අලුත් ගිවිසුම 2023
මැයි 1–7. ලූක් 12–17; යොහාන් 11: “මා සමඟ ප්‍රීතිවන්න; මක්නිසාදයත් නැතිවූ මගේ බැටළුවා මට හමුවිය”


“මැයි 1–7. ලූක් 12–17; යොහාන් 11: ‘මා සමඟ ප්‍රීතිවන්න; මක්නිසාදයත් නැතිවූ මගේ බැටළුවා මට හමුවිය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මැයි 1–7. ලූක් 12–17; යොහාන් 11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
මිනිසා තම පුතුව වැලඳගනිමින්

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, The Prodigal Son [නාස්තිකාර පුත්‍රයා]

මැයි 1–7

ලූක් 12–17; යොහාන් 11

“මා සමඟ ප්‍රීතිවන්න; මක්නිසාදයත් නැතිවූ මගේ බැටළුවා මට හමුවිය”

ඔබ ලූක් 12–17 සහ යොහාන් 11 කියවන විට, ඔබ දැනගැනීමට සහ කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති දේ යාච්ඤාශීලීව සොයන්න. මෙම පරිච්ඡේද පිළිබඳ ඔබේ අධ්‍යයනයෙන් ඔබට පමණක් අදහස් කරන පණිවිඩ සඳහා ඔබේ හදවත විවෘත කළ හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

බොහෝ අවස්ථාවන්හිදී, 100 න් 99 ක්ම විශිෂ්ට යැයි සලකනු ලැබේ—නමුත් එවැනි සංඛ්‍යාවක් එසේවන්නේ දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවන් වෙනුවෙන් ගණන් ගන්නාවිට නොවේ (බලන්න දහම සහ ගිවිසුම් 18:10). එවැනි අවස්ථාවකදී, ගැලවුම්කරුවාණන් නැතිවූ බැටළුවාගේ උපමාවෙන් ඉගැන්වූ පරිදි, එක් ප්‍රාණයක් පවා “[අපි] එය සොයාගන්නා තෙක්” ගැඹුරු, ඉතා දුෂ්කර සෙවීමක් කිරීමට තරම් වටී (ලූක් 15:4). එවිට ප්‍රීතිවීම ආරම්භ විය හැකිය, මක්නිසාද “එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාප වන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීති වන්නේය” (ලූක් 15:7). එය අසාධාරණ යැයි පෙනේ නම්, ඇත්තවශයෙන්ම, “පසුතැවීමක් අවශ්‍ය නොවන” කිසිවෙකු නොමැති බව මතකතබාගැනීම ප්‍රයෝජනවත් වේ. අපි සැමටම බේරාගැනීමක් අවශ්‍යය. එමෙන්ම ගැලවීම ලැබූ සෑම ප්‍රාණයක් ගැනම එකට එක්ව ප්‍රීති වෙමින්, අප සැමට එම බේරාගැනීමට සහභාගී විය හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 18:15–16).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ලූක් 12; 14–16

මම සදාකාලික දේ කෙරෙහි මගේ සිත යොමුකරන විට මම ආශිර්වාද ලබන්නෙමි.

මහත් ගබඩා ගොඩනගා ඔහුගේ ශ්‍රමයේ ඵල වලින් පුරවාගත්, වෙහෙස මහන්සි වී වැඩ කළ සාර්ථක මිනිසෙකුට දෙවියන්වහන්සේ “නුඹ අඥානය” යැයි කියන්නේ ඇයි? (බලන්න ලූක් 12:16–21). ලූක් හි මෙම පරිච්ඡේද වල, ගැලවුම්කරුවාණන් ලෞකික තත්වයෙන් ඔබ්බට අපගේ දර්ශන සදාකාලයට ඔසවා තැබීමට උපකාරී වන උපමා කිහිපයක් උගන්වයි. මෙම උපමා සමහරක් මෙහි ලැයිස්තු ගතකර ඇත. ඔබ ඒ එක එකෙහි පණිවිඩය සාරාංශ කරන්නේ කෙසේද? ස්වාමින්වහන්සේ ඔබට කුමක් කියනවා යැයි ඔබ සිතන්නේද?

