2010–2019
වලාකුළු සහ හිරු එළිය තුලින්, ස්වාමිනී, මා සමග සිටින්න!
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


වලාකුළු සහ හිරු එළිය තුලින්, ස්වාමිනී, මා සමග සිටින්න!

අපගේ “පීඩා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් ගිලදැමිය හැකි” වන පිණිස, “වලාකු හා හිරු එළිය තුලින්” ස්වාමින්වහන්සේ අප සමග සිටින බවට මම සාක්ෂි දෙනවා.

අපගේ ආදරණීය ගීතිකාවලින් එකක් “වලාකුළු සහ හිරු එළිය තුලින්, ස්වාමිනී, මා සමග සිටින්න!” යන ආයාචනය ප්‍රකාශ කරනවා.1 මම වරක් විශාල කුණාටුවකට ළඟාවෙමින් සිටි ගුවන් යානයක සිටියා. ජනේලයෙන් පිටත බැලූ විට අපට පහළින් ඝණ වලාකුළු ඇතුරුමක් මට දැකගත හැකි වුණා. හිරු බැස යන හිරු කිරණ වලාකුළු වලින් පරාවර්තනය වී, දැඩි දීප්තියෙන් බැබලුණා. වැඩිකල් යන්නට මත්තෙන්, යානය අධික වලාකුළු මැදින් බැස ගිය අතර, හදිසියේම ඝණ අන්ධකාරයකින් අපව වැසී ගිය අතර, මොහොතකට පෙර අප දුටු දැඩි ආලෝකයට අපව මුළුමනින්ම අන්ධ කළා.2

රූපය
බැස යන හිරුගේ එළිය
රූපය
අන්ධකාර වළාකුළු

කළු වලාකුළු අපගේ ජීවිත තුළද ඇති විය හැකි අතර, එමගින් දෙවියන්වහන්සේගේ ආලෝකයට අපව අන්ධ කළ හැකි අතර එම ආලෝකය තවදුරටත් අප වෙනුවෙන් පවතින්නේ දැයි ප්‍රශ්න කිරීමට පවා හේතු වෙනවා. එම වලාකුළු වලින් සමහරක් මානසික අවපීඩනය, කාංසාව සහ වෙනත් ආකාරයේ මානසික හා චිත්තවේගීය පීඩායි. අපි අපිව, අන් අයව සහ දෙවියන්වහන්සේ පවා දකින ආකාරය විකෘති කිරීමට ඒවාට පුළුවන්. ඒවා ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සියලුම වයස්වල කාන්තාවන්ට සහ පිරිමින්ට බලපානවා.

එලෙසම හානිකර වන්නේ මෙම අභියෝගයන් අත්විඳ නැති අන්‍යයන්ටද බලපෑ හැකි අවිශ්වාසයේ අවිනිශ්චිත වලාකුළුයි. ශරීරයේ ඕනෑම කොටසක් මෙන් මොළයද රෝගාබාධ, කම්පන සහ රසායනික අසමතුලිතතාවයන්ට යටත් වෙනවා. අපගේ මනස දුක්විඳින විට, දෙවියන්වහන්සේගෙන්, අප අවට සිටින අයගෙන් සහ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් උපකාර පැතීම සුදුසුයි.

“සියලුම මනුශ්‍ය සංහතිය - පිරිමි සහ කාන්තාවන් - දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත. හැමකෙනාම දේව දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයන් සහ දූවරුන් වන අතර, ඒ සෑම කෙනෙක්ටම දිව්‍යමය ස්වභාවයක් සහ දෛවයක් ඇත.”3 අපගේ ස්වර්ගීය දෙමව්පියන් හා අපගේ ගැළවුම්කරුවාණන් මෙන් අපටද භෞතික ශරීරයක් ඇත4 එමෙන්ම හැඟීම් අත්විඳියි.5

මගේ ආදරණීය සහෝදරියනි, කලකට වරක් දුකක් හෝ කනස්සල්ලක් දැනීම සාමාන්‍ය දෙයක්. දුක සහ කාංසාව කියන්නෙ ස්වාභාවික මිනිස් හැඟීම්.6 කෙසේවෙතත්, අප නිරන්තරයෙන් කණගාටු වනවා නම් සහ අපගේ වේදනාව අපගේ ස්වර්ගික පියාණන්ගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ප්‍රේමය සහ ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනීමට ඇති හැකියාව අවහිර කරන්නේ නම්, අප මානසික අවපීඩනයෙන්, කාංසාවෙන් හෝ වෙනත් චිත්තවේගීය තත්වයකින් පෙළෙන්නට පුළුවන්.

