එන්න, මා අනුගමනය කරන්න 2024
සැප්තැම්බර් 9–15: “බලවත් ප්‍රීතියෙන් යුත් සුභ ආරංචිය.” හිලමන් 13–16


“සැප්තැම්බර් 9–15: ‘බලවත් ප්‍රීතියෙන් යුත් සුභ ආරංචිය.’ හිලමන් 13–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“සැප්තැම්බර් 9–15. හිලමන් 13–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ලාමන්වරයෙකු වූ සාමුවෙල් තාප්පය මත සිට උගන්වමින්

ආර්නොල්ඩ් ෆ්‍රිබර්ග් විසින්, Samuel the Lamanite on the Wall [ලාමන්වරයෙකු වූ සාමුවෙල් තාප්පය මත]

සැප්තැම්බර් 9–15: “බලවත් ප්‍රීතියෙන් යුත් සුභ ආරංචිය”

හිලමන් 13–16

ලාමන්වරයෙකු වූ සාමුවෙල් පළමු වරට සාරාහෙම්ලා හි “ශුභාරංචිය” බෙදාගැනීමට උත්සාහ කළ විට (හිලමන් 13:7), දැඩි හදවත් ඇති නෙපීවරුන් විසින් ඔහුව ප්‍රතික්ෂේප කර ඔහුව එලවා දැම්මා. සාමුවෙල්ගේ පණිවිඩය ලැබීමෙන් වළක්වන නොපෙනෙන පවුරක් ඔවුන් ඔවුන්ගේ හදවත වටා ගොඩනගාගෙන තියෙන බව ඔබට කියන්න පුළුවන්. “අනාවැකි කීමට ඔහු නැවත හැරී යා යුතුයි” (හිලමන් 13:3) යන දෙවියන්වහන්සේගේ ආඥාව අනුගමනය කිරීමෙන්, සාමුවෙල් තමා දුන් පණිවිඩයේ වැදගත්කම වටහාගෙන ඇදහිල්ල විදහා දැක්වූවා. සාමුවෙල් වගේ, අපි හැමෝටම “ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන” විට (හිලමන් 14:9) සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ව අනුගමනය කිරීමට උත්සාහ කරද්දි, තාප්ප හමුවෙනවා. සාමුවෙල් මෙන් අපිත් “නියත වශයෙන්ම පැමිණෙන,” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරා “උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්නට” කියා සියල්ලන්ටම ආරාධනා කරමු (හිලමන් 13:6; 14:13). සෑම කෙනෙකුම සවන් දෙන එකක් නෑ, ඒ වගේම සමහරු ක්‍රියාශීලීවම අපට විරුද්ධ වෙයි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මෙම පණිවිඩය විශ්වාස කරන අය, එය සැබවින්ම “බලවත් ප්‍රීතියෙන් යුත් සුභ ආරංචිය” බව සොයාගනියි (හිලමන් 16:14).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

හිලමන් 13

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරු හරහා අනතුරු ඇඟවීම් ලබා දෙනවා.

ශුද්ධලියවිලි තුළ, සමහර වෙලාවට අනාගතවක්තෘවරුන්ව අන්තරායන් ගැන අනතුරු අඟවන තාප්පයක හෝ කුළුණක මුරකරුවන් සමඟ සසඳනවා (බලන්න යෙසායා 62:6; එසකියෙල් 33:1–7). ඔබ හිලමන් 13 තුළ සාමුවෙල්ගේ වචන අධ්‍යයනය කරද්දි, ඔහු ඔබට මුරකරුවෙකු මෙන් වන්නේ කොහොමද කියා සලකා බලන්න. ඔහු කියපු දේවල් වලින් අපේ කාලයට අදාළ බවක් පෙනෙන්නට තිබෙන්නේ මොනවාද? (විශේෂයෙන් බලන්න 8, 21–22, 26–29, 31, සහ 38 පද). උදාහරණයක් විදියට, පසුතැවිලි වීම ගැන? නිහතමානිකම සහ ධනය ගැන? “අයුතුකම් කිරීමෙන්” සතුට සෙවීම ගැන සාමුවෙල් ඉගැන්වූයේ මොනවාද?

