අලුත් ගිවිසුම 2023
මාර්තු 20–26. මතෙව් 13; ලූක් 8; 13: “අසන්නට කන් ඇත්තෝ, අසත්වා”


“මාර්තු 20–26. මතෙව් 13; ලූක් 8; 13: ‘අසන්නට කන් ඇත්තෝ, අසත්වා,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මාර්තු 20–26. මතෙව් 13; ලූක් 8; 13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
අස්වැන්න නෙලීමට සූදානම් තිරිඟු

මාර්තු 20–26

මතෙව් 13; ලූක් 813

“අසන්නට කන් ඇත්තෝ, අසත්වා”

ඔබ මතෙව් 13 සහ ලූක් 8; 13 කියවන විට, මෙම උපමා වල ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් “ඇසීමට” සහ අගය කිරීමට ඔබ සූදානම් වන්නේ කෙසේදැයි සිතා බලන්න. මෙම ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමට ඔබ කරන්නේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගැලවුම්කරුවාණන්ගේ අමතක නොවන ඉගැන්වීම් සමහරක් උපමා ලෙස හැඳින්වෙන සරල කථා ස්වරූපයෙන් විය. මේවා සාමාන්‍ය වස්තූන් හෝ සිදුවීම් පිළිබඳ සිත්ගන්නාසුලු කථා වලට වඩා වැඩි දේවල්ය. අධ්‍යාත්මිකව සූදානම්ව සිටි අය සඳහා දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ගැඹුරු සත්‍යයන් ඒවායේ අඩංගු විය. අලුත් ගිවිසුමේ වාර්තා කර ඇති පළමු උපමා වලින් එකක් වන—වපුරන්නාගේ උපමාව (බලන්න මතෙව් 13:3–23)—දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට ඇති අපගේ සූදානම පරීක්ෂා කිරීමට අපට ආරාධනා කරයි. කවුරුන් පිළිගන්නේද ඔහුට දෙනු ලබන බවත්, ඔහුට වැඩි වැඩියෙන් දෙනු ලැබෙන බවත් යේසුස්වහන්සේ ප්‍රකාශ කරන සේක (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 13:10). ගැලවුම්කරුවාණන්ගේ උපමා හෝ—උන්වහන්සේගේගේ ඕනෑම ඉගැන්වීමක් අධ්‍යයනය කිරීමට අප සූදානම් වන විට—ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් නම්, අපගේ හදවත් සෝදිසි කර, අපටත් අපගේ පවුල් වලටත් බහුල ලෙස ආශිර්වාද කරන, වැඩීමට, මල් පිපීමට, සමෘධිමත් වීමට, සහ ඵල නිපදවීමට දෙවියන්වහන්සේගේ වචනයට “සරු බිමක්” (මතෙව් 13:8) ලබාදෙන්නේද යන්න තීරණය කිරීමයි.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 13:3–23; ලූක් 8:4–15; 13:6–9

දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට මාගේ සිත අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුය.

සමහර අවස්ථා වල අපගේ හදවත් සත්‍යය පිළිගන්නා අතර තවත් විටෙක අප එයට එරෙහි වීමට පෙළඹෙන්නේ ඇයි? වපුරන්නාගේ උපමාව කියවීමෙන් ඔබට ස්වාමින්වහන්සේගෙන් සත්‍යය වඩා හොඳින් ලැබෙන්නේ කෙසේද යන්න ගැන සිතාබැලීමට හොඳ අවස්ථාවක් ලබාදේ. මතෙව් 13 හි 3–8 පද, 18–23 පද වල දක්වා ඇති අර්ථ නිරූපණයන් සමඟ ගැලපීම ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ තුළ “සරු බිමක්” අස්වැද්දීමට ඔබට කුමක් කළ හැකිද? දෙවියන්වහන්සේගේ වචනය සැබවින්ම ඇසීමෙන් හා අනුගමනය කිරීමෙන් ඔබව වළක්වන සමහර “කටු” මොනවාද? මෙම කටු වලින් ඔබ මිදෙන්නේ කෙසේද?