මගේ දුව වරක් මෙසේ ලිව්වා: “කාලයක් තිබුණි… [මම] නිතරම අතිශයින් දුක් වූවෙමි. දුක යනු ලැජ්ජා විය යුතු දෙයක් බවත් එය දුර්වලකමේ ලකුණක් බවත් මම නිතරම සිතුවෙමි. ඒ නිසා මම මගේ දුක මට තබාගත්තෙමි. … මට කිසිම වටිනාකමක් නැති බවක් දැනුණි.”7

මිතුරෙක් එය මෙසේ විස්තර කළා. “මගේ කුඩා කාලයේ සිටම, බලාපොරොත්තු රහිත බව, අන්ධකාරය, තනිකම සහ භීතිය සහ මා බිඳී හෝ දෝෂ සහිතය යන හැඟීම සමග නිරන්තර සටනකට මුහුණ දී සිටියෙමි. මගේ වේදනාව සැඟවීමට මම හැමදෙයක්ම කළ නිසා, මම කිසිදිනෙක දියුණු හා ශක්තිමත් කෙනෙක් යැයි හැඟීමක් නොදුන්නෙමි.”8

මගේ ආදරණීය මිත්‍රවරුනි, විශේෂයෙන්, ප්‍රීතියේ සැලැස්ම කෙරෙහි ඇදහිලිවන්තයන් වශයෙන්, අප දැන් පරිපූර්ණ විය යුතු යැයි සිතමින් අනවශ්‍ය බර අප මත පැටවූ විට - එය අපෙන් ඕනෑම කෙනෙකුට සිදුවන්නට පුළුවන්. එවැනි සිතුවිලි දරාගත නොහැකි වන්නට පුළුවන්. පරිපූර්ණත්වය ළඟාකරගැනීම අපගේ ලෞකික ජීවිත කාලය පුරාම සහ ඉන් ඔබ්බට සිදුවන ක්‍රියාවලියක් වන අතර එය යේසුස් ක්‍රිස්තුස්ගවහන්සේගේ කරුණාවෙන් පමණක් ලැබෙයි.9

ඊට වෙනස්ව, අප පරිපූර්ණ නොවන බව පිළිගෙන අපගේ චිත්තවේගීය අභියෝග ගැන විවෘතව කතා කරන විට, අපි අන් අයට ඔවුන්ගේ අරගල බෙදාගැනීමට අවසර ලබාදීමක් වෙනවා. බලාපොරොත්තුවක් ඇති බව සහ අපට තනිවම දුක් විඳීමට අවශ්‍ය නැති බව අපට එක්ව වැටහී යයි.10

රූපය
දෙවන පැමිණීමේ බලාපොරොත්තුව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපි “එකිනෙකාගේ බර දරාගැනීමට කැමැත්තෙන් සිටිමු” එමෙන්ම “වැලපෙන අය සමග වැලපීමට” දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇතිකරගෙන තියෙනවා.11 චිත්තවේගීය රෝගාබාධ පිළිබඳව දැනුවත් වීම, මෙම අරගලයන්ට විසඳුම් සෙවිය හැකි සම්පත් සොයාගැනීම සහ අවසානයේදී අප හා අනෙක් අයගේ ප්‍රධාන සුවකරන්නා වන ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒම එයට ඇතුළත් විය හැකිය.12 අන් අය අත්විඳින දේ සමග සම්බන්ධවන්නේ කෙසේදැයි අප නොදැන සිටියද, ඔවුන්ගේ වේදනාව සැබෑවක් බව තහවුරු කිරීම ඔවුන්ට අවබෝධය සහ සුවය සොයාගැනීමේ වැදගත් පළමු පියවර වන්නට පුළුවන්.13

