ප්‍රධාන සම්මන්ත්‍රණය
මුද්‍රා තැබීමේ බලය
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මුද්‍රා තැබීමේ බලය

මුද්‍රා තැබීමේ බලය දෙවියන්වහන්සේගේ දරුවන්ට පුද්ගලික ගැලවීම සහ පවුලේ උත්කර්ෂය විශ්වීය වශයෙන් ලබා දෙයි.

අඩුම තරමින් යෙසායාගේ කාලයේ සිටම1 අනාවැකි පළ වී ඇත්තේ, අවසාන දිනවලදී, ස්වාමින්වහන්සේගේ පුරාණගිවිසුම්ගත සෙනග වන ඊශ්‍රායෙල් වංශය “ඔවුන්ගේ දිගු විසිරුමෙන් පසු මුහුදේ දූපත් වලින්, පොළවේ හතර කොනින් ” 2 ඔවුන්ගේ උරුමයේ පොළව මත එකතු විය යුතු බවයි” 3 සභාපති රසල් එම්. නෙල්සන් මෙම රැස්වීම ගැන නිතර හා බලවත් ලෙස කතා කර තිබෙන්නේ “අද මිහිපිට සිදුවන වැදගත්ම දේ” ලෙසයි. 4

මෙම එක්රැස්වීමේ අරමුණ කුමක්ද?

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දුන් හෙළිදරව් කිරීමක් මගින් ස්වාමින්වහන්සේ ගිවිසුම් ජනතාවගේ ආරක්ෂාව ලෙස එක් අරමුණක් හඳුන්වාදුන්නා. උන්වහන්සේ පැවසුවේ “සයොන දේශයේ සහ ඇයගේ ස්ටේකයන් මත එක් රැස්වන රැස්වීම්, කුණාටුව වෙතින්ද, තවද කෝපය මිශ්‍රණයකින් තොරව සම්පූර්ණයෙන්ම මුළු පොළව මත වගුරුවන විටද, ආරක්ශාව සඳහා සහ ආවරනයක් වන බවයි.”5 මෙම පදය තුළ “කෝපය” දෙවියන්වහන්සේගේ නීති සහ ආඥාවන්ට අකීකරුවීමේ ස්වභාවික ප්‍රථිවිපාකය ලෙස තේරුම්ගත හැකියි.

වඩාත් වැදගත්ම දෙය නම් මෙම රැස්කිරීමේ අරමුණ වන්නේ පිළිගන්නා සියල්ලන්ටම ගැළැවීම සහ උත්කර්ශයේ ආශිර්වාද ගෙන ඒමයි. ආබ්‍රහම්ට දුන් ගිවිසුම්ගත පොරොන්දු ඉටුවන්නේ එවිටය. ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ කලේ ඔහුගේ වංශය සහ පූජකත්වය තුළින්, “පොළොවේ සියලුම පවුල් ආශිර්වාද ලබන්නෝය, එනම් ගැලවීමේ ආශිර්වාද වන, ශුභාරංචියේ ආශිර්වාදයන් පවා, සදාකාල ජීවනයද පවා ලබන්නෝය.”යනුවෙන්ය.6 සභාපති නෙල්සන් එය මේ ආකාරයෙන් ප්‍රකාශ කළා: “අපි ශුභාරංචිය වැලඳගෙන බව්තීස්ම වූ විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමය අප මතට ගන්නෙමු. බව්තීස්මය යනු ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ ඔවුන්ගේ පරම්පරාවට පුරාණයේ ස්වාමින්වහන්සේ විසින් දුන් සියලු පොරොන්දුවල හවුල් උරුමක්කාරයන් වීමට මගපෙන්වන දොරටුවයි.”7

