ධර්මදූත කැඳවීම්
3 වෙනි පරිච්ඡේදය: 3 වෙනි පාඩම—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය


“3 වෙනි පරිච්ඡේදය: 3 වෙනි පාඩම—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ,” මාගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් (2023)

“3 වෙනි පරිච්ඡේදය: 3 වෙනි පාඩම,” මාගේ ශුභාරංචිය දේශනා කරන්න

3 වෙනි පරිච්ඡේදය: 3 වෙනි පාඩම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය

රූපය
දෙවන පැමිණීම, හැරී ඇන්ඩර්සන් විසින්

මිනිසුන් මේ ගැන කුතුහලයෙන් සිටිනවා විය හැකිය

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කවුද? උන්වහන්සේ මට සහ මගේ පවුලට උදව් කරන්නේ කෙසේද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම මගේ ජීවිතයට ආශීර්වාද කරන්නේ කෙසේද?

  • පසුතැවිලි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • මම වැරදි තේරීම් කළාට පස්සේ මට දෙවියන්වහන්සේගේ සාමය සහ සමාව දැනෙන්නේ කොහොමද?

  • බව්තීස්මයේ අරමුණ කුමක්ද?

  • ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව කුමක්ද?

  • අවසානය දක්වා විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නම් අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ආකාරයයි. එය දරුවෙකුට තේරුම් ගත හැකි තරම් සරල ය. මෙම පාඩම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව සහ අවසානය දක්වා විඳදරා ගැනීම ඇතුළු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සහ දහම කෙරෙහි අවධානය යොමු කරයි. ශුභාරංචිය දෙවියන් වහන්සේගේ සියලුම දරුවන්ට ආශීර්වාද කරන ආකාරය ගැන ද එය අවධානය යොමු කරයි.

ශුභාරංචිය යන වචනයේ අර්ථය සුභ ආරංචිය යන්නයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සුබ ආරංචියක් වන්නේ අප උන්වහන්සේ වෙතට පැමිණ ගැලවීම ලැබීමට අවශ්‍ය වන දහම—සදාකාලික සත්‍යය—එමගින් සපයන නිසා (1 නෙපි 15:14 බලන්න). ශුභාරංචිය අපට හොඳ, අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි උගන්වයි. ශුභාරංචියේ සුබ ආරංචිය අපට පව් කමා කිරීමට, පවිත්‍ර වීමට සහ දෙවියන් වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට මාර්ගය සපයයි.

ඉගැන්වීම සඳහා යෝජනා

මෙම කොටස ඔබට ඉගැන්වීමට සූදානම් වීම සඳහා නිදසුන් දළ සටහනක් සපයයි. ඔබට භාවිතා කළ හැකි ප්‍රශ්න සහ ආරාධනා පිළිබඳ උදාහරණ ද එයට ඇතුළත් ය.

ඔබ ඉගැන්වීමට සූදානම් වන විට, එක් එක් පුද්ගලයාගේ තත්වය සහ ආත්මික අවශ්‍යතා යාච්ඤාවෙන් සලකා බලන්න. ඉගැන්වීමට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද යන්න තීරණය කරන්න. මිනිසුන්ට නොතේරෙන පද නිර්වචනය කිරීමට සූදානම් වන්න. පාඩම් කෙටියෙන් තබා ගැනීමට මතක තබා ගනිමින් ඔබට කොපමණ කාලයක් තිබේද යන්න අනුව සැලසුම් කරන්න.

ඔබ උගන්වන විට භාවිතා කිරීමට ශුද්ධ ලියවිලි පද තෝරන්න. පාඩමෙහි ”දහමේ පදනම” කොටසෙහි බොහෝ උපකාරවත් ශුද්ධ ලියවිලි පද ඇතුළත් වේ.

ඔබ උගන්වන විට ඇසිය යුතු ප්‍රශ්න මොනවාදැයි සලකා බලන්න. එක් එක් පුද්ගලයා ක්‍රියා කිරීමට දිරිගන්වන ආරාධනා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්න.

දෙවියන්ගේ පොරොන්දු වූ ආශීර්වාද අවධාරණය කරන්න, ඔබ උගන්වන දේ පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදාගන්න.

රූපය
ධර්මදූතයින් පවුලකට උගන්වමින්

විනාඩි 15-25 තුළ ඔබට මිනිසුන්ට ඉගැන්විය හැකි දේ

ඉගැන්වීමට පහත සඳහන් මූලධර්ම වලින් එකක් හෝ කිහිපයක් තෝරන්න. එක් එක් මූලධර්මය සඳහා දහමේ පදනම මෙම දළ සටහනෙන් පසුව සපයනු ලැබේ.

යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දිව්යමය මෙහෙවර

  • දෙවියන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේව පොළොවට එව්වේ අපව පාපයෙන් හා මරණයෙන් මුදවා ගැනීමටයි.

  • යේසුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා, අප පසුතැවිලි වන විට අපගේ පව්වලින් පවිත්ර වී ශුද්ධ විය හැක.

  • යේසුස්වහන්සේ කුරුසිපත් වීමෙන් පසු උන්වහන්සේ නැවත නැඟිට්ටේය. උන්වහන්සේගේ නැවත නැඟිටීම නිසා අප සියල්ලෝම මරණයෙන් පසු නැවත නැඟිටුවනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ එක් එක් පුද්ගලයාගේ ආත්මය සහ ශරීරය නැවත එක්වන බවත්, අප සෑම කෙනෙකුම පරිපූර්ණ වූ, නැවත නැඟිටුවන ලද ශරීරයක සදාකාලිකවම ජීවත් වන බවත්ය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල

  • ඇදහිල්ල යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පළමු මූලධර්මයයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව විශ්වාස කිරීම සහ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම ඇතුළත් වේ.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු ක්‍රියාවේ සහ බලයේ මූලධර්මයක්.

  • යාච්ඤා කිරීමෙන්, ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් සහ ආඥාවලට කීකරු වීමෙන් අපි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරමු.

පසුතැවිලි වීම

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පසුතැවිලි වීමට අපව යොමු කරයි. පසුතැවිලි වීම යනු දෙවියන් වහන්සේ වෙත හැරී පාපයෙන් ඈත් වීමේ ක්‍රියාවලියයි. අපි පසුතැවිලි වන විට, අපගේ ක්රියාවන්, ආශාවන් සහ සිතුවිලි දෙවියන් වහන්සේගේ කැමැත්තට වඩා එකඟ වන පරිදි වෙනස් වේ.

  • අපි අවංකව පසුතැවිලි වන විට, දෙවියන්වහන්සේ අපට සමාව දෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පව්වලට වන්දි ගෙවූ නිසා සමාව ලැබිය හැකිය.

  • අපි පසුතැවිලි වන විට, අපගේ වරදකාරී හැගීම් සහ ශෝකයන් සුවවී අපට සාමය දැනෙයි.

