2010–2019
අපගේ පොරොන්දු හා ගිවිසුම් අනුව නැගීසිටීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ පොරොන්දු හා ගිවිසුම් අනුව නැගීසිටීම

ඔබේ වචනය ඔබේ බැඳීම බව දැන, ස්වාමින්වහන්සේ හා වෙනත් අය සමග ඔබ කරන පොරොන්දු හා ගිවිසුම් ඉතා අවංකව සලකා බලන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

සහෝදර සහෝදරියනි, මෙම සැසිවාරය අවසන් වන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ සත්‍යතාවන් පිළිබඳව අද බෙදාගත් සාක්ෂිය අපගේ හදවත් තුළ තබාගනිමු. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අප සේවකයන් බවත් උන්වහන්සේ අපගේ ගැළවුම්කරුවාණන් බවත් අපගේ පොරොන්දුව ශක්තිමත් කිරීම සඳහා මෙම පූජනීය කාලය එකට තිබීම අපට භාග්‍යයකි.

පොරොන්දු සහ ගිවිසුම් ඇතිකර ගැනීමේ වැදගත්කම මගේ මනසට බරින්ම දැනෙනවා. ඔබේ වචනය රක්ෂා කිරීම? විශ්වාසවන්ත වීම? ඔබ කරනවා යැයි කියන දේ කිරීම? ඔබේ පරිශුද්ධ ගිවිසුම්වලට ගරු කිරීමට උත්සාහ කිරීම? අඛණ්ඩතාව ඇතිකර ගැනීම? ඔබට කොතරම් වැදගත්ද? ස්වාමින්වහන්සේට සහ අන් අයට අප දුන් පොරොන්දු වලට එකඟව ජීවත් වීමෙන්, අපි ගිවිසුම් මාර්ගයේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වෙත ආපසු යන අතර අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ ප්‍රේමය අපට දැනේවි.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු හා ගිවිසුම් ඇති කරගැනීමේදී අපට ඇති විශිෂ්ට ආදර්ශයයි. පියාණන්වහන්සේගේ කැමැත්ත කරන බවට පොරොන්දු වෙමින් උන්වහන්සේ පොළොවට පැමිණියා. උන්වහන්සේ සුභාරංචි මූලධර්ම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඉගැන්වූවා. අප නැවත ජීවත් වන පිණිස උන්වහන්සේ අපගේ පව් වෙනුවෙන් වන්දිගෙව්වා. උන්වහන්සේගේ සෑම පොරොන්දුවකටම උන්වහන්සේ ගෞරව කර තිබෙනවා.

අප සෑම කෙනෙකු ගැනම එසේ පැවසිය හැකිද? අපි ටිකක් වංචා කළොත්, ටිකක් ලිස්සා ගියොත් හෝ අපගේ කැපවීම් ඉටුනොකරන්නේ නම් ඇතිවිය හැකි අනතුරු මොනවාද? අපි අපේ ගිවිසුම්වලින් ඉවතට ඇවිද ගියොත්? අපගේ ආදර්ශයේ ආලෝකයට අනුව අන් අය ක්‍රිස්තුස්වහන්සේ වෙතට එයිද? ඔබේ වචනය ඔබේ බැඳීමද? පොරොන්දු ඉටුකිරීම පුරුද්දක් නොවේ; එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීමේ ලක්ෂණයක්.

ලෞකික ජීවිතයේ අපගේ දුර්වලතා ගැන නිතරම සිහියේ තබා, ස්වාමින්වහන්සේ පොරොන්දු වූයේ, “ධෛර්යවත් වන්න, බිය නොවන්න. මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම ඔබ සමග සිටිමි, ඔබ ළඟ සිටිමි.”1 සැනසිල්ල, සැනසීම හෝ වැඩි අධ්‍යාත්මික අවබෝධයක් හෝ ශක්තියක් අවශ්‍ය වූ විට උන්වහන්සේගේ පැමිණීම මට දැනී ඇති අතර, මම අතිශයින් නිහතමානී වී ඇති අතර උන්වහන්සේගේ දිව්‍ය මිත්‍රත්වයට ස්තූතිවන්ත වෙනවා.

