්බන්ධ කරන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට මා කළ යුත්තේ කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ වියගහ පහසු සහ උන්වහන්සේගේ බර සැහැල්ලු වන්නේ කුමන අර්ථයෙන්ද?

ඔබ කියවන විට ඔබේ මතකයට එන අනෙකුත් ප්‍රශ්ණ මොනවාද? ඒවා සටහන් කරන්න, ඉන්පසු මේ සතියේ ශුද්ධලියවිලි වල සහ අනාගතවක්තෘවරුන්ගේ වචන වල ඒ සඳහා පිළිතුරු සොයන්න.

රූපය
තිරිඟු කෙත් මැදින් යන ගෝලයන් දෙස මිනිසුන් බලා සිටිති

ජේම්ස් ටොසෝට් විසින්, The Disciples Eat Wheat on the Sabbath [ගෝලයන් සබත් දවසේ තිරිඟු කමින්]

මතෙව් 12:1–13

“සබත් දිනයන් හොඳින් ගතකරන්න.”

පරිසිවරුන්ගේ ඉගැන්වීම්, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලට වඩා බොහෝ ආකාර වලින් වෙනස් විය, විශේෂයෙන් සබත් දවසට ගෞරව කරන්නේ කෙසේද යන්න පිළිබඳව එය එසේ විය. ඔබ මතෙව් 12:1–13 කියවන විට, සබත් දිනය සම්බන්ධයෙන් ඔබේ ආකල්ප සහ ක්‍රියා ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සමඟ කෙතරම් හොඳින් ගැලපේදැයි ඔබට සලකා බැලිය හැකිය. මෙය සිදුකිරීම සඳහා, ඔබට මෙවැනි ප්‍රශ්න මෙනෙහි කළ හැකිය:

  • “මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමි” (7 වන පදය; බලන්න හොසේයා 6:6).

  • “මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියාය” (8 වන පදය).

  • “සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුය” (12 වන පදය).

ඔබ සබත් දිනයට එළඹෙන ආකාරයට මෙම ඉගැන්වීම් බලපෑ හැක්කේ කෙසේද?

තවත් බලන්න මාර්ක් 2:233:5.

මතෙව් 12:34–37; ලූක් 11:33–44

මගේ වචන වලින් සහ ක්‍රියාවෙන් මගේ හදවතේ තිබෙන දේ පිළිඹිබු වේ.

පරිසිවරුන් ගැන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රධාන විවේචන වලින් එකක් වූයේ ඔවුන් ධර්මිෂ්ඨ ලෙස පෙනීසිටීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ අභිප්‍රාය පිරිසිඳු නොවීමයි. ඔබ මතෙව් 12:34–37 සහ ලූක් 11:33–44 හි පරිසිවරුන්ට ගැලවුම්කරුවාණන් ලබාදුන් අනතුරු ඇඟවීම් අධ්‍යයනය කරන විට, අපගේ හදවත් සහ අපගේ ක්‍රියාවන් අතර ඇති සම්බන්ධය පිළිබඳ මෙනෙහි කරන්න. “හදවතේ යහපත් සම්පත” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (මතෙව් 12:35). අපගේ වචන අපව සාධාරණීකරණය කරන්නේ හෝ හෙළාදකින්නේ කෙසේද? (බලන්න මතෙව් 12:37). ඔබේ ඇස “පැහැදිලි” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ලූක් 11:34). ගැලවුම්කරුවාණන්ගේ බලය තුළින් ඔබට “සම්පූර්ණයෙන්ම එළිය” (ලූක් 11:36) විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

තවත් බලන්න ඇල්මා 12:12–14; දහම සහ ගිවිසුම් 88:67–68.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 11:28–30.මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඔබේ පවුලට දෘශ්‍යමාන කිරීමට උපකාර කිරීම පිණිස, ඔවුන්ට බර යමක් මාරුවෙන් මාරුවට මුළින්ම තනි තනියෙන්ද පසුව උදවු ඇතිවද අදින්නට සැලස්විය හැකිය. අප උසුලන සමහර බර මොනවාද? ක්‍රිස්තුස්වහන්සේගේ වියගහ අප මතට ගැනීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මෙම පාඩමේ අවසානයේ ඇති පින්තූරය වියගහක් යනු කුමක්දැයි පැහැදිලි කරගැනීමට ඔබට උපකාර වනු ඇත.

මතෙව් 12:10–13.යේසුස්වහන්සේ සබත් දවසේදී මිනිසෙකුව සුවකිරීම ගැන ඔබ කියවන විට, ගැලවුම්කරුවාණන් විසින් අපව “සම්පූර්ණ ලෙස නැවත පිහිටුවන” ආකාරය ගැන ඔබේ පවුලට කතා කළ හැකිය. සබත් දවස අපට සුවය ගෙනෙන දවසක් වන්නේ කෙසේද?

මෙම පද වල ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශයේ පෙළඹවීමෙන්, ඔබට “සබත් දවස හොඳින්” ගතකළ හැකි ක්‍රම ලැයිස්තුවක් ඔබේ පවුලට සෑදිය හැකිය (12 වන පදය). අන් අයට සේවය කිරීමට අවස්ථාවන් ඇතුළත් කිරීමට වගබලාගන්න. ඔබගේ ලැයිස්තුව තබාගෙන ඉදිරි ඉරිදා දිනවල එය වෙත යොමුවීම ප්‍රයෝජනවත් විය හැකිය.

ලූක් 11:33–36.“සම්පූර්ණයෙන්ම එළිය වීම” යන්නෙහි තේරුම ඔබට ඔබේ පවුලට ඉගැන්විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න (34, 36 පද). භාණ්ඩ සහිත පාඩමක් උපකාරී වේද? අපගේ ජීවිත වලට, අපගේ නිවසට, සහ ලෝකයට ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය ගෙන ඒමේ මාර්ග ගැනද ඔබට සාකච්ඡා කළ හැකිය.

ලූක් 11:37–44.සමහරවිට ඔබේ පවුලේ අය එකට පිඟන් සෝදන අතරතුර මෙම පද සාකච්ඡා කළ හැකිය. පීරිසි කෝප්ප වැනි දේවල් පිටතින් පමණක් සේදීම නරක අදහසක් වන්නේ මන්දැයි ඔබට කතා කළ හැකිය. එවිට ඔබට මෙය අපගේ බාහිර ක්‍රියා වලින් පමණක් නොව අපගේ අභ්‍යන්තර සිතුවිලි සහ හැඟීම් වලින්ද ධර්මිෂ්ඨ වීමේ අවශ්‍යතාවයට සම්බන්ධ කළ හැකිය.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ස්ථාවර වන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම ඔබ බලාපොරොත්තු වූවාට වඩා දුෂ්කර හෝ අඩු බලපෑමක් ඇති බව පෙනෙන දින ඔබට තිබිය හැකිය. අත්හරින්න එපා. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වීය, “සුළු දේවල් ලෙස පෙනෙන්නට ඇති දේ කිරීමට ඇති අපගේ ස්ථාවරත්වය සැලකිය යුතු තරමින් අතිවිශාල ආත්මික ප්‍රතිඵල වලට මගපෑදිය හැකිය” (“More Diligent and Concerned at Home,” Liahona, Nov. 2009, 20).

රූපය
ගොනුන් දෙදෙනෙක් වියගහක එකට බැඳ

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ප්‍රාණයන්ට සහනය ලැබෙන්නේය” (මතෙව් 11:29). පින්තූරය © iStockphoto.com/wbritten

මුද්‍රණය කරන්න