අලුත් ගිවිසුම 2023
ජුනි 5–11. යොහාන් 14–17: “නුඹලා මාගේ ප්‍රේමයේ පවතින්න”


“ජුනි 5–11. යොහාන් 14–17: ‘නුඹලා මාගේ ප්‍රේමයේ පවතින්න,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජුනි 5–11. යොහාන් 14–17,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
අවසාන රාත්‍රී භෝජනය

විලියම් හෙන්‍රි මාර්ගෙස්ටන් විසින්, The Last Supper [අවසාන රාත්‍රී භෝජනය]

ජුනි 5–11

යොහාන් 14–17

“නුඹලා මාගේ ප්‍රේමයේ පවතින්න”

ඔබ යොහාන් 14–17 හි ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඔබ සඳහා වූ පණිවිඩ හඳුනාගැනීමට උපකාර කරයි. ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

අද අපි එය හඳුන්වන්නේ “අන්තිම රාත්‍රී භෝජනය” ලෙසයි, නමුත් යේසුස්වහන්සේගේ ගෝලයන් වාර්ෂික පාස්කු මංගල්‍යය සඳහා එක්රැස්වූ විට, මෙය ඔවුන්ගේ ස්වාමියාගේ මරණයට පෙර ඔවුන්ගේ අවසාන ආහාරය වනු ඇතැයි ඔවුන් සම්පූර්ණව තේරුම්ගෙන සිටියාද නැත්ද යන්න අපි නොදනිමු. කෙසේවෙතත්, යේසුස්වහන්සේ, “තම කාලය පැමිණ ඇති බව දැනසිටියේය” (යොහාන් 13:1). ගෙත්සෙමනේ දුක් වේදනා, ඔහුගේ සමීපතම මිතුරන්ගේ පාවාදීම සහ ප්‍රතික්ෂේප කිරීම, සහ කුරුසියේ වේදනාකාරී මරණයට උන්වහන්සේ ඉක්මණින් මුහුණදෙනු ඇත. මේ සියල්ල උන්වහන්සේ ඉදිරියෙහි තිබියදීත්, යේසුස්වහන්සේගේ අවධානය යොමුවූයේ උන්වහන්සේ කෙරෙහි නොව උන්වහන්සේගේ ගෝලයන් කෙරෙහිය. ඉදිරි දින සහ වසර වලදී ඔවුන් දැනගත යුතුව තිබුණේ මොනවාද? යොහාන් 14–17 හි යේසුස්වහන්සේගේ මුදු මොළොක් ඉගැන්වීම් එදත් අදත් උන්වහන්සේගේ ගෝලයන් ගැන උන්වහන්සේට හැඟෙන ආකාරය හෙළිකරයි. උන්වහන්සේ බෙදාගත් බොහෝ සැනසිලිදායක සත්‍යයන් අතර, එක් අර්ථයකින්, උන්වහන්සේ කිසිදා අප හැර නොයන බවට සහතිකයක් විය. “නුඹලා මාගේ ආඥා රක්ෂාකරවු නම්,” උන්වහන්සේ පොරොන්දු වූයේ, “නුඹලා මාගේ ප්‍රේමයෙහි පවතින්නෙහුය” ලෙසයි (යොහාන් 15:10).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 14–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් මම උන්වහන්සේට ඇති ප්‍රේමය පෙන්වන්නෙමි.

ඔබ යොහාන් 14–15 කියවන විට, ප්‍රේමය යන වචනයේ සෑම භාවිතයක්ම ඔබට සටහන් කිරීමට හෝ සලකුණු කිරීමට හැකිය. මෙම පරිච්ඡේද වල ප්‍රේමය යන වචනය සමඟ නිතර නිතර ආඥා යන වචනය පුනරාවර්තනය වන බව ඔබට දැකගත හැකිය. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලින් ප්‍රේමය සහ ආඥා අතර සම්බන්ධතාවය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? මෙම පරිච්ඡේද තුළ ඇති ඔබ සොයාගන්නා ප්‍රේමය හා සම්බන්ධ වෙනත් වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද?

ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය ඔබට බලපා ඇත්තේ කෙසේදැයි මෙනෙහි කරන්න.

තවත් බලන්න යොහාන් 13:34–35.

රූපය
යේසුස්වහන්සේ ගෝලයන්ට කතා කරමින්

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, The Last Supper [අවසාන රාත්‍රී භෝජනය]

යොහාන් 14–16

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස මගේ අරමුණ ඉටුකිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ මට උපකාර කරයි.