1836 දී මෝසෙස් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට දර්ශණය වී “සතර දිග්භාගයෙන් ඊශ්‍රායෙලය එක් රැස්කිරීමේ යතුරු බාරකළා.”8 එම අවස්ථාවේදීම, එලියාස් පැමිණ “අපගෙන් පසු, අප සහ අපගේ වංශය සියළු පරම්පරාවන් ආශිර්වාදමත් වන බව පවසමින් සහස්‍රයේ ආබ්‍රහම්ගේ ශුභාරංචිය බාරකළා.”9 මෙම අධිකාරිය සමඟ, අපි දැන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය—එනම්, උන් වහන්සේ තුළින් මිදීමේ ශුභාරංචිය පොළවේ සෑම ප්‍රදේශයකටම සහ සියලු මිනිසුන්ට ගෙනයන අතර කැමති සියල්ලන්වම ශුභාරංචි ගිවිසුමට එකතු කරන්නෙමු. ඔවුන් “ආබ්‍රහම්ගේ වංශයද, තවද එම සභාව සහ රාජ්‍යයද තවද දෙවියන්වහන්සේගේ තෝරාගත් අයද වනවා.”10

එම අවස්ථාවේදීම කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිට දර්ශණය වූ තවත් තුන්වන ස්වර්ගීය පණිවිඩකරුවෙකු වනවා. මම කතාකරන්නේ එලිජා දිවැසිවරයා ගැනයි, අද මට කතා කරන්න අවශ්‍ය වන්නේ ඔහු නැවත පිහිටවූ අධිකාරිය සහ යතුරු පිළිබඳවයි.11 සියලුම පූජකත්ව වත්පිලිවෙත් වලංගු කිරීමේ බලය සහ පොළවේ සහ ස්වර්ගයේ ඒවා බැඳීම සඳහා—මුද්‍රා තැබීමේ බලය—ගිවිසුම් ගත ජනතාවක් තිරය දෙපසම එක් රැස්කර සූදානම් කිරීමට ඉතා වැදගත්වන්වා.

වසර ගණනාවකට පෙර, මොරෝනී ජෝසෆ් ස්මිත්ට, එලයිජා අවශ්‍ය පූජකත්ව අදිකාරිය ගෙන එන බවට පැහැදිලි කර දී තිබුණේ මෙසේයි: “මම නුඹලාට අනාගතවක්තෘ එලියාගේ හස්තයෙන් පූජකවරය එළිදරව් කරන්නෙමි.”12 පසුව ජෝසෆ් ස්මිත් “එලයිජා පැමිණියේ ඇයි? කියා පහදා දුන්නා. මක්නිසාද යත් පූජකත්වයේ සියලුම වත්පිලිවෙත් පාලනය කිරීමේ අධිකාරියේ යතුරු ඔහු සතු බැවින්; එම අදිකාරිය ලබාදී ඇත්නම් මිස වත්පිලිවෙත් ධර්මිෂ්ඨ ලෙස පරිපාලනය කළ නොහැක,”13—එනම් එම වත්පිලිවෙත් කාලයට සහ සදාකාලයට බැඳී පවතින්නේ නැත.14

දහම සහ ගිවිසුම් ශුද්ධ ලියවිල්ල ලෙස දැන් මුණිවරයන්ගේ නාමාවලියට ඇතුළත් කර ඇති ඉගැන්වීමක අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙහෙම කිව්වා, “පොළොවෙහි සහ ස්වර්ගයෙහි වාර්තා කරන හෝ බඳිනු ලබන බලයක් ලෙස—අපි කතා කරන එය, සමහරෙක්ට ඉතා තද දහමක් ලෙස පෙනෙන්නට හැකිය. කෙසේ වෙතත්, ලෝකයේ සියලු කාලයන්හි, ස්වාමින්වහන්සේ විසින් සැබෑ එළිදරව් මඟින් ඕනෑම මනුශ්‍යයෙකුට, හෝ මනුශ්‍ය ඛණ්ඩායමකට පූජකවරයේ කාලපරිච්ඡේදයක් ලබාදුන්විට, සැමවිටම මෙම බලය ලබාදී ඇත්තේය. එමනිසා එම මනුශ්‍යයන් අධිකාරියෙන් යුතුව, ස්වාමින්වහන්සේගෙන් කළ ඕනෑම දෙයක්, එය සත්‍ය ලෙස සහ ඇදහිලිවන්තව කලේද තවද ඒ පිළිබඳව උචිත සහ ඇදහිලිවන්ත වාර්ථාවක් තබාගත්තේද, එය පොළවේත් ස්වර්ගයේත් නීතියක් වූයේය, ශ්‍රේෂ්ඨ යෙහෝවාවහන්සේගේ නියමයට අනූව, තවද එය අවලංගු කළ නොහැකි වන්නේය.”15

