අලුත් ගිවිසුම 2023
දෙසැම්බර් 11–17. එළිදරව් 6–14: “බැටළු පැටවාණන්ගේ … රුධිරයෙන් ඔවුන් ජයගත්හ”


“දෙසැම්බර් 11–17. එළිදරව් 6–14: ‘බැටළු පැටවාණන්ගේ … රුධිරයෙන් ඔවුන් ජයගත්හ,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“දෙසැම්බර් 11–17. එළිදරව් 6–14,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස්වහන්සේ තරු මැද සිටගෙන සිටිමින්

එරික් ජොන්සන්ගේ සංයුක්ත කලාව: The Grand Council [ශ්‍රේෂ්ට කවුන්සිලය], රොබට් ටී. බැරට් විසිනි; තරු පොකුර යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ අනුග්‍රහයෙනි

දෙසැම්බර් 11–17

එළිදරව් 6–14

“බැටළු පැටවාණන්ගේ … රුධිරයෙන් ඔවුන් ජයගත්හ”

සභාපති බොයිඩ් කේ. පැකර් මෙසේ උපදෙස් දුන්නේය: “මුලින්ම ඔබට ශුද්ධලියවිලි වල භාෂාව අමුතු බවක් පෙනේ නම්, දිගටම කියවන්න. ඉක්මණින්ම ඔබට එම පිටු වල ඇති අලංකාරය සහ බලය හඳුනාගැනීමට හැකිවනු ඇත” (“The Key to Spiritual Protection,” Liahona, Nov. 2013, 27).

ඔබේ හැඟීම් සටහන් කරන්න

“විළිරුදාවන් සහ ප්‍රසව වේදනාවන් විඳින” කාන්තාවක් ගැන සිතන්න. “ඇගේ දරුවා ඉපදුන විගසම ගිලදැමීමට” සූදානමින් “හිස් සතක්ද අං දසයක්ද, ඇති විශාල රතු මකරෙකු” කන්තාව මත සැරිසරමින් සිටිනවා යැයි දැන් සිතන්න (එළිදරව් 12:2–4). යොහාන්ගේ එළිදරව්වේ මෙම පද තේරුම්ගැනීමට, මෙම රූප වලින් නියෝජනය වන්නේ සභාව සහ දේවරාජ්‍යය සහ ඔවුන් මුහුණදෙන අනතුරු ගැන බව මතකතබාගන්න. යොහාන්ගේ කාලයේ දැඩි පීඩා අත්විඳින ශුද්ධවන්තයන්ට, නපුරට එරෙහි ජයග්‍රහණය පෙනෙන්නවත් තිබුණේ නැත. සතුරා “ශුද්ධවන්තයන් සමඟ යුද්ධ කරන” විට සහ “සියලු නෑදෑයන්, භාෂාවන්, සහ ජාතීන් කෙරෙහි බලය” ඇති අපගේ වැනි කාලයකදීද ජයග්‍රහණය දැකීම අපහසු විය හැකිය (එළිදරව් 13:7). නමුත් යොහාන්ගේ එළිදරව්වේ අවසානය තේජාන්විතව පෙන්නුම් කරන්නේ නපුරට වඩා යහපත පවතිනු ඇති බවයි. බැබිලෝනිය වැටෙනු ඇත. ශුද්ධවන්තයන් “මහත් පීඩාවෙන්” සුදු පැහැති වස්ත්‍ර වලින් පිටතට පැමිණෙන්නෝය—ඔවුන්ගේ වස්ත්‍ර කිසිදා නොකැළැල් වූ නිසා නොව, ශුද්ධවන්තයන් “ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය” (එළිදරව් 7:14).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එළිදරව් 6–11

යොහාන් පොළොවේ ඉතිහාසයේ බොහෝ සිදුවීම්, විශේෂයෙන්ම අන්තිම දවස්වල සිදුවීම් දුටුවේය.

