එන්න, මා අනුගමනය කරන්න 2024
සැප්තැම්බර් 2–8: “ස්වාමින්වහන්සේව මතක තබාගන්න.” හිලමන් 7–12


“සැප්තැම්බර් 2–8: ‘ස්වාමින්වහන්සේව මතක තබාගන්න.’ හිලමන් 7–12,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“සැප්තැම්බර් 2–8. හිලමන් 7–12,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
නෙපී උද්‍යාන කුළුණක යාච්ඤා කරමින්

ජෙරී තොම්ප්සන් විසින්, උද්‍යාන කුළුණක නෙපීගේ නිදර්ශනය

සැප්තැම්බර් 2–8: “ස්වාමින්වහන්සේව මතක තබාගන්න”

හිලමන් 7–12

නෙපීගේ පියා වන හිලමන් තම පුතුන්ගෙන් “මතක තබාගන්න, මතක තබාගන්න” කියා ඉල්ලා සිටියා. ඔහුට අවශ්‍ය වුණේ ඔවුන් තම මුතුන්මිත්තන් සිහිපත් කිරීම, අනාගතවක්තෘවරුන්ගේ වචන මතක තබාගැනීම සහ හැම දෙයටම වැඩියෙන් “ක්‍රිස්තුස්වහන්සේ වන අපගේ මිදුම්කරුවාණන්ව” මතක තබාගැනීමයි (බලන්න හිලමන් 5:5–14). නෙපී මතක තබාගත් බව පැහැදිලියි, මොකද ඔහු වසර ගණනාවකට පසු “වෙහෙසට පැමිණීමෙන් තොරව” ජනතාවට ප්‍රකාශ කළ පණිවිඩය තමයි මේ (හිලමන් 10:4). “ඔබේ දෙවියන්වහන්සේව ඔබට අමතක වූයේ කෙසේද?” කියා ඔහු ඇහුවා (හිලමන් 7:20). දේශනා කිරීම, යාච්ඤා කිරීම, ප්‍රාතිහාර්යයන් කිරීම සහ සාගතයක් නිසා දෙවියන්වහන්සේට ආයාචනා කිරීම වැනි—නෙපීගේ සියලු උත්සාහයන්—දෙවියන්වහන්සේ වෙතට හැරී උන්වහන්සේව සිහිපත් කිරීමට මිනිසුන්ට උදවු කිරීමේ උත්සාහයන් වුණා. බොහෝ ආකාරවලින්, දෙවියන්වහන්සේව අමතක කිරීම උන්වහන්සේව නොදැන සිටීමට වඩා විශාල ගැටලුවක්. ඒ වගේම “මෙලොව ඇති නිෂ්ඵල දේවලින්” අපගේ මනස වෙනතකට යොමුවී පාපයෙන් වැසී ඇති විට උන්වහන්සේව අමතක කිරීම පහසුයි (හිලමන් 7:21; තවත් බලන්න හිලමන් 12:2). ඒත්, නෙපීගේ දේවසේවය පෙන්වන විදියට, දෙවියන්වහන්සේව මතක තබාගැනීමට හෝ “ඔබේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතට හැරීමට” කිසිවිටෙකත් ප්‍රමාද නෑ (හිලමන් 7:17).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

හිලමන් 7–11

රූපය
seminary icon
අනාගතවක්තෘවරුන් ජනතාවට දෙවියන්වහන්සේගේ කැමැත්ත හෙළි කරනවා.

හිලමන් 7–11 කියන්නෙ අනාගතවක්තෘවරුන් කරන දේවල් ගැන ඉගෙන ගැනීමට විශේෂයෙන් හොඳ ස්ථානයක්. ඔබ මෙම පරිච්ඡේද කියවද්දි, නෙපීගේ ක්‍රියා, සිතුවිලි සහ ස්වාමින්වහන්සේ සමඟ අන්තර්ක්‍රියා කෙරෙහි අවධානය යොමුකරන්න. අනාගතවක්තෘවරුන්ගේ කාර්යභාරය තේරුම් ගැනීමට නෙපීගේ දේවසේවය ඔබට උදවු කරන්නේ කොහොමද? මෙන්න උදාහරණ කිහිපයක්. ඔබ සොයාගන්නා තවත් දේවල් මොනවාද?

ඔබ කියවා ඇති දේ මත පදනම්ව, අනාගතවක්තෘවරයෙකු යනු කවුද සහ ඔහු කරන දේ ඔබ විස්තර කරන්නේ කොහොමද? කෙටි අර්ථ දැක්වීමක් ලිවීම ගැන සලකා බලන්න.

හිලමන් 7:11–29 තුළ නෙපී කෙතරම් නිර්භීතද කියා ඔබ දැක්කද? අනාගතවක්තෘවරුන් නෙපී කළාක් මෙන් යම් අවස්ථා වල නිර්භීතව කතා කළ යුතුයි කියා ඔබට හැඟෙන්නේ ඇයි? වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ “දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ” (ලියාහෝනා, මැයි 2018, 26) පණිවිඩයේ “පුදුමයට පත් නොවන්න” යන මාතෘකාවෙන් යුත් කොටස තුළ එම පිළිතුරු සෙවීම ගැන සලකා බලන්න.

