අලුත් ගිවිසුම 2023
මැයි 15–21. මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12: “බලන්න, නුඹේ රජ නුඹ වෙතට එන සේක”


“මැයි 15–21. මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12: ‘බලන්න, නුඹේ රජ නුඹ වෙතට එන සේක,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මැයි 15–21. මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ ලඟට එන විට ගසක සිටින මිනිසෙක්

ජේම්ස් ටිස්සොට් විසින්, Zacchaeus in the Sycamore Tree [සකේවුස් අත්තික්කා ගස මත]

මැයි 15–21

මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; යොහාන් 12

“බලන්න, නුඹේ රජ නුඹ වෙතට එන සේක”

මෙම කොටසෙහි අදහස් කියවීමට පෙර, මතෙව් 21–23; මාර්ක් 11; ලූක් 19–20; සහ යොහාන් 12 කියවන්න. ඔබේ පවුලේ අය සමඟ හෝ සභාවේ පන්ති වලදී ඔබට බෙදාගත හැකි හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගැලවුම්කරුවාණන් බෙතනියේ සිට යෙරුසලමට ගිය පසු බඩගිනි වූ අතර, දුරින් පිහිටි අත්තික්කා ගසක් ආහාර ප්‍රභවයක් මෙන් විය. නමුත් යේසුස්වහන්සේ ගස ලඟට යද්දී, එයින් ඵල නොලැබෙන බව උන්වහන්සේට පෙනීගියේය (බලන්න මතෙව් 21:17–20; මාර්ක් 11:12–14, 20). එක් අතකින්, අත්තික්කා ගස යෙරුසලමේ කුහක ආගමික නායකයන් හා සමාන විය: ඔවුන්ගේ හිස් ඉගැන්වීම් සහ ශුද්ධකම පිළිබඳ බාහිර නිරූපණයන් අධ්‍යාත්මික පෝෂණය ලබාදුන්නේ නැත. පරිසිවරුන් හා ලියන්නන් බොහෝ ආඥා පිළිපැද ඇති ලෙස පෙනීසිටි නමුත් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ට ආඥා මගහැරියෝය (බලන්න මතෙව් 22:34–40; 23:23).

ඊට වෙනස්ව, බොහෝ අය යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වල හොඳ ඵල හඳුනාගැනීමට පටන්ගෙන තිබුණි. උන්වහන්සේ යෙරුසලමට පැමිණි විට, “නුඹේ රජ නුඹ වෙතට එන සේක” (සෙකරියා 9:9) ලෙස පුරාණ අනාවැකි පැවසූ පරිදි ප්‍රීතිවෙමින් උන්වහන්සේගේ මාවත සකස්කිරීම සඳහා ගස් කපා අතු ඒ ගමන් මග දමමින් ඔවුහු උන්වහන්සේව පිළිගත්හ. ඔබ මේ සතියේ කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වල සහ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ඵල ගැනත් “බොහෝ ඵල ගෙන ඒමට” හැකි ආකාරය ගැනත් සිතන්න (යොහාන් 12:24).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ලූක් 19:1–10

ස්වාමින්වහන්සේ විනිශ්චය කරන්නේ බාහිර පෙනුමෙන් නොව හදවතේ ආශාවන් අනුවය.

යේසුස්වහන්සේගේ කාලයේදී බොහෝ අය උපකල්පනය කළේ අයබදු එකතුකරන්නන් නොහොත් බදු එකතු කරන්නන් වංක අය බවත් මිනිසුන්ගෙන් සොරකම් කළ බවත්ය. එබැවින් ප්‍රධාන බදු එකතුකරන්නා වූ සකෙවුස්, ධනවත් වූ නිසා ඔහුව ඊටත් වඩා සැක කරන්නට ඇත. නමුත් යේසුස්වහන්සේ සකෙවුස්ගේ හදවත දෙස බැලීය. සකෙවුස්ගේ හදවත ගැන ලූක් 19:1–10 හෙළිකරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති භක්තිය පෙන්වීමට සකෙවුස් කළ දේ විස්තර කරන මෙම පදවල වචන ඔබට සටහන් කළ හැකිය. ඔබේ හදවතේ ඇති ආශාවන් මොනවාද? සකෙවුස් කළාක් මෙන්, ගැලවුම්කරුවාණන්ව සෙවීමට ඔබ කරන්නේ කුමක්ද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 137:9.