සමහර අවස්ථාවලදී, මානසික අවපීඩනයට හෝ කාංසාවට හේතුව හඳුනාගත හැකි අතර තවත් විටෙක එය හඳුනාගැනීම දුෂ්කර විය පුළුවන්.14 මානසික ආතතිය15 හෝ අධික තෙහෙට්ටුව16 නිසා අපගේ මොළයට පීඩා විඳින්නට පුළුවන, සමහර විට ආහාර, නින්ද සහ ව්‍යායාම වල වෙනස්කම් මගින් එය වැඩිදියුණු කළ හැකි වෙනවා. වෙනත් අවස්ථාවලදී, පුහුණු වෘත්තිකයන්ගේ මගපෙන්වීම යටතේ චිකිත්සාවක් හෝ ඖෂද ද අවශ්‍ය වන්නට පුළුවන්.

ප්‍රතිකාර නොකල මානසික හෝ චිත්තවේගීය රෝගාබාධ නිසා හුදෙකලා වීම, වරදවා වටහාගැනීම, බිඳුණු සබඳතා, ස්වයං හානියක් සහ සියදිවි නසාගැනීම් වල වර්ධනයට පවා හේතුවන්නට පුළුවන්. මගේ පියා මීට වසර ගණනාවකට පෙර සියදිවි නසාගැනීමෙන් මිය ගිය නිසා මම මෙය මුලින්ම දන්නවා. ඔහුගේ මරණය මගේ පවුලේ අයටත් මටත් කම්පනයක් සහ හද කම්පා කරවන දෙයක් වුණා. මගේ ශෝකය දුරුකරගැනීමට මට වසර ගණනාවක් ගතවී ඇති අතර, එය දිරිගැන්වීමට වඩා එය වළක්වා ගැනීමට උපකාරී වන ලෙස සියදිවි නසාගැනීම් ගැන සුදුසු ආකාර වලින් කථා කිරීම මම ඉගෙනගත්තේ මෑතකදීයි.17 මම දැන් මගේ දරුවන් සමග මගේ පියාගේ මරණය ගැන විවෘතව සාකච්ඡා කර ඇති අතර ගැලවුම්කරුවාණන්ට තිරය දෙපසින්ම ලබාදිය හැකි සුවය අත්දුටුවෙමි.18

කණගාටුවට කරුණ නම්, දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ දෙනෙක් තම සෙසු සාන්තුවරයන්ගෙන් දුරස් වන්නේ තමන් කිසියම් මනඃකල්පිත අච්චුවකට නොගැලපෙන බව හැඟෙන බැවිනි. ඔවුන් අපට අයිති බව දැනගැනීමට සහ හැඟෙන්නට අපට ඔවුන්ට උදව් කරන්නට පුළුවන්. මානසික අවපීඩනය දුර්වලකමේ ප්‍රතිඵලයක් නොවන බවත් සාමාන්‍යයෙන් එය පාපයේ ප්‍රතිඵලයක් නොවන බවත් හඳුනාගැනීම වැදගත්.19 එය “රහසිගතව වැඩෙන නමුත් සංවේදනයෙන් හැකිලී යයි.”20 අපට එක්ව, හුදෙකලාවීමේ හා අපකීර්තියේ වලාකුළු බිඳදමන්නට පුළුවන්, එවිට ලැජ්ජාවේ බර ඉවත්කර සුවකිරීමේ ප්‍රාතිහාර්ය සිදුවිය හැකියි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේදී රෝගීන් සහ පීඩිතයන් සුව කළ නමුත් සෑම පුද්ගලයෙකුටම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබිය යුතු වූ අතර ඔහුගේ සුවය ලබාගැනීම සඳහා ක්‍රියා කළ යුතුව තිබුණා. සමහරු දිගු දුරක් ඇවිද ගිය අතර තවත් සමහරු උන්වහන්සේගේ වස්ත්‍රය ස්පර්ශ කිරීමට අත දිගු කළ අතර තවත් අය සුවය ලැබීම සඳහා උන්වහන්සේ වෙතට ගෙන යා යුතු වුණා.21 සුවකිරීම සම්බන්ධයෙන්, අප සැමට උන්වහන්සේව අතිශයින්ම අවශ්‍ය නොවේද? “අපි හැමෝම හිඟමන් යදින්නන් නොවේද?”22

