දෙවියන්වහන්සේගේ දරුවෙකුගේ පුද්ගලික ගමන
දෙවියන්වහන්සේගේ ගිවිසුම් දරුවන් වශයෙන්, අප පෙර ආත්මික ලෝකයෙන් පැමිණෙන ආත්මයන්ට ආදරය, ගෞරවය, පෝෂණය, ආරක්ෂා කිරීම සහ පිළිගැනීම ලබාදෙනවා.
පවුලේ අය සහ මිතුරන් අනපේක්ෂිත ලෙස ලෞකිකත්වයෙන් ඔබ්බට ගොස් ඇති විටෙක, අප සෑම කෙනෙකුම ලෝක ව්‍යාප්ත වසංගතයට ගොදුරු වී සිටිනවා. අප බොහෝ සෙයින් ආදරය කරන සියල්ලන්වම නියෝජනය කරමින්, අපට ආදරයෙන් මගහැරුණු තිදෙනෙකු ගැන පෙන්වීමට මට ඉඩදෙන්න.
මේ සහෝදර පිලිප් සහ ජර්මයිනි න්සොන්ඩි සහෝදරියයි. සහෝදර න්සොන්ඩි මියයන විට කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් ස්ටේකයේ ආදිපීතෘ ලෙස සේවය කරමින් සිටියා. ඔහුගේ දක්ෂතා අන් අය සමඟ නොමසුරුව බෙදාගත් ඔහු වෛද්‍යවරයක්.1
මේ ඉක්වදෝරයේ ටුල්කන් හි ක්ලාරා එලීසා රුවානෝ ඩි විලාරියල් සහෝදරිය. වයස අවුරුදු 34 දී ඇය නැවත පිහිටවූ ශුභාරංචිය වැලඳගත් අතර ආදරණීය නායිකාවක්ද වුණා. “මගේ මිදුම්කරුවාණැන් ජීවත් වන බව මම දනිමි” යනුවෙන් ඇගේ ප්‍රියතම ගීතිකාව ගායනා කරමින් ඇගේ පවුලේ අය ඇයගෙන් සමුගත්තා.2
මේ ඔහුගේ පවුලේ අය සමඟ යූටා හි සහෝදර රේ ටියුනෝ. ඔහුගේ බිරිඳ, ජුලියට්, මෙසේ කිව්වා, “[ඔවුන්ගේ තාත්තා] සැමවිටම දෙවියන්වහන්සේට මුල් තැන දීමට උත්සාහ කළ බව [මගේ පිරිමි ළමයින්] මතකතබාගන්නවා නම් මට සතුටුයි.”3
ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “මරණයට පත්වූ ඔවුන් අහිමි වීම උදෙසා නුඹලා හඬා වැලපෙන තරමටම, නුඹලා ප්‍රේමයෙන් එකට ජීවත්විය යුතු වන්නෝය.”4
අප හඬා වැලපෙන අතරතුර අපගේ ගැලවුම්කරුවාණන්ගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම ගැනද අපි ප්‍රීති වෙනවා. උන්වහන්සේ නිසා අපගේ ආදරණීයයන් සහ මිතුරන් ඔවුන්ගේ සදාකාලික ගමන දිගටම කරගෙන යනවා. සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් පැහැදිලි කළේ මෙසේයි: “අපට ඔවුන්ව අමතක කළ නොහැක; අපි ඔවුන්ට ආදරය කිරීම නවත්වන්නේ නැහැ. … ඔවුන් දියුණු වී ඇත; අපි දියුණු වෙමින් පවතිමු; ඔවුන් වර්ධනය වූ ලෙසම අපි වර්ධනය වෙමින් සිටිමු.”5 සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ කිව්වා, “අපගේ ශෝක කඳුළු… අපේක්ෂාවේ කඳුළු දෙසට හරවන්න.”6
උපතට පෙර ජීවිතය ගැන අපි දන්නවා
අපගේ සදාකාලික ඉදිරිදර්ශනය මරණින් ඔබ්බට තම ගමන දිගටම කරගෙන යන අය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරනවා පමණක් නොව, ඔවුන්ගේ ගමනේ පෙර සිටින සහ දැන් ලෞකිකත්වය කරා පිවිසෙන අය පිළිබඳ අපගේ අවබෝධයද විවෘත කරනවා.
පොළොවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම දෙවියන්වහන්සේගේ අද්විතීය පුතෙකු හෝ දියණියක්.7 අපේ පෞද්ගලික ගමන ආරම්භ වූයේ උපතේදී නොවේ. අපි ඉපදීමට පෙර, “ආත්මික ලෝකයේ [අපගේ] පළමු පාඩම් ලැබූ” සූදානම් වීමේ ලෝකයක අපි එකට එක්ව සිටියා.8 යෙහෝවා යෙරමියාට මෙසේ කිව්වා, “මම නුඹ ගර්භයේහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, නුඹ නියම කෙළෙමියි.”9
ජීවිතය ආරම්භ වන්නේ කලලරූපය සෑදීමෙන් හෝ හදවත ස්පන්දනය වීමට පටන්ගත් විටද, හෝ දරුවාට ගර්භාෂයෙන් පිටත ජීවත් විය හැකි විටද යන්න සමහරු ප්‍රශ්න කළ හැකියි, නමුත් අපට නම්, දෙවියන්වහන්සේගේ ආත්මික දූවරුන් සහ පුතුන් ශරීරයක් ලබාගැනීමට සහ ලෞකිකත්වය අත්විඳීමට මිහිතලයට පැමිණ ඔවුන්ගේම පෞද්ගලික ගමනක යෙදෙන බවට කිසිඳු සැකයක් නෑ.
දෙවියන්වහන්සේගේ ගිවිසුම් දරුවන් වශයෙන්, අප පෙර ආත්මික ලෝකයෙන් පැමිණෙන ආත්මයන්ට ආදරය, ගෞරවය, පෝෂණය, ආරක්ෂා කිරීම සහ පිළිගැනීම ලබාදෙනවා.
කාන්තාවන්ගේ විස්මිත දායකත්වය
කාන්තාවක් සඳහා, දරුවෙකු ලැබීම ශාරීරිකව, මානසිකව හා ආර්ථික වශයෙන් විශාල පරිත්‍යාගයක් විය හැකියි. මෙම සභාවේ විශ්මිත කාන්තාවන්ට අපි ආදරය හා ගෞරව කරනවා. බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් යුතුව, ඔබේ පවුලේ බර ඔබ දරනවා. ඔබ ආදරය කරනවා. ඔබ සේවය කරනවා. ඔබ පරිත්‍යාග කරනවා. ඔබ ඇදහිල්ල ශක්තිමත් කරනවා, අවශ්‍යතා ඇති අයට දේවසේවය කරනවා, එමෙන්ම ඔබ සමාජයට විශාල දායකත්වයක් සපයනවා.
