එන්න, මා අනුගමනය කරන්න 2024
අගෝස්තු 26–සැප්තැම්බර් 1: “අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය.” හිලමන් 1–6


“අගෝස්තු 26–සැප්තැම්බර් 1: ‘අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය’ හිලමන් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“අගෝස්තු 26–සැප්තැම්බර් 1. හිලමන් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
පර්වත මත රළ කඩා වැටෙමින්

අගෝස්තු 26–සැප්තැම්බර් 1: “අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය”

හිලමන් 1–6

හිලමන්ගේ පොත නෙපීවරුන් සහ ලාමන්වරුන් අතර ජයග්‍රහණ හා ඛේදවාචකයන් වාර්තා කරනවා. ඒක පටන් ගන්නෙ “නෙපී ජනයා අතර බරපතල දුෂ්කරතාවයකින්” (හිලමන් 1:1), ඒවගේම ඒ දුෂ්කරතා ඒ වාර්තාව පුරාම පැමිණෙමින් තිබෙනවා. දේශපාලන කුමන්ත්‍රණ, මංකොල්ලකරුවන්ගේ කණ්ඩායම්, අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීම සහ රට පුරා ආඩම්බරකම සහ අවිශ්වාසය ගැන අපි මෙහිදී කියවනවා. නමුත් දිවි ගලවාගත් අය පමණක් නොවේ, අධ්‍යාත්මිකව දියුණු වූ, නෙපී සහ ලෙහි සහ “ජනතාවගේ වඩාත් නිහතමානී පිරිස” වගේ උදාහරණත් අපිට හමුවෙනවා (හිලමන් 3:34). ඔවුන් එය කළේ කොහොමද? ඔවුන්ගේ ශිෂ්ටාචාරය පිරිහීමට හා බිඳවැටීමට පටන්ගද්දි ඔවුන් ශක්තිමත්ව සිටියේ කොහොමද? යක්ෂයා “[අපට] පහරදීමට” එවන එම “බලවත් කුණාටුව” තුළ අපෙන් ඕනෑම කෙනෙකුට ශක්තිමත්ව සිටින හැකි ආකාරය මෙහෙම විස්තර කරනවා—අපි අපේ ජීවිත ගොඩනැගිය යුත්තේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, ක්‍රිස්තුස්වහන්සේ වූ, අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතයි; … එම අත්තිවාරම මත මනුෂ්‍යයා ගොඩනැගෙන්නේ නම් ඔවුහු [වැටෙන්නේ නෑ]” (හිලමන් 5:12).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

හිලමන් 1–6

උඩඟුකම දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හා ශක්තියෙන් මාව වෙන් කරනවා.

ඔබ හිලමන් 1–6 කියවද්දි, නෙපීවරුන්ගේ හැසිරීමේ රටාවක් ඔබට පෙනේවි. ඔවුන් ධර්මිෂ්ඨ වූ විට, දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා, ඔවුන් සමෘද්ධිමත් වෙනවා. ටික කලකට පස්සෙ, ඔවුන් ආඩම්බර හා දුෂ්ට බවට පත්වෙලා, විනාශයට හා දුක් වේදනා වලට තුඩුදෙන තේරීම් කරනවා. ඊට පස්සෙ ඔවුන් නිහතමානී වෙලා පසුතැවිලි වෙනවා, එතකොට දෙවියන්වහන්සේ ඔවුන්ට නැවත වරක් ආශිර්වාද කරනවා. මෙම රටාව බොහෝ විට නැවත නැවත සිදුවන නිසා ඇතැමුන් එය “උඩඟුකමේ චක්‍රය” ලෙස හඳුන්වනවා.

රූපය
උඩඟුකමේ චක්‍රය

“උඩඟුකමේ චක්‍රය.”