මෙම පරිච්ඡේද වල ඔබ මුද්‍රා හතක් සහිත පොතක් ගැන කියවනු ඇත. එහි තේරුම කුමක්දැයි ඔබ කල්පනා කරන්නේ නම්, ඔබ තනි වී නැත. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ද එසේ කළේය. මෙම පොත සහ එහි මුද්‍රාවක් මගින් වසර දහසක් නියෝජනය කරමින්, ඒ සෑම මුද්‍රාවකින්ම පොළොවේ “තාවකාලික පැවැත්ම” පිළිබඳ කතාව නියෝජනය කරන බව ස්වාමින්වහන්සේ ජෝසෆ්ට එළිදරව් කළේය (බලන්න දහම සහ ගිවිසුම් 77:6–7). පළමු මුද්‍රා හතරේ සිදුවීම් යොහාන්ගේ දර්ශනයේ සාරාංශ කර ඇත්තේ පද අටකින් පමණක් බව දැනගැනීමට ඔබ උනන්දු විය හැකිය (එළිදරව් 6:1–8). ඊළඟ පද තුනෙන් පස්වන මුද්‍රාව විස්තර කෙරේ (9–11 පද). අවසාන මුද්‍රා දෙකේ සිදුවීම් එළිදරව් පොතේ ඉතිරි බොහෝමයක් ඉඩ ගනී. වෙනත් වචන වලින් කිවහොත්, යොහාන්ගේ දර්ශනයේ ප්‍රධාන අවධානය අන්තිම දවස්—අපේ දවස්ය. ඔබ කියවන විට, අවසාන දවස් ගැන යොහාන් ලියූ දේ දැනගැනීම වටින්නේ මන්දැයි සිතා බලන්න.

යොහාන් අනාවැකි පළකළ සිදුවීම් ගැන ඔබ කියවන විට, පහත සඳහන් යෝජනා සහ ප්‍රශ්න සලකා බලන්න:

  • ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ කාර්යය මනසේ තබාගෙන එළිදරව් 7 කියවන්න. මෙම කාර්යය ගැන ඔබට ඇති අදහස් මොනවාද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 77:8–11). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ වෙතට පැමිණෙන අය ගැන 13–17 පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

  • පරිච්ඡේද 8; 9; සහ 11 අන්තිම දවස්වල සිදුවීම් ගැන ඔබට උගන්වන්නේ මොනවාද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 77:12–13, 15). මෙම සිදුවීම් සඳහා අපට ආත්මිකව සූදානම් විය හැක්කේ කෙසේද?

  • දේවදූතයෙක් යොහාන්ට ලබාදී ඔහුට එය කෑමට අණ කරන පොතක් ගැන එළිදරව් 10 පවසයි. මෙය සංකේතවත් කළ හැක්කේ කුමක් ගැනද? (බලන්න දහම සහ ගිවිසුම් 77:14).

එළිදරව් 12–13

ස්වර්ගයේ යුද්ධය දිගටම පොළොව මත පවතී.

ස්වර්ගයේ යුද්ධය ගැන අපි බොහෝ දේ නොදනිමු, නමුත් ඒ පිළිබඳ විචිත්‍රවත් කෙටි විස්තරයක් එළිදරව් 12:7–11 හි ඇත. ඔබ මෙම පද කියවන විට, ඔබව මනුෂ්‍ය ජීවිතයට පෙර එම යුද්ධයේ කොටසක් ලෙස සිතන්න. සාතන්ව පරාජය කරන ආකාරය ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (11 වන පදය බලන්න).

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ඇති අය සමඟ යුද්ධ කිරීමට” සාතන් දිගටම ක්‍රියා කරන බැවින්, ස්වර්ගයේ ආරම්භ වූ යුද්ධය මිහිමත දිගටම පවතී (එළිදරව් 12:17). ඔහු අද එම යුද්ධය ගෙන යන ආකාරය ගැන එළිදරව් 13 වෙතින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? “බැටළු පැටවාණන්ගේ රුධිරය” සහ “[ඔබේ] සාක්ෂියේ වචනය” (එළිදරව් 12:11) මෙම යුද්ධයේදී ඔබට දිගටම උපකාර කරන්නේ කෙසේද?

තවත් බලන්න 1 නෙපි 14:12–14; මොරෝනි 7:12–13; මෝසෙස් 4:1–4; දහම සහ ගිවිසුම් 29:36–37.

එළිදරව් 14:6–7

“සදාකාලික ශුභාරංචිය ඇති තවත් දේවදූතයෙකු මම දුටුවෙමි.”

මෙම පද වල අනාවැකියේ එක් ඉටුවීමක් සිදුවූයේ මොරෝනි ජෝසෆ් ස්මිත්ට දර්ශනය වී ඔහු පරිවර්තනය කළ හා මෝර්මොන්ගේ පොත ලෙස ප්‍රකාශයට පත්කළ වාර්තා වෙත ඔහුව ගෙනගිය විටය. “සියලු ජාතීන්ටත්, ගෝත්‍රයන්ටත්, භාශාවන්ටත්, සෙනගටත්” ප්‍රකාශ කරන පිණිස අපට භාරවී ඇති “සදාකලික ශුභාරංචිය” මෙම පොතෙහි අතුලත් වේ (එළිදරව් 14:6).

සදාකාලික ශුභාරංචිය නැවත පිහිටුවීමට සහභාගී වූ වෙනත් දේවදූතයන් ගැන දැනගැනීමට, බලන්න දහම සහ ගිවිසුම් 13; 27:5–13; 110:11–16; 128:20–21.