ස්වාමින්වහන්සේ මෙසේ කීවා: “සිය පාප අත්හැර මා වෙතට පැමිණ මාගේ නාමයට කතා කොට මාගේ හඬට කීකරු වී මාගේ අණ පණත් පිළිපදින සෑම ආත්මයක්ම මාගේ මුහුණ දැක මා, මා බව දැනගන්නේය.”2 එය සමහරවිට උන්වහන්සේගේ අවසාන පොරොන්දුව විය හැකිය.

මගේ යෞවන කාලය තුළ මගේ වචනය රඳවාගැනීමේ වැදගත්කම මම ඉගෙනගත්තා. බාලදක්ෂ දිවුරුම කියවීමට මා අවධානය සහිත නැගිට සිටීම එවැනි එක් උදාහරණයක්. ඇමරිකාවේ බෝයි බාලදක්ෂයන් සමග අපගේ ඇසුර, දැන් නිගමනය කර ඇති පරිදි, මට සහ මෙම සභාවට සෑමවිටම වැදගත් උරුමයක් වනවා. බාලදක්ෂ සංවිධානයට, බාලදක්ෂ නායකයන් ලෙස කඩිසරව සේවය කළ පිරිමින්ට සහ කාන්තාවන්ට, මවුවරුන්ට - සැබෑ ගෞරවය හිමිවෙනවා - එමෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයට සහභාගී වූ තරුණ පිරිමි ළමුන්ට, “ස්තූතියි” කියා අපි කියනවා.

මෙම සැසිවාරයේදී අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන් සහ වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් යෞවනයන් කෙරෙහි අපගේ අවධානය යොමුකරන සහ හෙළිදරව් කළ සත්‍යය සමග අපගේ සංවිධාන පෙළගැස්විය හැකි වෙනස් කිරීම් ප්‍රකාශයට පත්කළා. මීට අමතරව, පසුගිය ඉරිදා සභාපති රසල් එම්. නෙල්සන් සහ සභාපති එම්. රසල් බැලර්ඩ් විසින් සමස්ත සභාව සඳහාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ නව දරුවන් හා යෞවනයන් සඳහා වැඩසටහන් පැහැදිලි කරන ලදි. එය අපගේ ස්වාමීන් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ ලෝක ව්‍යාප්ත මුලපිරීමකි. පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය මෙම නව දිශාවට එක්සත්වී ඇති අතර, ස්වාමින්වහන්සේ අපට සෑම පියවරකදීම මගපෙන්වූ බවට මා පෞද්ගලිකව සාක්ෂි දරනවා. සුභාරංචි ඉගෙනීම, සේවය සහ ක්‍රියාකාරකම් සහ පුද්ගලික සංවර්ධනය තුළින් නිවසේදී සහ සභාවේදී ඔවුන් කෙරෙහි මෙම ඒකාබද්ධ අවධානය අත්විඳීමට සභාවේ දරුවන්ට සහ තරුණයින්ට හැකිවීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා.

මෙම එළඹෙන 2020 වර්ෂය සඳහා වන තරුණ තේමාව, “ගොස් කරන්න” යන නෙපිගේ සම්භාව්‍ය පොරොන්දුව ගැන කතා කරනවා. ඔහු මෙසේ ලිව්වා; “තවද එය මෙසේ සිදුවිය, මම නෙපි මගේ පියාට මෙසේ කීවෙමි: මම ගොස් ස්වාමින්වහන්සේ මට ආඥා කළ දේ කරන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ආඥා කළ දේ සම්පූර්ණ කරනු පිණිස මාර්ගයක් පිළියෙල කොට මිස උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට ආඥා නොපමුනුවන බව දන්නෙමුව.”3 බොහෝ කලකට පෙර පවසා තිබුණද, සභාවේ අපි අද එම පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටිනවා.

“ගොස් කරන්න” යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ මාර්ගවලට වඩා ඉහළට නැගීම, පුද්ගලික එළිදරව් කිරීම් ලැබීම සහ ඒවා මත ක්‍රියාකිරීම, අනාගතය පිළිබඳ බලාපොරොත්තුව හා ඇදහිල්ලෙන් ධර්මිෂ්ට ලෙස ජීවත්වීම, ලෝකයේ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා ගිවිසුම් ඇති කරගැනීම සහ තබාගැනීම සහ එමඟින් උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය වැඩි කිරීමයි.