ඔබ හිලමන් 1–6 කියවද්දි, මේ චක්‍රයේ උදාහරණ සොයන්න. මෙන්න ඔබට මෙම රටාව තේරුම් ගැනීමට උදවු වන ප්‍රශ්න කිහිපයක්:

  • නෙපීවරුන් අතර ඔබ දකින උඩඟුකමේ සාක්ෂි මොනවාද? (උදාහරණ ලෙස බලන්න, හිලමන් 3:33–34; 4:11–13). උඩඟුබවේ ඒ හා සමාන සාක්ෂි ඔබ ඔබ තුළ දකිනවාද?

  • උඩඟුකමේ හා දුෂ්ටකමේ ප්‍රතිවිපාක මොනවාද? (බලන්න හිලමන් 4:23–26). නිහතමානීකමේ හා පසුතැවිල්ලේ ප්‍රතිවිපාක මොනවාද? (බලන්න හිලමන් 3:27–30, 35; 4:14–16).

  • තම පුතුන් මතක තබාගන්නවාට හිලමන්ට අවශ්‍ය වූ දේවල් මොනවාද? (බලන්න හිලමන් 5:4–12). මෙම සත්‍යයන් මතක තබාගැනීම, ඔබට උඩඟු නොවී සිටීමට උදවු වන්නේ මොන ආකාර වලින්ද?

හිලමන් 3:24–35

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල මගේ ප්‍රාණය ප්‍රීතියෙන් පුරවනවා.

හිලමන් 3 තුළ, සභාවේ නායකයන්ව පවා පුදුමයට පත් වන තරමට සභාව ආශිර්වාද ලැබීමෙන් ප්‍රීති වූ කාලයක් ගැන මොර්මොන් විස්තර කළා. 24–32 පදවල ඔබ කියවූ දේ මත පදනම්ව, ඔබ සිතන ලෙස එම ප්‍රීතිමත් තත්වයට හේතු වූයේ මොනවාද? කෙසේ වෙතත්, සියලුම සාමාජිකයින් දිගටම ප්‍රීතියෙන් සිටියේ නෑ. 33–35 පදවල විස්තර කර ඇති පුද්ගලයන් අතර ඇති වෙනස්කම් සැලකිල්ලට ගන්න. ඔවුන්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

පුද්ගලික යොදාගැනීම් සොයන්න. අනාගතවක්තෘ මොර්මොන් මොර්මොන්ගේ පොත සංක්ෂිප්ත කරද්දි වැදගත් සත්‍යයන් අවධාරණය කිරීමට “මෙසේ අපි දකින්නෙමු” යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කළා. උදාහරණයක් වශයෙන්, හිලමන් 3:27–30 තුළ ඔහුට අවශ්‍ය වූයේ අපි කුමක් දකිනවාටද? ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරද්දි, ඔබ කියවා ඇති දේ සම්බන්ධයෙන් “තවද මෙසේ අපි දකින්නෙමු” යන වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණ කිරීමට ඔබට ඉඳහිට විරාමයක් ලබාගන්න පුළුවන්.

හිලමන් 5:6–7

මට ගැලවුම්කරුවාණන්ගේ නාමයට ගෞරව කරන්න පුළුවන්.

හිලමන් 5:6–7 කියවීමෙන් වාසගම් ඇතුළුව ඔබට දී ඇති නම් සලකා බැලීමට ඔබට අනුභාවයක් ලැබෙන්න පුළුවන්. මෙම නම් වලින් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඔබට ඒවාට ගෞරව කළ හැක්කේ කොහොමද? ඊටත් වඩා වැදගත් දේ තමයි, ගැලවුම්කරුවාණන්ගේ නාමය දැරීම යන්නෙහි තේරුම සලකා බලන්න (බලන්න මොරෝනි 4:3). ඔබ එම ශුද්ධ වූ නාමයට ගරු කරන්නේ කොහොමද?

හිලමන් 5:12–52

රූපය
seminary icon
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මගේ අත්තිවාරම කරගත්තොත් මම වැටෙන්නේ නෑ.

“අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය” මත “ඔබේ අත්තිවාරම ගොඩනඟන්න” යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? (හිලමන් 5:12). ජීවිතයේ කුණාටු වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ ආරක්ෂාව සොයාගෙන තිබෙන්නේ කොහොමද? ඔබ හිලමන් 5:12–52 කියවද්දි, ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මත ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනගා ගැනීම නිසා නෙපී සහ ලෙහි ආශිර්වාද ලැබූ ආකාරය හඳුනාගන්න.

සමහර පුද්ගලයින්ට තමන් අධ්‍යයනය කරන දේ සිතින් මවා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. හිලමන් 5:12 නිරූපණය කිරීම සඳහා, ඔබට විවිධ ආකාරයේ අත්තිවාරම් මත කුඩා සැකිල්ලක් ගොඩනගන්න පුළුවන්. ඉන්පසු ඒ මත ජලය ඉසීමෙන් සහ විදුලි පංකාවක් භාවිතා කිරීමෙන් සුළඟ නිර්මාණය කරමින්, ඔබට “බලවත් කුණාටුවක්” නිර්මාණය කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ඔබේ අත්තිවාරම ගොඩනගා ගැනීම පිළිබඳව මෙය ඔබට ලබා දෙන අවබෝධය මොකක්ද?

50 වෙනි පදය ලාමන්වරුන්ට ලැබුණු “සාක්ෂි වල ශ්‍රේෂ්ඨත්වය” ගැන සඳහන් කරනවා. හිලමන් 5:12–52 කියවීම මගින් දෙවියන්වහන්සේ ඔබට ලබා දී ඇති සාක්ෂි ඔබේ මනසට ගෙන එයි. නිදසුනක් විදියට, සමහර විට ආත්මයාණන්ගෙන් පැමිණි “මිමිණුමක්” ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කර තිබෙන්නට පුළුවන් (හිලමන් 5:30; තවත් බලන්න දහම සහ ගිවිසුම් 88:66). එසේත් නැතිනම් සමහර විට ඔබ අන්ධකාරයේ සිටිමින් වැඩි ඇදහිල්ලක් සඳහා දෙවියන්වහන්සේට මොරගසා තිබෙන්න පුළුවන් (බලන්න හිලමන් 5:40–47). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ඔබේ අත්තිවාරම ගොඩනගා ගැනීමට ඔබට උදවු වී ඇති වෙනත් අත්දැකීම් මොනවාද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 93–96; ශෝන් ඩග්ලස්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරමින් අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට මුහුණදීම,” ලියහෝනා, නොවැ. 2021, 109–11.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

හිලමන් 3:24, 33–34; 4:11–15

ස්වර්ගික පියාණන්වහන්සේ මම නිහතමානී වෙනවාට කැමතියි.

  • ඉහත රූප සටහන මත පදනම්ව, “උඩඟුබවේ චක්‍රයේ” ඔවුන්ගේම අනුවාදයක් ඇඳීමට ඔබේ දරුවන්ට ආරාධනා කිරීම සලකා බලන්න. ඉන්පසුව, ඔබ එකට එක්ව හිලමන් 3:24, 33–34 සහ 4:11–15 කියවද්දි, මෙම පදවල විස්තර කරන එම චක්‍රයේ කොටස් ඔවුන්ට පෙන්වන්න පුළුවන්. අපට නිහතමානී වීමට සහ—එලෙසම සිටීමට තෝරාගන්න පුළුවන් කොහොමද?

හිලමන් 5:12

මම මගේ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩනගනවා.

