අලුත් ගිවිසුම 2023
මැයි 29–ජුනි 4. මතෙව් 26; මාර්ක් 14; යොහාන් 13: “සිහිකිරීම පිණිස”


“මැයි 29–ජුනි 4. මතෙව් 26; මාර්ක් 14; යොහාන් 13: ‘සිහිකිරීම පිණිස,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“මැයි 29–ජුනි 4. මතෙව් 26; මාර්ක් 14; යොහාන් 13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
අවසාන රාත්‍රී භෝජනය

වෝල්ටර් රනේ විසින්, In Remembrance of Me [මා සිහිකිරීම පිණිස]

මැයි 29–ජුනි 4

මතෙව් 26; මාර්ක් 14; යොහාන් 13

“සිහිකිරීම පිණිස”

ඔබ මතෙව් 26; මාර්ක් 14; සහ යොහාන් 13 හි විස්තර කර ඇති සිදුවීම් ගැන කියවන විට, ඔබට ලැබෙන ඕනෑම හැඟීමක් කෙරෙහි අවධානය යොමුකරන්න, විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල සහ උන්වහන්සේ කෙරෙහි ඔබේ කැපවීම ගැඹුරු කරන එම හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේ මිය යාමට පෙර දින, යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඔහුව සිහිපත් කිරීමට යමක් ලබාදුන්නේය. උන්වහන්සේ “රොටි ගෙන, ආශිර්වාද කොට, කඩා ගෝලයන්ට දී: රැගෙන කාපල්ලා; මේ මාගේ ශරීරයයයි කී සේක. උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුතිකොට, ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බීපල්ලා; මේ මාගේ රුධිරයයි කී සේක” (මතෙව් 26:26–28).

එය සිදුවූයේ මීට වසර 2,000 කට පමණ පෙර, අප බොහෝ දෙනෙකුට කිසිදා දකින්නට නොලැබෙන, අප කිහිපදෙනෙකුට තේරුම්ගත හැකි භාෂාවකිනි. නමුත් දැන්, සෑම ඉරිදා දිනකම අපගේම රැස්වීම් ස්ථාන වල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරීමට බලයලත් පූජකවරය දරන්නන්, උන්වහන්සේ වරක් කළ එම දේම කරති. ඔවුන් පාන් සහ ජලය ගෙන, ආශිර්වාද කර, උන්වහන්සේගේ ගෝලයන් වන අප සෑම කෙනෙකුටම එය ලබාදෙති. එය සරල ක්‍රියාවකි—පාන් අනුභව කිරීම සහ ජලය පානය කිරීමට වඩා සරල, මූලික දෙයක් තවත් තිබිය හැකිද? නමුත් එම පාන් සහ ජලය අපට පූජනීය වන්නේ ඒවා උන්වහන්සේව සිහිපත් කිරීමට අපට උපකාර කරන බැවිනි. එය අපි “මට උන්වහන්සේව කිසිදා අමතක නොවනු ඇත” ලෙස කීමේ ක්‍රමයයි—නමුත් එයින් කියවෙන්නේ “උන්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ ජීවිතය ගැන මා කියවා ඇති දේ මට කිසිදා අමතක නොවනු ඇත” ලෙස පමණක් නොවේ. ඒ වෙනුවට අපි කියන්නේ “උන්වහන්සේ මා වෙනුවෙන් කළ දේ මට කිසිදා අමතක නොවේ” කියායි. “මම උදව් ඉල්ලා කෑගැසූ විට උන්වහන්සේ මාව බේරාගත් ආකාරය මට කිසිදා අමතක නොවේ” කියායි. එමෙන්ම “උන්වහන්සේගේ මා සඳහා වූ කැපවීම සහ උන්වහන්සේ කෙරෙහි මගේ කැපවීමද—අප විසින් ඇතිකරගත් ගිවිසුමද මට කිසිදා අමතක නොවේ” කියායි.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 26:6–13; මාර්ක් 14:3–9

“ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කර මා තැන්පත් කිරීමට සූදානම් කරන පිණිස පැමිණ ඇත.”

නිහතමානී නමස්කාරයක් සමඟ, මෙම පදවල විස්තර කර ඇති ස්ත්‍රිය පෙන්නුම් කළේ යේසුස්වහන්සේ කවුද සහ උන්වහන්සේ කිරීමට යන්නේ කුමක්ද යන්න ඇය දන්නා බවයි (බලන්න මතෙව් 26:12). ඇයගේ ක්‍රියාවන් ගැලවුම්කරුවාණන්ට මෙතරම් අර්ථවත් වූ බව ඔබ සිතන්නේ ඇයි? (බලන්න 13 වන පදය). එම ස්ත්‍රිය සහ ඇගේ ඇදහිල්ල ගැන ඔබව විශ්මයට පත්කරන්නේ කුමක්ද? ඔබට ඇයගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාරය ගැන සිතා බලන්න.