  • පසුතැවිලි වීම ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියකි. අප පසුතැවිලි වන සෑම අවස්ථාවකම දෙවියන්වහන්සේ අපව සාදරයෙන් පිළිගනී. උන්වහන්සේ කවදාවත් අපිව අත්හරින්නේ නැහැ.

බව්තීස්මය: දෙවියන්වහන්සේ සමඟ අපගේ පළමු ගිවිසුම

  • බව්තීස්මය යනු අප මුලින්ම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් බැඳීමකට ඇතුල් වන ආකාරයයි.

  • බව්තීස්මයේ කොටස් දෙකක් ඇත: බව්තීස්මය ජලයෙන් සහ ආත්මයෙන්. අප බව්තීස්ම වී ස්ථීර කළවිට, අපගේ පව්වලින් අප පවිත්ර කරනු ලබන අතර, අපට ජීවිතයේ නව ආරම්භයක් ලබා දෙයි.

  • අපි යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් ගිල්වීමෙන් බව්තීස්ම වෙනවා.

  • දරුවන්ට වයස අවුරුදු අට වන තුරු බව්තීස්ම නොකෙරේ. එම වයසට පෙර මිය යන දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මුදවා ගනු ලැබේ.

  • අපි සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගි වන්නේ යේසුස්වහන්සේගේ පරිත්‍යාගය සිහිපත් කර දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් අලුත් කිරීමටයි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව

  • ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දේවශීර්ෂයේ තුන්වන සාමාජිකයායි.

  • අපි බව්තීස්ම වූ පසු, ස්ථිර කිරීමේ නියෝගයක් හරහා අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබේ.

  • අපට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබුණු විට, අප විශ්වාසවන්තව සිටින්නේ නම් අපගේ ජීවිත කාලය පුරාවටම උන්වහන්සේගේ ඇසුර ලබා ගත හැක.

  • ශුද්ධාත්මයාණන්වහන්සේ අපව පවිත්‍ර කරයි, අපට මඟ පෙන්වයි, අපව සනසයි, සහ සත්‍යය දැනගැනීමට උපකාර කරයි.

අවසානය දක්වා විඳදරා ගැනීම

  • විඳදරාගැනීමට සෑම දිනකම ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල දිගටම පවත්වා ගැනීම ඇතුළත් වේ. අපි දෙවියන් වහන්සේ සමඟ අපගේ ගිවිසුම් දිගටම පවත්වා ගෙන, පසුතැවිලි වෙමින්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඇසුර සොයමු, සහ සක්රමේන්තුවට සහභාගී වෙමු.

  • අපි විශ්වාසවන්තව යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන විට, අපට සදාකාල ජීවනය ලැබෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආශීර්වාද කරයි

  • ශුභාරංචිය තුල ජීවත්වීම අපගේ ප්‍රීතිය වැඩි කරයි, අපගේ ක්‍රියාවන් ආස්වාදය කරයි, සහ අපගේ සබඳතා පොහොසත් කරයි.

  • අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වන විට—තනි පුද්ගලයන් වශයෙන් මෙන්ම පවුල් වශයෙන්ද —සතුටින් සිටීමට හැකිය.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළින්, පවුල් මේ ජීවිතයේ ආශීර්වාද ලබන අතර සදාකාලයටම එක්සත් වී දෙවියන්වහන්සේ ඉදිරියෙහි ජීවත් විය හැක.

ඔබට මිනිසුන්ගෙන් ඇසිය හැකි ප්‍රශ්න

පහත ප්‍රශ්න ඔබ මිනිසුන්ගෙන් ඇසිය හැකි දේ සඳහා උදාහරණ වේ. මෙම ප්‍රශ්න ඔබට අර්ථවත් සංවාද ඇති කර ගැනීමට සහ පුද්ගලයෙකුගේ අවශ්‍යතා සහ ඉදිරිදර්ශනය තේරුම් ගැනීමට උපකාරී වේ.

  • ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දන්නේ මොනවාද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද?

  • ඔබේ ජීවිතයේ ඔබට කිරීමට අවශ්‍ය වෙනස්කම් මොනවාද?

  • පසුතැවීම ගැන ඔබේ අවබෝධය කුමක්ද?

  • බව්තීස්මය ගැන ඔබේ අවබෝධය කුමක්ද? බව්තීස්ම වීමට සූදානම් වීමට ඔබට දැන් කුමක් කළ හැකිද?

  • දෙවියන්වහන්සේගේ අභිමුඛයට ආපසු යාමට ඔබගේ ගමනේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?

  • ඔබ හෝ ඔබේ පවුලේ අය මුහුණ දෙන අභියෝගය කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උපකාර කළ හැකි ක්‍රම කිහිපයක් අපි බෙදා ගන්නද?

ඔබට කළ හැකි ඇරයුම්

  • අප ඉගැන්වූ දේ සත්‍ය බව දැනගැනීමට ඔබට උපකාර කරන ලෙස ඔබ යාච්ඤාවෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවාද? 1 වෙනි පාඩමේ අවසාන කොටසේ ”අදහස් ඉගැන්වීම: යාච්ඤාව” බලන්න.)

  • අප ඉගැන්වූ දේ ගැන වැඩි විස්තර දැන ගැනීමට ඔබ මෙම ඉරිදා සභාවට සහභාගී වෙනවාද?

  • ඔබ මෝර්මන්ගේ පොත කියවා එය දෙවියන් වහන්සේගේ වචනය බව දැන ගැනීමට යාච්ඤා කරනවාද? (ඔබට නිශ්චිත පරිච්ඡේද හෝ පද යෝජනා කළ හැක.)

  • ඔබ යේසුස් වහන්සෙගේ ආදර්ශය අනුගමනය කර බව්තීස්ම වෙනවාද? (මෙම පාඩමට වහාම පෙර ඇති “බව්තීස්ම වීමට සහ ස්ථිර කිරීමට ආරාධනාව,” බලන්න.)

  • අපි අපේ මීළඟ හමුවීම සඳහා වෙලාවක් නියම කරමුද?

දහමේ පදනම

ශුභාරංචිය පිළිබඳ ඔබේ දැනුම සහ සාක්ෂිය ශක්තිමත් කිරීමට සහ ඔබට ඉගැන්වීමට උපකාර කිරීමට මෙම කොටස ඔබට අධ්‍යයනය කිරීමට ඉගැන්වීම් සහ ශුද්ධ ලියවිලි පද සපයයි.

රූපය
යේසුස්වහන්සේ යැවූ දොළොස්දෙනා මොවුන්ය, වෝල්ටර් රනේ විසිනි

යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දිව්යමය මෙහෙවර

ස්වර්ගික පියාණන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මෙලොවට එව්වේ අප සැමට මෙලොව ප්‍රීතිය සහ මතු ලෝකයේ සදාකාල ජීවනය අත්විඳීමට අවස්ථාව සැලසීමටය. “මෙයයි ශුභාරංචිය, සුභ ආරංචියක්, … [යේසුස් ක්‍රිස්තුස්] ලෝකයට පැමිණියේය … ලෝකයේ පව් දරා ගැනීමටත්, ලෝකය විශුද්ධ කිරීමටත්, සියලු අධර්මිෂ්ඨකමින් එය පවිත්‍ර කිරීමටත් ය; උන්වහන්සේ කරණකොටගෙන සියල්ලෝම ගැළවීම ලබන පිණිස” (දහම සහ ගිවිසුම් 76:40-42).