ජීවිතය ආරක්ෂා කිරීමේ පරිශුද්ධ වගකීම
මීට වසර ගණනාවකට පෙර, ලෝකයේ ගබ්සා කිරීම් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටි සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි අද දින අපටත් අදාළ වන වචන සමඟින් සභාවේ කාන්තාවන්ව ඇමතුවා. ඔහු මෙසේ කිව්වා: “භාර්යාවන් සහ මව්වරුන් වන ඔබ තමයි පවුලේ නැංගුරම්. ඔබ දරුවන්ව දරනවා. එය කෙතරම් දැවැන්ත හා පරිශුද්ධ වගකීමක්ද? … මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය පිළිබඳ අපගේ අගය කිරීමට සිදුවන්නේ කුමක්ද? ගබ්සාව යනු පොළොව පුරා පැතිරෙමින් තිබෙන නපුරු, තියුණු හා සැබෑ හා පිළිකුල් සහගත ක්‍රියාවක්. එය මගහරින්නට, ඊට ඉහළින් නැගී සිටින්නට, එය සුදුසු යැයි පෙනෙන සම්මුතිවාදී තත්වයන්ගෙන් ඈත්ව සිටින ලෙස මම මෙම සභාවේ කාන්තාවන්ගෙන් ආයාචනා කරනවා. එය සිදුවිය හැකි අවස්ථා කිහිපයක් තිබිය හැකි නමුත් ඒවා අතිශයින් සීමිතයි.10 … ඔබ දෙවියන්වහන්සේගේ පුතුන්ගේ හා දූවරුන්ගේ මව්වරුන් වන අතර ඔවුන්ගේ ජීවිත පරිශුද්ධයි. ඔවුන්ව ආරක්ෂා කිරීම දිව්‍යමය වශයෙන් දී ඇති වගකීමක් වන අතර එය සැහැල්ලුවෙන් පසෙකට දැමිය නොහැකියි.”11
බව්තීස්ම සම්මුඛ සාකච්ඡාවකදී “[අවුරුදු ගණනාවකට පෙර] ගබ්සාවක් කළ බව පිළිගත්” ආදරණීය 84 හැවිරිදි කාන්තාවකගේ කතාවක් වැඩිහිටි මාකස් බී. නැෂ් මා සමඟ බෙදාගත්තා. ඇය හෘදයාංගම හැඟීමකින් යුතුව මෙසේ පැවසුවා: “අවුරුදු හතලිස් හයක් තිස්සේ මගේ ජීවිතයේ සෑම දිනකම දරුවෙකු ගබ්සා කිරීමේ බර මම දරාගෙන ඇවිත් තිබෙනවා. … මා කළ කිසිවකින් ඒ වේදනාව සහ වරද ඉවත් වූයෙ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශුභාරංචිය මට උගන්වන තුරු මම බලාපොරොත්තු රහිතව සිටියා. පසුතැවිලි වන ආකාරය මම ඉගෙනගත්තා… හදිසියේම මම බලාපොරොත්තුව සමඟින් පිරී ගියා. මගේ පව් ගැන මම සැබවින්ම පසුතැවිලි වුවහොත් මට සමාව ලැබිය හැකි බව මම අවසානයේදී දැනගත්තා.”12
පසුතැවීම හා සමාව දීම යන දිව්‍යමය දීමනා ගැන අප කෙතරම් කෘතඥ වෙනවාද.
අපට කළ හැක්කේ කුමක්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී ගෝලයන් වශයෙන් අපගේ වගකීම කුමක්ද? අපි දෙවියන්වහන්සේගේ ආඥා වලට අනුව ජීවත් වෙමු, ඒවා අපේ දරුවන්ට උගන්වමු, සවන් දීමට කැමති අය සමඟ ඒවා බෙදාගනිමු.13 ජීවිතයේ පරිශුද්ධභාවය පිළිබඳ අපගේ ගැඹුරු හැඟීම් සමාජයේ තීරණ ගන්නා අය සමඟ අපි බෙදාගනිමු. අපි විශ්වාස කරන දේ ඔවුන් සම්පූර්ණයෙන් අගය නොකරනු ඇත, නමුත් අප සඳහා, මෙම තීරණ පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සඳහා අවශ්‍ය දේ ඉක්මවා යන හේතුව ඔවුන් වඩාත් හොඳින් වටහා ගනු ඇතැයි අපි යාච්ඤා කරමු.
බලාපොරොත්තු නොවූ දරුවෙකු අපේක්ෂා කරන්නේ නම්, අපි ආදරය, දිරිගැන්වීම, සහ අවශ්‍ය විටදී මූල්‍යමය ආධාර ලබාදෙමින්, මවකට තම දරුවා ඉපදීමට ඉඩදීම සඳහා ශක්තිමත් කරමින් සහ ලෞකිකත්වයේ ඔහුගේ හෝ ඇයගේ ගමන දිගටම කරගෙන යන්නට ඉඩදෙමු.14
දරුකමට හදාගැනීමේ සුන්දරත්වය
අපේ පවුල තුළ, දශක දෙකකට පෙර, 16 හැවිරිදි තරුණියක් ඇය දරුවෙකු අපේක්ෂා කරන බව දැනගත් විට, එය අපට ඉමහත් ආශිර්වාදයක් වුණා. ඇය සහ එම දරුවාගේ පියා විවාහ වී නොසිටි අතර, ඔවුන්ට ඉදිරියට යා හැකි මාර්ගයක් පෙනෙන්නට තිබුණේ නෑ. තමා දරාගෙන සිටින ජීවිතය අනර්ඝ බව මෙම තරුණිය විශ්වාස කළා. ඇය ගැහැණු දරුවෙකු බිහි කළ අතර ධර්මිෂ්ඨ පවුලකට ඇයව ඔවුන්ගේම දරුකමට හදා ගැනීමට ඉඩහැරියා. බ්‍රයිස් සහ ජොලින්ට, ඇය ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරක් වුණා. ඔවුන් ඇයට එමිලි යන නම තැබූ අතර ඇගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඇයට ඉගැන්වූවා.
