එන්න, මා අනුගමනය කරන්න 2024
දෙසැම්බර් 2–8: “ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබාගැනීමට.” මොරෝනි 1–6


“දෙසැම්බර් 2–8: ‘ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබාගැනීමට.’ මොරෝනි 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“දෙසැම්බර් 2–8. මොරෝනි 1–6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ඇල්මා මොර්මොන්ගේ ජලයේ මිනිසුන්ව බව්තීස්ම කරමින්

මිනෙර්වා කේ. ටෙයිචර්ට් (1888–1976), Alma Baptizes in the Waters of Mormon [ඇල්මා මොර්මොන්ගේ ජලයේ මිනිසුන්ව බව්තීස්ම කරමින්] 1949–1951, මැසොනයිට් මත තෙල්, 35⅞ x 48 අඟල්. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969

දෙසැම්බර් 2–8: “ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබාගැනීමට”

මොරෝනි 1–6

තම පියාගේ නෙපීවරුන්ගේ වාර්තාව අවසන් කිරීමෙන් පසුව සහ යාරෙද්වරුන්ගේ වාර්තාව සංක්ෂිප්ත කිරීමෙන් පසුව, ඔහුගේ වාර්තා තබාගැනීමේ කටයුතු සිදුකර අවසාන බව මොරෝනි මුලින් හිතුවා (බලන්න මොරෝනි 1:1). මුළුමනින්ම විනාශ වූ ජාතීන් දෙකක් ගැන තවත් කුමක් කියන්නට ඇත්ද? නමුත් මොරෝනි අපේ කාලය දැක තිබෙනවා (බලන්න මොර්මොන් 8:35), ඒවගේම “අනාගතයේදී වටිනාකමක් ලැබෙනු ඇති … තවත් දේවල් කිහිපයක් ලිවීමටත්” ඔහුට පෙලඹීමක් ලැබී තිබෙනවා (මොරෝනි 1:4). පූජකවර නියෝග පිළිබඳ හා පොදුවේ ආගම පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කරන, ඇදහිල්ලෙන් වැටීම පුළුල් ලෙස පැමිණෙන බව ඔහු දැනසිටියා. සක්‍රමේන්තුව, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ප්‍රදානය කිරීම සහ සෙසු ඇදහිලිවන්තයන් සමඟ “[එකිනෙකා] නිවැරදි මාර්ගයේ තබාගැනීමට… අපගේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන, ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග මත පමණක් රඳා සිටීම” පිළිබඳ පැහැදිලි විස්තර ඔහු ලබාදුන්නේ මේ නිසා වෙන්න පුළුවන් (මොරෝනි 6:4). මෙවැනි වටිනා තීක්ෂ්ණ බුද්ධියක් සඳහා අපට ස්තූතිවන්ත වීමට හේතුවක් තමයි, ස්වාමින්වහන්සේ මොරෝනිගේ ජීවිතය ආරක්ෂා කළ නිසා ඔහුට “තවත් කරුණු කිහිපයක් ලිවීමට” හැකි වීම (මොරෝනි 1:4).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

මොරෝනි 1

විරුද්ධවාදිකම් මැද වුණත් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න පුළුවන්.

ඔබ මොරෝනි 1 කියවද්දි, මොරෝනි ස්වාමින්වහන්සේට ඇදහිලිවන්තව සිටීම ගැන සහ ඔහුගේ කැඳවීම ගැන ඔබට දේවානුභාවයක් ලබා දෙන්නේ මොනවාද? පුද්ගලයෙකුට “ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ හැකි” සමහර ආකාර මොනවාද? (මොරෝනි 1:2–3). ඔබ පීඩා සහ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට පවා ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇදහිලිවන්තව සිටිය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

මොරෝනි 2–6

ස්වාමින්වහන්සේ ආඥා කරන පරිදි පූජකවර නියෝගයන් ක්‍රියාත්මක කළ යුතුයි.

මෙම පරිච්ඡේද ලියන විට මොරෝනි තම ජීවිතය බේරා ගැනීමට පලා යමින් සිටියා. නියෝග ක්‍රියාත්මක කරන්නේ කෙසේද වැනි පරිපාලන විස්තර ගැන ලිවීමට ඔහු වෙහෙසුණේ ඇයි? ඔබ මොරෝනි 2–6 කියවද්දි මේ ගැන සිතන්න. ඔබ සිතන ආකාරයට මේ විස්තර ස්වාමින්වහන්සේට වැදගත් වන්නේ ඇයි? ඔබේ අධ්‍යයනයට මගපෙන්විය හැකි ප්‍රශ්න කිහිපයක් මෙන්න:

ස්ථිර කිරීම (මොරෝනි 2; 6:4).ස්ථිර කිරීමේ නියෝගය ගැන මොරෝනි 2:2 තුළ ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් ඔබට උගන්වන්නේ මොනවාද? “ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ක්‍රියා කර පවිත්‍ර කරනු ලැබීම” යන්නෙහි තේරුම ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? (මොරෝනි 6:4).