අපි ගැලවුම්කරුවාණන්ගේ මාවත අනුගමනය කර අපගේ දයානුකම්පාව වැඩිකර ගනිමු, විනිශ්චය කිරීමේ අපගේ ප්‍රවණතාවය අඩු කර, අන් අයගේ අධ්‍යාත්මිකභාවය පිළිබඳ පරීක්ෂකයින් වීම නවත්වමු. ප්‍රේමයෙන් ඇහුම්කන්දීම අපට දිය හැකි උතුම්ම ත්‍යාගයන්ගෙන් එකක් වන අතර, අපගේ ආදරණීයයන් සහ මිතුරන්23 හුස්ම හිර කරන අධික වලාකුළු තුලින් රැගෙන යාමට හෝ එසවීමට අපට උදව් කළ හැකිය, එවිට අපගේ ප්‍රේමය තුළින් ඔවුන්ට නැවත වරක් ශුද්ධාත්මයාණන් දැනෙන අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් නිකුත් වන ආලෝකය නිසා එය වටහා ගත හැකිවනු ඇත.

ඔබ නිතරම “අන්ධකාරයේ මීදුමකින්”24 වටවී සිටින්නේ නම්, “ස්වර්ගික පියාණන් වෙත හැරෙන්න.” ඔබ අත්විඳින කිසිමදෙයකට ඔබ උන්වහස්න්සේගේ දරුවෙකු බවත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරන බවත් යන සදාකාලික සත්‍යය වෙනස් කළ නොහැකියි.25 ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ ගැළවුම්කාරයාණන් සහ මිදුම්කරුවාණන් බවත් දෙවියන්වහන්සේ ඔබේ පියාණන් බවත් මතක තබාගන්න. උන්වහන්සේලා තේරුම් ගනී. ඔවුන් ඔබට සමීපව සිටිනවා යැයි, සවන්දෙනවා යැයි සහ සහාය ලබාදෙනවා යැයි සිතාගන්න.26 “[උන්වහන්සේලා] ඔබේ දුක් පීඩා වලින් ඔබව සනසනු ඇත.”27 ඔබට හැකි සෑම දෙයක්ම කර, ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ කරුණාව කෙරෙහි විශ්වාසය තබන්න.

ඔබේ අරගල ඔබව නිර්වචනය නොකරයි, නමුත් ඔවුන්ට ඔබව ශෝධනය කළ හැකියි.28 “මාංසයේ උලක්”29 නිසා අන් අය කෙරෙහි වැඩි අනුකම්පාවක් දැනීමේ හැකියාව ඔබට තිබිය හැකියි. ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම පරිදි, “දුර්වලයන්ට උපකාර කිරීම, පහළට එල්ලී සිටින දෑත් ඔසවා දුර්වල දණහිස ශක්තිමත් කිරීම” සඳහා ඔබේ කතාව බෙදාගන්න.30

අප අතර දැනට අරගල කරන අයට සහයෝගය දක්වන අපි, දෙවියන්වහන්සේගේ අණ පණත් පිළිපැදීමට කැමැත්තෙන් සිටිමු, එවිට අපට සැමවිටම උන්වහන්සේගේ ආත්මය අප සමග රැඳෙයි.31 අධ්‍යාත්මික ශක්තිය ලබාදෙන “කුඩා හා සරල දේවල්”32 අපි කරමු. සභාපති රසල් එම්. නෙල්සන් පැවසූ පරිදි, “වැඩි වූ පාරිශුද්ධ භාවය, නිශ්චිත කීකරුකම, උනන්දුවෙන් සෙවීම, මෝර්මොන්ගේ පොතෙහි ක්‍රිස්තුස්වහන්සේගේ වචන තුලින් දිනපතා පෝෂණයවීම සහ දේවමාළිගා හා පවුල් ඉතිහාස කටයුතු සඳහා නිතිපතා කාලය ගත කිරීම වැනි දේ එකතුවෙන් තරම් වෙනත් කිසිවක් ස්වර්ගය විවෘත නොකරයි.”33