මෙම උපමාව පිළිබඳ ඔබේ අධ්‍යයනය ලූක් 13:6–9 හි ඇති උපමාව ඔබ කියවන ආකාරය කෙරෙහිද බලපෑ හැකිය. ස්වාමින්වහන්සේ අපෙන් සොයන “ඵලය” කුමක්ද? අපි “ඵල දරන” පිණිස අපි අපේ භූමිය පෝෂණය කරන්නේ කෙසේද?

තවත් බලන්න මොසායා 2:9; ඇල්මා 12:10–11; 32:28–43.

මතෙව් 13:24–35, 44–52; ලූක් 13:18–21

යේසුස්වහන්සේගේ උපමා උන්වහන්සේගේගේ සභාවේ වර්ධනය හා ඉරණම තේරුම්ගැනීමට මට උපකාර කරයි.

මතෙව් 13 හි උපමා වල අවසාන දිනවල සභාවේ වර්ධනය සහ ඉරණම විස්තර කරන බව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූයේය. ස්වාමින්වහන්සේගේ සභාව ගැන පහත උපමා ඔබට උගන්වන දේ සලකා බලන්න:

  • තිරිඟු සහ කිරිඳි ගැන උපමාව (13:24–30, 36–43)

  • අබ ඇටය (13:31–32)

  • මුහුන් (13:33)

  • සැඟවුණු නිධානය සහ අගනා මුතු ඇටය (13:44–46)

  • දැල (13:47–50)

  • ගෙදර ස්වාමියා (13:52)

මෙම උපමා ගැන මෙනෙහි කිරීමෙන් පසු, ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල සභාවේ වැඩකටයුතු වලට වඩාත් පූර්ණ ලෙස සහභාගී වීමට ඔබ තුළ ඇති පෙලඹීම කුමක්ද?

රූපය
මුතු

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “අගනා මුතු ඇටයකි” (මතෙව් 13:46).

මතෙව් 13:24–30, 36–43

ධර්මිෂ්ඨයින් ලෝකයේ අවසානය දක්වාම දුෂ්ටයන් අතර වර්ධනය විය යුතුය.

මෙම උපමාව විශ්ලේෂණය කළ හැකි එක් ක්‍රමයක් නම්, එහි පින්තූරයක් ඇඳීම සහ මතෙව් 13:36–43 සහ දහම සහ ගිවිසුම් 86:1–7 හි අර්ථ නිරූපණයන් සමඟ එය ලේබල් කිරීමයි. කිරිඳි යනු “විෂ සහිත වල්පැලෑටි වන අතර, එය කරල් වන තෙක් තිරිඟු වලට සමාන වේ” (බයිබල් ශබ්දකෝෂය, “tares”). ලෝකයේ ඇති දුෂ්ටකම් නොතකා ඇදහිලිවන්තව සිටීමට මෙම උපමාවේ ඇති කුමන සත්‍යයන් ඔබව පොළඹවන්නේද?

ලූක් 8:1–3

“එම ස්ත්‍රීන්” ගැලවුම්කරුවාණන්ට සේවය කළේ කුමන ආකාර වලින්ද?

“ස්ත්‍රී ගෝලයන් යේසුස්වහන්සේ සහ දොළොස්දෙනා සමඟ ගමන් කරමින් [යේසුස්වහන්සේගෙන්] අධ්‍යාත්මිකව ඉගෙනගෙන උන්වහන්සේට තාවකාලිකව සේවය කළෝය. … යේසුස්වහන්සේගේ දේවසේවය—උන්වහන්සේගේ ශුභාරංචියේ සුභ පණිවිඩය සහ උන්වහන්සේගේ සුවකිරීමේ ශක්තියේ ආශිර්වාද ලැබීමට අමතරව—මෙම ස්ත්‍රීන් උන්වහන්සේට උපස්ථාන කොට, ඔවුන්ගේ ධනය හා භක්තිය ලබාදුන්නෝය” (Daughters in My Kingdom [2017], 4). ගැලවුම්කරුවාණන් පසුපස ගිය ස්ත්‍රීන්ද උන්වහන්සේ පිළිබඳව ප්‍රබල සාක්ෂි දරති.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 13.ඔබගේ පවුලේ සාමාජිකයන් ගැලවුම්කරුවාණන්ගේ උපමා කියවන විට, ඔවුන්ට හුරුපුරුදු වස්තූන් හෝ තත්වයන් භාවිතා කරමින් ස්වර්ග රාජ්‍යය පිළිබඳ (සභාව පිළිබඳ) එකම සත්‍යයන් උගන්වන ඔවුන්ගේම උපමා ගැන සිතීමෙන් ඔවුන් සතුටට පත්විය හැකිය.

