එන්න, මා අනුගමනය කරන්න 2024
ජුනි 10–16: “නුඹලාගේ හදවත් වල නුඹලා මෙම බලවත් වෙනස අත්දැක ඇත්ද?” ඇල්මා 5–7


“ජුනි 10–16: ‘නුඹලාගේ හදවත් වල නුඹලා මෙම බලවත් වෙනස අත්දැක ඇත්ද?’ ඇල්මා 5–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජුනි 10–16. ඇල්මා 5–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
බාල ඇල්මා සෝරාම්වරුන්ට උගන්වමින්

බාල ඇල්මා සෝරාම්වරුන්ට උගන්වමින්

ජුනි 10–16: “නුඹලාගේ හදවත් වල නුඹලා මෙම බලවත් වෙනස අත්දැක ඇත්ද?”

ඇල්මා 5–7

හානියට පත් හෝ රෝගී හදවතක් වෙනුවට සෞඛ්‍ය සම්පන්න හදවතක් ආදේශ කරන වර්තමාන ජීවිතාරක්ෂක හදවත් බද්ධ කිරීමේ සැත්කම් ගැන ඇල්මා දැනසිටියේ නෑ. නමුත් වඩාත් ආශ්චර්යමත් “හදවතේ වෙනසක්” ගැන ඔහු දැනසිටියා (ඇල්මා 5:26)—ගැලවුම්කරුවාණන් අපට “නැවත ඉපදීම” වැනි, අධ්‍යාත්මික ජීවිතයේ නව්‍යබාවයක් ලබාදීම ගැන ඔහු දැන සිටියා (බලන්න ඇල්මා 5:14, 49). මෙම හදවතේ වෙනස නෙපීවරුන් බොහෝදෙනෙක්ට හරියටම අවශ්‍ය වූ දේ බව ඇල්මාට දකින්න පුළුවන් වුණා. සමහරු ධනවත් වූ අතර තවත් සමහරු දුප්පත් වුණා, සමහරු ආඩම්බර වූ අතර තවත් අය නිහතමානී වුණා, සමහරු පීඩා කරන්නන් සහ තවත් අය පීඩා වලින් පීඩා විඳින්නන් වුණා (බලන්න ඇල්මා 4:6–15). නමුත් අප සියල්ලන්ම කරන ලෙස—සුවපත් වීමට ඔවුන් සියල්ලන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය යුතුව තිබුණා. අපි ආඩම්බරයෙන් මිදීමට හෝ දුක් පීඩා දරාගැනීමට උත්සාහ කරද්දි වුවත්, ඇල්මාගේ පණිවිඩය එක හා සමානයි: “පැමිණෙන්න, බිය නොවන්න” (ඇල්මා 7:15). දැඩි, පව්කාර හෝ තුවාල වූ හදවතක් නිහතමානී, නිර්මල හා අලුත් එකක් බවට පත්කිරීමට ගැලවුම්කරුවාණන්ට ඉඩදෙන්න.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 5:14–33

මගේ හදවතේ විශාල වෙනසක්—මම අත්විඳිය යුතුමයි—ඒ වගේම මට එය දිගටම දැනිය යුතුයි.

සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ පැවසුවා: “මම හොඳින්ද?’ කියා මාගෙන්ම අසාගැනීමට මම නිතිපතා කාලය ගත යුතුය. මෙම පෞද්ගලික, ස්වකීය සමාලෝචනයේදී මට මගපෙන්වීමක් වශයෙන්, ඇල්මාගේ පස්වන පරිච්ඡේදයේ ඇති ස්වයං-ව්‍යවහාර වචන කියවා මෙනෙහි කිරීමට මම කැමතියි” (“Return and Receive,” Liahona, May 2017, 64).

ඔබ ඔබ සමඟ සම්මුඛ සාකච්ඡාවක් කර ඔබේ හදවත පරීක්ෂා කරනවාක් මෙන් ඇල්මා 5:14–33 කියවීම ගැන සලකා බලන්න. මෙම ප්‍රශ්න වලට ඔබේ ප්‍රතිචාර සටහන් කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබ ඔබ ගැන ඉගෙන ගන්නේ මොනවාද? ඔබගේ සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔබ පෙළඹී ඇත්තේ මොනවා කිරීමටද?