තවත් බලන්න යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය,” ChurchofJesusChrist.org.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

එළිදරව් 7:9, 13–15.බව්තීස්ම සහ දේවමාළිගා නියෝග සඳහා අප සුදු ඇඳීමට හේතුව ගැන මෙම පද වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

එළිදරව් 7:14–17.මෙම පදවල ස්වාමින්වහන්සේගේ පොරොන්දු ගැන ඔවුන්ගේ හැඟීම් බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කිරීම සලකා බලන්න. අපි “මහත් පීඩාවක” සිටින විට උන්වහන්සේගේ පොරොන්දු අපට උපකාර කරන්නේ කෙසේද? (14 වන පදය).

එළිදරව් 12:7–11; 14:6.එළිදරව් පොතේ විස්තර කර ඇති දර්ශන වල පින්තූර ඇඳීමෙන් පවුලේ සමහර සාමාජිකයින්ට විනෝද විය හැකිය. නිදසුනක් වශයෙන්, එළිදරව් 12 මත පදනම්ව පින්තූර ඇඳීම ස්වර්ගයේ යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට හේතුවිය හැකිය (බලන්න 7–11 පද). එළිදරව් 14:6 මත පදනම් වූ පින්තූර ශුභාරංචිය නැවත පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට හේතු විය හැකිය.

එළිදරව් 14:6 එකට එක්ව කියවීමෙන් පසු, අපේ කාලයේ ශුභාරංචිය නැවත පිහිටුවීමට උපකාර කළ මොරෝනි දේවදූතයාගේ සහ අනෙකුත් දේවදූතයන්ගේ පින්තූර පෙන්වීම සලකා බලන්න (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූර බලන්න). සමහරවිට පවුලේ සාමාජිකයන්ට මාරුවෙන් මාරුවට එක් පින්තූරයක් අල්ලාගෙන “[අපට] දේශනා කිරීමට සදාකාල ශුභාරංචිය ඇතිව” දේවදූතයන් පැමිණීම ගැන ස්තුතිවන්ත වීමට හේතු බෙදාගන්නට හැකිය.

එළිදරව් 12:11“ඔවුන්ගේ සාක්ෂියේ වචනය” යන යෙදුමේ අර්ථය කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි අපට සහ අනෙක් අයට සාතන්ව පරාජය කිරීමට උපකාර කරන්නේ කෙසේද?

එළිදරව් 13:11–14.රැවටිලිකාර මෘගයා ගැන ඔබේ පවුලේ සාමාජිකයින්ගේ අදහස් මොනවාද? අද ලෝකයේ අපි දකින රැවටීම් හඳුනාගෙන ඒවා අපි වළක්වාගන්නේ කෙසේද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබව ශුද්ධලියවිලි වල ගිල්වන්න. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූයේය, “විශේෂයෙන්ම කැලඹීම් වැඩිවෙමින් පවතින මේ දින වලදී, දෙවියන්වහන්සේගේ වචනයෙහි දිනපතා ගිල්වීම අධ්‍යාත්මික පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ” (“උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, මැයි 2020, 89). “දෙවියන්වහන්සේගේ වචනයෙහි ගිල්වීම” යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද?

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දොරකට තට්ටුකරමින්

ගැරී එල්. කැප් විසින්, Moroni Delivering the Golden Plates [මොරෝනි රන් තහඩු ලබාදෙමින්]; ලින්ඩා කර්ලි ක්‍රිස්ටෙන්සන් සහ මයිකල් ටී. මැල්ම් විසින්, Upon You My Fellow Servants [මාගේ සෙසු සේවකයින් මත] (යොහාන් බව්තිස්ත ජෝසෆ් ස්මිත්ට ආරොනික පූජකත්වය ලබාදෙමින්); ලින්ඩා කර්ලි ක්‍රිස්ටෙන්සන් සහ මයිකල් ටී. මැල්ම් විසින්, Keys of the Kingdom [රාජධානියේ යතුරු] (පේත්‍රස්, යාකොබ් සහ යොහාන් ජෝසෆ් ස්මිත්ට මෙල්කිසදෙක් පූජකත්වය ප්‍රදානය කරමින්; ගැරී ඊ. ස්මිත් විසින්, Vision in the Kirtland Temple [කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ දර්ශනය] (මෝසෙස්, එලියා, සහ එලයිජා ජෝසෆ් ස්මිත්ට සහ ඔලිවර් කව්ඩ්‍රිට පෙනී සිටිමින්).

මුද්‍රණය කරන්න