රූපය
ගැලවුම්කරුවාණන් සුවකරමින්

අපගේ ගැලවුම්කෘවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, එනම් උන්වහන්සේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිස” බව අපි මතකතබා ගනිමු.34 උන්වහන්සේ පැමිණියේ “බිඳුණු සිත් ඇති අයව බැඳ තැබීමට, … ඒ වැලපෙන සියල්ල සැනසීමට; … අළු සඳහා අලංකාරය, වැලපීම සඳහා ප්‍රීතියේ තෙල්, බරෙහි ආත්මයට ප්‍රශංසා කිරීමේ වස්ත්‍රය ඔවුන්ට ලබාදීමටයි.”35

රූපය
දෙවන පැමිණීම

“වලාකුළු හා හිරු එළිය තුලින්” ස්වාමින්වහන්සේ අප සමග සිටින බවත්, අපගේ “පීඩා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් ගිල දැමිය හැකි බවත්”36 සහ “අපට කළ හැකි සියල්ලෙන් පසුව, අපට ගැලවීම ලැබෙන්නේ කරුණාවෙන්”37 බවත්, මම ඔබට සාක්ෂි දෙන්නෙමි. යේසුස් ක්‍රිස්තුවහස්නේස් “සුව කිරීමේ පියාපත් සමග” නැවත පොළොවට පැමිණෙන බව මම සාක්ෂි දෙන්නෙමි.38 අවසානයේදී, උන්වහන්සේ “අපගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනු ඇත, එබැවින් තවදුරටත්… දුකක් නැතිවනු ඇත.”39 මක්නිසාද “ක්‍රිස්තුස්වහස්නේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්නාවූ සියල්ලෝ”40 සඳහා “ඔබේ ඉර තවත් බැසයන්නේවත්, ඔබේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ සදාකාල එළිය වනසේක, ඔබේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.”41 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “Abide with Me!” Hymns, no. 166.

  2. අප වලාකුළු වලට ඉහළින් සිටින විට, අපට අඩි කිහිපයක් පහළින් ඇති අන්ධකාරය අපට දැකගත නොහැකි වූ අතර, යටින් අන්ධකාරයේ වැසී ගිය විට, අපට අඩි කිහිපයක් ඉහළින් බැබළෙන සූර්යයාගේ දීප්තිය දෘශ්‍යමාන කිරීම දුෂ්කර විය.

  3. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ලියහෝනා 2017 මැයි, 2017, 145.

  4. “ආත්මය හා ශරීරය මිනිසාගේ ප්‍රාණයයි” (දහම සහ ගිවිසුම 88:15). “ඔබේ ශරීරය ඔබේ ආත්මය සඳහා දේවමාළිගාවයි. ඔබ ඔබේ ශරීරය භාවිතා කරන ආකාරය ඔබේ ආත්මයට බලපායි” (Russell M. Nelson, “Decisions for Eternity,” Liahona, Nov. 2013, 107).

  5. උදාහරණ සඳහා බලන්න, යෙසායා 65:19; ලූක් 7:13; 3 නෙපි 17:6–7; මෝසෙස් 7:28. අපගේ හැඟීම් හඳුනාගැනීමට සහ අගය කිරීමට ඉගෙනගැනීමෙන් අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහස්නේ හා සමාන වීමට ඒවා නිර්මාණාත්මකව භාවිතා කිරීමට අපට උපකාරී වේ.

  6. See “Sadness and Depression,” kidshealth.org/en/kids/depression.html.

  7. Hermana Elena Aburto blog, hermanaelenaaburto.blogspot.com/2015/08. ඇය මෙසේද ලිවීය:

    “ගැළවීමේ සැලැස්ම කෙරෙහි මගේ ඇදහිල්ල සැබවින්ම ක්‍රියාත්මක කිරීමට එම අභියෝගය මට අවස්ථාව ලබාදුන්නා. මක්නිසාද මාගේ ස්වර්ගික පියාණන් මට ප්‍රේම කරන බවත්, උන්වහස්නේට මා වෙනුවෙන් සැලැස්මක් ඇති බවත්, මා යන්නේ කුමක් තුලින්ද යන්න ක්‍රිස්තුස්වහන්සේ හොඳින් වටහාගෙන සිටින බවත් මම දැන සිටියෙමි. ”

    “ඔබට දක්ෂතාවයක් නොමැති විට දෙවියන්වහන්සේ ඔබව ලැජ්ජාවට පත් නොකරයි. වැඩිදියුණු වීමට සහ පසුතැවිලි වීමට ඔබට උදව් කිරීමට උන්වහන්සේ සතුටු වේ. ඔබ සියල්ල එකවර නිවැරදි කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා නොකරයි. ඔබ මෙය තනිව කළ යුතු නෑ” (iwillhealthee.blogspot.com/2018/09).