රූපය
ගැහැණු ළමයෙකු ඇඳක් අසල සිට යාච්ඤා කරමින්

අපි දෙවියන්වහන්සේ වෙතට හැරෙද්දි, අපට “හදවතෙහි වෙනසක්” අත්විඳින්න පුළුවන්.

ඇල්මා 5:44–51

ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ මගේම සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ලබාගැනීමට මට පුළුවන්.

ඇල්මා 5 තුළ, ඔහු ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔහුගේ සාක්ෂිය ලබා ගත් ආකාරය ඇල්මා පැහැදිලි කළ විට, ඔහු දේවදූතයෙකු දැකීම පිළිබඳ ඔහුගේ අත්දැකීම ගැන සඳහන් කළේ නෑ (බලන්න මොසායා 27:10–17). ඇල්මා තමන් විසින්ම සත්‍යය දැනගත්තේ කොහොමද? ඔබ ඇල්මා 5:44–51 තුළින් සොයාගත් දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ සාක්ෂියක් ලබා ගැනීම සඳහා “වට්ටෝරුවක්” ලිවීමට ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇල්මා ඇතුළත් කර ඇති “අමුද්‍රව්‍ය” (ශුභාරංචියේ සත්‍යයන්) සහ “උපදෙස්” (සත්‍යය සෙවීමට අපට කළ හැකි දේවල්) මොනවාද? ඔබේම අත්දැකීම්වලින් හෝ ශුද්ධලියවිලි වල ඇති වෙනත් අත්දැකීම් වලින් ඔබේ වට්ටෝරුවට එකතු කළ හැකි “අමුද්‍රව්‍ය” සහ “උපදෙස්” මොනවාද?

ඇල්මා 7

“මම නුඹලා ධර්මිශ්ඨ මාර්ගයන් තුළ යැයි සිතන්නෙමි.”

සමහර විට අපිත් සාරාහෙම්ලා හි මිනිසුන් වගේ පසුතැවිලි වීම සඳහා කැඳවීම් ලැබෙන තුරු සිටිනවා (බලන්න ඇල්මා 5:32). වෙනත් අවස්ථාවලදී අපි “ධර්මිෂ්ඨකමේ මාවත්වල” ගමන් කිරීමට උත්සාහ කළ ගිඩියොන් හි මිනිසුන්ට සමානයි (ඇල්මා 7:19). ගිඩියොන් හි ඇල්මාගේ පණිවිඩයෙන් ඔබට සොයාගත හැකි (ඇල්මා 7 තුළ) ඔහු සරහම්ලා හි පැවසූ දෙයට සමාන (ඇල්මා 5 තුළ) දේවල් මොනවාද? ඔබ දකින වෙනස්කම් මොනවාද? “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට යන මාර්ගයේ” සිටීමට ඔබට උදවු කළ හැකි ඇල්මා ඉගැන්වූ දේවල් සොයන්න (ඇල්මා 7:19).

රූපය
සෙමනේරි නිරූපකය

ඇල්මා 7:7–16

ගැලවුම්කරුවාණන් මාගේ පව්, වේදනා සහ දුක් පීඩා උන්වහන්සේ මතට භාරගත්තා.

