අලුත් ගිවිසුම 2023
අප්‍රියෙල් 17–23. මතෙව් 18; ලූක් 10: “සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?”


“අප්‍රියෙල් 17–23. මතෙව් 18; ලූක් 10: ‘සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අප්‍රියෙල් 17–23. මතෙව් 18; ලූක් 10,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යහපත් සමරිතානුවරයා

ඩෑන් බර් විසින්, The Good Samaritan [යහපත් සමරිතානුවරයා]

අප්‍රියෙල් 17–23

මතෙව් 18; ලූක් 10

“සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?”

ඔබ යාච්ඤාපූර්වකව මතෙව් 18 සහ ලූක් 10 කියවා මෙනෙහි කරන විට, ශුද්ධාත්මයාණන්ගේ නිහඬ පෙළඹවීම් කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම ඉගැන්වීම් සහ කථා ඔබට අදාළ වන්නේ කෙසේදැයි උන්වහන්සේ ඔබට කියනු ඇත. ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඔබ ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ විට, ඔබ බලාපොරොත්තු නොවූ පිළිතුරක් ඔබට ලැබෙන්නට හැකිය. මගේ අසල්වැසියා කවුද? ඔබේ උදව් සහ ආදරය අවශ්‍ය ඕනෑම අයෙකු. ස්වර්ග රාජ්‍යයේ ශ්‍රේෂ්ටතම තැනැත්තා කවුද? දරුවෙකු. වැරදිකරුවෙකුට හත්වරක් සමාවදීම ප්‍රමාණවත්ද? නැත, ඔබ හැත්තෑවර හැත්තෑවක් සමාවදිය යුතුය. (බලන්න ලූක් 10:29–37; මතෙව් 18:4, 21–22.) ස්වාමින්වහන්සේගෙන් ලැබෙන අනපේක්ෂිත පිළිතුරු වලට අපට සිතන, දැනෙන, සහ ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට ආරාධනා කළ හැකිය. ඔබ ස්වාමින්වහන්සේගේ කැමැත්ත සොයන්නේ ඔබට සැබවින්ම උන්වහන්සේගෙන් ඉගෙනගැනීමට අවශ්‍ය නිසා නම්, උන්වහන්සේ සමඟ සදාකාල ජීවනයට මගපාදන ආකාරයෙන් ජීවත් වන ආකාරය ස්වාමින්වහන්සේ ඔබට උගන්වනු ඇත.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 18:21–35

ස්වාමින්වහන්සේගෙන් සමාව ලැබීමට නම් මම අන් අයට සමාව දිය යුතුය.

යමෙකුට හත්වතාවක් සමාව දියහැකි බවට පේත්‍රැස් කළ යෝජනාව ඉතා ත්‍යාගශීලී බවක් පෙනෙන්නට තිබුණත් යේසුස්වහන්සේ ඊටත් වඩා උසස් නීතියක් ඉගැන්වීය. “සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි” (22 වන පදය) යන උන්වහන්සේගේ ප්‍රතිචාරය ඉගැන්වූයේ, සංඛ්‍යාව ගැන නොව ක්‍රිස්තුස්වහන්සේගේ සමාවදීමේ ආකල්පයක් ගැනය. අනුකම්පා විරහිත සේවකයාගේ උපමාව කියවන විට, දෙවියන්වහන්සේගේ දයාව සහ අනුකම්පාව ඔබට දැනුණු අවස්ථා ගැන මෙනෙහි කරන්න. ඔබෙන් දයාව සහ අනුකම්පාව දැනිය යුතු කෙනෙකු සිටීද?

වැඩිහිටි ඩේවිඩ් ඊ. සොරෙන්සන් මෙම වැදගත් අවවාදය ලබාදුන්නේය: “අපට තුවාල කරන අසල්වැසියෙකුට අප සමාව දිය යුතු වුවද, එම තුවාලය නැවත සිදුවීම වැළැක්වීමට අප තවමත් නිර්මාණශීලීව කටයුතු කළ යුතුය. … සමාව දීමෙන් අප නපුර පිළිගැනීම හෝ එය ඉවසීම බලාපොරොත්තු වන්නේ නැත. … නමුත් අපි පාපයට එරෙහිව සටන් කරන විට, අපගේ සිතුවිලි හෝ ක්‍රියාවන් පාලනය කිරීමට වෛරයට හෝ කෝපයට ඉඩ නොදිය යුතුය” (“Forgiveness Will Change Bitterness to Love,” Liahona, May 2003, 12).