නූතන අනාගතවක්තෘවරුන් හරහා ස්වාමින්වහන්සේ ලබා දී ඇති ඒ හා සමාන අනතුරු ඇඟවීම් සොයාගැනීම සඳහා ඔබට මෑතකාලීන සම්මන්ත්‍රණ පණිවිඩ කියවන්න පුළුවන්. ඔබට අනුභාවයක් දැනෙන්නේ මෙම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කුමක් කරන්නද?

රටාවන් සොයන්න. රටාවක් කියන්නෙ කාර්යයක් ඉටුකිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කළ හැකි සැලැස්මක් හෝ ආකෘතියක්. මිනිසුන්ට අනතුරු ඇඟවීම සඳහා තම සේවකයන්ව යැවීම වැනි, ස්වාමින්වහන්සේ තම කාර්යය ඉටුකරන ආකාරය පෙන්වන රටාවන්, ශුද්ධලියවිලි වල අපට හමුවෙනවා.

රූපය
පවුලක් ප්‍රධාන සම්මන්ත්‍රණය නරඹමින්

අපි අනාගතවක්තෘවරුන්ට සවන් දෙද්දි, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපිව යොමු කරනවා.

හිලමන් 13–15

රූපය
seminary icon
දෙවියන්වහන්සේ මට පසුතැවිලි වීමට ආරාධනා කරනවා.

දෙවියන්වහන්සේගේ විනිශ්චයන් පිළිබඳ සාමුවෙල්ගේ අනතුරු ඇඟවීම්වලට නිරතුරුවම පසුතැවිලි වීමට දයානුකම්පිත ආරාධනයක් ඇතුළත් වුණා. හිලමන් 13–15 පුරාවට මෙම ආරාධනාවන් සොයන්න (විශේෂයෙන්ම බලන්න හිලමන් 13:6–11; 14:15–19; 15:7–8). මෙම පද වලින් ඔබ පසුතැවීම ගැන ඉගෙනගන්නේ මොනවාද? සමහර අය පසුතැවිලි වීම—එය වළක්වා ගත යුතු—දරුණු දඬුවමක් ලෙස දකිනවා. ඔබේ මතය අනුව, සාමුවෙල්ට අවශ්‍ය වුණේ නෙපීවරුන් කොහොම පසුතැවිලි වෙනවා දකින්නද?

ඔබේ අධ්‍යයනය ගැඹුරු කිරීම සඳහා, ඔබට සභාපති රසල් එම්. නෙල්සන්ගේ “අපට වඩා හොඳින් සහ වඩා හොඳ විය හැකිය” (ලියහෝනා, මැයි 2019, 67) යන පණිවිඩය කියවන්න පුළුවන්. ඔහු පසුතැවීම නිර්වචනය කරන්නේ කොහොමද? ඔහුගේ පණිවිඩයෙන් ඔබ සොයාගන්නා අවංක පසුතැවිලි වීමේ ආශිර්වාද මොනවාද? අනාගතවක්තෘවරයා අපට වෙනස් කිරීමට ආරාධනා කළ විශේෂිත දේවල්ද ඔබට සොයන්න පුළුවන්. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට පවසන ඔබ වෙනස් කළ යුතු දේවල් මොනවාද? ඔබට ලැබෙන පුද්ගලික එළිදරව් සටහන් කරගැනීම ගැන සලකා බලන්න.

පසුතැවිලි වීම ඔබේ හැසිරීම වෙනස් කිරීමට වඩා වෙනස් වන්නේ කොහොමද? පසුතැවිලි වීමට වූ දෙවියන්වහන්සේගේ ආරාධනය පිළිගැනීම වැදගත් වන්නේ ඇයි? ඔබ මේ ගැන මෙනෙහි කරද්දි, මෙම ආරාධනාව ප්‍රකාශ කරන ගීතිකාවක් ගායනා කිරීම හෝ එවැනි ගීතිකාවකට සවන් දීම ගැන සලකා බලන්න.

තවත් බලන්න යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක් හි “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරයි”, 6–9.