මුද්‍රා තැබීමේ අධිකාරිය සමහර දේවමාළිගා වත්පිලිවෙත් පමණක් අදාළ වන බව අපි සිතීමට නැඹුරුවී සිටිනවා, නමුත් පොළොවෙහි සහ ස්වර්ගයෙහි ඕනෑම වත්පිලිවෙතක් වලංගු වීමට හා බැඳීමක් බවට පත් කිරීමට එම අධිකාරිය අවශ්‍ය වනවා.16 මුද්‍රා තැබීමේ බලය ඔබේ බව්තීස්මයට නීත්‍යානුකූල භාවයේ මුද්‍රාවක් ලබා දෙයි, නිදසුනක් වශයෙන්, එය මෙහි සහ ස්වර්ගයේ පිළිගනු ලැබේ. අවසානයේදී, සියලුම පූජකත්ව ආඥාපනත සභාවේ සභාපතිගේ යතුරු යටතේ සිදු කරනු ලබන අතර, සභාපති ජෝසෆ් ෆීල්ඩින් ස්මිත් පැහැදිලි කළ පරිදි, “ඔහු [සභාවේ සභාපති] අපට බලය ලබා දී ඇත, ඔහු අපගේ පූජකත්වය තුළ මුද්‍රා තැබීමේ බලය තබා ඇත, ඒ ඔහු එම යතුරු ඔසවන නිසායි.”17

පොළවේ සහ ස්වර්ගයේ මුද්‍රා තැබීම ගැන කතාකරන විට, ඊශ්‍රායෙල්වරුන් එක්රැස් කිරීමේදී විශේෂ අර්ථයක් ඇති තවත් වැදගත් අරමුණක් තිබෙනවා—එය නම් දේවමාළිගා ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීමයි. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වූවා: “ලෝකයේ ඕනෑම යුගයක … දෙවියන්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීමේ පරමාර්ථය කුමක්ද? … මෙහි ප්‍රධාන පරමාර්ථය වූයේ ස්වාමින්වහන්සේට තම ගෘහයේ නියෝගයන් සහ උන්වහන්සේගේ රාජ්‍යයේ මහිමයන් තම සෙනඟට හෙළිකළ හැකි නිවසක් ගොඩනඟා ගැනීමයි, තවද පුද්ගලයින්ට ගැලවිමේ ආකාරය ඉගැන්වීමයි; මක්නිසාදයත්, එහි යම් යම් නියෝගයන් හා මූලධර්ම ඇති අතර, ඒවා උගන්වනු ලබන විට හා ක්‍රියාවට නංවන විට, ඒ සඳහා ඉදිකරන ලද ස්ථානයක හෝ නිවසක ඒවා සිදුකළ යුතුය.”18

