එන්න, මා අනුගමනය කරන්න 2024
ජූලි 1–7: “මම නුඹව මෙවලමක් කරන්නෙමි” ඇල්මා 17–22


“ජූලි 1–7: ‘මම නුඹව මෙවලමක් කරන්නෙමි.’ ඇල්මා 17–22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජූලි 1–7. ඇල්මා 17–22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
අම්මෝන් ලමෝනි රජු සමඟ කතා කරමින්

ස්කොට් එම්. ස්නෝ විසින්, Ammon and King Lamoni [අම්මෝන් සහ ලමෝනි රජු]

ජූලි 1–7: “මම නුඹව මෙවලමක් කරන්නෙමි”

ඇල්මා 17–22

ශුභාරංචිය බෙදා නොගැනීම සඳහා මිනිසුන්ට ලබාදිය හැකි සියලු හේතු ගැන සිතන්න: “මම ප්‍රමාණවත් තරම් දන්නේ නෑ” හෝ “ඔවුන් උනන්දු වනු ඇතැයි මට විශ්වාස නෑ” හෝ “මාව ප්‍රතික්ෂේප කරයි කියා මට බයයි.” සමහරවිට ඔබත් ඒ හා සමාන දේ සිතන බව ඔබට පෙනෙන්න පුළුවන්. ලාමන්වරුන් සමඟ ශුභාරංචිය බෙදා නොගැනීමට නෙපීවරුන්ට අමතර හේතුවක් තිබුණා: ඔවුන් “නොහික්මුණු දැඩි සහ නපුරු ජනතාවක් වූ අතර; නෙපීවරුන්ව මැරීමෙන් සතුටු වූ ජනතාවක්” ලෙස විස්තර කර තිබෙනවා (තවත් බලන්න ඇල්මා 17:14; ඇල්මා 26:23–25). නමුත් මොසායාගේ පුත්‍රයන්ට ලාමන්වරුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීම කළ යුතුමයි කියා දැනෙන්නට ඊටත් වඩා ප්‍රබල හේතුවක් තිබුණා: “ගැලවීම සියලු මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීම ඔවුන් තුළ වූ ආශාව විය. මක්නිසාද ඔවුන්ට කිසිම මනුෂ්‍ය ප්‍රාණයක් නැසී යාම දැරිය නොහැකි විය” (මොසායා 28:3). අම්මෝන්ව සහ ඔහුගේ සහෝදරයින්ව පෙළඹවූ මෙම ප්‍රේමය, ඔබගේ පවුලේ අය සමඟ, මිතුරන් හා හිතමිතුරන් සමඟ සහ එය පිළිගැනීමට ඉඩක් නැතැයි පෙනෙන අය සමඟ පවා—ශුභාරංචිය බෙදාගැනීමට ඔබව පොළඹවනවා.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 17:1–4

ක්‍රිස්තුස්වහන්සේ උදෙසා කරන කැපවීමේ සරල, ස්ථාවර ක්‍රියාවන් උන්වහන්සේගේ බලය ලබා ගැනීමට මට උදවු කරනවා.

ඔබ ඇල්මා 17:1–4 තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ සාක්ෂිය සහ කැපවීම ශක්තිමත්ව තබා ගන්නා ආකාරය ගැන ඉගෙනගන්නේ මොනවාද? මොසායාගේ පුත්‍රයන් කළේ කුමක්ද, ඒවගේම ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළේ කොහොමද?

ඔබ ඇල්මා 17–22 තුළ මොසායාගේ පුත්‍රයන්ගේ අත්දැකීම් ගැන කියවද්දි, ඔවුන්ගේ අධ්‍යාත්මික සූදානම ලාමන්වරු අතර ඔවුන්ගේ සේවයට බලපෑ ආකාරය සැලකිල්ලට ගන්න (උදාහරණයක් ලෙස, බලන්න ඇල්මා 18:10–18, 34–36; 20:2–5; 22:12–16). ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීම සඳහා ඔබ පෙලඹෙන්නේ කුමක් කරන්නටද?

ඇල්මා 17:6–12; 19:16–36

රූපය
සෙමනේරි නිරූපකය
මට දෙවියන්වහන්සේගේ හස්තයේ මෙවලමක් වෙන්න පුළුවන්.

ශුද්ධලියවිලිවල අප කියවන හැරීම පිළිබඳ වාර්තා බොහෝ විට නාටකාකාරයි, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ගැන කථා කිරීමට සහ බෙදාහදා ගැනීමට ධෛර්ය සම්පන්න පුද්ගලයන්ව ඒවායේ හරය තුළ අපට සාමාන්‍යයෙන් හමු වෙනවා. ඔබ මේ සතියේ අබිෂ් සහ මොසායාගේ පුතුන් ගැන කියවද්දි මේ ගැන සිතන්න.