ලූක් 10:1–20

හැත්තෑවරුන් යනු කවුද?

පරණ ගිවිසුමේ කාල වලදී ස්ථාපිත කර ඇති රටාවක් අනුගමනය කරමින් (නික්මයාම 24:1; ගණන් කථාව 11:16 බලන්න), යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රේරිතයන් දොළොස්දෙනාට අමතරව, උන්වහන්සේ ගැන සාක්ෂි දැරීමට, ශුභාරංචිය දේශනා කිරීමට, සහ උන්වහන්සේගේ කාර්යයට උන්වහන්සේට උපකාර කිරීමට “තවත් හැත්තෑදෙනෙකු” පත්කළේය. මෙම රටාව නැවත පිහිටවූ සභාවේ දිගටම පවතී. මුළු ලෝකයටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂ සාක්ෂිකරුවන් ලෙස දොළොස්දෙනාගේ මෙහෙවරට සහායවීමට හැත්තෑවරුන් කැඳවනු ලැබේ.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 107:25–26, 33–34, 97.

ලූක් 10:25–37

සදාකාල ජීවනය ලබාගැනීමට නම්, මම දෙවියන්වහන්සේට ප්‍රේම කළයුතු අතර මා මෙන් මගේ අසල්වැසියාටද ප්‍රේම කළ යුතුය.

යහපත් සමරිතානුවරයාගේ උපමාව, “සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?” සහ “මගේ අසල්වැසියා කවුද?” යන ප්‍රශ්න දෙකට යේසුස්වහන්සේ පිළිතුරු දෙන ආකාරය මතක තබාගැනීම ප්‍රයෝජනවත් වේ. (ලූක් 10:25, 29). ඔබ මෙම උපමාව කියවන විට, මෙම ප්‍රශ්න මතකයේ තබාගන්න. ඔබ සොයාගන්නා පිළිතුරු මොනවාද?

යේසුස්වහන්සේගේ දවස වනවිට යුදෙව්වන් හා සමරිතානුවන් අතර සතුරුකම සියවස් ගණනාවක් පැවතුනි. සමරිතානුවන් යනු සමාරියේ වෙසෙන යුදෙව්වන්ගෙන් පැවත එන්නන් වන අතර ඔවුන් අන්‍ය ජාතිකයන් සමඟ විවාහ වී සිටියහ. සමරිතානුවන් අන්‍ය ජාතිකයන් සමඟ ඇසුරු කිරීමෙන් දූෂිත වී ඇදහිල්ල අත්හැර දමා ඇති බව යුදෙව්වන්ට හැඟුණි. සමාරිය පසුකර යාම වළක්වාගැනීම සඳහා යුදෙව්වන් සැතපුම් ගණනක් ඈතින් ගමන් කළෝය. (තවත් බලන්න ලූක් 9:52–54; 17:11–18; යොහාන් 4:9; 8:48.)

ගැලවුම්කරුවාණන් යුදෙව්වන් විසින් වෛර කර තිබූ සමරිතානු ජාතිකයෙකුව, අනුකම්පාව සහ අසල්වැසියාට ප්‍රේම කිරීම සඳහා උදාහරණයක් ලෙස තෝරාගත්තේ ඇයි? මෙම උපමාව ඔබව පොළඹවන්නේ කුමක් කිරීමටද?

ලූක් 10:38–42

අපි දිනපතා සදාකාල ජීවනයට මගපෙන්වන තේරීම් කිරීමෙන් “ඒ යහපත් කොටස” තෝරාගන්නෙමු.