පූජකවර වත්පිලිවෙත් වලට මුද්‍රා තැබීමේ බලය ලබාදෙන වලංගුභාවයට, ඇත්තවශයෙන්ම ස්වාමින්වහන්සේ විසින් නියම කරන ලද ස්ථානයේ—එනම් උන්වහන්සේගේ දේවමාළිගාවේ, මළවුන් වෙනුවෙන් ජීවත්ව සිටින අය විසින් සිඳුකරන වත්පිළිවෙත් අයත් වෙනවා. මෙහිදී අපට මුද්‍රා තැබීමේ බලයේ මහිමය සහ පූජනීයත්වය පෙනෙනවා; පොළොවේ කෙදිනක හෝ කොතැනක ජීවත් වුවත් දෙවියන්වහන්සේගේ දරුවන්ට පුද්ගලික ගැලවීම සහ පවුල් උත්කර්ෂය විශ්වීය වශයෙන් ලබාගත හැක. වෙනත් කිසිම දේවධර්මයකට හෝ දර්ශනයකට හෝ අධිකාරියකට එවැනි සියල්ල ඇතුළත් අවස්ථාවක් සමඟ සම කළ නොහැකියි. මෙම මුද්‍රා තැබීමේ බලය දෙවියන්වහන්සේගේ යුක්තිය, දයාව සහ ප්‍රේමයේ පරිපූර්ණ ප්‍රකාශනයක් වනවා.

මුද්‍රා තැබීමේ බලයට ප්‍රවේශ වීමත් සමඟම, අපගේ හදවත් ස්වභාවිකවම පෙර අපව හැරගිය අය වෙත හැරෙනවා. පසුදවස් වල සිඳුවන ගිවිසුමට එක් රැස්වීම වැස්ම හරහා එතෙර වෙනවා. දෙවියන්වහන්සේගේ පරිපූර්ණ අනුපිළිවෙලට අනුව, අපගේ මුතුන් මිත්තන් සමඟ කල්පවත්නා සම්බන්ධතා ඇති කර නොගෙන ජීවත්ව සිටින අයට සදාකාල ජීවනය එහි පූර්ණත්වයෙන් අත්විඳිය නොහැකියි. එසේම, දැනටමත් තිරයෙන් එහා සිටින අයගේ දියුණුව, නැතහොත් මුද්‍රා තැබීමේ ප්‍රථිලාභ අත්නොවිඳ තිරයෙන් එහා එතෙර වන අය වෙනුවෙන් සිඳුකරන වත්පිලිවෙත් තුලින් ඔවුන්ගෙන් පැවත එන්නන් වන අපව සහ අපව ඔවුන්ට දිව්‍යමය ආකාරයට බැඳ තබන තෙක් ඔවුන් සම්පූර්ණ වන්නේ නැත.19 තිරය දෙපස එකිනෙකාට උපකාර කිරීමට ඇති කැපවීම නව සහ සදාකාලික ගිවිසුමේ කොටසක් වන ගිවිසුම් පොරොන්දුවක් ලෙස වර්ග කළ හැකියි. ජෝසෆ් ස්මිත්ගේ වචනවලින් පවසනවනම්: “අපට අවශ්‍ය වන්නේ පළමු නැවත නැඟිටීමේදී [අප සමඟ] අපගේ මළවුන් ඉදිරියට ඒම පිණිස මුද්‍රා තැබීමටයි.”20

මුද්‍රා තැබීමේ බලයේ ඉහළම සහ පූජනීයම ප්‍රකාශනය වන්නේ, විවාහය තුළ පුරුෂයෙකු හා ස්ත්‍රියකගේ සදාකාලික එකමුතුව සහ ඔවුන්ගේ සියලු පරම්පරාවන් හරහා මානව වර්ගයා සම්බන්ධ කිරීමයි. මෙම අණපනත්වල කටයුතු කිරීමේ අධිකාරිය ඉතා පරිශුද්ධ බැවින්, සභාවේ සභාපතිවරයා එහි නියෝජිතයන් අන් අය වෙත පෞද්ගලිකව අධීක්ෂණය කරයි. සභාපති ගොර්ඩන් බී. හින්ක්ලී එක් අවස්ථාවක මෙසේ පැවසුවා, “පවුල් සදහටම එකට බැඳ තැබීමට ශුද්ධවූ පූජකත්වයේ මුද්‍රා තැබීමේ බලයට වඩා, නැවත පිහිටුවීමේ සියලු ශෝකයෙන් හා මහත් පරිශ්‍රමයෙන් හා වේදනාවෙන් වෙන කිසිවක් එළියට ආවේ නැත්නම්, ඒ සඳහා වැයවූ සියල්ලට වටිනාකමක් ඇත.”21