මනුෂ්‍යයන් වශයෙන්,අපි සියල්ලෝම පව් කරන්නෙමු, අප සෑම කෙනෙකුම මිය යනු ඇත. අපට මිදුම්කරුවෙකු නොමැති නම්, පාපය සහ මරණය දෙවියන් වහන්සේ සමඟ සදාකාල ජීවනය අපට වළක්වනු ඇත (2 නෙපි 9බලන්න). ලෝකය මැවීමට පෙර, අපව මුදවා ගැනීම සඳහා ස්වර්ගික පියාණන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරා ගත්තේය. ප්‍රේමයේ උත්තරීතර ප්‍රකාශනයක් ලෙස, යේසුස් වහන්සේ පොළොවට පැමිණ මෙම දිව්‍ය මෙහෙවර ඉටු කළේය. උන්වහන්සේ අපගේ පාපයෙන් මිදීම සඳහා අපට ඉඩ සලසා දුන් අතර, අප මිය ගිය පසු අප සියල්ලන්ම නැවත නැඟිටුවනු ලබන බව උන්වහන්සේ සහතික කළේය.

යේසුස් වහන්සේ පව් රහිත ජීවිතයක් ගත කළා. උන්වහන්සේගේ මැරෙන සුළු දේවසේවයේ අවසානයේ, උන්වහන්සේ ගෙත්සෙමනේදී සහ උන්වහන්සේ කුරුසිය මත දුක් විඳීමෙන් අපගේ පව් උන්වහන්සේම භාර ගත්තේය (1 නෙපි 11:33 බලන්න). යේසුස්වහන්සේගේ දුක් වේදනා කොතරම්ද යත්, එය උන්වහන්සේව “වේදනාව නිසා වෙව්ලන්නටත්, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමටත්” හේතු විය (දහම සහ ගිවිසුම් 19:18). කුරුසියේ ඇණ ගැසීමෙන් පසු, යේසුස්වහන්සේ මරණය ජය ගනිමින් නැවත නැඟිටුවනු ලැබීය. මෙම සිදුවීම් එකතුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමයි.

අප පව් කරන විට, අපි අධ්‍යාත්මිකව අපවිත්‍ර වන අතර, “කිසිම අපවිත්‍ර දෙයකට දෙවියන් වහන්සේ ඉදිරියෙහි ජීවත් විය නොහැක” (1 නෙපි 10:21). ඊට අමතරව, යුක්තියේ නීතියට අපගේ පව් සඳහා ප්රතිවිපාක අවශ්ය වේ.

අප පසුතැවිලි වන විට යේසුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය පාපයෙන් පිරිසිදු වී පවිත්‍ර වීමට මාර්ගය සපයයි. එය යුක්තියේ ඉල්ලීම් තෘප්තිමත් කිරීමට මාර්ගයක් ද සපයයි (ඇල්මා 42:15, 23–24 බලන්න). ගැලවුම්කරුවාණන් පැවසුවේ, “මම… මේ දේවල් සියල්ලන් වෙනුවෙන් විඳවූවෙමි, ඔවුන් පසුතැවිලි වුවහොත් ඔවුන් දුක් නොවිඳීමට; නමුත් ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් මා මෙන් දුක් විඳීමට සිදු වේ” (දහම සහ ගිවිසුම් 19:16-17). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොවන්නේ නම්, පාපය ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ අනාගත පැවැත්ම සඳහා සියලු බලාපොරොත්තු අවසන් කරනු ඇත.

අප වෙනුවෙන් පරිත්‍යාගයක් ලෙස උන්වහන්සේවම පූජා කිරීමේදී යේසුස්වහන්සේ අපගේ පුද්ගලික වගකීම ඉවත් නොකළ සේක. අප උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කරගෙන, පසුතැවිලි වී, අණපනත්වලට කීකරු වීමට උත්සාහ කළ යුතුය. අප පසුතැවිලි වන විට, යේසුස්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ පියාණන්ගෙන් දයාවේ අයිතිය ඉල්ලා සිටිනු ඇත (බලන්න මොරෝනි 7:27–28). ගැලවුම්කරුවාණන්ගේ මැදිහත් වීම නිසා, ස්වර්ගීය පියාණන් අපට සමාව දෙයි, අපගේ පව්වල බරින් සහ වරදින් අපව නිදහස් කරයි (මොසායා 15:7–9 බලන්න). අප අධ්‍යාත්මිකව පවිත්‍ර වී ඇති අතර අවසානයේදී දෙවියන්වහන්සේගේ අභිමුඛයට සාදරයෙන් පිළිගත හැක.

යේසුස්වහන්සේගේ දිව්‍යමය මෙහෙවර අපව මරණයෙන් ගලවා ගැනීමද වේ. උන්වහන්සේ නැවත නැඟිටුවනු ලැබූ නිසා, අප සියල්ලන්ම මරණයෙන් පසු නැවත නැඟිටුවනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ එක් එක් පුද්ගලයාගේ ආත්මය සහ ශරීරය නැවත එක්වන බවත්, අප සෑම කෙනෙකුම පරිපූර්ණ වූ, නැවත නැඟිටුවන ලද ශරීරයක සදාකාලිකවම ජීවත් වන බවත්ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොවන්නේ නම්, මරණය ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ අනාගත පැවැත්ම සඳහා සියලු බලාපොරොත්තු අවසන් කරනු ඇත.

ශුද්ධලියවිලි අධ්‍යයනය

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්රයාණන් එව්වාවූ සේක

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැලවීම

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

  • ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ.”

  • ශුද්ධ ලියවිල්ලට මාර්ගෝපදේශය: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