එමිලි හැදී වැඩුණා. එමිලි සහ අපේ මුනුබුරා වන ක්‍රිස්ටියන් ආදරයෙන් බැඳී ස්වාමින්වහන්සේගේ නිවසේදී විවාහ වීම ගැන අපි කොතරම් කෘතඥ වෙනවාද. එමිලි සහ ක්‍රිස්ටියන්ට දැන් ඔවුන්ගේම කුඩා දැරියක් සිටිනවා.
එමිලි මෑතකදී මෙසේ ලිව්වා: “ගැබ්ගැනීමේ අවසන් මාස නවය පුරාම, මගේම උපතේ සිදුවීම් ගැන මෙනෙහි කිරීමට මට කාලය තිබුණා. වයස අවුරුදු 16 ක් වූ, මාව බිහිකළ මව ගැන මම සිතුවා. ගර්භණීභාවය නිසා ඇතිවන කැක්කුම් හා වෙනස්කම් මා අත්විඳින විට, වයස අවුරුදු 16 දී එය කොතරම් දුෂ්කර වන්නට ඇත්දැයි නොසිතා ඉන්නට මට බැරි වුණා. … මාව බිහිකළ මව ගැන මා සිතන විට කඳුළු ගලා එනවා, [ඇය මා වෙනුවෙන් බලාපොරොත්තු වූ ජීවිතය] මට දිය නොහැකි බව ඇය දැන සිටි අතර පරාර්ථකාමී ලෙස මාව දරුකමට හදාගැනීම සඳහා ලබාදුන්නා. එම මාස නවය තුළ ඇය කුමක් කරන්නට ඇත්දැයි මට තේරුම්ගත නොහැකියි—ඇගේ ශරීරය වෙනස් වන විට විනිශ්චය කරන දෑස් වලින් බලා සිටීම, ඇයට අහිමි වූ යෞවන අත්දැකීම්, මාතෘ ප්‍රේමයේ මෙම ප්‍රසූතිය අවසානයේ ඇය තම දරුවා වෙනත් කෙනෙකුගේ අතට පත්කරන බව දැනසිටීම. ඇයගේ පරාර්ථකාමී තේරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා, ඇය මගේ තෝරාගැනීමේ නිදහස පැහැර ගන්නා අයුරින් ඇයගේ තෝරාගැනීමේ නිදහස භාවිතා කිරීමට තෝරාගත්තේ නෑ.” එමිලි මෙසේ අවසන් කළා, “ස්වර්ගික පියාණන්වහන්සේගේ දිව්‍ය සැලැස්මට, මගේ [මට ආදරය කළ සහ රැකබලා ගත්] ඇදහිය නොහැකි දෙමව්පියන්ට, සහ අපගේ පවුල් වලට සදාකාලයටම මුද්‍රා වියහැකි දේවමාළිගා සඳහා මම ස්තූතිවන්ත වෙනවා.”15
ගැලවුම්කරුවාණන් “කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා, ඔහු වඩාගෙන මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවූ කවරෙක් නුමුත් මා පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.”16
ධර්මිෂ්ඨ ආශාවන් තවමත් සාක්ෂාත් කර නොගත් විට