සදාකාලික පවුල් නිර්මාණය කරන සහ මෙහි සහ මෙයින් පසු පරම්පරා සම්බන්ධ කරන මුද්‍රා තැබීම නොමැතිව, මූලයන් හෝ අතු නොමැතිව, එනම් මුතුන්මිත්තන් හෝ මතුපරම්පරාව නොමැතිව අපි සදාකාලිකවම ඉතිරි වනවා ඇත. එක් පැත්තකින් පුද්ගලයන්ගේ නිදහස්-පාවෙන, විසන්ධි වූ තත්වය සහ අනෙක් පැත්තෙන් දෙවියන්වහන්සේ විසින් පත් කර ඇති විවාහය සහ පවුල් සබඳතාවලට බාධා කරන සම්බන්ධතා,22 පොළොව මැවීමේ සහ අපගේ මැරෙණ සුළු ජීවිතයේ අත්දැකීම් වල අරමුණු නිශ්පල කරයි. එය සාමාන්‍ය දෙයක් බවට පත් වුවහොත්, එය ශාපයකින් පොළොවට පහර දීමට සමාන වනු ඇත නැතහොත් ස්වාමින්වහන්සේගේ පැමිණීමේදී “මුළුමනින්ම විනාශයට” පත්වනු ඇත.23

“පිරිමියෙකු සහ ස්ත්‍රියක් අතර විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කර ඇති අතර පවුල උන්වහන්සේගේ දරුවන්ගේ සදාකාලික ඉරණම සඳහා මැවුම්කරුවාණන්ගේ සැලැස්මට මූලික වන්නේ” ඇයි කියා අපට දැකගත හැකියි.”24 ඒ අතරම, අසම්පූර්ණ වර්තමානයේ සමහරුන්ට මෙය යතාර්තයක්වත්, යතාර්තවාදී හැකියාවක් වත් නොවන බව අපි හඳුනගන්නවා. නමුත් අපිට ක්‍රිස්තුස්වහන්සේ ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. අප ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින අතරතුර, සභාපති එම්. රසල් බැලර්ඩ් “ශුභාරංචි ගිවිසුම් පිළිපැදීමට ඇදහිලිවන්තව සිටින සෑම කෙනෙකුටම උත්කෘෂ්ඨ වීමට අවස්ථාව ඇති බව ශුද්ධලියවිලි වල හා පසුදවස් වල අනාගතවක්තෘවරුන් සනාථ කරන” බව අපට මතක් කර දෙනවා.”25

සමහරු අසතුටුදායක සහ සාර්තක නොවන පවුල් තත්වයන් අත්විඳ ඇති නිසා සදාකාලික පවුල් ඇසුරක් සඳහා ඇත්තේ කුඩා ආශාවක්ය. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙම ප්‍රකාශය සිඳුකලා: “ඔබේ පවුල තුළ දික්කසාදයේ සිත් වේදනාව අත්විඳ ඇති හෝ විශ්වාසය කඩ කිරීමේ වේදනාව දැනුණු ඔබට, [පවුල් සඳහා දෙවියන්වහන්සේගේ රටාව] ඔබ සමඟ නැවත ආරම්භ වන බව මතක තබා ගන්න! ඔබේ පරම්පරා දාමයේ එක් පුරුකක් කැඩී ගොස් තිබිය හැකි නමුත් අනෙක් ධර්මිෂ්ඨ සබැඳි සහ දාමයේ ඉතිරිව ඇති දේ සදාකාලිකව වැදගත් වේ. ඔබට ඔබේ දාමයට ශක්තිය එකතු කළ හැකි අතර සමහර විට බිඳුණු සබැඳි ප්‍රතිෂ්ඨාපනය කිරීමට පවා උපකාර කළ හැක. ඒ කාර්යය ඉටුවන්නේ එකින් එකයි.”26

