එන්න, මා අනුගමනය කරන්න 2024
ජුනි 17–23: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජනතාව මුදවාගැනීමට පැමිණෙන සේක.” ඇල්මා 8–12


“ජුනි 17–23: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජනතාව මුදවාගැනීමට පැමිණෙන සේක.’ ඇල්මා 8–12,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජුනි 17–23. ඇල්මා 8–12,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ඇල්මා දේශනා කරමින්

මයිකල් ටී. මාල්ම් විසින්, Teaching True Doctrine [සත්‍ය දහම ඉගැන්වීම]

ජුනි 17–23: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ජනතාව මුදවාගැනීමට පැමිණෙන සේක

ඇල්මා 8–12

දෙවියන්වහන්සේගේ කාර්යය අසාර්ථක වෙන්නේ නෑ. නමුත් උන්වහන්සේගේ කාර්යයට උදවු කිරීමට අප දරන උත්සාහයන් සමහරවිට අසාර්ථක වන බවක් පෙනෙන්නට තිබෙනවා—අවම වශයෙන්, අප බලාපොරොත්තු වන ප්‍රතිඵල වුවත් අපට එවෙලේම පෙනෙන්නට තිබෙන්නෙ නෑ. ඇල්මා අම්මෝනිහා තුළ ශුභාරංචිය දේශනා කරද්දි—ප්‍රතික්ෂේප කිරීම, කෙළ ගැසීම සහ නෙරපා හැරීම වැනි අවස්ථා වලදී අපට ඔහු හා සමාන හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් දේවදූතයෙක් ඔහුට ආපසු ගොස් නැවත උත්සාහ කරන ලෙස උපදෙස් දුන් විට, ඇල්මා ධෛර්යවන්තව “වේගයෙන් ආපසු පැමිණි[යා]” (ඇල්මා 8:18), ඒ වගේම දෙවියන්වහන්සේ ඔහු ඉදිරියෙහි මාර්ගය සූදානම් කළා. උන්වහන්සේ ඇල්මාට කෑමට ආහාර සහ නවාතැන් ගැනීමට ස්ථානයක් ලබාදුන්නා පමණක් නොවේ, නමුත් සෙසු සේවකයෙකු, ශුභාරංචියේ දරුණු ආරක්ෂකයෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු බවට පත්වූ අමුලෙක්වද උන්වහන්සේ සූදානම් කළා. අප ස්වාමින්වහන්සේගේ රාජ්‍යයේ සේවය කරද්දි පසුබෑමකට හා බලාපොරොත්තු සුන්වීම් වලට මුහුණදෙද්දි, දෙවියන්වහන්සේ ඇල්මාට සහයෝගය දැක්වූයේ කොහොමද සහ ඔහුව මෙහෙයවූයේ කොහොමද කියා අපට මතක තබාගන්න පුළුවන්, ඒ වගේම දුෂ්කර අවස්ථාවන්හිදී පවා දෙවියන්වහන්සේ අපට සහය දක්වනු ඇතැයි අපට විශ්වාස කරන්න පුළුවන්.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය

ඇල්මා 8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීමට මගේ උත්සාහය සඳහා ඉවසීම අවශ්‍ය වෙනවා.

ඔබ කවදා හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය යමෙකු සමඟ බෙදා ගැනීමට උත්සාහ කරද්දි, ඔබගේ ආරාධනය ප්‍රතික්ෂේප වෙලා තිබෙනවද? ඇල්මාටත් එය අත්විඳීමට සිදුවුණා. ඇල්මා 8:13–16 තුළ අභියෝග සහ විරුද්ධවාදිකම් නොතකා ශුභාරංචිය බෙදාගැනීම පිළිබඳ ඔහුගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? 17–32 පද දිගටම කියවමින්, ඔබ සාර්ථක නොවන බව පෙනෙද්දි පවා, නොනැවතී ශුභාරංචිය බෙදා ගැනීමට ඔබව පොළඹවන වාක්‍ය ඛණ්ඩ සොයන්න.

අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂ සාක්ෂිකරුවන් වන නිසා උන්වහන්සේ ගැන සාක්ෂි දීම ගැන බෙදා ගැනීමට ඔවුන්ට දේවානුභාවයෙන් යුත් උපදෙස් රාශියක් තිබෙනවා. “ධර්මදූත කටයුතු: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම,” (ලියහෝනා, මැයි 2019, 18) තුළ ඇති කොටසක් වන “නමුත් එය අමාරුනම්?” තුළ වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් පැවසූ දේ බලන්න, නැතිනම් වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන්ගේ “ප්‍රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න,” (ලියහෝනා, මැයි 2022, 84–87) බලන්න. ශුභාරංචිය බෙදාගැනීම ගැන අධෛර්යමත් වීමට පටන් ගන්නා කෙනෙකුට උදවු කළ හැකි කුමන දේවල් ඔබ ඒ තුළ සොයාගන්නවාද?

ඔබ මෙහි අධ්‍යයනය කර ඇති සියල්ල ශුභාරංචිය බෙදාගැනීම පිළිබඳ දිරිගන්වන ප්‍රකාශ එකකට හෝ දෙකකට සාරාංශ කරන්නේ කොහොමද? දිගටම උත්සාහ කිරීමට ඔබට (සහ අන් අයට) පෙළඹවීමක් ලබා දිය හැකි පෝස්ටරයක් හෝ සිහිවටනයක් සෑදීම ගැන සලකා බලන්න.

ඇල්මා 9:14–23

දෙවියන්වහන්සේගේ ආශිර්වාද පැමිණෙන්නේ විශාල වගකීමක් සමඟයි.

අම්මෝනිහා තුළ සිටි නෙපීවරුන් ස්වාමින්වහන්සේගේ සේවකයන්ට සැලකූ ආකාරය ගැන කියවද්දි, ඔවුන් කලක් ශුභාරංචිය අනුව ජීවත් වූ බවත්, “ස්වාමින්වහන්සේගේ අතිශයින් ප්‍රසාදය ලත් සෙනඟක්” (ඇල්මා 9:20) බවත් අමතක කිරීම පහසුයි. දෙවියන්වහන්සේ නෙපීගේ වැසියන්ට දුන් මහත් ආශිර්වාද ගැන කියවද්දි (විශේෂයෙන් බලන්න ඇල්මා 9:19–23), උන්වහන්සේ ඔබට දී ඇති මහත් ආශිර්වාද ගැන මෙනෙහි කරන්න. මෙම ආශිර්වාද සමඟ පැමිණෙන වගකීම් මොනවාද? මෙම වගකීම් වලට සත්‍යවන්තව සිටීමට ඔබ කරන්නේ මොනවාද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 50:24; 82:3; 93:39.

ඇල්මා 11–12

දෙවියන්වහන්සේගේ සැලැස්ම මිදීමේ සැලැස්මක්.

ඇල්මා 11–12 තුළ, ඇල්මා සහ අමුලෙක් දෙවියන්වහන්සේගේ සැලැස්ම මිදීමේ සැලැස්ම ලෙස හැඳින්නුවා. ඔබ මෙම පරිච්ඡේද කියවද්දි, එම සැලැස්ම විස්තර කිරීම සඳහා මිදීම යන වචනය භාවිතා කරන්නේ ඇයි කියා සිතා බලන්න. එම සැලැස්මේ පහත සඳහන් කරුණු පිළිබඳව ඇල්මා සහ අමුලෙක් ඉගැන්වූ දේ පිළිබඳ කෙටි සාරාංශයක් ලිවීම ගැන ඔබට සලකා බලන්න පුළුවන්.

  • වැටීම

  • මිදුම්කරුවාණන්

  • පසුතැවිලි වීම

  • මරණය

  • මරණයෙන් නැවත නැගිටීම

  • විනිශ්චය

අමුලෙක්ගේ වචන ජනතාව කෙරෙහි ඇති කළ බලපෑම ගැන සැලකිලිමත් වන්න (බලන්න ඇල්මා 11:46). දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන දැනගැනීම ඔබට බලපාන්නේ කොහොමද?

තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “ශ්‍රේෂ්ඨ සැලැස්ම,” ලියහෝනා, මැයි 2020, 93–96.

ඇල්මා 12:8–18

මම මගේ සිත දැඩිකර නොගන්නේ නම්, මට දෙවියන්වහන්සේගේ වචනයෙන් වැඩි යමක් ලබාගන්න පුළුවන්.

ස්වර්ගික පියාණන්වහන්සේ අපට සියල්ල දැනගැනීමට ඉඩ නොදෙන්නේ ඇයි කියා සමහර අය කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඇල්මා 12:8–18 තුළ එක් හේතුවක් ඇල්මා පැහැදිලි කළා. ඔහු ඉගැන්වූ දේ මෙනෙහි කිරීමට මෙම ප්‍රශ්න ඔබට උදවු කරයි:

  • ඔබගේ හදවත් දැඩි කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දැඩි හදවතක් තිබීමේ ප්‍රතිඵල මොනවාද? (තවත් බලන්න ඇල්මා 8:9–11; 9:5, 30–31; සහ 10:6, 25).

  • ඔබේ සිත දෙවියන්වහන්සේ වෙතට යොමු කිරීමට ඔබට කරන්න පුළුවන් මොනවාද? (තවත් බලන්න යෙරමියා 24:7; ඇල්මා 16:16; හිලමන් 3:35).

  • දෙවියන්වහන්සේගේ වචනය “[ඔබ] තුළ ඇති බව” සහතික කිරීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොනවාද? (ඇල්මා 12:13). ඔබ තුළ දෙවියන්වහන්සේගේ වචනය තිබෙද්දි, එය ඔබගේ “වචන,” “ක්‍රියා” සහ “සිතුවිලි” කෙරෙහි බලපාන්නේ කොහොමද? (ඇල්මා 12:14).

මෘදු හදවතක් තිබීමේ ආශිර්වාදය ගැන අමුලෙක්ගේ අත්දැකීම ඔබට උගන්වන්නේ කුමක්ද? (බලන්න ඇල්මා 10:1–11).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 8–10

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගන්න පුළුවන්.

  • ඔබට ඔබේ දරුවන්ට ඇල්මා 8–10 තුළ සිදුවීම් සාරාංශ කිරීමට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව උදවු වෙන්න පුළුවන්. ඇල්මා සහ අමුලෙක් හොඳ ධර්මදූතයන් බවට පත් කළ ප්‍රතිපත්ති සොයා ගැනීමට ඔවුන්ට උදවු කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. උදාහරණ විදියට, ඔවුන් අත්හැරියේ නෑ (බලන්න ඇල්මා 8:8–13), ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරුවා (බලන්න ඇල්මා 9:26–27), ඔවුන් එකට වැඩ කළා (බලන්න ඇල්මා 10:12).

  • ඔවුන් සොයා ගන්නා අදහස් සහ ඔවුන්ට ශුභාරංචිය බෙදා ගත හැකි පුද්ගලයින්ව ලැයිස්තුගත කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඔවුන් පැවසීමට යන දෙය හෝ ඔවුන්ට කළ හැකි දේ රඟ දැක්වීමට පවා ඔබට ඔවුන්ට ඉඩ දෙන්න පුළුවන්.

සහභාගීත්වය දිරිමත් කරන්න. ඔබ ඉගැන්වීමට සූදානම් වෙද්දි, කීමට දේවල් සැලසුම් කරනවාට වඩා, “ඉගෙන ගැනීම සඳහා දරුවන් කුමක් කරයිද?” කියා ඔබෙන්ම අසන්න. දරුවන් ක්‍රියාශීලීව සහභාගී වෙද්දි ඔවුන් හොඳින් ඉගෙන ගන්නා අතර දිගු කාලයක් මතක තබා ගන්නවා.

ඇල්මා 11–12

දෙවියන්වහන්සේගේ සැලැස්ම මිදීමේ සැලැස්මක්.