තවත් බලන්න මතෙව් 6:19–34; 2 නෙපි 9:30; දහම සහ ගිවිසුම් 25:10.

ලූක් 15

නැතිවූවන් හමුවූ විට ස්වර්ගික පියාණන්වහන්සේ ප්‍රීතිවේ.

ඔබ ලූක් 15 හි යේසුස්වහන්සේ ඉගැන්වූ උපමා කියවන විට, පව් කළ හෝ වෙනත් ආකාරයකින් “නැතිවූ” අය ගැන ස්වර්ගික පියාණන්වහන්සේට හැඟෙන ආකාරය ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? අධ්‍යාත්මික නායකයෙකු හෝ—අපෙන් ඕනෑම කෙනෙකු—ඔවුන් කෙරෙහි කෙසේ සිතිය යුතුද? පරිසිවරුන් සහ ලියන්නන් මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට ඉඩ තිබූ ආකාරය සලකා බලන්න (බලන්න ලූක් 15:1–2). යේසුස්වහන්සේගේ ප්‍රතිචාරය ලූක් 15 හි උපමා තුනකින් සොයාගත හැකිය. ඔබ කියවන විට, යේසුස්වහන්සේ මෙම උපමා වලින් ලියන්නන්ට සහ පරිසිවරුන්ට උගන්වමින් සිටි දේ ගැන සිතා බලන්න.

මෙම උපමා අතර සමානකම් සහ වෙනස්කම් ලැයිස්තුවක් සෑදීමටද ඔබට සලකා බැලිය හැකිය. නිදසුනක් වශයෙන්, එක් එක් උපමාව තුළ නැති වූ දේ සහ එය නැති වූයේ ඇයි, එය සොයාගත් ආකාරය, සහ එය සොයාගත් විට මිනිසුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ඔබට හඳුනාගත හැකිය. තමන් නැතිවී යැයි නොසිතන අයද ඇතුළුව—“නැතිවූ” අයට යේසුස්වහන්සේ දුන් පණිවිඩ මොනවාද? නැතිවූවන් සොයන අයට උන්වහන්සේගෙන් ලැබුණු පණිවිඩ මොනවාද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 18:10–16.

රූපය
කාන්තාවක් කාසියක් සොයමින්

ජේම්ස් ටිස්සොට් විසින්, The Lost Piece of Silver [නැතිවූ රිදී කැබැල්ල]

ලූක් 16:1–12

අයුක්තිසහගත සේවකයාගේ උපමාවෙන් ක්‍රිස්තුස්වහන්සේ උගන්වන්නේ කුමක්ද?

එම උපමාවෙන් අපට උගත හැකි එක් පාඩමක් වැඩිහිටි ජේම්ස් ඊ. ටැල්මේජ් පැහැදිලි කළේය: “උත්සහවන්ත වන්න; ඔබේ ලෞකික ධනය භාවිතා කළ හැකි දවස ඉක්මණින් ගෙවීයනු ඇත. වංකකම හා නපුරෙන් පවා පාඩමක් ඉගෙනගන්න; ඔවුන් සිතන එකම අනාගතය සඳහා පමණක් සපයන්නට තරම් ඔවුන් විචක්ෂණශීලී නම්, ඒ සඳහා සපයන සදාකාලික අනාගතයක් ගැන විශ්වාස කරන ඔබ ඊට වඩා කොපමණ ප්‍රමාණයක් එසේ විය යුතුද! ‘අධර්මිෂ්ඨ ක්ෂීරපායී’ භාවිතය පිළිබඳ ඔබ ප්‍රඥාව හා විචක්ෂණභාවය ඉගෙනගෙන නොමැති නම්, වඩා කල්පවත්නා ධනය කෙරෙහි ඔබ විශ්වාස කරන්නේ කෙසේද?” (Jesus the Christ [1916], 464). මෙම උපමාවෙන් ඔබ සොයාගන්නා වෙනත් පාඩම් මොනවාද?

ලූක් 17:11–19

මගේ ආශිර්වාද වලට කෘතඥතාව දැක්වීමෙන් මා දෙවියන්වහන්සේට තවත් සමීප වේ.