ඔබේ අරගල හෝ අභියෝග කිසිවෙකු තේරුම් නොගන්නා බව ඔබට කවදා හෝ හැඟී තිබෙනවාද? එසේ නම්, ඇල්මා ඉගැන්වූ සත්‍යයන් උදවු වෙන්න පුළුවන්. ඔබ කියවද්දි, ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගයේ අරමුණු ගැන මෙම පද අපට උගන්වන්නේ මොනවාද කියා ආවර්ජනය කරන්න. ගැලවුම්කරුවාණන් වින්ද දුක් මොනවාද සහ උන්වහන්සේ දුක් වින්දේ ඇයි යන මාතෘකා භාවිතා කර ප්‍රස්ථාරයක් සාදා, ඔබට ඇල්මා 7:7–16 තුළ සොයාගත හැකි දේවල් ලැයිස්තුගත කරන්න පුළුවන් (තවත් බලන්න යෙසායා 53:3–5). උන්වහන්සේ මේ දුක් වේදනා වලින් සමහර ඒවා වින්ද නිශ්චිත අවස්ථා ගැන ඔබට සිතන්න පුළුවන්ද? ශුද්ධලියවිලි සඳහා උදාහරණ කිහිපයක් මෙන්න: මතෙව් 4:1–13; 26:55–56; 27:39–44; මාර්ක් 14:43–46; ලූක් 9:58. ඔබට මෙම පදවලින් ඔබේ ලැයිස්තුවට යමක් එකතු කරගන්න පුළුවන්ද?

ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් දුක් වින්ද බව විශ්වාස කිරීම එක් දෙයක්. නමුත් උන්වහන්සේගේ දුක් වේදනා ඔබේ එදිනෙදා ජීවිතයේ වෙනසක් ඇති කරන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබට උදවු කරන්නට පුළුවන් බව හෝ “පිහිට වියහැකි” ආකාරය පෙන්වන ශුද්ධලියවිලි පද කිහිපයක් මෙන්න: ඊනොස් 1:5–6; මොසායා 16:7–8; 21:15; 24:14–15; 3 නෙපී 17:6–7; ඊතර් 12:27–29; දහම සහ ගිවිසුම් 121:7–10. මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? උන්වහන්සේ ඔබට උදවු වන වෙනත් ආකාර මොනවාද? ඔබ උන්වහන්සේගේ උදවු අත්විඳ ඇත්තේ කොයි අවස්ථා වලද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්න. ගැලවුම්කරුවාණන් පිළිබඳව සහ උන්වහන්සේගේ දේවත්වය, කරුණාව සහ ප්‍රේමය පිළිබඳ ඔබේ සාක්ෂිය ඔබට බෙදාගත හැකි ක්‍රම ගැන සලකා බලන්න. ඔබ උගන්වන පුද්ගලයන්ට උන්වහන්සේ ගැන හැඟෙන ආකාරය බෙදා ගැනීමට ඔවුන්ව පොළඹවන ප්‍රශ්න ඇසීමෙන්, උන්වහන්සේ ගැන සාක්ෂි දීමට ඔබට ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 5:44–48

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් මට මගේම සාක්ෂිය ලබාගන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේම සාක්ෂිය වර්ධනය කර ගැනීමට ඉගෙන ගැනීමට උදවු කිරීම සඳහා, ඔවුන්ට පහත පින්තූරය පෙන්වා අපි සත්ව පැටවුන් වර්ධනය වීමට උදව් කරන්නේ කොහොමද කියා ඔවුන්ගෙන් අසන්න ඔබට පුළුවන්. පසුව ඔබට මෙය අපගේ සාක්ෂි ගැන සැලකිලිමත් වීම හා සම්බන්ධ කරන්න පුළුවන්. අපගේ සාක්ෂිවලට අවශ්‍ය සැලකිල්ල කුමක්ද? ඒවා වර්ධනය වනවා දැයි අපට කියන්න පුළුවන් කොහොමද?

    රූපය
    කුඩා සතුන් සමඟ සිටින පිරිමි දරුවන් දෙදෙනෙක්

    අපි ශුභාරංචිය පිළිගන්නා විට, එය නව ජීවිතයක් ආරම්භ කිරීම හා සමාන වෙනවා.

  • ඇල්මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔහුගේ ප්‍රබල සාක්ෂිය ලබා ගත්තේ කොහොමද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඔබට ඔබේ දරුවන් සමඟ ඇල්මා 5:44–46 කියවන්න පුළුවන්. සමහර විට ඔබේ දරුවන්ට ඔවුන්ගේ සාක්ෂිය ශක්තිමත් කිරීම සඳහා මේ සතියේ යමක් කිරීමට සැලැස්මක් ලියන්න පුළුවන්.