  8. පුද්ගලික ලිපි හුවමාරු කිරීම. ඇය මෙසේ ලිවීය: “මගේ ගැළවුම්කාරයාණන්ගේ සමඟි කිරීමේ සුව කිරීමේ ආලේපය මගේ ගමන පුරාම සාමයේ සහ රැකවරණයේ නිරන්තර ප්‍රභවයයි. මගේ අරගලය තුළ මට තනිකමක් දැනෙන විට, මා වෙනුවෙන් මා අත්විඳින දේ උන්වහන්සේ දැනටමත් අත්විඳ ඇති බව මට මතක් වේ. … මගේ අනාගතය පරිපූර්ණ වූ, නැවත නැඟිටුවනු ලැබූ ශරීරය මෙම මාරාන්තික [පීඩාවෙන්] පීඩා විඳින්නේ නැති බව දැනගැනීමෙන් මට බොහෝ බලාපොරොත්තු ඇත.”

  9. See Russell M. Nelson, “Perfection Pending,” Ensign, Nov. 1995, 86–88; Jeffrey R. Holland, “Be Ye Therefore Perfect—Eventually,” Liahona, Nov. 2017, 40–42; J. Devn Cornish, “Am I Good Enough? Will I Make It?Liahona, Nov. 2016, 32–34; Cecil O. Samuelson, “What Does It Mean to Be Perfect?New Era, Jan. 2006, 10–13.

  10. අපගේ නිවෙස්වල, කොට්ටාශ වල සහ ප්‍රජාවන්හි සිටින අපගේ දරුවන්, පවුල් සහ මිතුරන් සමඟ මෙම ගැටළු ගැන කතා කිරීම වැදගත්ය.

  11. මොසායා 18:8-9.

  12. See Russell M. Nelson, “Jesus Christ—the Master Healer,” Liahona, Nov. 2005, 85–88; Carole M. Stephens, “The Master Healer,” Liahona, Nov. 2016, 9–12.

  13. අප තුළත් අන් අය තුළත් සංඥා සහ රෝග ලක්ෂණ හඳුනාගන්නේ කෙසේදැයි දැන ගැනීම ප්‍රයෝජනවත් වේ. සාවද්‍ය හෝ සෞඛ්‍ය සම්පන්න නොවන චින්තන රටාවන් හඳුනාගැනීමටත් ඒවා වඩාත් නිවැරදි හා සෞඛ්‍ය සම්පන්න ඒවා සමඟ ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්නත් අපට ඉගෙනගත හැකිය.

  14. මානසික අවපීඩනය දරුවෙකුගේ උපත හෝ නව රැකියාවක් වැනි ධනාත්මක ජීවිත වෙනස්වීම් හේතුවෙන්ද ඇති විය හැකි අතර පුද්ගලයෙකුගේ ජීවිතයේ දේවල් යහපත් වූ විට පවා එය සිදුවිය හැකිය.

  15. See “Understanding Stress,” Adjusting to Missionary Life (2013), 5–10.

  16. See Jeffrey R. Holland, “Like a Broken Vessel,” Liahona, Nov. 2013, 40.

  17. See Dale G. Renlund, “Understanding Suicide” (video), ChurchofJesusChrist.org; “Talking about Suicide” (video), ChurchofJesusChrist.org; Kenishi Shimokawa, “Understanding Suicide: Warning Signs and Prevention,Liahona, Oct. 2016, 35–39.