තවත් බලන්න යෙසායා 12:1–8.

මතෙව් 26:20–22; මාර්ක් 14:17–19

“ස්වාමිනි, ඒ මමද?”

මෙම පද වල ගෝලයන් ස්වාමින්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ සිතන ලෙස ඔවුන් එසේ ඇසුවේ ඇයි? ඔබ ස්වාමින්වහන්සේගෙන් “ඒ මමද?” කියා අසන්නේ කෙසේදැයි සලකා බලන්න.

මතෙව් 26:26–29; මාර්ක් 14:22–25

සක්‍රමේන්තුව යනු ගැලවුම්කරුවාණන්ව සිහිපත් කිරීමේ අවස්ථාවකි.

ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට සක්‍රමේන්තුව හඳුන්වා දුන් විට, ඔවුන් තුළ කුමන සිතුවිලි සහ හැඟීම් තිබුණේ යැයි ඔබ සිතන්නේද? මතෙව් 26:26–29 සහ මාර්ක් 14:22–25 හි ඔවුන්ගේ අත්දැකීම් කියවන විට මේ ගැන සිතන්න. ඔබ සිතන ලෙස යේසුස්වහන්සේ අපට උන්වහන්සේව සිහිකිරීමට මෙවැනි ආකාරයක් තෝරාගත්තේ ඇයි? සක්‍රමේන්තුව අතරතුර ඔබ ලැබූ අත්දැකීම් ගැනද ඔබට මෙනෙහි කළ හැකිය. ඔබේ අත්දැකීම වඩාත් පාරිශුද්ධ සහ අර්ථවත් කිරීමට ඔබට කළ හැකි යමක් තිබේද?

මෙම පද කියවීමෙන් හා මෙනෙහි කිරීමෙන් පසු, ගැලවුම්කරුවාණන් ගැන මතකතබාගැනීමට ඔබව පොළඹවනු ලැබූ සමහර දේවල් ඔබට ලියා තැබිය හැකිය. ඔබ ඊළඟ වතාවේ සක්‍රමේන්තුව ගන්නා විට ඔබට මේ දේවල් සමාලෝචනය කළ හැකිය. “සැමවිටම උන්වහන්සේව සිහිකිරීමේ” (මොරෝනි 4:3) මාර්ගයක් ලෙස ඔබට වෙනත් අවස්ථා වලදීත් ඒවා සමාලෝචනය කළ හැකිය.

තවත් බලන්න ලූක් 22:7–39; 3 නෙපි 18:1–13; දහම සහ ගිවිසුම් 20:76–79.

යොහාන් 13:1–17

ගැලවුම්කරුවාණන් නිහතමානීව අන් අයට සේවය කිරීමේ අපගේ ආදර්ශයයි.

යේසුස්වහන්සේගේ කාලයේ, තවත් කෙනෙකුගේ පාද සේදීම නායකයින්ගේ නොව සේවකයන්ගේ කාර්යයක් විය. නමුත් යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ මෙහෙයවීම සහ සේවය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන තම ගෝලයන් වෙනස් ලෙස සිතීමයි. යොහාන් 13:1–17 හි ගැලවුම්කරුවාණන්ගේ වචන සහ ක්‍රියා වලින් ඔබ සොයාගන්නා පණිවිඩ මොනවාද? ඔබේ සංස්කෘතිය තුළ, අන් අයගේ පාද සේදීම සේවය කිරීම සඳහා චාරිත්‍රානුකූල ක්‍රමයක් නොවිය හැකිය. නමුත් නිහතමානී සේවයේ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබට කළ හැකි දේ සලකා බලන්න.

යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන් සමඟ ගතකළ මෙම ශුද්ධ වූ කාලය තුළ දැන සිටි සහ දැනුණු දේවල් සැලකිල්ලට ගැනීමද සිත්ගන්නා සුළු විය හැකිය (1 සහ 3 වන පද බලන්න). මෙම අදහස් ගැලවුම්කරුවාණන් ගැන කුමක් තේරුම්ගැනීමට ඔබට උපකාරවත් වන්නේද?

තවත් බලන්න ලූක් 22:24–27.

යොහාන් 13:34–35

අන් අය කෙරෙහි මගේ ආදරය මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයෙකු බවට ලකුණකි.