ගැලවුම්කරුවාණන් සමඟ ගතකළ කාලය අවසන් වීමට ආසන්න බව ඇසීම ගෝලයන්ගේ හද කම්පා කරවන්නට ඇත. උන්වහන්සේ නොමැතිව ඔවුන් කටයුතු කරන්නේ කෙසේදැයි ඔවුන් කනස්සල්ලට පත්වන්නට ඇත. ඔබ යොහාන් 14–16 කියවන විට, ඔවුන්ව සැනසවීමට ගැලවුම්කරුවාණන් පැවසූ දේ සොයන්න. විශේෂයෙන්ම, උන්වහන්සේ ශුද්ධාත්මයාණන් ගැන ඔවුන්ට ඉගැන්වූ දේ සැලකිල්ලට ගන්න. පහත සඳහන් පදවල ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් ශුද්ධාත්මයාණන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ගෝලයන්ට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් මේ ආකාරයේ උපකාරයක් අවශ්‍ය වූයේ ඇයි? ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ වෙනුවෙන් මෙම භූමිකාවන් ඉටුකර ඇත්තේ කෙසේද? උන්වහන්සේගේ බලපෑම ඔබේ ජීවිතය තුළ ශක්තිමත් වන පරිදි ඔබට කළ හැකි දේ සලකා බලන්න.

තවත් බලන්න 3 නෙපි 19:9; 27:20; දහම සහ ගිවිසුම් 11:12–14; මෝසෙස් 6:61; මිශෙල් ඩී. ක්‍රේග්, “අධ්‍යාත්මික හැකියාව,” ලියහෝනා, නොවැ. 2019, 19–21.

යොහාන් 15:1–8

මම ක්‍රිස්තුස්වහන්සේ තුළ වාසය කරන විට, මම හොඳ ඵල දරමි.

ඔබ සිතන ලෙස “[ක්‍රිස්තුස්වහන්සේ තුළ] වාසය කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද? (යොහාන් 15:4). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කරන, මිදි වැලට ඔබ බැඳී ඇති බව පෙන්වන ඔබේ “ඵල” මොනවාද?

යොහාන් 17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන් වෙනුවෙන් මැදිහත් වෙයි.

යොහාන් 17 හි සඳහන් යේසුස්වහන්සේගේ වචන මැදිහත්වීමේ යාච්ඤාව ලෙස හැඳින්වේ. මෙම යාච්ඤාවේදී, යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන් උදෙසා සහ “මොවුන්ගේ වචනය කරණකොටගෙන [උන්වහන්සේ] කෙරෙහි විශ්වාස කරන්නවුන් ගැනත්” (යොහාන් 17:20) යාච්ඤා කළේය. එනම් උන්වහන්සේ ඔබ වෙනුවෙන් යාච්ඤා කළේය. ඔබ සහ අනෙකුත් සියලුම ඇදහිලිවන්තයන් වෙනුවෙන් යේසුස්වහන්සේ තම පියාණන්ගෙන් ඉල්ලුවේ කුමක්ද? ඔබ කෙරෙහි උන්වහන්සේගේ හැඟීම් ගැන එයින් ඔබට උගන්වන්නේ කුමක්ද?

මෙම යාච්ඤාව ගැඹුරු, සදාකාලික සත්‍යයන්ද උගන්වයි. ඔබ සොයාගත් සත්‍යයන් මොනවාද? ඔබ මෙම පරිච්ඡේදය කියවන විට, පහත සඳහන් දේ ගැන ඔබ ඉගෙනගන්නා දේ සටහන් කිරීම සලකා බලන්න:

  • යාච්ඤාව

  • උන්වහන්සේගේ පියාණන් සමඟ ගැලවුම්කරුවාණන්ගේ ඇති සම්බන්ධය

  • උන්වහන්සේගේ ගෝලයන් සමඟ ගැලවුම්කරුවාණන්ගේ ඇති සම්බන්ධය

  • ගෝලයන් ලෝකයට වඩා වෙනස් විය යුතු ආකාරය

  • ඔබට කැපීපෙනෙන වෙනත් සත්‍යයන්

යොහාන් 17:11, 21–23

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සර්ව-සම්පූර්ණයෙන්ම එක්සත්ය.