ඔබ සිතන විදියට දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලම් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන උපකරණ හෝ මෙවලම් ගැන සිතීම උදවුවක් වෙන්න පුළුවන්. ඇල්මා 17:6–12 තුළ, මොසායාගේ පුත්‍රයන් දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලම් වීම සඳහා කළේ මොනවාද කියා සොයා බලන්න. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට උදවු කිරීම සඳහා ඔබට වඩාත් ඵලදායී මෙවලමක් වෙන්න පුළුවන් කොහොමද?

ඇල්මා 19:16–36 තුළ අබිෂ් ගැන ඔබව විශ්මයට පත් කරන්නේ මොනවාද? ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ගොඩනගා ගැනීමට අන් අයට උදවු කිරීම ගැන ඔබ ඇයගෙන් ඉගෙන ගන්නේ මොනවාද? නිදසුනක් වශයෙන්, ඔබට සිතෙන ආකාරයට, ඔබ ආදරය කරන පුද්ගලයින්ට “දෙවියන්වහන්සේගේ බලය විශ්වාස කිරීමට” උදවු වනු ඇත්තේ මොනවාද? (ඇල්මා 19:17).

ධර්මදූත කාර්යය: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම” (ලියහෝනා, මැයි 2019, 15–18) කතාවේ වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් ඉගැන්වූ මූලධර්ම සමඟ ඔබට අබිෂ්ගේ අත්දැකීම් සන්සන්දනය කරන්න පුළුවන්. අබිෂ් විසින් වැඩිහිටි උක්ඩ්‍රොෆ්ගේ එම “සරල යෝජනා පහ” ආදර්ශවත් කළේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට පැවසිය හැකි යම් දේවල් ලිවීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස, “මට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ …” හෝ “ගැලවුම්කරුවාණන් මට උදවු කරන්නේ …”

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. පුද්ගලයින්ට තමන් ඉගෙන ගන්නා දෙයට අදාළ යමක් දැකීමට හෝ ස්පර්ශ කිරීමට හැකි ඕනෑම වේලාවක, ඔවුන් එය දිගු කාලයක් මතක තබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔබ ඇල්මා 17:11 ගැන උගන්වනවා නම්, උදාහරණයක් ලෙස, දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලමක් වීම පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමට උදවු කිරීම සඳහා සංගීත භාණ්ඩ හෝ ලේඛන උපකරණ පෙන්වීම සලකා බලන්න.

ඇල්මා 17–19

අප අන් අයට ප්‍රේමය පෙන්වද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලබාගැනීමට අපට ඔවුන්ට උදවු කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීමට අම්මොන්ගේ ප්‍රයත්නයට ලාමන්වරුන් වෙනුවෙන් ඔහු දැක්වූ ප්‍රේමය පෙළඹවීමක් වූ ආකාරය පෙන්වන පද ඇල්මා 17–19 තුළ සොයන්න. ශුභාරංචිය බෙදාගැනීම සම්බන්ධයෙන් ඔබ ඔහුගේ ආදර්ශයෙන් ඉගෙන ගන්නා වෙනත් සත්‍යයන් මොනවාද?

රූපය
අම්මෝන් රජුගේ බැටළුවන් බේරාගනිමින්

මිනෙර්වා ටෙයිචර්ට් (1888–1976), Ammon Saves the King’s Flocks [අම්මෝන් රජුගේ බැටළුවන් බේරාගනී] 1949-1951, මැසොනයිට් මත තෙල්, අඟල් 35 15/16 × 48. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.

ඇල්මා 19:36

ස්වාමින්වහන්සේ මට පසුතැවිලි වීමට උදවු කරනවා.

ලමෝනි සහ ඔහුගේ සෙනඟගේ පරිවර්තනය ගැන විස්තර කිරීමෙන් පසු, මොර්මොන් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ නිරීක්ෂණයක් සමඟ එම වාර්තාව සාරාංශ කළා. ඇල්මා 19:36 තුළ ඔබට ස්වාමින්වහන්සේගේ චරිතය ගැන උගන්වන්නේ මොනවාද? ඇල්මා 19:16–36 තුළ ඇති වාර්තාව උන්වහන්සේ ගැන ඔබට උගන්වන තවත් දේවල් මොනවාද? ස්වාමින්වහන්සේගේ හස්තය ඔබ දෙසට විහිදී ඇති බව ඔබට දැනුනේ කවදාද?

ඇල්මා 20:23; 22:15–18

දෙවියන්වහන්සේව දැන ගැනීමට ඕනෑම පරිත්‍යාගයක් කිරීම වටිනවා.

ලමෝනිගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔහුගේ පියා අත්හැරීමට කැමති වූ දේ (බලන්න ඇල්මා 20:23) පසුව ඔහු ශුභාරංචියේ ප්‍රීතිය ලබා ගැනීමට සහ දෙවියන්වහන්සේව දැන ගැනීමට අත්හැරීමට කැමති වූ දේ සමඟ සසඳන්න (බලන්න ඇල්මා 22:15, 18). දෙවියන්වහන්සේව වඩාත් සම්පූර්ණයෙන් දැන ගැනීම සඳහා ඔබ කැප කිරීමට කැමති දේ ගැන මෙනෙහි කරන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 17:2–3

මම ශුද්ධලියවිලි කියවද්දි, යාච්ඤා කරද්දි සහ නිරාහාරව සිටිද්දි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂිය වර්ධනය වෙනවා.

  • ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි ගොඩනඟා ගැනීමට මොසායාගේ පුතුන්ගේ ආදර්ශ උදවු වෙන්නේ කොහොමද? ඇල්මා 17:2–3 තුළ ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය ගොඩනැගීමට මොසායාගේ පුතුන් කළ දේ සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන්. එවිට ඔවුන්ට චිත්‍ර ඇඳීමට හෝ මේ දේවල් නියෝජනය කරන භාණ්ඩ සොයා ගැනීමට පුළුවන්. ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි ශක්තිමත් කිරීමට ඔවුන් කුමක් කළ යුතුද කියා සැලසුම් කිරීමට ඔවුන්ට උදවු කරන්න.

ඇල්මා 17–19

මට අනෙක් අය සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගන්න පුළුවන්.

  • මොසායාගේ පුත්‍රයන් මෙන්, දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලමක් වීම ගැන ඉගෙන ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට උපකරණයක් හෝ මෙවලමක් දෙස බලා එය භාවිතා කරන්නේ කුමක් සඳහාද කියා සාකච්ඡා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට ඇල්මා 17:11 කියවා, පුද්ගලයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගැනීමට උදවු කිරීම සඳහා ස්වර්ගික පියාණන්වහන්සේගේ මෙවලම් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සාකච්ඡා කරන්න පුළුවන්.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවේ අම්මොන් ලමෝනි රජුට ඉගැන්වූ සත්‍යයන් නියෝජනය කරන පින්තූර තිබෙනවා. ඇල්මා 18:24–40 තුළ මෙම සත්‍යයන් සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදවු වෙන්න පුළුවන්. ඔබේ දරුවන්ට ධර්මදූතවරුන් ලෙස පෙනී සිටිමින් මෙම සත්‍යයන් ගැන ඔවුන් දන්නා දේ බෙදා ගන්න පුළුවන්.

  • ඔබ ඔබේ දරුවන් සමඟ අබිෂ් ගැන කියවූ පසු (බලන්න ඇල්මා 19:16–20, 28–29), ඔවුන්ට තැනින් තැන දුවමින්, දොරට තට්ටු කරමින්, ඇල්මා 19:1–17 තුළ සිදු වූ දේ ගැන පැවසීමෙන් අබිෂ් මෙන් රඟපාන්න පුළුවන්. අපි අබිෂ් මෙන් වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන අප දන්නා දේ බෙදා ගන්නේ කොහොමද? ඔබේ දරුවන් යමෙකු සමඟ ශුභාරංචිය බෙදා ගන්නා ආකාරය පිළිබඳ පින්තූර ඇඳීමට හෝ ශුභාරංචිය බෙදාගැනීම පිළිබඳ ගීතයක් එකට ගායනා කිරීමට ඔවුන්ට පුළුවන්.

ඇල්මා 17:21–25; 20:8–27; 22:1–3

මගේ ප්‍රේමය පෙන්වීමෙන් මට අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උදවු වෙන්න පුළුවන්.

  • මුලදී, ලමෝනි රජු සහ ඔහුගේ පියා යන දෙදෙනාම ශුභාරංචිය කෙරෙහි දැඩි සිත් ඇතිව සිටියා. පසුව, ඔවුන්ගේ හදවත් මෘදු වූ අතර, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළා. මෙය සිදුවුණේ කොහොමද? ඔබ අම්මොන්ගේ අත්දැකීම් ඔබේ දරුවන් සමඟ සමාලෝචනය කරද්දි මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. එසේත් නැතිනම් ඔබේ දරුවන් එම කතාවේ විවිධ අවස්ථා වල පින්තූර ඇඳීමට සහ කතන්දර පැවසීමට පින්තූර භාවිතා කිරීමට කැමති වෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙත ඔවුන්ගේ හදවත් විවෘත කිරීමට ලමෝනි සහ ඔහුගේ පියාට උදවු කිරීමට අම්මොන් කළේ කුමක්ද? (බලන්න ඇල්මා 17:21–25; 20:8–27; 22:1–3).

  • සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දැනගත යුතු කෙනෙකු ගැන සිතන්න පුළුවන්. අම්මොන් ලමෝනි වෙනුවෙන් සහ ඔහුගේ පියා වෙනුවෙන් කළාක් මෙන්, ඔවුන්ට හොඳ ආදර්ශයක් වීමට සහ එම පුද්ගලයාට ආදරය පෙන්වීමට හැකි ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට උදවු කරන්න.

රූපය
අබිෂ් පිළිබඳ නිදර්ශනය

ඩිලීන් මාෂ් විසින්, අබිෂ් පිළිබඳ නිදර්ශනය

මුද්‍රණය කරන්න