ගිවිසුමක් යනු අප සහ ස්වාමින්වහන්සේ අතර ඇති දෙයාකාර පොරොන්දුවක්. සභාවේ සාමාජිකයන් වශයෙන් අපි බෞතීස්ම වීමට ගිවිසුමක් ඇතිකරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙතට ගෙන, උන්වහන්සේ ජීවත් වූ ආකාරයට ජීවත් වීමටයි. “එනම් ඒවා සැහැල්ලු වන පිණිස එකිනෙකාගේ බර ඉසිලීමට කැමැත්තද; එසේය ශෝකවන්නන් සමග එනම් ශෝකවීමට කැමැත්තද; එසේය තවද සැනසිල්ල අවශ්‍යවන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුලෙහිද, තවද නුඹ සිටින්නාවූ සියලු ස්ථානයන්හි දෙවියන්වහන්සේට සාක්ෂිකරුවෙන්ක නැගීසිටීමටද” මෝර්මොන් වතුරේ බෞතීස්ම වූ අය මෙන්, අපි උන්වහන්සේගේ සෙනග වීමට මෙසේ ගිවිසුමක් ඇතිකරගන්නවා,4 සභාවේ අප එකිනෙකාට දේවසේවය කිරීම එම පොරොන්දු වලට ගරු කිරීමට අප දක්වන කැපවීම පිළිබිඹු කරනවා.

අපි සක්‍රමේන්තුවට සහභාගි වන විට, උන්වහන්සේගේ නාමය අප වෙත ගෙනයාමට සහ වැඩිදියුණු කිරීම සඳහා අමතර පොරොන්දු දීමට අපි එම ගිවිසුම අලුත් කරනවා. විශාල හා කුඩා යන අපගේ දෛනික සිතුවිලි සහ ක්‍රියාවන් උන්වහන්සේ කෙරෙහි අපගේ කැපවීම පිළිබිඹු කරනවා. උන්වහන්සේ ආපසු අපට ලබාදෙන පරිශුද්ධ පොරොන්දුව මෙයයි, “ඔබ සැමවිටම මා සිහි කළහොත් මාගේ ආත්මය ඔබ සමග සිටිනු ඇත.”5

අද මගේ ප්‍රශ්නය වන්නේ අප අපගේ පොරොන්දු හා ගිවිසුම් වලට එකඟද නැතහොත් ඒවා සමහර විට අර්ධ හෘදයාංගම කැපවීම්, අහම්බෙන් සිදුකරන ලද ඒවා නිසා පහසුවෙන් බිඳී යා හැකිද? “මම ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නම්” කියා අප යමෙකුට පැවසූ විට අපි එසේ කරනවාද? “මම උදව් කිරීමට එහි එන්නම්” කියා අපි කැප වූ විට අපි එසේ කරනවාද? ණයක් ගෙවීමට අප බැඳී සිටින විට, අපි එසේ කරනවාද? සෙසු සාමාජිකයෙකු නව ඇමතුමකදී සහයෝගය ලබාදීමට ස්ථීර කිරීම සඳහා අපි දෑත් ඔසවන විට, අපි එසේ කරනවාද?

මගේ යෞවන කාලයේ එක් සැන්දෑවක මගේ අම්මා මාත් සමග ඇඳේ පාමුල ඉඳගෙන ඥානයේ වචනය ජීවත්වීමේ වැදගත්කම ගැන ඕනෑකමින් කතා කළා. ඇය මෙසේ කිව්වා, “අධ්‍යාත්මිකභාවය හා සංවේදීතාව නැතිවීම ඥාණයේ වචනය අනුගමනය නොකිරීම නිසා ඇතිවන බව මීට වසර ගණනාවකට පෙර සිටම අන් අයගේ අත්දැකීම් වලින් මම දැනගත්තා.” ඇය මගේ දෑස් දෙස බැලූ විට ඇගේ වචන මගේ හදවතට විනිවිද යන බවක් මට දැණුනා: “රොනී, අද මට පොරොන්දු වන්න [ඇය මාව රොනී ලෙස හැඳින්වූවා], ඔබ සැමවිටම ඥානයේ වචනය අනුව ජීවත් වන බවට.” මම ඇයට එම පොරොන්දුව නිසැකවම දුන් අතර, මේ අවුරුදු ගණනාව පුරාම මම එය ඉටුකර තියෙනවා.

