එන්න, මා අනුගමනය කරන්න 2024
ජූලි 15–21: “දෙවියන්වහන්සේගේ වචනයේ යහපත්කම.” ඇල්මා 30–31


“ජූලි 15–21: ‘දෙවියන්වහන්සේගේ වචනයේ යහපත්කම.’ ඇල්මා 30–31,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජූලි 15–21. ඇල්මා 30–31,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ඇල්මා කොරිහෝර්ට උගන්වමින්

වෝල්ටර් රනේ විසින්, All Things Denote There Is a God (Alma and Korihor) [සෑම දෙයක්ම අඟවන්නේ දෙවි කෙනෙක් සිටින බවයි (ඇල්මා සහ කොරිහෝර්)]

ජූලි 15–21: “දෙවියන්වහන්සේගේ වචනයේ යහපත්කම.”

ඇල්මා 30–31

වචන වල බලය—නපුර හා යහපත යන දෙකම සඳහා වන බව ඇල්මා 30–31 දක්වා ඇති වාර්තා වල පැහැදිලිවම පෙන්නුම් කරනවා. “ව්‍යාජ” සහ “මහත් ඉදිමුණු වචන” ඇති කොරිහෝර් නම් බොරු ගුරුවරයෙකු “බොහෝ ආත්මයන් විනාශයට ඇද දමන” බවට තර්ජනය කළා (ඇල්මා 30:31, 47). ඒ හා සමානව, සෝරාම් නම් නෙපීවරුන්ගේ විරුද්ධවාදියෙකුගේ ඉගැන්වීම් මගින් මුළු සමූහයක්ම “විශාල වැරදි වල” වැටෙන්නට සලසවමින් “ස්වාමින්වහන්සේගේ මාර්ග විකෘති” කිරීමට හේතුවක් වුණා (ඇල්මා 31:9, 11).

ඊට වෙනස්ව, දෙවියන්වහන්සේගේ වචනය “කඩුවකට හෝ වෙනත් දෙයකට වඩා ජනතාවගේ මනස කෙරෙහි බලවත් බලපෑමක් ඇති කරනු ඇතැයි” ඇල්මාට නොසැලෙන විශ්වාසයක් තිබුණා (ඇල්මා 31:5). ඇල්මාගේ වචන සදාකාලික සත්‍යය ප්‍රකාශ කළ අතර කොරිහෝර්ව නිශ්ශබ්ද කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයන් වෙතට ඇදී ගියා (බලන්න ඇල්මා 30:39–50), ඒවගේම සෝරාම්වරුන්ව නැවතත් සත්‍යය කරා ගෙන ඒමට ඔහු සමඟ ගිය අය වෙනුවෙන් උන්වහන්සේගේ ආශිර්වාදයට ඔවුන් ආරාධනා කළා (බලන්න ඇල්මා 31:31–38). අසත්‍ය පණිවිඩ බහුලව දක්නට ලැබෙන වර්තමානයේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට මේවා වටිනා ආදර්ශයන්. ඇල්මා කළාක් මෙන් “දෙවියන්වහන්සේගේ වචනයේ යහපත්කම” කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට සත්‍යය සොයාගන්න පුළුවන් (ඇල්මා 31:5).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 30:6–31

රූපය
සෙමනේරි නිරූපකය
විරුද්ධවාදියා බොරු ඉගැන්වීම්වලින් මාව රැවටීමට උත්සාහ කරනවා.

ඇල්මා 30 තුළ, කොරිහෝර්ව “ක්‍රිස්තු-විරෝධියා” (6 වෙනි පදය) ලෙස හඳුන්වනවා. ක්‍රිස්තු-විරෝධියෙක් කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට ප්‍රසිද්ධියේ හෝ රහසිගතව විරුද්ධ වන ඕනෑම අයෙකු හෝ ඕනෑම දෙයක්. කොරිහෝර් මෙම විස්තරයට ගැළපෙන බව පෙන්වන්නේ ඇල්මා 30:6–31 තුළ කුමන පදවලින්ද? කොරිහෝර්ගේ ව්‍යාජ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම ඔබට ඒ හා සමාන ඉගැන්වීම් හඳුනා ගැනීමට සහ ඒවා ප්‍රතික්ෂේප කිරීමට උදවු වෙනවා. පහත ක්‍රියාකාරකම් ඔබගේ අධ්‍යයනයට උදවු වෙන්න පුළුවන්:

  • ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සහ සාතන්ගේ ව්‍යාජ අනුකරණයන් අතර වෙනස වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඔබට සිතිය හැකි භාණ්ඩ සහිත පාඩම් මොනවාද? සමහර උදාහරණ තමයි; මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ඇම, ව්‍යාජ මුදල් සහ ව්‍යාජ ප්‍රචාර. යමක් ව්‍යාජ එකක් දැයි ඔබට කියන්න පුළුවන් කොහොමද? ඔබ සත්‍යය හඳුනාගන්නේ කොහොමද?

  • කෝරිහෝර් ඇල්මා 30:6–31 තුළ උගන්වා ඇති ව්‍යාජ ඉගැන්වීම් වල ලැයිස්තුවක් සැකසීම ගැන සලකා බලන්න. අද දින සිත් ඇදගන්නාසුළු වෙන්න පුළුවන් ඔහුගේ ඉගැන්වීම් මොනවාද? (බලන්න ඇල්මා 30:12–18, 23–28). එවැනි අදහස් පිළිගැනීමෙන් ඇති විය හැකි හානිය කුමක්ද? අද දින විරුද්ධවාදියා ඔබව රවට්ටන්න හදන බොරු පණිවිඩ මොනවාද?

  • කොරිහෝර්ගේ ඉගැන්වීම් වලට සත්‍යය සමඟ එරෙහිව වීමට ඇල්මා කළේ මොනවාද? (බලන්න ඇල්මා 30:31–54). මෙම ප්‍රතිපත්ති ඔබට ඔබේ ජීවිතයේදී භාවිතා කරන්න පුළුවන් කොහොමද?

ඇල්මා වගේම, නූතන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් සත්‍යය සහ සාතන්ගේ බොරු අතර වෙනස දැන ගැනීමට අපට උදවු කරනවා. ගැරී ඊ. ස්ටීවන්සන්, “මාව රවටන්න එපා” (ලියහෝනා, නොවැ. 2019, 00-00) යන පණිවිඩයෙන් ඔබ සොයා ගන්නා උපදේශ මොනවාද?

රූපය
කොරිහෝර් ඇල්මා සමඟ කතා කරමින්

රොබට් ටී. බැරට් විසින්, Korihor Confronts Alma [කෝරිහෝර් ඇල්මාට මුහුණදෙයි]

ඇල්මා 30:39–46

සෑම දෙයක්ම දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

අද බොහෝ අය විශ්වාස කරන්නේ දෙවි කෙනෙක් නැහැ කියලා. ඔබ ඇල්මා 30:39–46 තුළ සොයාගන්නා දෙවියන්වහන්සේ සැබෑ බව දැනගැනීමට ඔබට උදවු වන දේවල් මොනවාද? උන්වහන්සේව දැනගැනීමෙන් අපව වළක්වන්නේ මොනවාද? දෙවියන්වහන්සේ ජීවමාන බවට ඔබට ලැබී ඇති වෙනත් සාක්ෂි මොනවාද?

ඇල්මා 30:56–60

විරුද්ධවාදියා ඔහුගේ අනුගාමිකයින්ට සහාය දක්වන්නේ නෑ.

යක්ෂයා තම අනුගාමිකයන්ට සලකන ආකාරය ගැන ඇල්මා 30:56–60 තුළ ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔහුගේ බලපෑමෙන් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

තවත් බලන්න ඇල්මා 36:3.

ඇල්මා 31

මිනිසුන්ව ධර්මිෂ්ඨකමට ගෙන යාමට දෙවියන්වහන්සේගේ වචනයට බලය තිබෙනවා.