යොහාන් 17 හි ඔහුගේ යාච්ඤාවේදී, යේසුස්වහන්සේ පියාණන් සමඟ උන්වහන්සේගේ එකමුතුකම අවධාරණය කළේය. පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ “එක්කෙනෙක්” වන්නේ කුමන ආකාර වලින්ද? (යොහාන් 17:11, 21–23). ගැලවුම්කරුවාණන් තම ගෝලයන් උන්වහන්සේ හා උන්වහන්සේගේ පියාණන්වහන්සේ එක හා සමාන ලෙස එක්කෙනෙක් “මෙන්” වියයුතු බව ගැන යාච්ඤා කළ බව මතකතබාගන්න (යොහාන් 17:22). ඔබට එයින් අදහස් කරන්නේ කුමක්ද? නිදසුනක් වශයෙන්, ඔබේ සහකරු හෝ සහකාරිය හෝ වෙනත් පවුලේ සාමාජිකයන්, කොට්ඨාශ සාමාජිකයන් සහ සෙසු ක්‍රිස්තියානීන් සමඟ—ඔබේ සබඳතා ගැන සිතන්න. යේසුස්වහන්සේ පියාණන්වහන්සේ සමඟ ඇති එක්සත්කම වැනි දෙයක් සඳහා ඔබට වැඩ කළ හැක්කේ කෙසේද?

තවත් බලන්න ක්වින්ටින් එල්. කුක්, “ධර්මිෂ්ඨකම හා සමගිය තුළ බැඳී ඇති හදවත්,” ලියහෝනා, නොවැ. 2020, 18–22; ශැරන් ඉයුබැන්ක්, “හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමු,” ලියහෝනා, නොවැ. 2020, 55–57.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

යොහාන් 14:5–6.පවුලේ සාමාජිකයින්ට ඔබේ පවුල මාර්ගයක් දිගේ ඇවිද්දවීම මාරුවෙන් මාරුවට කරමින් විනෝද විය හැකිය. යේසුස්වහන්සේ “මාර්ගය” වන්නේ කෙසේද? උන්වහන්සේ අපව ගෙන යන්නේ කොතැනටද?

යොහාන් 14:26–27.යේසුස්වහන්සේගේ සමාදානය “ලෝකය දෙන” ආකාරයේ සාමයට වඩා වෙනස් වන්නේ කෙසේද? පවුලේ සාමාජිකයන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන සාමය සහ සැනසීම සොයාගත් ආකාර බෙදාගත හැකිය.

යොහාන් 15:1–8.මිදි වැලක්, ගසක්, හෝ වෙනත් ශාකයක් අසල සිට මෙම පද කියවීම විනෝදජනක විය හැකිය. ශාකයෙන් අත්තක් ඉවත් කළ විට එයට සිදුවන්නේ කුමක්ද? අප අතු හා සමාන වන්නේ කෙසේද යන්න සහ ගැලවුම්කරුවාණන් තුළ “බැඳී සිටීම” සහ “ඵල දැරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන ඔබට කතා කළ හැකිය.

යොහාන් 15:17–27; 16:1–7යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන්ට පීඩාවන් ගැන අනතුරු ඇඟවූයේ ඇයි කියා ඔබ සිතන්නේද? ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් අද පීඩා ලබන්නේ කෙසේද? අපි පීඩා වලට මුහුණදෙන විට මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් අපට උපකාර කරන්නේ කෙසේද?

යොහාන් 16:33යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකය ජයගත්තේ කෙසේද? උන්වහන්සේගේ වන්දිගෙවීම අපට සාමය හා යහපත් ප්‍රීතිය ගෙනදුන්නේ කෙසේද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 68:6).

යොහාන් 17:21–23.යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ මෙන් වඩා එක්සත්ව සිටින්නේ කෙසේදැයි ඉගෙනගැනීමට ඔබේ පවුලේ අයට උපකාරවත් වන්නේ කුමක්ද? සමහරවිට ඔබ කැමතිම ක්‍රීඩා කණ්ඩායමක් ගැන සහ ඔවුන් පොදු ඉලක්කයක් කරා එකට වැඩ කරන ආකාරය ගැන කතා කළ හැකිය. එසේත් නැතිනම් ඔබට ගායනා කණ්ඩායමකට හෝ වාද්‍ය වෘන්දයකට සවන් දී අලංකාර සංගීතය නිර්මාණය කිරීමට සංගීතඥයන් එකතු වන ආකාරය සාකච්ඡා කළ හැකිය.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශබ්දනගා කියවන්න. ඔබ ඔබේ පවුලට ශුද්ධලියවිලි උගන්වන විට, එම ඡේද ශබ්දනඟා කියවීම ශුද්ධලියවිලි කතන්දර වඩාත් සැබෑවක් ලෙස දැනීමට උපකාරී වේ. යොහාන් 13–17 වැනි පරිච්ඡේද සඳහා මෙය විශේෂයෙන් බලවත් විය හැක්කේ මෙම පරිච්ඡේද වල ගැලවුම්කරුවාණන්ගේ වචන බොහොමයක් අඩංගු වන බැවිනි.

රූපය
වැලක ඇති මිදි

යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වීය, “මිදිවැල මමය, නුඹලා අතුය” (යොහාන් 15:5).

මුද්‍රණය කරන්න