මගේ තරුණ අවධියේ මිතුරන් සමග සිටියදීත්, පසුකාලීනව මම ව්‍යාපාර කවයන් තුළ එම ද්‍රව්‍ය නිදහසේ ගලා යන විටත් එම කැපවීම මට බෙහෙවින් ඉවහල් වුණා. දෙවියන්වහන්සේගේ නීති පිළිපැදීමට මම කල්තියාම තීරණයක් ගත් අතර මට එය නැවත බැලීමට අවශ්‍ය වුණේ නෑ. ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා: “මා කියන දේ ඔබ කරන විට, ස්වාමින්වහන්සේ වන මම බැඳීසිටිමි, නමුත් මා කියන දේ ඔබ නොකරන විට ඔබට පොරොන්දුවක් නැත.”6 ඥානයේ වචනය පිළිපදින අයට උන්වහන්සේ කියන්නේ කුමක්ද? සෞඛ්‍යය, ශක්තිය, ප්‍රඥාව, දැනුම සහ අපව ආරක්ෂා කිරීම සඳහා දේවදූතයන් පිළිබඳ පොරොන්දුව අපට ලැබෙනවා.7

මීට වසර කිහිපයකට පෙර, රස්බන්ඩ් සහෝදරිය සහ මම අපේ දියණියකගේ මුද්‍රා තැබීම සඳහා සෝල්ට් ලේක් දේවමාළිගාවේ සිටියා. උත්සවයට සහභාගි වීමට තරම් වයස නොවූ බාල දියණියක් සමග අපි දේවමාළිගාවෙන් පිටත සිටගෙන සිටියදී, දෙවියන්වහන්සේගේ ශුද්ධවූ දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ වැදගත්කම ගැන අපි කතා කළා. මීට වසර ගණනාවකට පෙර මගේ මව මට ඉගැන්වූ පරිදි, අපි අපේ දියණියට මෙසේ කිව්වා, “ඔබ දේවමාළිගාවේ ආරක්ෂිතව මුද්‍රා තැබීමට අපට අවශ්‍යයි. ඔබේ සදාකාලික සහකරු සොයාගත් විට, ඔබ ඔහු සමග දේවමාළිගාවේ මුද්‍රා තැබීමට දිනයක් නියම කරන බවට ඔබ අපට පොරොන්දු විය යුතුයි.” ඇය අපට ඇගේ වචනය දුන්නා.

රූපය
වැඩිහිටි රස්බැන්ඩ්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා

එතැන් සිටම අපගේ කතාව සහ ඇගේ පොරොන්දුව ඇයව ආරක්ෂා කළ බවත් “වඩාත්ම වැදගත් දේ” ඇයට මතක් කර දුන් බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. ඇය දේවමාළිගාවේදී තම ස්වාමිපුරුෂයාට මුද්‍රාවී පසුව පූජනීය ගිවිසුම් ඇති කරගත්තා.

සභාපති නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා: “අපි පරිශුද්ධ ගිවිසුම් ඇති කරගෙන එම ගිවිසුම් නිරවද්‍ය ලෙස තබාගන්නා විට අපගේ ජීවිත තුළ ගැළවුම්කරුවාණන්ගේ බලය වැඩි කරගන්නෙමු. අපගේ ගිවිසුම් අපව උන්වහන්සේට බැඳ තබා දිව්‍යමය බලය ලබාදෙයි.”8

අප එකිනෙකාට පොරොන්දු ඉටුකරන විට අපිට ස්වාමින්වහන්සේට පොරොන්දු ඉටුකිරීමට වැඩි ඉඩක් ඇත. ස්වාමින්වහන්සේගේ වචන මතක තබාගන්න, “සැබවක් ඔබ සැමට කියමි - මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටය.”9

ශුද්ධලියවිල්ලෙහි පොරොන්දු පිළිබඳ උදාහරණ මා සමග මෙනෙහි කරන්න. මෝර්මොන්ගේ පොතෙහි ඇමොන් සහ මොසායාගේ පුත්‍රයෝ “දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට කැප වූහ.”10 ඇමොන්ව ලාමන්වරුන්ගේ හමුදාවන් විසින් අල්ලා ගන්නා විට ඔහුව ලාමන්වරුන්ගේ රජු වන ලැමෝනි ඉදිරියේ ගෙන යනු ලැබුවා. “මම ඔබේ සේවකයා වන්නෙමි” කියා ඔහු රජුට කැපවුණා.11 රජුගේ බැටළුවන් සොරකම් කිරීමට වැටලීම්කරුවන් පැමිණි විට, ඇමොන් ඔවුන්ගේ දෑත් කපා දැම්මා. රජු පුදුමයට පත්වී, ඇමොන්ගේ සුභාරංචිය පණිවිඩයට සවන්දුන් අතර, ඔහු හැරුණා.