නෙපිවරුන්ගෙන් වෙන්වන සෝරම්වරුන්ගේ ගැටලුව සඳහා දේශපාලන හෝ යුධ විසඳුමක් අවශ්‍ය යැයි සමහරුන්ට පෙනෙන්නට ඇති (බලන්න ඇල්මා 31:1–4). නමුත් “දෙවියන්වහන්සේගේ වචනයේ යහපත්කම” විශ්වාස කිරීමට ඇල්මා ඉගෙනගෙන තිබුණා (ඇල්මා 31:5). දෙවියන්වහන්සේගේ වචනයේ බලය ගැන ඇල්මා 31:5 තුළ ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? (තවත් බලන්න හෙබ්‍රෙව් 4:12; 1 නෙපී 15:23–24; 2 නෙපී 31:20; යාකොබ් 2:8; හිලමන් 3:29–30).

ඔබ ඇල්මා 31 අධ්‍යයනය කරද්දි, ඔබ සොයාගන්නා ඔබේ ජීවිත අත්දැකීම්වලට අදාළ වන වෙනත් ශුභාරංචි සත්‍යයන් මොනවාද? උදාහරණයක් විදිහට:

  • දෙවියන්වහන්සේගේ වචනය මිනිසුන්ව යහපත් දේ කිරීමට යොමු කරවන්නේ කොහොමද? (බලන්න 5 වෙනි පදය).

  • අනෙක් අය සම්බන්ධයෙන් ඇල්මාගේ ආකල්ප, හැඟීම් සහ ක්‍රියා (බලන්න 34–35 පද) සෝරාම්වරුන්ගේ ආකල්ප, හැඟීම් සහ ක්‍රියා සමඟ (බලන්න 17–28 පද) සසඳන්න. ඔබට ඇල්මා වගේ වෙන්න පුළුවන් කොහොමද?

  • ඔබට ඇල්මා 31:30–38 තුළ සොයාගත හැකි, අනෙක් අයගේ පව් ගැන දුක් වන පුද්ගලයින් සඳහා උදවු වෙන දේවල් මොනවාද?

ඇල්මා 31:5–6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඕනෑම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්.

සෝරාම්වරුන්ට ශුභාරංචිය ඉගැන්වීමට ඇල්මා ඔහු සමඟ රැගෙන ගිය පිරිස පිළිබඳ සැලකිල්ලට ගන්න (බලන්න ඇල්මා 31:6). මොසායා 27:8–37; 28:4; ඇල්මා 10:1–6; 11:21–25; 15:3–12 තුළ කියවෙන මෙම පුද්ගලයින්ගේ ජීවිත ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔවුන්ගේ අත්දැකීම් තුළ ඔබ සඳහා ඇති පණිවිඩය කුමක්ද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 30

මොර්මොන්ගේ පොත බොරු ඉගැන්වීම්වලට එරෙහිව මට අනතුරු අඟවනවා.

  • සමහර අයිතම (මුදල් හෝ ආහාර වැනි) සහ මෙම අයිතමවල ව්‍යාජ අනුකරණය පෙන්වීම සලකා බලන්න. මෙය සැබෑ දේ සහ අසත්‍ය දේ අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට තුඩු දෙන්න පුළුවන්. එවිට ඇල්මා 30:12–18 තුළ කොරිහෝර් දෙවියන්වහන්සේ ගැන ඉගැන්වූ බොරු හෝ ව්‍යාජ ඉගැන්වීම් හඳුනාගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන්. ඇල්මා 30:32–35 තුළ, ඇල්මා එම බොරුවලට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? ඔහුගේ උදාහරණයෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

ඇල්මා 30:44

සෑම දෙයක්ම දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

  • දෙවියන්වහන්සේ ජීවමාන බවට අහසේ සහ පොළොවේ ඇති දේවල් සාක්ෂි දරන ආකාරය ගැන ඇල්මා කතා කළා. හැකි නම්, ඔබ ඇල්මා 30:44 කියවද්දි, ඔබේ දරුවන් සමඟ එළිමහනේ ඇවිදින්න හෝ කවුළුවක් ලඟ සිටගෙන සිටින්න. ඔවුන් දකින දේවල් අතර, දෙවියන්වහන්සේ සැබෑ බවත් උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බවත් දැනගැනීමට උදවු වන දේවල් පෙන්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලන්න. ඔවුන්ට ඔවුන් සොයා ගන්නා දේවල්වල පින්තූර අඳින්නත් පුළුවන් (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න).