  • ගොඩනැගිලි වලට ශක්තිමත් අත්තිවාරම් අවශ්‍ය වන්නේ ඇයි කියා සංවාදයක් ආරම්භ කිරීමට දේවමාළිගාවක පින්තූරයක් භාවිතා කිරීම සලකා බලන්න. එහෙම නැත්නම් ඔබේ නිවසේ හෝ සභා ගොඩනැගිල්ලේ අත්තිවාරම දෙස ඔබට බලන්න පුළුවන්. පාෂාණමය පදනමක ශක්තිය අවධාරණය කිරීම සඳහා, ඔබේ දරුවන්ට ගලකට පිඹීමෙන් එය චලනය කිරීමට උත්සාහ කරන්න පුළුවන්. ඔබ එකට එක්ව හිලමන් 5:12 කියවද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයට “ස්ථිර පදනමක්” වන්නේ ඇයි කියා ඔබේ දරුවන්ගෙන් අසන්න. අපට උන්වහන්සේ මත අපගේ ජීවිතය ගොඩනගාගන්න පුළුවන් කොහොමද? (බලන්න හිලමන් 3:27–29, 35 සහ ඇදහිල්ලේ කරුණු 1:4).

  • විවිධ වර්ගයේ අත්තිවාරම් (පුළුන් බෝල හෝ පැතලි ගල් වැනි) කැබලි හෝ වෙනත් ද්‍රව්‍ය භාවිතයෙන් කුළුණක් තැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. ශක්තිමත් පදනමක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමාන වෙන්නෙ කොහොමද? උන්වහන්සේව අනුගමනය කිරීමට ඔවුන්ට කළ හැකි දේ ගැන ඔවුන් බෙදාගන්නා සෑම අදහසක් සඳහාම ඔවුන්ට එම සැකිල්ලට යම් කැබැල්ලක් එකතු කරන්න පුළුවන්.

හිලමන් 5:21–52

ශුද්ධාත්මයාණන් මුමුණන්නේ නිශ්චල කුඩා කටහඬකින්.

  • හිලමන් 5:29–30, 45–47 තුළ විස්තර කර ඇති කටහඬින්, ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කථා කරන එක් ආකාරයක් අපට උගන්වනවා. ඔබ ඒ මිනිස්සුන්ට ඇහෙන කටහඬ ගැන කතා කරනකොට, මෘදු හඬකින් කතා කරන්න. එම කතාව කිහිප වතාවක් නැවත නැවත කියවන්න, ඒවගේම ඔබ සමඟ රහසින් කතා කිරීමට දරුවන්ට ආරාධනා කරන්න. ශුද්ධාත්මයාණන්වහන්සේට අපට කතා කළ හැකි වෙනත් ක්‍රම ගැන සිතීමට ඔවුන්ට උදවු කරන්න.

හිලමන් 5:20–52

පසුතැවීම මගින් ආධ්‍යාත්මික අන්ධකාරය වෙනුවට ආලෝකය ලබාදෙනවා.

  • හිලමන් 5:20–41 තුළ අන්ධකාරය සහ ආලෝකය ගැන උගන්වන දේ අවධාරණය කිරීමට, ආලෝකය සඳහා විදුලි පන්දමක් භාවිතා කරමින්, අඳුරේ සිට මෙම පද කියවීමට හෝ සාරාංශ කිරීමට උත්සාහ කරන්න. අන්ධකාරය ඉවත් කිරීම සඳහා මිනිසුන් කළ යුත්තේ මොනවාද කියා ඔබේ දරුවන්ට සවන් දෙන්න පුළුවන්. ඉන්පසු විදුලි බල්බ දල්වා, 42–48 පද එකට එක්ව කියවන්න. පසුතැවීම ගැන මෙම පද අපට උගන්වන්නේ මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
නෙපී සහ ලෙහි සිරගෙදරදී

සිරගෙදරදී පවා නෙපීව සහ ලෙහිව දෙවියන්වහන්සේගේ බලයෙන් ආරක්ෂා වුණා.

© The Book of Mormon for Young Readers, බ්‍රියානා ෂෝක්‍රොෆ්ට් විසින්, නෙපී සහ ලෙහි ගින්දරින් වටවී; පිටපත් නොකළ යුතුය

මුද්‍රණය කරන්න