මතෙව් 13:3–23; ලූක් 8:4–15.වපුරන්නාගේ උපමාව එකට එක්ව කියවීමෙන් පසු, ඔබේ පවුලේ අයට මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කළ හැකිය: අපගේ “බිම” (අපේ හදවත්) “ගල්” හෝ “මඩ සහිත” කළ හැක්කේ කුමන දේවල් වලටද? අපගේ භූමිය හොඳ සහ සාරවත් බව සහතික කරගත හැක්කේ කෙසේද?

ඔබේ පවුලේ කුඩා දරුවන් සිටීනම්, දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට අපගේ හදවත් සූදානම් කිරීම සඳහා විවිධ ආකාර වලින් ක්‍රියාකරන ආකාර රඟදක්වා පවුලේ සාමාජිකයින්ට ඔවුන් කරන්නේ කුමක්දැයි අනුමාන කරන්නට ආරාධනා කිරීම විනෝදජනක විය හැකිය.

මතෙව් 13:13–16.ක්‍රිස්තුස්වහන්සේගේ වචනය කැමැත්තෙන් ලැබීමේ වැදගත්කම තේරුම්ගැනීමට ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ට උදව් කරන්නේ කෙසේද? “ඇහුම්කන් නොදෙන කන්” නිරූපණය කිරීම සඳහා, ඔබ නිහඬව මතෙව් 13:13–16 කියවන අතරතුර පවුලේ සාමාජිකයෙකුගේ කන් වසාගත හැක. පවුලේ සාමාජිකයා එම පද වලින් කොතරම් ප්‍රමාණයක් තෙරුම්ගත්තේද? දෙවියන්වහන්සේගේ වචනයට අපගේ ඇස්, කන්, සහ හදවත් විවෘත කළ හැකි ක්‍රම මොනවාද?

මතෙව් 13:44–46.මෙම උපමා වල මිනිසුන් දෙදෙනා අතර පොදුවේ ඇත්තේ මොනවාද? දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අපගේ ජීවිතයේ මුල්තැන දීම සඳහා පුද්ගලයන් වශයෙන් සහ පවුලක් වශයෙන් අප විසින් කළ යුතු අමතර දේවල් තිබේද?

ලූක් 13:11–17.පවුලේ සාමාජිකයන්ට “[තමන්වම] ඔසවා ගැනීමට” නොහැකි බව හැඟවීමට හේතු වූ අත්දැකීම් තිබේද? මේ ආකාරයෙන් දැනෙන වෙනත් අයෙක්ව අපි දන්නවාද? අපට උපකාර කළ හැක්කේ කෙසේද? ගැලවුම්කරුවාණන් අපගේ දුර්වලතා වලින් අපව “ලිහිල්” කරන්නේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි පදයක් කටපාඩම් කරන්න. ඔබේ පවුලට විශේෂයෙන් අර්ථවත් වන ශුද්ධලියවිලි පදයක් තෝරාගෙන, එය මතකතබාගන්නා ලෙස පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ ඉගැන්වූයේය, “කටපාඩම් කළ ශුද්ධලියවිලි පදයක් කල් පවතින මිතුරෙකු බවට පත්වන අතර එය කාලයත් සමඟ දුර්වල නොවේ” (“The Power of Scripture,” Liahona, Nov. 2011, 6).

රූපය
මිනිසෙකු බීජ වපුරමින්

ජෝර්ජ් සෝපර් විසින්, Parable of the Sower [වපුරන්නාගේ උපමාව]

මුද්‍රණය කරන්න