දරුවන් රූප තුළින් ඉගෙන ගන්නවා. රූප ඔබේ දරුවන්ට දේවල් වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඔවුන්ට උගන්වා ඇති දේ දිගු කාලයක් මතක තබා ගැනීමට උදවු වෙනවා. මෙම දළ සටහනේ දරුවන් සඳහා ක්‍රියාකාරකම් වලින් බොහොමයක් රූප භාවිතා කිරීමට යෝජනා කරනවා. ඔබේ දරුවන්ට ඔවුන් ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට උදවු කිරීම සඳහා අනාගතයේදී එම රූප නැවත පෙන්වීම ගැන සලකා බලන්න.

ඇල්මා 31:5

දෙවියන්වහන්සේගේ වචනය බලවත්.

  • දෙවියන්වහන්සේගේ වචනය “වෙන ඕනෑම දෙයකට” වඩා බලවත් බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට ඔබ උදවු වෙන්නේ කොහොමද? (ඇල්මා 31:5). බලවත් යමක් හෝ කෙනෙකු ගැන සිතීමට හෝ බලවත් දේවල් කිහිපයක පින්තූර පෙන්වීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටීම ගැන සලකා බලන්න. ඔවුන් හෝ ඒ දේවල් බලවත් වන්නේ ඇයි? එකට එකතු වී ඇල්මා 31:5 කියවා, මෙම පදය අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් අසන්න. දෙවියන්වහන්සේගේ වචනය ඔබ කෙරෙහි බලවත් බලපෑමක් ඇති කළ අත්දැකීමක් බෙදා ගන්න.

ඇල්මා 31:8–35

ස්වර්ගික පියාණන්වහන්සේට මගේ යාච්ඤා ඇසෙනවා.

  • ඇල්මා 31:8–35 තුළ ඇති පද භාවිතා කරමින් ඇල්මා සහ සෝරාම්වරුන්ගේ කතාව කෙටියෙන් සාරාංශ කරන්න. ඔබට ප්ලාස්ටික් කැබලි හෝ ගල් වලින් රෙමියුම්ටොම් කුළුණක් තැනීමට ඔබේ දරුවන් ඔබට උදවු කරද්දි සෝරාම්වරුන් ඔවුන්ගේ යාච්ඤාවේදී පැවසූ දේවල් හඳුනා ගැනීමට ඔවුන්ට උදවු කරන්න (බලන්න ඇල්මා 31:15–18). අප යාච්ඤා කළ යුත්තේ එලෙස නොවන බව පැහැදිලි කරන්න. අපි යාච්ඤා කළ යුතු ආකාරය ගැන ඔබ සහ ඔබේ දරුවන් කතා කරද්දි, වරකට එම ප්ලාස්ටික් කැබලි හෝ ගල් එකින් එක ඉවත් කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. සමහර විට ඔවුන්ට සෑම උදෑසනකම සහ රාත්‍රියේදී යාච්ඤා කිරීමට මතක් කිරීමක් ලෙස ඔවුන්ගේ ඇඳ අසල එම ගලක් තබාගන්න පුළුවන්. ඔවුන්ගේ ගල අලංකාර කිරීමෙන් ඔවුන් සතුටට පත්වෙන්නත් පුළුවන්.

රූපය
සෝරාම්වරුන් රෙමියුම්ටොම් හි යාච්ඤා කරමින්

සෝරාම්වරුන්ගේ හදවත් “ඔවුන්ගේ උඩඟුකමෙන් මහත් පුරසාරම් දෙඩීමට ඔසවන ලදි” (ඇල්මා 31:25).

මුද්‍රණය කරන්න