පසුගිය ජූලි මාසයේදී වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ බිරිඳ වන පැට් හොලන්ඩ් සොයුරියගේ අවමංගල්‍ය උත්සවයේදී සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “නිවැරදි කාලයේදී පැට්‍රීෂියා සහ ජෙෆ්රි නැවත එකතු වෙනවා. දෙවියන්වහන්සේ තම විශ්වාසවන්ත දරුවන් සඳහා ගබඩා කර ඇති ප්‍රීතියේ පූර්ණත්වය අත්විඳීමට ඔවුන් පසුව ඔවුන්ගේ දරුවන් සහ ඔවුන්ගේ ගිවිසුම් රකින පරම්පරාව සමඟ එකතු වනවා ඇති. ඒ ගැන දැනසිටීමෙන් අපට වැටහෙන්නේ පැට්‍රීෂියාගේ ජීවිතයේ වැදගත්ම දිනය ඇගේ උපන් දිනය හෝ මියගිය දිනය නොවන බවයි. ඇයගේ වැදගත්ම දිනය 1963 ජූනි 7, ඇය සහ ජෙෆ් සමඟ මුද්‍රා තැබූ දිනයයි. ඒ ශන්ත. ජොර්ජ් දේවමාළිගාවේදී. … මෙය කාර්යය එතරම් වැදගත් වන්නේ ඇයි? මන්දයත්, පොළොව නිර්මාණය වූ එකම හේතුව වන්නේ පවුල් පිහිටුවා එකිනෙකාට මුද්‍රා තැබීමට හැකි වීමයි. ගැලවීම පෞද්ගලික කාරණයක් නමුත්, උත්කෘශ්ට වීම පවුලේ කාරණයක්. කිසිම කෙනෙකුට තනිවම උත්කර්ෂවත් විය නොහැකියි.”

කෙටි කලකට පෙර, මගේ බිරිඳ සහ මම යුටාහි බවුන්ටිෆුල් දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ කාමරයක ආදරණීය මිතුරෙකු සමඟ එකතු වුණා. මට මේ මිතුරිය මුලින්ම මුණගැසුණේ ඇය කුඩා කාලයේ ආර්ජන්ටිනාවේ කොර්ඩෝබාහිදීය. මමත් මාගේ ධර්මදූත සහයකයත් ධර්මදූත කාර්යාලයට මදක් ඈතින් පිහිටි අසල්වැසි ප්‍රදේශයක නිවෙස්වල මිනිසුන් මුණගැසෙමින් සිටින අතර, අපි ඇගේ නිවසට පැමිණි විට එහි දොර විවෘත කළේ ඇයයි. නියමිත කාලය තුළ, ඇය සහ ඇගේ මව සහ සහෝදර සහෝදරියන් සභාවට සම්බන්ධ වූ අතර, ඔවුන් විශ්වාසවන්ත සාමාජිකයන් ලෙස රැඳීසිටියා. ඇය දැන් ප්‍රියමනාප කාන්තාවක්, මෙම දිනයේදී අපි දේවමාළිගාවට පැමිණියේ ඇයගේ දෙමාපියන්ව එකිනෙකාට මුද්‍රා තැබීමටත් පසුව ඇයව ඔවුන්ට මුද්‍රා තැබීමටත්ය.