මීට පෙර, යේසුස්වහන්සේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” (මතෙව් 22:39) යනුවෙන් ආඥාවක් දී ඇත. දැන් උන්වහන්සේ “අලුත් ආඥාවක්” ලබාදුන්නේය. ඔබ සිතන ලෙස යේසුස්වහන්සේ ඔබට ප්‍රේම කරනවා මෙන් අන් අයට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න යොහාන් 13:34).

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් බව අන් අය දැනගන්නේ කෙසේද කියාත් ඔබට මෙනෙහි කළ හැකිය. කිතුනුවකු ලෙස ප්‍රේමය යනු ඔබේ ආවේණික ලක්ෂණය බව සහතික කරගත හැක්කේ කෙසේද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

මතෙව් 26:26–29; මාර්ක් 14:22–25.සෑම සතියකම සක්‍රමේන්තුව අතරතුර ඔබගේ පවුලේ අත්දැකීම් කුමනාකාරද? පළමු සක්‍රමේන්තුව ගැන කියවීමෙන් සක්‍රමේන්තුවේ වැදගත්කම සහ ඔබේ අත්දැකීම් වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳ සාකච්ඡාවක් ඇති කළ හැකිය. සක්‍රමේන්තුව බෙදාහැරීමේ පින්තූරයක් පෙන්වමින් (Gospel Art Book, no. 108) සක්‍රමේන්තුවට පෙර, අතරතුර සහ පසු කාලය තුළ ඔබට කළ හැකි දේ පිළිබඳව අදහස් බෙදාගැනීම සලකා බලන්න.

රූපය
කාන්තාවක් සක්‍රමේන්තුව ලබාගනිමින්

සක්‍රමේන්තුව අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කිරීමට උපකාර කරයි.

මතෙව් 26:30.යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන් කළාක්, මෙන් ගීතිකාවක්—සමහරවිට සක්‍රමේන්තු ගීතිකාවක් ගායනා කිරීම සලකා බලන්න. එම අවස්ථාවේ යේසුස්වහන්සේට සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට ගීතිකාවක් ගායනා කිරීම ආශිර්වාදයක් වන්නට ඇත්තේ කෙසේද? ගීතිකා අපට ආශිර්වාදයක් වන්නේ කෙසේද?

යොහාන් 13:1–17.ඔබ මෙම පද කියවන විට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය ඔබේ පවුලේ අයට පෙන්වීමට ඔබට අවශ්‍ය විය හැකිය. ගැලවුම්කරුවාණන් තම ක්‍රියාවන් මගින් ඉගැන්වූ සත්‍යයන් මොනවාද? මෙම සත්‍යයන් තේරුම්ගැනීමට අපට උපකාරවත් වන පින්තූරයේ ඇති විස්තර මොනවාද? සමහරවිට මෙම සත්‍යයන් අනුව ජීවත් වීම ඔවුන්ට සතුට ගෙන දුන් ආකාරය පවුලේ සාමාජිකයන්ට බෙදාගත හැකිය (බලන්න යොහාන් 13:17).

යොහාන් 13:34–35.මෙම පද කියවීමෙන් පසු, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් බව අන් අය දැනගන්නා ආකාරය ගැන ඔබට එකට එක්ව සාකච්ඡා කළ හැකිය. ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ අනුගාමිකයන්ව හැඳින්වීමට අවශ්‍ය වන්නේ කෙසේද? අන් අය කෙරෙහි ඇති ප්‍රේමය ඔවුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් බව පෙන්වන පුද්ගලයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබට පවුලේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිය හැකිය. පවුලක් ලෙස ඔබට වැඩි ආදරයක් පෙන්විය හැකි ක්‍රම ගැනද ඔබට සාකච්ඡා කළ හැකිය.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

මෙනෙහි කරන්න. ශුද්ධලියවිලි පදවල අධ්‍යාත්මික අර්ථයන් ඇති අතර, වෙනත් කියවීම් ද්‍රව්‍ය මෙන් අපි ඉතා සැහැල්ලුවෙන් කියවන විට අපට ඒවා මගහැරී යා හැකිය. පරිච්ඡේදයක් අවසන් කිරීමට ඉක්මන් නොවන්න. ඔබ කියවන දේ ගැන ගැඹුරින් සිතා බැලීමට කාලය ගන්න.

රූපය
යේසුස්වහන්සේ ගෝලයන්ගේ පාද සෝදමින්

ජේ. කර්ක් රිචඩ්ස් විසින්, Greatest in the Kingdom [රාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම]

මුද්‍රණය කරන්න