ඇල්මා 7:10–13

ගැලවුම්කරුවාණන් මාගේ පව්, වේදනා සහ දුක් පීඩා උන්වහන්සේ මතට භාරගත්තා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ දරුවන් ගැන සැලකිලිමත් වන බවත්, උන්වහන්සේට ඔවුන්ට උදවු කළ හැකි බවත් දැන ගැනීම සඳහා, ඔබ ඔවුන්ට ඇල්මා 7:10–13 තේරුම් ගැනීමට උදවු කරන්නේ කොහොමද? සමහරවිට ඔවුන් අසනීප වූ විට හෝ වේදනාවෙන් සිටිද්දි හෝ ඔවුන් දුකට පත් කළ වෙනත් ගැටලුවක් ඇති වූ විට ලද අත්දැකීමක් බෙදා ගැනීමට ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. අනෙක් අය ඔවුන්ට හොඳ හැඟීමක් ඇති කිරීමට උදවු කර තිබෙන්නේ කොහොමද? ගැලවුම්කරුවාණන් පවා ඒ දේවල් විඳ ඇති බවට ඔබේ සාක්ෂිය දරන්න, උන්වහන්සේ ඔබව සැනසූ සහ ඔබට උදවු කළ අවස්ථාවක් ගැන කතා කරන්න.

  • ඔබේ දරුවන් සහ ඔබ ඇල්මා 7:11–13 කියවද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් දුක් වින්ද දේවල් සොයන්න. ඔබේ දරුවන් සොයගත් වචන සහ වාක්‍ය ඛණ්ඩ භාවිත කර මෙම වාක්‍ය සම්පූර්ණ කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න: “යේසුස්වහන්සේ විඳෙව්වේ, මට උදවු කිරීම පිණිසයි.” යේසුස්වහන්සේ අපේ දුෂ්කරතා තේරුම්ගන්නා බව දැනගැනීමට එය අපට උදවු කරන්නේ කොහොමද? උන්වහන්සේගේ උදවු අප ලබාගන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදාගන්න.

ඇල්මා 5:14; 07:19–20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත ආපසු යන සෘජු මාර්ගයෙහි මාව තබනවා.

  • ඔබ ඇල්මා 5:14 කියවද්දි ඔබේ දරුවන්ට කැඩපතකින් බැලීමට ඉඩ දෙන්න (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවද බලන්න). අපගේ මුහුණේ ගැලවුම්කරුවාණන්ගේ ස්වරූපය තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • ඔබේ දරුවන්ට යහපත් තෝරාගැනීම් කිරීමට උදවු කිරීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යන මාර්ගය පිළිබඳ ඇල්මාගේ විස්තරය ඔබට භාවිතා කරන්න පුළුවන් කොහොමද? ඔබට ඔවුන්ට ඇල්මා 7:19–20 කියවා “ඇදවූ මාවතක” සහ කෙලින් මාවතක ගමන් කරනවා මෙන් ඔවුන්ට රඟදැක්වීමට ඉඩ දෙන්න පුළුවන්. මාර්ගයේ රැඳී සිටීමට අපට උදවු වන තෝරාගැනීම් සහ අපව මාර්ගයෙන් ඉවතට ගෙන යන වෙනත් තෝරාගැනීම් ගැන සිතීමට ඔවුන්ට උදව් කරන්න. ඔබට එක්ව යේසුස්වහන්සේගේ පින්තූර දෙස බලා නැවත ස්වර්ගික පියාණන්වහන්සේ වෙත යන මාර්ගය අපට පෙන්වීමට උන්වහන්සේ කළ දේවල් ගැන කතා කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
රතු වස්ත්‍රයක් හැඳගත් යේසුස්වහන්සේ

ජේ බ්‍රයන්ට් වෝර්ඩ් විසින්, Our Advocate [අපගේ මැදිහත්කරුවාණන්]

මුද්‍රණය කරන්න