  18. “සුව කිරීමේ ආරම්භය සඳහා ස්වර්ගයේ සිටින පියාණන් ඔබට ප්‍රේම කරන බවත් සුව කිරීමට ක්‍රමයක් සපයා ඇති බවත් යන වෙනස් කළ නොහැකි කාරණා කෙරෙහි ළමයෙකුගේ මෙන් විශ්වාසයක් අවශ්‍ය වේ. උන්වහන්සේගේ ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම සුවය ලබාදීම සඳහා උන්වහන්සේගේ ජීවිතය කැප කළේය. නමුත් මැජික් විසඳුමක් නැත, සුවය ලබා දීම සඳහා සරල ආලේපන නැත, සම්පූර්ණ පිළියම සඳහා පහසු මාර්ගයක් නොමැත. Tසුවකිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ සුවකිරීමට උන්වහන්සේට ඇති අසීමිත හැකියාව සඳහා ගැඹුරු ඇදහිල්ලක් අවශ්‍ය වේ.” (Richard G. Scott, “To Heal the Shattering Consequences of Abuse,Liahona, May 2008, 42). ගැටලුවක් ඇති විට, අපගේ ප්රවණතාවය එය නිවැරදි කිරීමයි. කෙසේ වෙතත්, අපි අපගේ හෝ අන් අයගේ එකම නිවැරදි කරන්නා බවට පත්විය යුතු නැත. අපි සෑම දෙයක්ම අප විසින්ම කළ යුතු නැත. මගේ ජීවිතයේ එක් වරකට වඩා, දුෂ්කර කාලවලදී කටයුතු කිරීමට මට උපකාර කිරීමට මම චිකිත්සකයින් සොයා ඇත.

  19. බලන්න යොහාන් 9:1-7.

  20. Jane Clayson Johnson, Silent Souls Weeping (2018), 197.

  21. බලන්න මතෙව් 9:2–7, 20–22; 14:35–36; මාක් 1:40–42; 2:3–5; 3 නෙපි 17:6–7.

  22. මොසායා 4:19; see also Jeffrey R. Holland, “Are We Not All Beggars?Liahona, Nov. 2014, 40–42.

  23. බලන්න රෝම 2:19; 13:12; see also Jeffrey R. Holland, “Come unto Me” (Brigham Young University devotional, Mar. 2, 1997), speeches.byu.edu.

  24. 1 නෙපි 8:23; තවත් බලන්න 1 නෙපි 12:4, 17; 3 නෙපි 8:22.

  25. බලන්න ගීතාවලිය 82:6; රෝම 8:16–18; දහම සහ ගිවිසුම 24:1; 76:24; මෝසෙස් 1:1–39.

  26. බලන්න Adjusting to Missionary Life, 20; see also මීකා 7:8; මතෙව් 4:16; ලූක් 1:78–79; යොහාන් 8:12.

  27. යාකොබ් 3:1; තවත් බලන්නඑපීස 5:8; කොලොස්සි 1:10–14; මොසායා 24:13–14; ඇල්මා 38:5. ඔබගේ ආදිපීතෘ ආශීර්වාදය කියවන්න හෝ පූජක ආශීර්වාදයක් ඉල්ලන්න එවිට ඔබට ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවාද යන්න සහ ඔබට ආශිර්වාද කිරීමට අවශ්‍ය බව ඔබට මතක තබාගත හැකිය.

  28. බලන්න 2 කොරින්ති 4:16–18; දහම සහ ගිවිසුම 121:7–8, 33; 122:5–9.

  29. 2 කොරින්ති 12:7.

  30. දහම සහ ගිවිසුම 81:5; තවත් බලන්න මලාකි 35:3.

  31. බලන්න මොරෝනි 4:3; දහම සහ ගිවිසුම 20:77.

  32. ඇල්මා 37:6.

  33. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරවු, අපගේ ජීවිත සඳහා එළිදරවු,” ලියහොනා මැයි 2018, 95.

  34. ඇල්මා 7:12; තවත් බලන්න යෙසායා 53:4; 2 නෙපි 9:21; මොසායා 14:4.

  35. යෙසායා 61:1–3; තවත් බලන්න ලූක් 4:18.

  36. ඇල්මා 31:38; තවත් බලන්න ඇල්මා 32:43; 33:23.

  37. 2 නෙපි 25:23.

  38. මලාකි 4:2; 3 නෙපි 25:2.

  39. එළිදරව් 21:4.

  40. මොරෝනි 10:32

  41. යෙසායා 60:20.

මුද්‍රණය කරන්න