හිලමන් 14; 16:13–23

ගැලවුම්කරුවාණන්ගේ උපත සහ මරණය ගැන සාක්ෂි දීමට දෙවියන්වහන්සේ ලකුණු සහ අරුම-පුදුම දේ එවුවා.

ස්වාමින්වහන්සේ ගැලවුම්කරුවාණන්ගේ උපත සහ මරණය පිළිබඳ සලකුණු සපයා ඇත්තේ, මිනිසුන්ට “උන්වහන්සේගේ පැමිණීම ගැන දැන ගැනීමට” සහ “උන්වහන්සේගේ නාමය විශ්වාස කිරීමට” නිසා බව, හිලමන් 14 තුළ, සාමුවෙල් පැහැදිලි කරනවා (හිලමන් 14:12). ඔබ හිලමන් 14 අධ්‍යයනය කරද්දි, 1–8 පදවල ඇති ගැලවුම්කරුවාණන්ගේ උපත පිළිබඳ සලකුණු සහ 20–28 පදවල ඇති උන්වහන්සේගේ මරණයේ සලකුණු සටහන් කරන්න. මෙම සලකුණු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත හා මරණය සංකේතවත් කිරීමට ඵලදායී ක්‍රමයක් වනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?

“[ගැලවුම්කරුවාණන්ගේ] නාමය කෙරෙහි විශ්වාස කිරීමට” වෙනත් ආකාරයකින් වඩාත් පුද්ගලික සහ අඩු නාටකාකාර සලකුණුද ඔබට උදවු වෙන්න පුළුවන්. උන්වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කිරීමට උන්වහන්සේ කර තිබෙන්නේ මොනවාද?

හිලමන් 16:13–23 තුළ සලකුණු ගැන දී ඇති අනතුරු ඇඟවීම් මොනවාද? මෙම පදවල විස්තර කර ඇති ජනතාවගේ ආකල්ප වලින් ඔබ වැළකී සිටින්නේ කොහොමද?

තවත් බලන්න ඇල්මා 30:43–52.

හිලමන් 15:3

ස්වාමින්වහන්සේගෙන් ලැබෙන දඬුවම් උන්වහන්සේගේ ප්‍රේමයේ ලකුණක්.

සාමුවෙල්ගේ වචනවල දැඩි දඬුවම් බොහොමයක් අඩංගු වෙනවා, නමුත් හිලමන් 15:3 අපට ස්වාමින්වහන්සේගෙන් ලැබෙන දඬුවම් පිළිබඳ ඉදිරිදර්ශනයක් ලබා දෙනවා. ස්වාමින්වහන්සේගෙන් ලැබෙන දඬුවම් උන්වහන්සේගේ ප්‍රේමයේ ලකුණක් වන්නේ කොහොමද? සාමුවෙල්ගේ අනාවැකි සහ අනතුරු ඇඟවීම් තුළින් ස්වාමින්වහන්සේගේ ප්‍රේමය සහ දයාව පිළිබඳව ඔබ දකින සාක්ෂි මොනවාද?

ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේ මේ ආකාරයෙන් ක්‍රියා කරන ආකාරය ඔබ දැක ඇත්තේ කවදාද?

හිලමන් 16

අනාගතවක්තෘවරුන් මාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමු කරනවා.

හිලමන් 16 තුළ, සාමුවෙල්ගේ ඉගැන්වීම් පිළිගත් අයගෙන් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔහුව ප්‍රතික්ෂේප කළ අයගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ජීවමාන අනාගතවක්තෘවරුන්ව අනුගමනය කිරීම මගින් ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ළං වීමට උදවු වූ ආකාරය ගැන සිතා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

හිලමන් 13:2–5

දෙවියන්වහන්සේට මගේ හදවත තුළින් මට කතා කරන්න පුළුවන්.