  • ශුභාරංචි මාතෘකා:: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල

ශුභාරංචියේ පළමු මූලධර්මය නම් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි. අනෙකුත් සියලුම ශුභාරංචි මූලධර්ම සඳහා පදනම ඇදහිල්ලයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට ඇතුළත් වන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් බව විශ්වාස කිරීමයි. අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේව විශ්වාස කිරීම එයට ඇතුළත් වේ—දෙවියන්වහන්සේගේ අභිමුඛයට ආපසු යාමට ඇති එකම මාර්ගය උන්වහන්සේ බව (බලන්න ක්‍රියා 4:10–12; මොසායා 3:17; 4:6–8). “ගලවා ගැනීමට බලවත් තැනැත්තාගේ ගුණ මත සම්පූර්ණයෙන්ම රඳාපවතිමින් උන්වහන්සේ කෙරෙහි නොසැලෙන ඇදහිල්ල” ක්‍රියාත්මක කිරීමට අපට ආරාධනා කර ඇත (2 නෙපි 31:19).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේදී අපගේ පව් උදෙසා උන්වහන්සේ දුක් වින්ද බව විශ්වාස කිරීම ඇතුළත් වේ උන්වහන්සේගේ පරිත්‍යාගය නිසා, අප පසුතැවිලි වන විට අපට පවිත්‍ර වී මිදිය හැක. මෙම පිරිසිදු කිරීම මේ ජීවිතයේ සාමය සහ බලාපොරොත්තුව සොයා ගැනීමට අපට උපකාර කරයි. අප මිය ගිය පසු පූර්ණ සතුට ලබන්නටද එය අපට ඉඩ සලසයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට උන්වහන්සේ තුළින් අප සියල්ලන්ම මරණයෙන් පසු නැවත නැඟිටුවනු ලබන බව විශ්වාස කිරීම ඇතුළත් වේ මෙම ඇදහිල්ලට අපට අහිමි වූ අවස්ථාවලදී අපට දරා ගැනීමට සහ සැනසීමට හැකිය. මරණයේ දුක නැවත නැඟිටීමේ පොරොන්දුවෙන් දුරු කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලට උන්වහන්සේ අපගේ පීඩාවන් සහ දුබලතා තමන් වෙත භාරගත් බව විශ්වාස කිරීම ඇතුළත් වේ (යෙසායා 53:3-5 බලන්න). ජීවිතයේ අභියෝග හරහා අපට දයානුකම්පිතව සහාය දෙන ආකාරය උන්වහන්සේ උන්වහන්සේගේ අත්දැකීමෙන් දන්නවා (බලන්න ඇල්මා 7:11–12; දහම සහ ගිවිසුම් 122:8). අප ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, දුෂ්කරතා මැදින් ඉදිරියට යාමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.

උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තුළින්, යේසුස් වහන්සේට අපව ශාරීරිකව හා ආත්මිකව සුව කළ හැක. “සෑම සිතිවිල්ලකදීම මා දෙස බලන්න, සැක නොකරන්න, බිය නොවන්න” යන උන්වහන්සේගේ ආරාධනය අප මතක තබා ගන්නා විට අපට උපකාර කිරීමට උන්වහන්සේ සැමවිටම සූදානම්ය. (දහම සහ ගිවිසුම් 6:36).

ක්‍රියාව සහ බලය පිළිබඳ මූලධර්මයක්

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට මඟ පාදයි. අපි අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරන්නේ ආඥා පිළිපැදීමෙන් සහ සෑම දිනකම යහපත කිරීමෙනි. අපි අපේ පව් ගැන පසුතැවිලි වෙමු. අපි උන්වහන්සේට පක්ෂපාත වෙමු. අපි වැඩි වැඩියෙන් උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරමු.

අප ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, අපගේ එදිනෙදා ජීවිතයේදී අපට යේසුස්වහන්සේගේ බලය අත්විඳිය හැක. උන්වහන්සේ අපගේ උපරිම උත්සාහය විශාල කරනු ඇත. උන්වහන්සේ අපට වර්ධනය වීමට සහ පරීක්ෂාවට එරෙහි වීමට උපකාර කරන සේක

අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම

අනාගතවක්තෘ ඇල්මා ඉගැන්වූයේ ඇදහිල්ල ගොඩනැගීම සරල “විශ්වාස කිරීමට ඇති ආශාව” සමඟ ආරම්භ කළ හැකි බවයි (ඇල්මා 32:27). එවිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වර්ධනය වීමට නම්, උන්වහන්සේගේ වචන ඉගෙනීමෙන්, උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමෙන් සහ උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙන් අප එය පෝෂණය කළ යුතුය. ඇල්මා ඉගැන්වූයේ අප ඉවසිලිවන්තව, උනන්දුවෙන් අපගේ හදවත් තුළ දෙවියන් වහන්සේගේ වචනය පෝෂණය කරන විට, “එය මුල් බැස සදාකාල ජීවනය දක්වා හටගන්නා ගසක් මෙන් වනු ඇත” - එමගින් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන බවයි (ඇල්මා 32:41; බලන්න පද 26–43).

ශුද්ධලියවිලි අධ්‍යයනය

ඇදහිල්ල, බලය සහ ගැලවීම

ඇදහිල්ලේ දහම

ඇදහිල්ලේ උදාහරණ

ක්‍රියාවන් සහ කීකරුකම

පසුතැවිල්ල දක්වා ඇදහිල්ල

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

පසුතැවිලි වීම

පසුතැවීම යනු කුමක්ද?

පසුතැවීම ශුභාරංචියේ දෙවන මූලධර්මයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය පසුතැවිලි වීමට අපව යොමු කරයි (හිලමන් 14:13 බලන්න). පසුතැවිලි වීම යනු දෙවියන් වහන්සේ වෙත හැරී පාපයෙන් ඈත් වීමේ ක්‍රියාවලියයි. අපි පසුතැවිලි වන විට, අපගේ ක්රියාවන්, ආශාවන් සහ සිතුවිලි දෙවියන් වහන්සේගේ කැමැත්තට වඩා එකඟ වන පරිදි වෙනස් වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් පාපයට සමාව ලබාගත හැක.

පසුතැවිලි වීම යනු හැසිරීමක් වෙනස් කිරීමට හෝ දුර්වලකමක් ජය ගැනීමට අධිෂ්ඨාන ශක්තිය යෙදවීමට වඩා වැඩි දෙයකි. පසුතැවීම අවංකවම ක්‍රිස්තුස් වහන්සේ වෙත හැරීමයි, උන්වහන්සේ අපගේ හදවත් තුළ “බලවත් වෙනසක්” අත්විඳීමට බලය ලබා දෙයි (ඇල්මා 5:12–14). අප මෙම හදවතේ වෙනස අත්විඳින විට, අපි අධ්‍යාත්මිකව නැවත ඉපදේ (මොසායා 27:24–26 බලන්න).

පසුතැවීම තුළින්, අපි දෙවියන් වහන්සේ, අප සහ ලෝකය පිළිබඳ නැවුම් දැක්මක් වර්ධනය කරමු. දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අප කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපට අලුත් බවක් දැනේ. පසුතැවිලි වීමේ අවස්ථාව දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් තුළින් අපට ලබා දී ඇති උතුම්ම ආශීර්වාදයකි.

පසුතැවිලි වීමේ ක්රියාවලිය

අප පසුතැවිලි වූ විට, අපගේ පාපයන් හඳුනාගෙන සැබෑ කනස්සල්ලක් ඇති වේ. අපි දෙවියන්වහන්සේට අපගේ පව් පාපොච්චාරණය කර උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිමු. අපි පසුතැවිලි වන විට අපට උපකාර කළ හැකි, අධිකාරී බලය ඇති සභාවේ නායකයන්ටද අපි ඉතා බරපතළ පාපයන් පාපොච්චාරණය කරමු. නැවත තිබු තත්වයට පත්කිරීමට අපට කළ හැකි දේ අපි කරන්නෙමු, එයින් අදහස් කරන්නේ අපගේ ක්‍රියාවන් ඇති කළ හැකි ගැටලු නිවැරදි කිරීමට උත්සාහ කිරීමයි. අව්‍යාජ පසුතැවිල්ල වඩාත් හොඳින් පෙන්නුම් කරන්නේ යම් කාල පරිච්ඡේදයක් තුළ සිදු කරන ධර්මිෂ්ඨ ක්‍රියාවලින්.