මතෙව් 23; ලූක් 20:45–47

යේසුස්වහන්සේ කුහකකම හෙළාදකියි.

ගැලවුම්කරුවාණන් ලියන්නන් හා පරිසිවරුන් සමඟ පැවැත්වූ ගණුදෙනුව සකෙවුස් සමඟ උන්වහන්සේ පැවැත්වූ ගණුදෙනුවට වඩා වෙනස්ය. සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් පැහැදිලි කරන පරිදි, “[යේසුස්වහන්සේ] ලියන්නන්, පරිසිවරුන්, සහ සද්දුසිවරුන් වැනි කුහකයන්ට එරෙහිව ධර්මිෂ්ඨ කෝපයෙන් නැගීසිටියේය—ලෝකයේ ප්‍රශංසාව, බලපෑම, සහ ධනය දිනාගැනීම සඳහා ඔවුන් ධර්මිෂ්ඨ ලෙස පෙනීසිටීමට උත්සාහ කළ අය වූහ, ඔවුන් ආශිර්වාද කරමින් සිටිය යුතුවූ මිනිසුන්ට පීඩා කළහ” (“On Being Genuine,” Liahona, May 2015, 81).

මතෙව් 23 හි, ගැලවුම්කරුවාණන් කුහකකම විස්තර කිරීම සඳහා රූපක කිහිපයක් භාවිතා කළේය. මෙම රූපක සලකුණු කිරීම හෝ ලැයිස්තුගත කිරීම සහ කුහකකම ගැන ඔවුන් උගන්වන දේ සටහන් කිරීම සලකා බලන්න. අප ශුභාරංචිය අනුව ජීවත්වීමට උත්සාහ කරන විට අප මුහුණදෙන කුහකකම සහ මානව දුර්වලතා අතර වෙනස කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් නිසා ඔබ කුමක් වෙනස් ආකාරයකින් කිරීමට පෙලඹී ඇත්ද?

මතෙව් 21:1–11; මාර්ක් 11:1–11; ලූක් 19:29–44; යොහාන් 12:1–8, 12–16

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ රජුය.

යේසුස්වහන්සේ තම වන්දිගෙවීම සිදුකිරීමට දින කිහිපයකට පෙර යෙරුසලමට පැමිණි විට, උන්වහන්සේව ඔවුන්ගේ රජු ලෙස පිළිගත් අය උන්වහන්සේව ආලේප කිරීමෙන්, උන්වහන්සේ යෙරුසලමට යන මාර්ගය දිගේ ඇඳුම් සහ තල් අතු දමමින්, සහ ප්‍රශංසාවෙන් ඝෝෂා කරමින් ඔවුන්ගේ භක්තිය පෙන්වූහ. ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතියේ ආරම්භ වූ සිදුවීම් පිළිබඳ ඔබේ අවබෝධය පහත දැක්වෙන සම්පත් මගින් ගැඹුරු කරන්නේ කෙසේදැයි සලකා බලන්න.

  • රජෙකු අභිෂේක කිරීම පිළිබඳ පුරාණ උදාහරණයක්: 2 රාජාවලිය 9:1–6, 13

  • ජයග්‍රාහී පිවිසුම පිළිබඳ පුරාණ අනාවැකියක්: සෙකරියා 9:9

  • ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳ අනාවැකි: එළිදරව් 7:9–12

ඔබගේ ස්වාමින්වහන්සේ හා රජු ලෙස ගැලවුම්කරුවාණන්ට ඔබ ගෞරව කරන්නේ සහ උන්වහන්සේව ලබන්නේ කෙසේද?

තවත් බලන්න ජෙරිට් ඩබ්. ගොන්ග්, “හෝසන්නා සහ හාලේලූයියා—ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: නැවත පිහිටුවීමේ හා පාස්කුවේ හදවත,” ලියහෝනා, මැයි 2020, 52–55.