වසර ගණනාවක් තිස්සේ සමීප මිතුරන් බවට පත් වූ යුවළක් පූජාසනය අසල ඇගේ දෙමාපියන් නියෝජනය කළා. අපේ ආජන්ටිනා මිතුරිය ඇගේ දෙමාපියන්ට මුද්‍රා තැබූ විට එය වඩාත් මිහිරි හා හැඟීම්බර මොහොතක් වුනා. ලෝකයෙන් ඈත් වූ නිස්කලංක සන්ධ්‍යාවක අප හය දෙනෙකු පමණක් පැමිණ සිටි නමුත් පොළොවේ මෙතෙක් සිදු වූ වැදගත්ම දේවලින් එකක් සිදුවෙමින් තිබුණා. තරුණ ධර්මදූතයෙකු ලෙස ඇයගේ දොරට තට්ටු කිරීමේ සිට මේ වනතෙක් වසර ගණනාවකට පසුව, ඇයව ඇගේ දෙමාපියන්ට සහ අතීත පරම්පරාවන්ට සම්බන්ධ කළ මුද්‍රා තැබීමේ ආඥාපනත ඉටු කරමින් මගේ කාර්යභාරය සහ ඇසුර සම්පූර්ණ වී තිබීම ගැන මම සතුටු වුණා.

මෙය ලොව පුරා දවමාළිගාවල නිරන්තරයෙන් සිදුවන දර්ශනයකි. ගිවිසුම්ගත ජනතාව එක්රැස් කිරීමේ අවසාන පියවර මෙයයි. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ඔබගේ සාමාජිකත්වයේ ඉහළම වරප්‍රසාදයයි. ඔබ විශ්වාසවන්තව එම වරප්‍රසාදය සොයන විට, මෙළොවෙහි හෝ සදාකාලිකව එය නිසැකවම ඔබට හිමිවන බවට මම පොරොන්දු වනවා.

ජෝසෆ් ස්මිත් හරහා පොළොව මත නැවතපිහිටුවන ලද මුද්‍රා තැබීමේ බලය සහ අධිකාරය සැබෑ බවත්, එමඟින් පොළොවේ බැඳී ඇති දේ සැබවින්ම ස්වර්ගයේ බැඳෙන බවටත් මම සාක්ෂි දරනවා. සභාපති රසල් එම්. නෙල්සන් සභාවේ සභාපතිවරයා ලෙස මෙම දිව්‍යමය බලය පැවරීම සහ භාවිතය හසුරුවන මිහිපිට සිටින එකම මිනිසා බව මම සාක්ශි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අමරණීයභාවය සත්‍යයක් බවට පත් කර ඇති අතර උසස් පවුල් සබඳතාවල හැකියාව යථාර්ථයක් බවට පත් කර ඇති බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. නිදසුනක් සඳහා, බලන්න, යෙසායා 49.

  2. 2 නෙපි 10:8.

  3. 2 නෙපි 10:7.

  4. රසල් එම්. නෙල්සන් සහ වෙන්ඩි ඩබ්. නෙල්සන්, “Hope of Israel” (ලෝක ව්‍යාප්ත තරුණ ආගමික රැස්වීම, ජූනි 3, 2018), ශුභාරංචි පුස්තකාලය.

  5. දහම සහ ගිවිසුම් 115:6.

  6. ආබ්‍රහම් 2:11.

  7. රසල් එම්. නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ලියහෝනා, ඔක්. 2022, 4; තවත් බලන්න රසල් එම්. නෙල්සන්, Children of the Covenant,” Ensign, May 1995, 34. “නව සහ සදාකාලික ගිවිසුම” (දහම සහ ගිවිසුම් 132:6) සහ ආබ්‍රහමික ගිවිසුම ඇත්තෙන්ම එක සමානය—එනම් එය දෙවියන්වහන්සේ විවිධ කාලවලදී ලෞකික පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ ඇතිකරගත් ගිවිසුම වචනයෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රම දෙකකි.” (රසල් එම්. නෙල්සන්, “නව සහ සදාකාලික ගිවිසුම,” ලියහෝනා, 2022 ඔක්. 4).