විවාහ වී සිටින ඔවුන් ඉතා උනන්දුවෙන් අපේක්ෂා කළත් දරුවන් ලැබීමට නොහැකි ධර්මිෂ්ඨ අඹු සැමියන්ටත්, එමෙන්ම දෙවියන්වහන්සේගේ නීතියට අනුව විවාහ වීමට අවස්ථාවක් නොලැබූ කාන්තාවන්ට සහ පුරුෂයින්ටත් මම මගේ ආදරය හා අනුකම්පාව ප්‍රකාශ කරනවා. ලෞකික දෘෂ්ටි කෝණයෙන් පමණක් බලනවා නම්, ජීවිතයේ ඉටුකළ නොගත් සිහින තේරුම්ගැනීමට අපහසුයි. ස්වාමින්වහන්සේගේ සේවකයෙකු වශයෙන්, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ ඔබගේ ගිවිසුම් වලට විශ්වාසවන්තව සිටින විට, ඔබට මේ ජීවිතයේ නොලැබුණු ආශිර්වාද සහ ඔබගේ ධර්මිෂ්ඨ ආශාවන් ස්වාමින්වහන්සේගේ සදාකාලික කාල රේඛාව තුළ ලැබෙනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා.17 අපගේ සියලුම ධර්මිෂ්ඨ බලාපොරොත්තු ඉටු නොවූවත් ලෞකික ගමනේ සතුටක් තිබිය හැකියි.18
උපතින් පසු, දරුවන්ට අපගේ උපකාර දිගටම අවශ්‍ය වෙනවා. සමහරුන්ට එය අතිශයින්ම අවශ්‍යයි. සෑම වසරකම සැලකිලිමත් සභානායකවරුන් සහ නිරාහාර දීමනා වල නිර්ලෝභී දායකත්වයන් සහ මානුෂීය අරමුදල් තුළින් මිලියන ගණනකගේ ජීවිත සහ දරුවන් මිලියන ගණනක් ආශිර්වාද ලබනවා. එන්නත් බිලියන දෙකක් ලබාදීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා යුනිසෙෆ් සංවිධානයට සහාය වීම සඳහා පළමු සභාපතිත්වය මෑතකදී තවත් ඩොලර් මිලියන 20 ක් ප්‍රකාශයට පත් කළා.19 දෙවියන්වහන්සේ දරුවන්ට ආදරෙයි.
දරුවෙකු ලැබීමේ පරිශුද්ධ තීරණය
ලෝකයේ වඩාත්ම සමෘද්ධිමත් රටවල පවා දරුවන් අඩුවෙන් උපත ලැබීම සැලකිය යුතු තත්වයක්.20 “දෙවියන්වහන්සේ තම දරුවන්ට, බෝවී වැඩෙමින් පොළොව පූර්ණ කරන්නට දුන් ආඥාව තවමත් ක්‍රියාත්මකයි.”21 දරුවෙකු ලැබිය යුත්තේ කවදාද සහ දරුවන් කීදෙනෙක් සිටිය යුතුද යන්න ස්වාමිපුරුෂයා සහ භාර්යාව සහ ස්වාමින්වහන්සේ අතර පෞද්ගලික තීරණ වෙනවා. ඇදහිල්ල හා යාච්ඤාවෙන් මෙම පරිශුද්ධ තීරණය සුන්දර, එළිදරව්මය අත්දැකීමක් විය හැකියි.22
මම දකුණු කැලිෆෝනියාවේ ලයිං පවුලේ කතාව බෙදාගන්නම්. රෙබෙකා ලයිං සහෝදරිය මෙහෙම ලිව්වා:
“2011 ගිම්හානයේදී, අපේ පවුලේ අයගේ ජීවිතය පරිපූර්ණ ලෙස පෙනෙන්නට තිබුණා. වයස අවුරුදු 9, 7, 5 සහ 3—ලෙස දරුවන් හතරදෙනෙකු සමඟ අපි සතුටින් විවාහ වී සිටියා.