ලූක් 10:38–42 හි, ඇය කාලය ගතකරන ආකාරය ගැන වෙනස් ලෙස සිතීමට යේසුස්වහන්සේ මාර්තාට මෘදු ලෙස ආරාධනා කළේය. මෙම පද උපුටා දැක්වීමෙන් පසු, කැරොල් එෆ්. මැක්කොන්කි සහෝදරිය මෙසේ ඉගැන්වූවාය: “අපි ශුද්ධව සිටිනවා නම්, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ පාමුල ඉඳගෙන ශුද්ධකමට කාලය දීමට අපි ඉගෙනගත යුතු වෙමු. අපි දුරකථනය, නිමක් නැති කළ යුතු දේවල ලැයිස්තුව, සහ ලෞකිකත්වය පිළිබඳ සැලකිල්ල පසෙකට දමමුද? යාච්ඤාව, අධ්‍යයනය, සහ දෙවියන්වහන්සේගේ වචනයට අවනත වීම උන්වහන්සේගේ පවිත්‍ර කිරීම සහ සුවකිරීමේ ප්‍රේමය අපගේ ආත්මයට ආරාධනා කරයි. අපි උන්වහන්සේගේ ශුද්ධ සහ පාරිශුද්ධ ආත්මයෙන් පූර්ණ වන පිණිස, ශුද්ධව සිටීමට කාලය ගතකරමු” (“The Beauty of Holiness,” Liahona, May 2017, 11). ඔබ යහපත් දේවල් සඳහා පවා—ඔබේ කාලය ගතකරන ආකාරය පරීක්ෂා කිරීමට ඔබට අවශ්‍ය විය හැක. ඔබේ අවධානය වැඩියෙන් ලක්විය යුතු වඩා “අවශ්‍ය” (42 වන පදය) යමක් තිබේද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 18:1–11.අපි පොඩි දරුවෙක් මෙන් වෙනවාට යේසුස්වහන්සේ කැමති ඇයි? ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට අපට වර්ධනය කරගත හැකි දරුවන්ට තිබෙන ගුණාංග මොනවාද? (බලන්න මොසායා 3:19).

රූපය
යේසුස්වහන්සේ දරුවන් සමඟ

යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ තම ගෝලයන් කුඩා දරුවන් මෙන් වීමයි.

මතෙව් 18:15.මතෙව් 18:15 හි ඇති උපදෙස අපගේ පවුලේ අන්‍යෝන්‍ය කටයුතු වලට අපට අදාළ කරගත හැක්කේ කෙසේද? මෙය කිරීමෙන් අපේ පවුලට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද?

මතෙව් 18:21–35.මෙම උපමාවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට උගන්වන්නේ කුමක්ද? අන් අයට සලකන්නේ කෙසේද යන්න ගැන එය අපට උගන්වන්නේ කුමක්ද?

ලූක් 10:25–37.පවුලේ සාමාජිකයන්ට එයට අදාළ ඇඳුම් ඇඳගෙන මේ උපමාව රඟපාමින් සතුටු විය හැකිය. අපි සමහරවිට උපමාවේ විවිධ පුද්ගලයන් මෙන් වන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් යහපත් සමරිතානුවරයාට සමාන වන්නේ කෙසේද? අපට යහපත් සමරිතානුවරයා මෙන් වීමට හැක්කේ කෙසේද?

මෙම උපමාවේ සත්‍යයට අනුබල දෙන ගීතිකාවක් හෝ ළමා ගීතයක් එකට ගායනා කිරීම ගැන ඔබට සලකා බැලිය හැකිය. පවුලේ සාමාජිකයන් ගීතිකාවක් හෝ ගීතයක් සොයාගෙන එය උපමාවට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමෙන් සතුටු විය හැකිය.

ලූක් 10:38–42.ඔබගේ පවුලේ කාලසටහනට අධ්‍යාත්මික දේවල් ඇතුළත් කිරීම කවදා හෝ දුෂ්කර වී ඇත්ද? මරියා සහ මාර්තාගේ කතන්දරය මෙය වඩා හොඳින් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවුල් රැස්වීමකට හෝ නිවාස සන්ධ්‍යාවකට අනුබල දෙයි. පවුලක් වශයෙන්, ඔබට “එම යහපත් කොටස” තෝරාගත හැකි ක්‍රම ලැයිස්තුවක් සෑදිය හැකිය (ලූක් 10:42).

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ආදරණීය වාතාවරණයක් පෝෂණය කරන්න. පවුලේ සාමාජිකයන් එකිනෙකාට සලකන ආකාරය සහ හැඟෙන ආකාරය ඔබේ නිවසේ ආත්මයාණන්ට රැඳීමට බෙහෙවින් බලපායි. ආදරණීය, ගෞරවනීය නිවසක් ස්ථාපිත කිරීමට සියළුම පවුලේ සාමාජිකයින්ට උදව් කරන්න, එවිට සෑමකෙනෙකුටම අත්දැකීම්, ප්‍රශ්න, සහ සාක්ෂි බෙදාගැනීමට ආරක්ෂිත බවක් හැඟිය හැකිය.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ මාර්තා සහ මරියා සමඟ

වෝල්ටර් රනේ විසින්, Christ in the Home of Mary and Martha [ක්‍රිස්තුස්වහන්සේ මරියා සහ මාර්තාගේ නිවස තුළ]

මුද්‍රණය කරන්න