පසුතැවිලි වීම අපගේ ජීවිත කාලය පුරාම දෛනික ක්‍රියාවලියකි. “සියල්ලන්ම පව් කර ඇත, දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීන වී ඇත” (රෝම 3:23) “අපව ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට සියල්ල කළ හැකි බව” මතක තබා ගනිමින් නොකඩවා පසුතැවිලි විය යුතුය (පිලිප්පි 4:13). “මගේ සෙනඟ පසුතැවිලි වන සෑම විටම මම ඔවුන්ගේ වැරදිවලට ​​සමාව දෙන්නෙමි”බව ස්වාමින්වහන්සේ අපට සහතික කර ඇති සේක(මොසායා 26:30) .

පසුතැවිලි වීමේ ආශීර්වාද

පසුතැවීම සතුට හා සාමය ගෙන දෙන ධනාත්මක මූලධර්මයකි. එය අපව “මිදුම්කරුවාණන්ගේගේ බලය වෙතට, [අපගේ] ආත්මයන්ගේ ගැලවීම කරා” ගෙන එයි (හිලමන් 5:11).

අප පසුතැවිලි වන විට, අපගේ වරද සහ දුක කාලයාගේ ඇවෑමෙන් සුව වේ. ආත්මයාණන්ගේ බලපෑම අපට බහුල ලෙස දැනෙයි. දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට අප තුළ ඇති ආශාව ගැඹුරු ලෙස වර්ධනය වෙයි.

රූපය
සභාපති රසල් එම්. නෙල්සන්

“බොහෝ අය පසුතැවිලි වීම දඬුවමක් ලෙස සලකති—එය වළක්වා ගත යුතු දෙයක්. … නමුත් දඬුවම් ලැබීමේ මෙම හැඟීම ඇති කරනු ලබන්නේ සාතන් විසින්. ඔහු අපව සුව කිරීමට, සමාව දීමට, පිරිසිදු කිරීමට, ශක්තිමත් කිරීමට, පිවිතුරු කිරීමට සහ පවිත්‍ර කිරීමට බලාපොරොත්තු වන සහ විවෘත දෑතින් සිටගෙන සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමෙන් අපව අවහිර කිරීමට උත්සාහ කරයි” (රසල් එම්. නෙල්සන්, “අපට වඩා හොඳින් කළ හැකිය සහ වඩා හොඳ වෙන්න,” ලියහෝනා, } මැයි 2019, 67).

ශුද්ධලියවිලි අධ්‍යයනය

පසුතැවිලි වීම

මිදීම සහ සමාව දීම

පසුතැවිලි වන අයට දයාව

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

රූපය
තරුණ ගැහැණු ළමයෙකු බව්තීස්ම වෙමින්

බව්තීස්මය: දෙවියන් වහන්සේ සමඟ අපගේ පළමු ගිවිසුම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ පසුතැවිල්ල බව්තීස්මය සහ තහවුරු කිරීමේ නියෝග සඳහා අපව සූදානම් කරයි. බව්තීස්මය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පළමු ගැලවීමේ නියෝගයයි. බලාපොරොත්තුවේ මෙම ප්‍රීතිමත් නියෝගය අපට ලැබෙන විට, අපි දෙවියන්වහන්සේ සමඟ අපගේ පළමු ගිවිසුම ඇති කර ගනිමු.

නියෝග යනු පූජකත්වයේ අධිකාරිත්වය විසින් සිදු කරනු ලබන ශුද්ධ ක්රියාවක් හෝ උත්සවයකි. බව්තීස්මය වැනි සමහර නියෝග අපගේ ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වේ.

නියෝග හරහා අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගනිමු. මෙම ගිවිසුම් අප හා දෙවියන්වහන්සේ අතර ඇති පරිශුද්ධ පොරොන්දු වේ. අප උන්වහන්සේ සමඟ අපගේ පොරොන්දු ඉටු කරන විට උන්වහන්සේ අපට ආශීර්වාද කරන බවට පොරොන්දු වේ. දෙවියන්වහන්සේ සමඟ අපගේ පොරොන්දු ඉටු කිරීමට අපට දැඩි කැපවීමක් තිබිය යුතුය.

දෙවියන්වහන්සේ අපට උන්වහන්සේ වෙතට පැමිණ සදාකාල ජීවනය ලබා ගැනීමට උපකාර කිරීම සඳහා නියෝග සහ ගිවිසුම් සපයා ඇත. අපි පූජකත්ව නියෝග ලබාගෙන ඒ ආශ්‍රිත ගිවිසුම් පිළිපදින විට, අපට අපගේ ජීවිත තුළ “දේවභක්තියේ බලය” අත්විඳිය හැකිය (දහම සහ ගිවිසුම් 84:20).

බව්තීස්ම ගිවිසුම

අපට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට බව්තීස්මය අවශ්‍ය බව ගැලවුම්කරුවාණන් ඉගැන්වූ සේක (යොහන් 3:5 බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වීමද අපට අවශ්‍ය වේ. අපගේ ගැලවුම්කරුවාණන් බව්තීස්ම වීමෙන් ආදර්ශයක් විය (මතෙව් 3:13-17 බලන්න).

අප බව්තීස්ම වී අපගේ ගිවිසුම රකින විට, දෙවියන් වහන්සේ අපගේ පව්වලට සමාව දෙන බවට පොරොන්දු වන සේක (ක්‍රියා 22:16; 3 නෙපි 12:1–2 බලන්න). “අපට ප්‍රේම කළ, සහ උන්වහන්සේගේම ලෙයින් අපේ පාපවලින් අපව සෝදාගත්” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් මෙම ශ්‍රේෂ්ඨ ආශීර්වාදය ලබා ගත හැක (එළිදරව් 1:5). දෙවියන් වහන්සේ ද අපට ශුද්ධාත්මයාණන්ගේ ඇසුරෙන් ආශීර්වාද කරන බවට පොරොන්දු වූ සේක, එවිට අපට පවිත්‍ර වීමට, මඟ පෙන්වීමට සහ සැනසීමට හැකි වේ.

බව්තීස්ම ගිවිසුමේ අපගේ කොටසේදී, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැනීමට කැමැත්තෙන් සිටින බවට අපි සාක්ෂි දෙමු. ඒවගේම අපි නිතරම උන්වහන්සේව සිහිකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්න පොරොන්දු වෙනවා. අපි අන් අයට ප්‍රේම කිරීමටත් සේවය කිරීමටත් පොරොන්දු වෙමු, “වැලපෙන අය සමඟ වැලපෙන්න; … සැනසිල්ල අවශ්‍යව සිටින අයව සනසන්න, සහ සෑම විටම සහ සෑම දෙයකදීම සහ සෑම තැනකදීම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සිටීමට” (මොසායා 18:9; 8-10 පද බලන්න. , 13). අපගේ ජීවිතයේ අවසානය දක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමට අපේ අධිෂ්ඨානය ප්‍රකාශ කරමු (දහම සහ ගිවිසුම් 20:37; මොසායා 2:17 බලන්න).