මතෙව් 22:34–40

ශ්‍රේෂ්ට ආඥා දෙක නම් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ තමා මෙන්ම අන් අයටත් ප්‍රේම කිරීමයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබ වෑයම් කරන විට ඔබට කවදා හෝ අධෛර්යයට පත්වේ නම්, ගැලවුම්කරුවාණන් මතෙව් 22 හි නීතිඥයාට පැවසූ වචන ඔබේ අනුගාමිකත්වය සරල කිරීමට හා ඒ කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබට උපකාරී වේ. මෙය කිරීමට එක් ක්‍රමයක් මෙන්න: ස්වාමින්වහන්සේගේ ආඥා කිහිපයක ලැයිස්තුවක් සාදන්න. ඔබගේ ලැයිස්තුවේ ඇති සෑම අයිතමයක්ම එම විශිෂ්ට ආඥා දෙක සමඟ සම්බන්ධ වන්නේ කෙසේද? එම ශ්‍රේෂ්ට ආඥා දෙක කෙරෙහි අවධානය යොමුකිරීම අනෙක් ඒවා පිළිපැදීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 21:12–14.මතෙව් 21:12–14 හි යේසුස්වහන්සේගේ වචන සහ ක්‍රියාවන්, දේවමාළිගාව ගැන උන්වහන්සේට හැඟුණු ආකාරය පෙන්නුම් කරන්නේ කෙසේද? දේවමාළිගාව ගැන අපට හැඟෙන ආකාරය අපි පෙන්වන්නේ කෙසේද? අපගේ නිවස දේවමාළිගාව මෙන් පත්කිරීම සඳහා අපගේ ජීවිතයෙන් “ඉවත දැමිය හැකි” (12 වන පදය) දේවල් මොනවාද?

මතෙව් 21:28–32.පුතුන් දෙදෙනෙකු සිටින මිනිසාගේ උපමාවෙන් ඔබේ පවුලට උපකාර කළ හැකි පාඩම් මොනවාද? නිදසුනක් වශයෙන්, අවංක කීකරුකමේ සහ පසුතැවිල්ලේ වැදගත්කම සාකච්ඡා කිරීමට ඔබට එම කතාව භාවිතා කළ හැකිය. උපමාව විවිධ චරිත නිරූපණය කරමින් රඟදැක්වීමට අවස්ථා ලබාගැනීම සඳහා ඔබේ පවුලේ අයට නාට්‍ය පිටපතක් ලිවීමට හැකිය.

මතෙව් 22:15–22; ලූක් 20:21–26.යේසුස්වහන්සේගේ “රූපය සහ ශීර්ෂ පාඨය” සහිත ව්‍යාජ කාසි සෑදීමෙන් දරුවන්ට සතුටක් ලැබිය හැකිය. අපට උන්වහන්සේට දිය හැකි “දෙවියන්වහන්සේගේ දේවල්” (මතෙව් 22:21) සමහරක් කාසිවල පිටුපස ලිවීමට ඔවුන්ට හැකිය. ගැලවුම්කරුවාණන්ගේ “රූපය සහ ශීර්ෂ පාඨය” අප මත තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ගැනද යන්න ඔබට කතා කළ හැකිය (මතෙව් 22:20; තවත් බලන්න මොසායා 5:8; ඇල්මා 5:14).

යොහාන් 12:12:1–8.මරියා ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වූයේ කෙසේද? අපි උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?

රූපය
කාන්තාවක් ඇගේ හිසකෙස් වලින් යේසුස්වහන්සේගේ පාද පිසදමමින්

බ්‍රයන් කෝල් විසින්, Washing Jesus’s Feet [යේසුස්වහන්සේගේ පාද සේදීම]

යොහාන් 12:42–43.ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමට හෝ ආරක්ෂා කිරීමට සමහරවිට අපව අධෛර්යමත් කරන සමාජ ප්‍රතිවිපාක මොනවාද? සමාජ පීඩනයට යටත්නොවන පුද්ගලයින්ගේ උදාහරණ සඳහා, බලන්න, දානියෙල් 1:3–20; 3; 6; යොහාන් 7:45–53; 9:1–38; සහ මොසායා 17:1–4. අන් අය ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ප්‍රකාශ කරන විට හෝ ආරක්ෂා කරන විට අපට ගෞරවය දැක්විය හැක්කේ කෙසේද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගැනීමට කලාව භාවිතා කරන්න. ChurchofJesusChrist.org හි The Gospel Art Book සහ Gospel Media Library තුළ සංකල්ප හෝ සිදුවීම් දෘශ්‍යමාන කිරීමට ඔබගේ පවුලට උදව් කළ හැකි බොහෝ පින්තූර සහ වීඩියෝ අඩංගු වේ” (Teaching in the Savior’s Way, 22).

රූපය
ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ප්‍රවේශය

වෝල්ටර් රනේ විසින්, Triumphal Entry [ජයග්‍රාහී ප්‍රවේශය]

මුද්‍රණය කරන්න