මෙම සත්‍යයන් සියල්ලම මනසේ තබාගෙන, ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන්ගේ සේවය තුළින් ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා හරහා උන්වහන්සේ ඔබට මෑතකදී උගන්වා ඇත්තේ මොනවාද? ස්වාමින්වහන්සේගේ මගපෙන්වීමට සවන්දීමට සහ ඒවා අනුගමනය කිරීමට ඔබ කරන්නේ මොනවාද?

හිලමන් 9; 10:1, 12–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති මගේ ඇදහිල්ල ගොඩනැගිය යුත්තේ සලකුණු හා ප්‍රාතිහාර්යයන් මත පමණක් නොවේ.

පුද්ගලයෙකුගේ හදවත වෙනස් කිරීමට සලකුණු හෝ ප්‍රාතිහාර්යයන් ප්‍රමාණවත් වුණා නම්, සියලු නෙපීවරු හිලමන් 9 තුළ නෙපී දුන් කැපී පෙනෙන සලකුණු මගින් පරිවර්තනය වීමට ඉඩ තිබුණා. නමුත් එහෙම වුණේ නෑ. හිලමන් 9–10 තුළ ප්‍රාතිහාර්යයන්ට මිනිසුන් ප්‍රතිචාර දැක්වූ විවිධ ආකාර සැලකිල්ලට ගන්න. නිදසුනක් වශයෙන්, ඔබට හිලමන් 9:1–20 තුළ මිනිසුන් පස්දෙනාගේ සහ ප්‍රධාන විනිශ්චයකරුවන්ගේ ප්‍රතිචාර සංසන්දනය කරන්න පුළුවන් (තවත් බලන්න හිලමන් 9:39–41; 10:12–15). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ගොඩනගා ගන්නේ කෙසේද යන්න ගැන මෙම අත්දැකීම් වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න 3 නෙපී 1:22; 2:1–2.

හිලමන් 10:1–12

දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයන සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරන මිනිසුන්ට ස්වාමින්වහන්සේ බලය ලබා දෙනවා.

ඔබ හිලමන් 10:1–12 අධ්‍යයනය කරද්දි, ස්වාමින්වහන්සේගේ විශ්වාසය දිනාගැනීමට නෙපී කළ දේ බලන්න. තමාගේ කැමැත්තට වඩා ස්වාමින්වහන්සේගේ කැමැත්ත පැතූ බව ඔහු පෙන්නුවේ කොහොමද? නෙපීගේ අත්දැකීම මගින් ඔබව පොළඹවන්නේ කුමක් කිරීමටද?

හිලමන් 10:2–4

දෙවියන්වහන්සේගේ වචනය ගැන මෙනෙහි කිරීම එළිදරව් වලට ආරාධනා කරනවා.

ඔබට පසුබෑමක්, කනස්සල්ලක් හෝ ව්‍යාකූලත්වයක් දැනෙද්දි, හිලමන් 10:2–4 තුළ නෙපීගේ උදාහරණයෙන් ඔබට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. “අධෛර්යයට පත්වුණා” කියා හැඟෙද්දි ඔහු කළේ කුමක්ද? (3 වෙනි පදය).

ඔබ මෙනෙහි කිරීමේ පුරුද්දක් ඇති කරගන්නේ කොහොමද?

හිලමන් 12

මම ස්වාමින්වහන්සේව මතක තබාගන්නවාට උන්වහන්සේ කැමතියි.

පවුලේ සාමාජිකයෙකුගේ උපන් දිනය හෝ පරීක්ෂණයක් සඳහා තොරතුරු වැනි වැදගත් තොරතුරු ඔබ මතක තබා ගන්නේ කොහොමද? මෙය “ස්වාමින්වහන්සේව මතක තබාගැනීමට” අවශ්‍ය කරන උත්සාහයට සමාන වෙන්නේ කොහොමද? (හිලමන් 12:5). එය වෙනස් වෙන්නේ කොහොමද?

මිනිසුන්ට ස්වාමින්වහන්සේව අමතක කිරීමට හේතු වන කරුණු කිහිපයක් හිලමන් 12 තුළ විස්තර කරනවා. සමහර විට ඔබට ඒවා ලැයිස්තුගත කර, ඒවා ඔබව උන්වහන්සේගෙන් වෙනතකට යොමු කරනවාද කියා සිතා බලන්න ඔබට පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මතක තබා ගැනීමට ඔබට උදවු වෙන්නේ මොනවාද? ඔබ ඉගෙන ගත් දේ මත පදනම්ව ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කිරීමටද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 20:77, 79.