බව්තීස්මය හා සම්බන්ධ අපගේ ගිවිසුම් බැඳීම් විශාල වගකීමකි. ඒවා ද ආශ්වාදජනක හා ප්රීතිමත් ය. ඒවා අප සහ ස්වර්ගික පියාණන් අතර විශේෂ සම්බන්ධතාවයක් ඇති කරයි, එමගින් උන්වහන්සේ සදාකාලිකව තම ආදරය දිගු කරන සේක.

ගිල්වීමෙන් බව්තීස්මය

අපගේ පව් සමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම විය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්වීය (බලන්න දහම සහ ගිවිසුම් 20:72–74). ගිල්වීමෙන් බව්තීස්මය සංකේතවත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැඟිටීම (රෝම 6:3–6 බලන්න).

ගිල්වීමෙන් බව්තීස්මය අපට පෞද්ගලිකව බලවත් සංකේතයක් ද ඇත. එය අපගේ පැරණි ජීවිතයේ මරණය, එම ජීවිතය භූමදාන කිරීම සහ අධ්‍යාත්මික නැවත ඉපදීම තුළ අපගේ මතුවීම නියෝජනය කරයි. අප බව්තීස්ම වූ විට, අපි නැවත ඉපදීමේ ක්‍රියාවලිය ආරම්භ කර ක්‍රිස්තුස් වහන්සේගේ අධ්‍යාත්මික පුතුන් සහ දූවරුන් බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරමු (බලන්න මොසායා 5:7–8; රෝම 8:14–17).

ළමුන්

දරුවන් වගවීමේ වයස අවුරුදු අටක් වන තුරු බව්තීස්ම නොකෙරේ (දහම සහ ගිවිසුම් 68:27 බලන්න). එම වයසට පෙර මිය යන දරුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වන්දිගෙවීම හරහා මුදවා ගනු ලැබේ (බලන්න මොරෝනි 8:4–24; දහම සහ ගිවිසුම් 137:10). දරුවන් බව්තීස්ම වීමට පෙර, ඔවුන්ට ශුභාරංචිය ඉගැන්විය යුතුය, එබැවින් දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීවිතයේ මෙම වැදගත් පියවර සඳහා ඔවුන් සූදානම් වනු ඇත.

සක්‍රමේන්තුව

අපගේ ස්වර්ගීය පියාණන්ට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේ සමඟ කරන ගිවිසුම්වලට විශ්වාසවන්තව සිටීමයි. මෙය කිරීමට අපට උපකාර කිරීම සඳහා, සක්රමේන්තුවට සහභාගි වීම සඳහා නිතර හමුවීමට උන්වහන්සේ අපට අණ කර ඇත. සක්‍රමේන්තුව යනු යේසුස්වහන්සේ උන්වහන්සේගේ වන්දිගෙවීමට ටික වෙලාවකට පෙර තම ප්‍රේරිතවරුන්ට හඳුන්වා දුන් පූජකත්ව ආඥාපනතකි.

සෑම සතියකම සක්‍රමේන්තු රැස්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සක්‍රමේන්තුවට සහභාගී වීමයි. රොටි සහ ජලය ආශීර්වාද කර සභාවට දෙනු ලැබේ. පාන් නියෝජනය කරන්නේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් උන්වහන්සේගේ ශරීරය පූජා කිරීමයි. ජලයෙන් නියෝජනය කරන්නේ උන්වහන්සේ අප වෙනුවෙන් වැගිරවූ උන්වහන්සේගේ රුධිරයයි.

ගැලවුම්කරුවාගේ පූජාව සිහිපත් කිරීම සහ දෙවියන් වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් අලුත් කිරීම සඳහා අපි මෙම ලාංඡනවලට සහභාගී වෙමු. ආත්මයාණන් වහන්සේ අප සමඟ සිටින බවට අපේ පොරොන්දුව අලුත් වේ.

ශුද්ධලියවිලි අධ්‍යයනය

ක්රිස්තුස්වහන්සේගේ ආදර්ශය

බව්තීස්ම ගිවිසුම

බව්තීස්මය සඳහා සුදුසුකම්

බව්තීස්මයේ පොරොන්දු වූ ආශීර්වාද

අධිකාරිය සඳහා අවශ්යතාවය

යේසුස් වහන්සේ සක්රමේන්තුව ස්ථාපිත කරන ලදී

සක්රමේන්තු යාච්ඤා

සක්‍රමේන්තුව ලබාගැනීම

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

රූපය
ක්රිස්තුස්වහන්සේ ස්ත්රිය මත අත් තබයි

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව

ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබා ගැනීම

බව්තීස්මය කොටස් දෙකකින් යුක්ත වේ. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප “ජලයෙන් සහ ආත්මයෙන් ඉපදිය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්වීය (යොහන් 3:5; අවධාරණය එකතු කර ඇත). ජෝසෆ් ස්මිත් ඉගැන්වූයේ, “ජලයෙන් බව්තීස්මය යනු අඩක් බව්තීස්මයක් වන අතර, අනෙක් කොටස නොමැතිව කිසිවකට පලක් නැත—එනම්, ශුද්ධාත්මයාණන්ගේ බව්තීස්මය” (සභාවේ සභාපතිවරුන්ගේ ඉගැන්වීම්: ජෝසෆ් ස්මිත් [2007], 95).

ජලයෙන් බව්තීස්මය සම්පූර්ණ වීමට ආත්මයේ බව්තීස්මය අනුගමනය කළ යුතුය. අපි බව්තීස්ම දෙකම ලබන විට, අප අපගේ පව්වලින් පවිත්ර වී ආත්මිකව නැවත ඉපදේ. ඉන්පසු අපි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් ලෙස නව අධ්‍යාත්මික ජීවිතයක් ආරම්භ කරමු.

අපි ආත්මයෙන් බව්තීස්මය ලබා ගන්නේ ස්ථිර කිරීම නම් නියෝගය හරහාය. මෙම නියෝගය සිදු කරනු ලබන්නේ අපගේ හිස මත අත් තබා සිටින එක් පූජකත්වය දරන්නෙකු හෝ කිහිප දෙනෙකු විසිනි. පළමුව ඔවුන් අපව සභාවේ සාමාජිකයෙකු බව ස්ථිර කර, පසුව ඔවුන් අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබා දෙනවා. නව ගිවිසුමේ සහ මෝර්මන්ගේ පොතේ සඳහන් කර ඇති එකම නියෝගය මෙයයි (see ක්‍රියා 8:14–17; 3 නෙපි 18:36–37බලන්න).

ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දේවශීර්ෂයේ තුන්වන සාමාජිකයායි. උන්වහන්සේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ එකමුතුව ක්‍රියා කරයි. අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබුණු විට, අප විශ්වාසවන්තව සිටින විට අපගේ ජීවිත කාලය පුරාවටම උන්වහන්සේගේ සහකාරීත්වය ලබා ගත හැක.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට ආශීර්වාද කරන ආකාරය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ස්වර්ගික පියාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගයකි. ශුද්ධාත්මයාණන්වහන්සේ අපව පිරිසිදු කර පවිත්‍ර කරයි, අපව වඩාත් ශුද්ධ, වඩාත් සම්පූර්ණ, දෙවියන් වහන්සේ මෙන් කරයි (බලන්න 3 නෙපි 27:20). අප දෙවියන් වහන්සේගේ උපදේශ අනුගමනය කිරීමට උත්සාහ කරන විට උන්වහන්සේ අපට වෙනස් වීමට සහ ආත්මිකව වර්ධනය වීමට උපකාර කරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට සත්‍යය ඉගෙන ගැනීමට සහ හඳුනා ගැනීමට උපකාර කරයි (මොරෝනි 10:5 බලන්න). උන්වහසේ අපගේ හදවත්වලට සහ මනසට සත්‍යයද තහවුරු කරයි. ඊට අමතරව, ශුද්ධාත්මයාණන්වහන්සේ අපට සත්‍යය ඉගැන්වීමට උපකාර කරයි (දහම සහ ගිවිසුම් 42:14 බලන්න). අපි ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් සත්‍යය ඉගෙන ගෙන උගන්වන විට, උන්වහන්සේ එය අපගේ හදවත් වෙත ගෙන යයි (2 නෙපි 33:1 බලන්න).

අපි නිහතමානීව ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීමක් සොයන විට, උන්වහන්සේ අපට මඟ පෙන්වයි (2 නෙපි 32:5 බලන්න). අපට අන් අයට සේවය කළ හැකි ආකාරය ගැන අපව පෙලඹවීම මෙයට ඇතුළත් වේ.

දුර්වලකමෙන් මිදීමට අපට උපකාර කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ ආත්මික ශක්තිය සපයයි. පරීක්ෂාවලට එරෙහිව සිටීමට උන්වහන්සේ අපට උපකාර කරයි. ආත්මික හා භෞතික අවදානම් ගැන අපට අනතුරු ඇඟවීමට උන්වහන්සේට හැකිය.

ජීවිතයේ අභියෝග ජය ගැනීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට උපකාර කරනු ඇත. උන්වහන්සේ අපව පරීක්ෂාවෙන් හෝ දුක්ඛිත කාලවලදී බලාපොරොත්තුවලින් පුරවාලමින් අපව සනසනු ඇත (මොරෝනි 8:26 බලන්න). ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන, දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය අපට දැනිය හැක.

ශුද්ධලියවිලි අධ්‍යයනය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ස්වභාවය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආශීර්වාද සහ බලපෑම

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවෙහි වැදගත්කම

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

රූපය
දරුවන් අල්ලාගෙන සිටින යේසුස්වහන්සේ

අවසානය දක්වා විඳදරා ගැනීම

අපි බව්තීස්ම වී ස්ථිර කළ විට, අපි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුල් වෙමු. අනෙකුත් දේවල් අතර, අපි උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් අපගේ ජීවිත කාලය පුරාම උන්වහන්සේට සේවය කිරීමටත් පොරොන්දු වෙමු (මොසායා 18:8–10, 13; දහම සහ ගිවිසුම් 20:37බලන්න).

බව්තීස්මය සහ ස්ථිර කිරීම තුළින් අපි ශුභාරංචිය මාර්ගයට ඇතුළු වූ පසු, අපි එය මත රැඳී සිටීමට සෑම උත්සාහයක්ම ගන්නෙමු. අපි ටිකක් හෝ මාර්ගයෙන් ඉවත් වූ විට, පසුතැවිලි වීමට ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරමු. පසුතැවිල්ලේ ආශීර්වාදය අපට ශුභාරංචිය මාර්ගයට ආපසු යාමට සහ දෙවියන් වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම්වල ආශීර්වාද රඳවා ගැනීමට ඉඩ සලසයි. අපි අවංකව පසුතැවිලි වන විට, දෙවියන් වහන්සේ සැමවිටම අපට සමාව දීමට සහ නැවත පිළිගැනීමට කැමැත්තෙන් සිටී.

අවසානය දක්වා විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ හොඳ කාලයන් සහ දුෂ්කර කාලවලදී, සමෘද්ධිය සහ විපත්ති වලදී— අපගේ ජීවිතයේ අවසානය දක්වා දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටීමයි. අපි නිහතමානීව ක්‍රිස්තුස්වහන්සේට අපව හැඩගස්වා ගැනීමට සහ අපව උන්වහන්සේ හා සමාන කිරීමටත් ඉඩ දෙන්නෙමු. අපගේ ජීවිතයට කුමක් සිදු වුවද ඇදහිල්ලෙන්, විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ දෙස බලා සිටිමු.

අවසානය දක්වා විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ අප මිය යන තුරුම අල්ලාගෙන සිටීම පමණක් නොවේ. ඒ වෙනුවට, එයින් අදහස් කරන්නේ අපගේ ජීවිත, සිතුවිලි සහ ක්‍රියාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමු කිරීමයි. සෑම දිනකම ක්‍රිස්තුස් වහන්සේ තුළ දිගටම ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම එයට ඇතුළත් වේ. අපි දිගටම පසුතැවිලි වී, දෙවියන් වහන්සේ සමඟ අපගේ ගිවිසුම් තබා, සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහකාරිත්වය සොයමු.

අවසානය දක්වා විඳදරාගැනීමට “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරභාවයකින් යුතුව, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින් සහ දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන් ඉදිරියට [යන්න]” ඇතුළත් වේ. අප අවසානය දක්වා විඳදරාගන්නා විට, අපට “සදාකාල ජීවනය ලැබෙනු ඇති” බව අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ පොරොන්දු වේ.(2 නෙපි 31:20)

ශුද්ධලියවිලි අධ්‍යයනය

අවසානය දක්වා විඳදරා ගැනීම

විඳදරාගන්නා අයට ආශීර්වාද

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

රූපය
පවුලක් සිනාසෙමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආශීර්වාද කරයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සියලු දෙවියන්වහන්සේගේ දරුවන් සඳහාය. අපගේ පසුබිම හෝ තත්වය කුමක් වුවත් “දෙවියන්වහන්සේට සියල්ලෝම සමාන” බව ශුද්ධ ලියවිලිවල උගන්වයි. උන්වහන්සේ ආරාධනා කරන්නේ “සියල්ලන්ටම උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමේ පංගුකාරයන් වන ලෙසය. උන්වහන්සේ තමා වෙත එන කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරයි” (2 නෙපි 26:33).