  • සමහරවිට ඔබේ දරුවන්ට ආදම් සහ ඒවගේ වැටීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, පසුතැවීම, මරණය, මරණයෙන් නැවත නැගිටීම සහ විනිශ්චය වැනි මිදීමේ සැලැස්මේ මූලධර්ම නියෝජනය කරන චිත්‍රයක් අඳින්න පුළුවන්. එවිට ඔබට මෙම මූලධර්ම ගැන උගන්වන ඇල්මා 11–12 තුළ ඇති පදවලට ඔවුන්ගේ චිත්‍ර ගැලපීමට ඔවුන්ට උදවු කරන්න පුළුවන්.

ඇල්මා 8:18–22

මට හොඳ මිතුරෙක් වෙන්න පුලුවන්.

  • ඇල්මා 8:18–22 තුළ ඇති කතාව ඔබ පවසද්දි එක් දරුවෙකුට අමුලෙක් ලෙස පෙනී සිටීමට සහ තවත් දරුවෙකුට ඇල්මා ලෙස පෙනී සිටීමට ආරාධනා කරන්න. අමුලෙක් ඇල්මාට හොඳ මිතුරෙකු වූයේ කොහොමද? එවිට ඔබේ දරුවන්ට කෙනෙක් ඔවුන්ගේ මිතුරෙකු වී ඇති ආකාරය සහ එම අත්දැකීම නිසා ඔවුන්ට හැඟුණු ආකාරය බෙදාගන්න පුළුවන්.

  • සමහර විට ඔබට මිත්‍රත්ව ප්‍රහේලිකාවක් හදන්න පුළුවන්: මිත්‍රත්වය නියෝජනය කරන පින්තූරයක් සොයා හෝ ඇඳ එය ප්‍රහේලිකා මෙන් කැබලිවලට කපන්න. සෑම කැබැල්ලකම පිටුපස, ඇල්මා සහ අමුලෙක් කළ දේවල් ඇතුළුව හොඳ මිතුරෙකු වීමට අපට කළ හැකි යමක් ලියන්න. ඔබේ දරුවන්ට මාරුවෙන් මාරුවට එයින් කැබැල්ලක් බැගින් ගෙන පිටුපස ඇති දේ ඔබ කියවද්දි එය ඇතුලත් කර ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න පුළුවන්. අපගේ මිත්‍රත්වය අවශ්‍ය කාටද?

රූපය
ගැහැණු දරුවන් දෙදෙනෙක් සිනාසෙමින්

අපට අනෙක් අයට හොඳ මිතුරන් වෙන්න පුළුවන්.

ඇල්මා 11:43–44

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මම මරණයෙන් නැවත නැගිටිනවා.

  • මරණයෙන් නැවත නැගිටීම ගැන ඉගැන්වීමට මෙවැනි භාණ්ඩ භාවිතා කර පාඩමක් කිරීම සලකා බලන්න: ඔබේ අත ඔබේ ආත්මය නියෝජනය කළ හැකි අතර අත් වැසුම ඔබේ ශරීරය නියෝජනය කරන්න පුළුවන්. මරණයේදී අපගේ ආත්මය ශරීරයෙන් වෙන් වන බව පෙන්වීමට අත්වැසුම ඔබේ අතින් ඉවතට ගන්න. ඉන්පසු නැවත නැගිටීමේදී අපගේ ආත්මය ශරීරය සමඟ නැවත එකට එකතු වන බව පෙන්වීමට අත්වැසුම නැවත පැළදගන්න ඔබට පුළුවන්. ඔබ ඇල්මා 11:43 කියවද්දි ඔබේ දරුවන්ට මාරුවෙන් මාරුවට අත්වැසුම් පැළඳ ගැනීමටත් ගැලවීමටත් ඉඩ දෙන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ඇල්මා අමුලෙක් සමඟ ආහාර ගනිමින්

ඩෑන් බර් විසින්, අමුලෙක් සමග ඇල්මා ආහාර ගැනීමේ නිදර්ශනය

මුද්‍රණය කරන්න