“ඔබ යන තැනට මම යන්නෙමි” යනුවෙන් පරණ ගිවිසුමේ රූත් ඇගේ නැන්දම්මාට පොරොන්දු වුණා.12 ඇය ඇගේ වචනයට එකඟව ජීවත් වුණා. යහපත් සමරිතානුවරයා අළුත් ගිවිසුමේ උපමාවක, තුවාල වූ සංචාරකයා රැකබලා ගන්නේ නම්, “ඔබ වැඩිපුර වියදම් කළත්, මම නැවත පැමිණෙන විට මම ඔබට වන්දි ගෙවන්නෙමි” ලෙස තානායම්කරුට පොරොන්දු වුණා.13 මෝර්මොන්ගේ පොතේ සෝරම්, නෙපි සහ ඔහුගේ සහෝදරයන් සමග පාළුකරයට යන බවට පොරොන්දු වුණා. “සෝරම් අපට දිවුරුම් දුන් විට, ඔහු ගැන අපගේ බිය පහව ගියා” ලෙස නෙපි විස්තර කළා.14

“දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හැරෙනු ඇත” යන ශුද්ධලියවිල්ලෙහි විස්තර කර ඇති පරිදි “පියවරුන්ට දුන්” පුරාණ පොරොන්දුව ගැන කුමක් කිව හැකිද?15 පොළවට පෙර ජීවිතයේදී, අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම තෝරාගන්නා විට, තිරය දෙපස ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කිරීමට අපි පොරොන්දුවක් දුන්නෙමු. මීට වසර ගණනාවකට පෙර වැඩිහිටි ජෝන් ඒ. විඩ්සෝ පැහැදිලි කළේ “අපි ස්වාමින්වහන්සේ සමග හවුල්කාරිත්වයකට ගියෙමු” ලෙසයි. “සැලැස්ම ක්‍රියාත්මක කිරීම එවකට හුදෙක් පියාණන්ගේ කාර්යය සහ ගැලවුම්කරුවාණන්ගේ කාර්යය පමණක් නොව අපගේ කාර්යය බවටද පත්වුණා”16

“අද එකතුකිරීම පොළොවේ සිදුවන වැදගත්ම දෙයයි,” ලෙස සභාපති නෙල්සන් ලොව වටා සංචාරය කරද්දී පැවසුවා. “අපි එකතුකිරීම ගැන කතා කරන විට, අපි හුදෙක් මෙම මූලික සත්‍යය කියමු: තිරය දෙපස සිටින අපගේ ස්වර්ගික පියාණන්ගේ සෑම දරුවෙකුටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචියේ පණිවිඩය ඇසීමට අවශ්‍යය.”17

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙකු වශයෙන් මම ආරාධනයෙන් හා පොරොන්දුවෙන් අවසන් කරනවා. පළමුව ආරාධනය: ඔබේ වචනය ඔබේ බැඳීම බව දැන, ස්වාමින්වහන්සේ හා වෙනත් අය සමග ඔබ කරන පොරොන්දු හා ගිවිසුම් ඉතා අවංකව සලකා බලන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දෙවනුව, මම ඔබට පොරොන්දු වෙනවා, ඔබ මෙය කරන විට, ඔබේ ජීවිත, ඔබේ පවුල් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ගොඩනැගීමට ඔබ වෙහෙස නොබලා වෙහෙස මහන්සි වී වැඩ කරන විට ස්වාමින්වහන්සේ ඔබේ වචන ස්ථාපිත කර ඔබගේ ක්‍රියාවන්ට අනුමැතිය ලබාදෙනු ඇත. උන්වහන්සේ ඔබ සමග සිටිනු ඇත, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබට විශ්වාසයෙන් යුතුව “ස්වර්ගයට පිළිගැනීමට බලා‍පොරොත්තු විය හැකිය, එමගින් [ඔබට] දෙවියන්වහන්සේ සමග සදාකාලික සතුටින් වාසය කළ හැකිය. එය දෙවියන්වූ ස්වාමින්වහන්සේ විසින් කතා කර ඇත.”18

මේ ගැන මම සාක්ෂි දරන්නේ ඒ වගේම පොරොන්දු වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න