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. ගැලවුම්කරුවාණන් බොහෝ විට මිනිසුන්ට හුරු පුරුදු වූ එදිනෙදා දේවල්වලට ශුභාරංචි මූලධර්ම සම්බන්ධ කළා. හිලමන් 12:1–6 ගැන ඉගෙන ගන්නා විට හෝ ඉගැන්වීමේදී, ඔබට “මිනිසුන්ගේ අස්ථාවරත්වය” එක කකුලක් මත අපි සමතුලිත වීමට උත්සාහ කරද්දි අපට හැඟෙන ආකාරය සමඟ සසඳන්න පුළුවන්. අපට අධ්‍යාත්මිකව ස්ථාවරව ඉන්න පුළුවන් වෙන්නෙ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

හිලමන් 7:20–21

මම ස්වාමින්වහන්සේව මතක තබාගන්නවාට උන්වහන්සේ කැමතියි.

  • ස්වාමින්වහන්සේව මතක තබාගැනීම පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීම සඳහා, ඔබට යමක් අමතක වූ අවස්ථාවක් ගැන ඔබේ දරුවන්ට කියන්න පුළුවන්. ඔවුන්ට තිබෙන ඒ සමාන අත්දැකීම් බෙදා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඉන්පසු ඔබට එකට එකතු වී හිලමන් 7:20–21 කියවා, දෙවියන්වහන්සේව අමතක කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් අහන්න පුළුවන්. සමහර විට ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේව අමතක කිරීමට හේතු විය හැකි දේවල් වල චිත්‍ර අඳින්න පුළුවන්, ඊට පස්සෙ ඔවුන්ගේ චිත්‍ර යේසුස්වහන්සේගේ පින්තූරයක් ආවරණය කිරීමට යොදා ගන්න පුළුවන්. ඉන්පසු උන්වහන්සේව මතක තබාගන්න ඔවුන්ට කළ හැකි දේවල් ගැන ඔවුන්ට සිතන්න පුළුවන්. ඔවුන් ඔවුන්ගේ සිතුවිලි බෙදාගද්දි, ගැලවුම්කරුවාණන්ගේ පින්තූරය හෙළි වන තුරු ඔවුන්ට චිත්‍ර එකින් එක අයින් කරන්න පුළුවන්.

හිලමන් 8:13–23

අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වූ අනාගතවක්තෘවරුන්ගේ නම් සොයා ගැනීමට ඔබේ දරුවන්ට හිලමන් 8:13–23 කියවීමට උදවු කරන්න. ඔවුන් එක නමක් සොයාගන්නා සෑම අවස්ථාවකම ඔවුන්ට යේසුස්වහන්සේගේ පින්තූරයක් එකිනෙකා අතට මාරු කරන්න පුළුවන්. අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා ගැලවුම්කරුවාණන් ගැන උගන්වා ඇත්තේ මොනවාද?

  • ඔබට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයකට මගපෙන්වන පා සටහන් බිම තියන්න පුළුවන්, ඊට පස්සෙ ඔබේ දරුවන්ට ඒ අඩි සලකුණු අනුගමනය කරමින් පින්තූරය දෙසට ගමන් කරන්න පුළුවන්. අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ගොස් තිබෙන්නේ කොහොමද?

හිලමන් 10:1–4

දෙවියන්වහන්සේගේ වචන මෙනෙහි කිරීම එළිදරව් වලට ආරාධනා කරනවා.

  • මෙනෙහි කිරීම කියන වචනයට තියන සමාන වචන මොනවාද? සමහර විට ඔබට එකට එකතු වී හිලමන් 10:1–3 කියවද්දි, මෙනෙහි කිරීම යන වචනය වෙනත් වචන සමඟ ආදේශ කරන්න පුළුවන්. මෙනෙහි කිරීම ඔවුන්ගේ ශුද්ධලියවිලි අධ්‍යයනයේ කොටසක් කර ගත හැකි ක්‍රම ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න.

හිලමන් 10:11–12

මම ස්වර්ගික පියාණන්වහන්සේට කීකරු වෙනවා.

  • දුෂ්කර දෙයක් කිරීමේදී පවා නෙපී ස්වර්ගික පියාණන්වහන්සේට කීකරු වුණා. මෙයට උදාහරණයක් විදියට, ඔබට සහ ඔබේ දරුවන්ට හිලමන් 10:2, 11–12 කියවන්න පුළුවන්. කාමරයේ එක පැත්තකට ඇවිදිමින් (ඔවුන් ගෙදර යනවා වගේ), නැවතෙමින්, හැරෙමින්, සහ කාමරයේ අනෙක් පැත්තට ඇවිදිමින් (ඔවුන් මිනිසුන්ට ඉගැන්වීමට ආපසු එනවා වගේ)—ඔබේ දරුවන්ට නෙපී කළ දේ රඟපාන්න පුළුවන්. අපි කරනවාට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති සමහර දේවල් මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
සින්තුම් මිනීමරුවා බව සොයාගෙන ඇත

අනාවැකි දීමනාව හරහා නෙපී ප්‍රධාන විනිසුරුවරයාගේ ඝාතනය විසඳුවා.

© තරුණ පාඨකයන් සඳහා වූ මොර්මොන්ගේ පොත, සින්තුම්–මිනීමරුවා සොයාගනු ලබයි, බ්‍රියානා ෂෝක්‍රොෆ්ට් විසිනි; පිටපත් නොකළ යුතුය

මුද්‍රණය කරන්න