  8. දහම සහ ගිවිසුම් 110:11.

  9. දහම සහ ගිවිසුම් 110:12.

  10. දහම සහ ගිවිසුම් 84:34.

  11. දහම සහ ගිවිසුම් 110:13–16 බලන්න.

  12. දහම සහ ගිවිසුම් 2:1.

  13. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 310.

  14. “එලියාගේ ආත්මය, බලය සහ කැඳවීම නම්, මෙල්කිසදෙක් පූජකත්වයේ සහ පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පූර්ණත්වයේ එළිදරව්, වත්පිළිවෙත්, දිවැස් වැකි, බලයන් සහ බලයෙන් සැරසීම්වල යතුරු දැරීමට ඔබට බලය තිබීමයි. පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටත් දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටත් ස්වර්ගයේ සිටින අය වෙතටත් හැරවීම මෙන්ම පවා දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අයත් සියලුම වත්පිලිවෙත් ලබා ගැනීමට, වලංගු ලෙස තබා ගැනීම සහ ඉටු කිරීමයි” (Teachings: Joseph Smith, 311).

  15. දහම සහ ගිවිසුම් 128:9.

  16. බලන්න දහම සහ ගිවිසුම් 132:7.

  17. හෙන්‍රි බී. අයිරින්ගේ “Families under Covenant,” Liahona, May 2012, 63 හි ජෝසෆ් ෆීල්ඩින්ග් ස්මිත්; තවත් බලන්න පිටුව 65හි අවසාන සටහන 5.

  18. Teachings: Joseph Smith, 416–17.

  19. දේවමාළිගාවේ වත්පිලිවෙත් හරහා නිර්මාණය කරන ලද පියවරුන් සහ දරුවන් අතර මෙම “පෑස්සූ සම්බන්ධතා” (බලන්න දහම සහ ගිවිසුම් 128:18) නොමැතිව, ස්වාමින්වහන්සේ පවසන්නේ, “මළවුන් සමඟ නුඹලාව ප්‍රතික්ෂේප කරනු ලබන බවයි” (දහම සහ ගිවිසුම් 124:32). අනාගතවක්තෘවරයා මෙලෙස අනතුරු ඇඟවීමේ පුදුමයක් නැත, “අපගේ ගැලවීමට සම්බන්ධ, මළවුන් සහ ජීවත් වන්නවුන් සම්බන්ධ මෙම මූලධර්ම සැහැල්ලුවෙන් පසුකර යාමට දිය නොහැකිය. මක්නිසාද ඔවුන්ගේ ගැලවීම අපගේ ගැලවීමට අනිවාර්යය සහ අත්‍යවශ්‍ය වන්නේය, පියවරුන් සම්බන්ධයෙන් පාවුළු පැවසූ ආකාරයට—එනම් අපගෙන් තොරව ඔවුන්ට සම්පූර්ණ වීමක් නොවන්නේය—එලෙසම අපගේ මළවුන් නොමැතිව අපටද සම්පූර්ණ වීමක් නොවන්නේය.”(දහම සහ ගිවිසුම් 128:15)

  20. Teachings: Joseph Smith, 312.

  21. Teachings of Gordon B. Hinckley (1997), 475–76.

  22. බලන්න දහම සහ ගිවිසුම් 132:8-12.

  23. බලන්න මලාකි 4:6; දහම සහ ගිවිසුම් 2:3.

  24. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” සුභාරංචි පුස්තකාලය.

  25. බලන්න එම්. රසල් බැලර්ඩ්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව,” ලියහෝනා, මැයි 2021, 55.

  26. ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “A Welding Link” (තරුණ වැඩිහිටියන් සඳහා ලෝක ව්‍යාප්ත ආගමික රැස්වීම සැප්. 10, 2017), සුභාරන්චි පුස්තකාල.

මුද්‍රණය කරන්න