  • දෙවියන්වහන්සේ සාමුවෙල්ට කළාක් මෙන්, උන්වහන්සේට අපගේ හදවතට කතා කළ හැකි බව ඔබේ දරුවන්ට උගන්වන්නේ කොහොමද? සමහර විට ඔබට වචන නොමැතිව සන්නිවේදනය කිරීමේ විවිධ ක්‍රම පෙන්වීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන් (ඉඟි හෝ මුහුණේ ඉරියව් වැනි දේවල් වලින්). මෙය ස්වර්ගීය පියාණන්වහන්සේ අප සමඟ සන්නිවේදනය කරන විවිධ ක්‍රම පිළිබඳ සාකච්ඡාවකට තුඩු දෙන්න පුළුවන්. මෙම සාකච්ඡාවේ කොටසක් ලෙස, ඔබට සහ ඔබේ දරුවන්ට ලාමන්වරයෙකු වූ සාමුවෙල්ගේ පින්තූරයක් දෙස බලා (මෙම දළ සටහනෙහි දෙකක් තිබෙනවා) ඉන්පසු හිලමන් 13:2–5 කියවන්න පුළුවන්, එවිට සාමුවෙල් කිව යුතු දේවල් ගැන දෙවියන්වහන්සේ ඔහුට පැවසූ දේවල් වලට ඔබේ දරුවන්ට සවන් දෙන්න පුළුවන්.

  • දෙවියන්වහන්සේ අපට කතා කරන්නේ කොහොමද සහ කොයි වෙලාවෙද කියා හඳුනා ගැනීමට අපගෙන් බොහෝ දෙනෙකුට—විශේෂයෙන් දරුවන්ට—උදවු අවශ්‍ය වෙනවා. ඔබ කරනවාට හෝ කියනවාට දෙවියන්වහන්සේ කැමති දෙයක් ඔබේ හදවත තුළ දැනගැනීමට ශුද්ධාත්මයාණන් ඔබට උදවු කළ අවස්ථාවක් ගැන ඔබට ඔබේ දරුවන්ට කියන්න පුළුවන්. දෙවියන්වහන්සේ ඔබ සමඟ සන්නිවේදනය කරන බව ඔබ දැනගත් ආකාරය පැහැදිලි කරන්න. සමහරවිට ඔබේ දරුවන්ටත් ඔවුන් මුහුණ දී ඇති ඒ හා සමාන අත්දැකීම් බෙදා ගන්න පුළුවන්.

හිලමන් 14:2–7, 20–25

අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වනවා.

  • සාමුවෙල් ගැලවුම්කරුවාණන් ගැන ඉගැන්වූයේ මොනවාද? සමහර විට මේ කාලයේ අනාගතවක්තෘවරුන් උන්වහන්සේ ගැන උගන්වන දේවල් ඔබට බෙදාගන්න පුළුවන්. ඔවුන්ගේ වචන උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගොඩනගන්නේ කොහොමද?

හිලමන් 16:1–6

මම අනාගතවක්තෘවරයාව අනුගමනය කරද්දි මට ආශිර්වාද ලැබෙනවා.

  • ඇදහිලිවන්ත මිනිසුන්ගේ ආදර්ශ පෙන්වීමෙන් අනාගතවක්තෘවරයා කෙරෙහි ඔබේ දරුවන්ගේ විශ්වාසය ඔබට ගොඩනගන්න පුළුවන්. මේවායින් සමහරක් හිලමන් 16:1, 5 තුළ දක්නට ලැබෙනවා. ඔබ කියවද්දි, සාමුවෙල්ගේ වචන විශ්වාස කළ විට මිනිසුන් කළ දෙයක් ඇසෙද්දි ඔබේ දරුවන්ට නැගිටින්න පුළුවන්. ඊට පස්සෙ, ඔබ 2 සහ 6 වෙනි පද කියවද්දි, මිනිසුන් විශ්වාස නොකළ විට ඔවුන් කළ දෙයක් ඇසෙද්දි ඔබේ දරුවන්ට වාඩි වෙන්න පුළුවන්. ජීවමාන අනාගතවක්තෘවරයාගේ වචන අප විශ්වාස කරන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද? ඔබ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරද්දි ඔබ ආශිර්වාද ලබා ඇති ආකාරය දරුවන්ට කියන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ලාමන්වරයෙකු වූ සාමුවෙල්

ලෙස්ටර් යොකුම් විසින්, Samuel the Lamanite [ලාමන්වරයෙකු වූ සාමුවෙල්]

මුද්‍රණය කරන්න