ශුභාරංචිය අපගේ මැරෙන සුළු ජීවිත කාලය පුරාම සහ සදාකාලිකව අපට ආශීර්වාද කරයි. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වන විට—පුද්ගලයන් වශයෙන් මෙන්ම පවුල් වශයෙන්ද— සතුටින් සිටීමට බොහෝ දුරට ඉඩ ඇත (බලන්න මොසායා 2:41; “පවුල: ලෝකයට ප්‍රකාශයක්,” ChurchofJesusChrist.org). ශුභාරංචිය තුල ජීවත්වීම අපගේ ප්‍රීතිය ගැඹුරු කරයි, අපගේ ක්‍රියාවන් ආස්වාදය කරයි, සහ අපගේ සබඳතා පොහොසත් කරයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට අනුව ජීවත් වීමෙන් අපට ශාරීරිකව හෝ අධ්‍යාත්මිකව හානි කරන තේරීම් කිරීමෙන්ද අපව ආරක්ෂා කළ හැක. පීඩා සහ ශෝක කාලවලදී ශක්තිය සහ සැනසීම සොයා ගැනීමට එය අපට උපකාර කරයි. එය ප්‍රීතිමත් සදාකාලික ජීවිතයකට මඟ සලසා දෙයි.

නැවත පිහිටුවන ලද ශුභාරංචියේ එක් ශ්‍රේෂ්ඨ පණිවිඩයක් නම් අප සියල්ලෝම දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් වීමයි. අපි උන්වහන්සේගේ ආදරණීය දූවරුන් හා පුතුන් වෙමු. පොළොවේ අපගේ පවුල් තත්ත්වය කුමක් වුවත්, අප සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයෙකි.

අපගේ පණිවිඩයේ තවත් විශිෂ්ට කොටසක් වන්නේ සදාකාලිකව පවුල්වලට එක්සත් විය හැකි බවයි. පවුල දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත. ස්වර්ගීය පියාණන්ගේ ප්‍රිතීයේ සැලැස්ම පවුල් සබඳතා සොහොනෙන් ඔබ්බට ඉදිරියට යාමට හැකි වේ. පූජනීය දේවමාළිගාවේ නියෝග සහ ගිවිසුම් මගින් පවුල්වලට සදහටම එකට සිටීමට හැකි වේ.

ශුභාරංචියේ ආලෝකය තුළින් පවුල්වලට වැරදි වැටහීම්, මතභේද සහ අභියෝග විසඳා ගත හැකිය. අසමගියෙන් වෙන්වුන පවුල් පසුතැවිලි වීම, සමාව දීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය කෙරෙහි ඇදහිල්ල තුළින් සුවපත් කළ හැක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ශක්තිමත් පවුල් සබඳතා වර්ධනය කර ගැනීමට අපට උපකාර කරයි. ශුභාරංචියේ මූලධර්ම ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට හොඳම ස්ථානය නිවසයි. ශුභාරංචි ප්‍රතිපත්ති මත පිහිටුවා ඇති නිවසක් රැකවරණය සහ සුරක්ෂිත ස්ථානයක් වනු ඇත. එය ස්වාමීන්වහන්සේගේ ආත්මය වාසය කළ හැකි ස්ථානයක් වනු ඇත.

ශුද්ධලියවිලි අධ්‍යයනය

මෙම මූලධර්මය ගැන තවත් ඉගෙනගන්න

  • ශුද්ධ ලියවිල්ලට මාර්ගෝපදේශය: “ශුභාරංචිය

  • පවුල: ලෝකයට ප්‍රකාශයක්

  • ප්‍රධාන අත්පොත, පරිච්ඡේද 2 සහ 16

  • ශුභාරංචි මාතෘකා: “ශුභාරංචිය,” “පවුල

කෙටි සිට මධ්‍යම දක්වා පාඩම් දළ සටහන

පහත දැක්වෙන දළ සටහන ඔබට ඇත්තේ කෙටි කාලයක් පමණක් නම්, ඔබට යමෙකුට ඉගැන්විය හැකි දේ පිළිබඳ දළ සටහනකි. මෙම දළ සටහන භාවිතා කරන විට, ඉගැන්වීමට මූලධර්ම එකක් හෝ කිහිපයක් තෝරන්න. එක් එක් මූලධර්ම සඳහා දහමේ පදනම පාඩමෙහි කලින් සපයනු ලැබේ.

ඔබ උගන්වන විට, ප්රශ්න අසන්න සහ සවන් දෙන්න. මිනිසුන්ට දෙවියන්වහන්සේට ළං වන ආකාරය ඉගෙන ගැනීමට උපකාර වන ආරාධනා දිගු කරන්න. මෙම පුද්ගලයාට එක් වැදගත් ආරාධනයක් වන්නේ ඔබව නැවත හමුවීමටයි . පාඩමේ කාල ප්රමාණය තීරණය වන්නේ ඔබ අසන ප්‍රශ්න සහ ඔබ සවන්දීම මතයි.

රූපය
ධර්මදූතයින් කාන්තාවකට උගන්වනවා

විනාඩි 3-10 තුළ ඔබට මිනිසුන්ට ඉගැන්විය හැකි දේ

  • දෙවියන් වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේව පොළොවට එව්වේ අපව පාපයෙන් හා මරණයෙන් මුදවා ගැනීමටයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු ක්‍රියාවේ සහ බලයේ මූලධර්මයක්. අපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ ශක්තිමත් කිරීමේ බලය අත්විඳීමට ඇදහිල්ල අපට උපකාර කරයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පසුතැවිලි වීමට අපව යොමු කරයි. පසුතැවිලි වීම යනු දෙවියන් වහන්සේ වෙත හැරී පාපයෙන් ඈත් වීමේ ක්‍රියාවලියයි. අපි පසුතැවිලි වන විට, අපගේ ක්රියාවන්, ආශාවන් සහ සිතුවිලි දෙවියන් වහන්සේගේ කැමැත්තට වඩා එකඟ වන පරිදි වෙනස් වේ.

  • අපි පසුතැවිලි වන විට, දෙවියන් වහන්සේ අපට සමාව දෙන සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පව්වලට වන්දි ගෙවූ නිසා සමාව ලැබිය හැකිය.

  • බව්තීස්මයේ කොටස් දෙකක් ඇත: බව්තීස්මය ජලයෙන් සහ ආත්මයෙන්. අප බව්තීස්ම වී ස්ථීර කළවිට, අපගේ පව්වලින් අප පවිත්‍ර කරනු ලබන අතර, අපට ජීවිතයේ නව ආරම්භයක් ලබා දෙයි.

  • අප ජලයෙන් බව්තීස්ම වූ පසු, ස්ථිර කිරීමේ නියෝගය හරහා අපට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබේ.

  • අපගේ ජීවිතයේ අවසානය දක්වා අප විශ්වාසවන්තව ශුභාරංචිය අනුගමනය කරන විට, අපට සදාකාල ජීවනය ලැබෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වේ.

මුද්‍රණය කරන්න