“මගේ ගැබ් ගැනීම් සහ දරු ප්‍රසූති ඉතා අවදානම් සහිත වුනා… [ඒවගේම] අපේ පවුල සම්පූර්ණයි කියා [සිතමින්] දරුවන් හතර දෙනෙකු ලැබීම අපට භාග්‍යයක් ලෙස හැඟුණා. ඔක්තෝම්බර් මාසයේදී ප්‍රධාන සම්මන්ත්‍රණයට සවන්දෙමින් සිටියදී, මට දැණුනේ අපට තවත් දරුවෙකු ලැබිය යුතු බවට වරදින්නට නොහැකි හැඟීමක්. ලෙග්‍රෑන්ඩ් සහ මම ඒ ගැන කල්පනා කර යාච්ඤා කරද්දී… දෙවියන්වහන්සේට අප වෙනුවෙන් අප සිතුවාට වඩා වෙනස් සැලැස්මක් ඇති බව අපි දැනගත්තා.
“තවත් දුෂ්කර ගැබ් ගැනීමක් හා දරු ප්‍රසූතියකින් පසු අප ලස්සන ගැහැණු ළමයෙක් ලබන්නට ආශිර්වාදිත වුණා. අපි ඇයට බ්‍රියෙල් යන නම තැබුවා. ඇය ආශ්චර්යයක්. ඇය ඉපදී මොහොතකට පසු, [දරු ප්‍රසූති කාමරයේ] සිටියදී, ආත්මයාණන්ගේ නොවරදින හඬ මට ඇසුණා: ‘තව එක්කෙනෙක් ඉන්නවා.’
“අවුරුදු තුනකට පසු තවත් ප්‍රාතිහාර්යයක් වන, මියා. බ්‍රියෙල් සහ මියා අපේ පවුලට ඉමහත් ප්‍රීතියක්.” ඇය මෙසේ අවසන් කළා, “ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම සඳහා විවෘතව සිටීම සහ අප උදෙසා උන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කිරීම සැමවිටම අපගේම අවබෝධය මත රඳා සිටීමට වඩා … සතුටක් ගෙන දෙනවා.”23
ගැලවුම්කරුවාණන් සෑම වටිනා දරුවෙකුටම ආදරය කරනවා.
“තවද උන්වහන්සේ ඔවුන්ගේ කුඩා දරුවන් එකිනෙකා රැගෙන, තවද ඔවුන්ට ආශිර්වාද කළ සේක. …
“තවද … ඔවුන් ඔවුන්ගේ ඇස් ස්වර්ගය දෙසට යොමු කළහ, … තවද ඔවුන් දේවදූතයන් එහි ගින්දර මධ්‍යයෙන් මෙන්, … ස්වර්ගයෙන් පිටතට බසිනවා දුටුවෝය … [එම දේවදූතයන්] පහතට පැමිණ එම කුඩා අයවළුන්ව වටකර ගත්හ, … තවද දේවදූතයෝ ඔවුන් හට දේවසේවය කළෝය.”24
දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔබගේ පෞද්ගලික ගමන පොළොවේ පළමු වාතය ඔබේ පෙණහලු වලට වේගයෙන් ගලා ආ විට ආරම්භ වූවේවත් සහ ඔබ ලෞකිකත්වයේ අවසන් හුස්ම ගන්නා විට එය අවසන් වන්නේවත් නැති බවට මම සාක්ෂි දරනවා.
දෙවියන්වහන්සේගේ සෑම ආත්මික දරුවෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ගමන සඳහා පොළොවට පැමිණෙන බව අපට සැමවිටම මතක තබාගනිමු.25 අපි ඔවුන්ව සාදරයෙන් පිළිගනිමු, ආරක්ෂා කරමු, සැමවිටම ඔවුන්ට ආදරය කරමු. ඔබ මෙම වටිනා දරුවන් ගැලවුම්කරුවාණැන්ගේ නාමයෙන් පිළිගෙන ඔවුන්ගේ සදාකාලික ගමනට උදව් කරන විට, ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන බවත්, උන්වහන්සේගේ ප්‍රේමය හා අනුමැතිය ඔබ කෙරෙහි වැගිරෙන බවත් මම ඔබට පොරොන්දු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.