ඔබ ලාදුරු රෝගීන් දස-දෙනාගෙන් කෙනෙක් නම්, ඔබ ගැලවුම්කරුවාණන්ට ස්තූති කිරීමට නැවත පැමිණෙනු ඇතැයි ඔබ සිතනවාද? ස්තුතිවන්ත වූ ලාදුරු රෝගියාට ඔහු ස්තූති කළ නිසා ලැබුණු අමතර ආශිර්වාද මොනවාද?

“ඔබේ ඇදහිල්ල ඔබව සම්පූර්ණ කර ඇත” (19 වන පදය) යන ගැලවුම්කරුවාණන්ගේ වචනද ඔබට මෙනෙහි කළ හැකිය. ඔබේ මතය අනුව, කෘතඥතාව සහ ඇදහිල්ල සම්බන්ධ වන්නේ කෙසේද? ඒ දෙකම අපට සම්පූර්ණ වීමට උපකාර කරන්නේ කෙසේද?

තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “දෙවියන්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සැලකිල්ලෙන් සිතා බලන්න,” ලියහෝනා, මැයි 2020, 41–44.

යොහාන් 11:1–46

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උත්ථානය හා ජීවනයයි.

ලාසරස්ව මළවුන්ගෙන් නැගිටුවීමේ ප්‍රාතිහාර්යය යේසුස්වහන්සේ සැබවින්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සහ පොරොන්දු වූ මෙසියස්වහන්සේ බවට ප්‍රබල හා ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂියකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “උත්ථානය හා ජීවනයයි” යන ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන යොහාන් 11:1–46 හි සඳහන් වචන, වාක්‍ය ඛණ්ඩ, හෝ විස්තර මොනවාද? යේසුස්වහන්සේ “උත්ථානය සහ ජීවනයයි” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ලූක් 15:1–10.යමක් අහිමි වීම—හෝ නැතිවීම වැනි දේ දැනෙන්නේ කෙසේද යන්න අවබෝධයක් ඔබේ පවුලේ සාමාජිකයින්ට ඇත්ද? ඔවුන්ගේ අත්දැකීම් ගැන කතාකිරීමෙන් නැතිවූ බැටළුවන් හා නැතිවූ කාසිය පිළිබඳ උපමා ගැන සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය. නැතහොත් ඔබට යමෙකු සැඟවී සිටින අතර අනෙක් පවුලේ සාමාජිකයන් ඔහු හෝ ඇය සොයාගැනීමට උත්සාහ කරන සෙල්ලමක් කළ හැකිය. මෙම උපමා තේරුම්ගැනීමට මෙම ක්‍රියාකාරකම අපට උපකාර කරන්නේ කෙසේද?

ලූක් 15:11–32.අපට අහිමිවූ අයට ආදරය කරන විට අපි මේ කතාවේ පියා මෙන් වන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේට සමාන වීමට අපට උපකාර කළ හැකි වැඩිමහල් පුතාගේ අත්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? මෙම උපමාවේ පියා අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ මෙන් වන්නේ කිනම් ආකාර වලින්ද?

ලූක් 17:11–19.ලාදුරු රෝගීන් දසදෙනාගේ කතාව අදාළ කරගැනීමට පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා, එකිනෙකාට කෘතඥතාවේ රහස් සටහන් තැබීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ඔබේ පවුලට ලැබී ඇති ආශිර්වාද ලැයිස්තුවක්ද ඔබට සෑදිය හැකිය.

යොහාන් 11:1-46.පවුලේ සාමාජිකයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි බෙදාගත හැකිය.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට කතන්දර සහ උදාහරණ භාවිතා කරන්න. ගැලවුම්කරුවාණන් බොහෝවිට කතන්දර හා උපමා භාවිතා කිරීම තුළින් ශුභාරංචි මූලධර්ම පිළිබඳ ඉගැන්වීය. ඔබගේ පවුලට ශුභාරංචි මූලධර්මයක් පණගැන්විය හැකි ඔබේම ජීවිතයෙන් ආදර්ශ සහ කථා ගැන සිතන්න.

රූපය
මිනිසෙකු යේසුස්වහන්සේ ඉදිරියේ ස්තූති කරමින් දණගසයි

ලිස් ලෙමන් ස්වින්ඩ්ල් විසින්, Where Are the Nine [නවදෙනා කොහිද]

මුද්‍රණය කරන්න