පූජකවර නියෝගයන් (මොරෝනි 3).මෙම පරිච්ඡේදයෙන් ඔබ සොයා ගන්නා, පූජකවරයට නියම වීමට සූදානම් වීමට යමෙකුට උදවු කළ හැකි දේවල් මොනවාද? යමෙකුට නියම වීමක් ඉටු කිරීමට සූදානම් වීමට උදවු වන ඔබ සොයාගන්නා දේවල් මොනවාද?

සක්‍රමේන්තුව (මොරෝනි 4–5; 6:6).සක්‍රමේන්තුව ඔබේ සතියේ අධ්‍යාත්මිකව වැදගත් කාරණය කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

බව්තීස්මය (මොරෝනි 6:1–3).බව්තීස්මය සඳහා සුදුසුකම් සපුරාලීමට ඔබ කරමින් සිටින්නේ මොනවාද?

රූපය
ආශිර්වාදයක් ලබන තරුණියක්

නියෝගයන් සිදුවිය යුතු ආකාරය යේසුස්වහන්සේ ඉගැන්වුවා.

ඔබ ඉගෙනගත් දේ මත පදනම්ව, ඔබ සිතන ආකාරය, සහභාගී වන ආකාරය හෝ මෙම නියෝගයන් සඳහා අන් අය සූදානම් කරන ආකාරය ඔබ වෙනස් කරන්නේ කොහොමද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:20.

භූමිකා රංගනය. ඔබ ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමට එක් හොඳ ක්‍රමයක් තමයි එය අනෙක් අයට පැහැදිලි කිරීම. උදාහරණයක් විදියට, මෙවැනි භූමිකා රඟ දැක්වීමේ අවස්ථා උත්සාහ කරන්න: මිතුරියකට ඇය බව්තීස්ම වීමට සූදානම් බව විශ්වාස නෑ. ඇයට උදව් කිරීමට ඔබ මොරෝනි 6 භාවිතා කරන්නේ කොහොමද?

මොරෝනි 4–5

සක්‍රමේන්තුව ලබා ගැනීම මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප වීමට උදව් වෙනවා.

ඔබ සක්‍රමේන්තු යාච්ඤා බොහෝ වාරයක් අසා තිබුනත්, එම වචනවල තේරුම ගැන ඔබ කොපමණ වාරයක් හොඳින් සිතා තිබෙනවාද? සමහර විට ඔබට එම සක්‍රමේන්තු යාච්ඤා දෙක මතකයෙන් ලිවීමට උත්සාහ කරන්න පුළුවන්. ඉන්පසු ඔබ ලියූ දේ මොරෝනි 4:3 සහ 5:2 සමඟ සසඳන්න. මෙම යාච්ඤාවන් ගැන ඔබ මීට පෙර නොදැන සිටි කිසිවක් ඔබ දැක්කද?

මොරෝනි 6:4–9

රූපය
සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් එකිනෙකාගේ ප්‍රාණයන් ගැන සැලකිලිමත් වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමේ තේරීම තනි පුද්ගල එකක්, නමුත් සෙසු ඇදහිලිවන්තයන්ට අපව “නිවැරදි මාර්ගයේ” තබා ගැනීමට අපට උදවු කරන්න පුළුවන් (මොරෝනි 6:4–5). මොරෝනිගේ කාලයේ සභාවේ සාමාජිකයන් එකිනෙකාව ශක්තිමත් කරගැනීමට කළේ මොනවාද? ඔබ මොරෝනි 6:4–9 කියවද්දි, “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනයා අතර ගණන්ගැනීම” තුළින් ලැබෙන ආශිර්වාද ගැන මෙනෙහි කරන්න (මොරෝනි 6:4).

ඔබේ කොට්ඨාශයට හෝ ශාඛාවට පැමිණෙන අය ගැනද ඔබට සිතන්න පුළුවන්. ඔබේ ආදරයේ විශේෂ අවශ්‍යතාවක් ඇති අය සිටිනවාද?—සමහරවිට අලුත් හෝ මෑතකදී නැවත පැමිණෙන කෙනෙක්? සභාවේදී ඔවුන්ගේ අත්දැකීම් මොරෝනි විස්තර කළ ආකාරයටම ඇති කිරීමට ඔබට උදව් කරන්න පුළුවන් කොහොමද? සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “සභාවක අවශ්‍යතාවය” (ලියහෝනා, නොවැ. 2021, 24–25) පණිවිඩයේ I කොටසෙන් ඔබට යම් දේවානුභාවයක් සොයාගන්න පුළුවන්.

“දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ මෙනෙහි කරද්දි (මොරෝනි 6:4), එය බීජ පැළයකට හෝ ළදරුවෙකුට අවශ්‍ය පෝෂණය සහ එය නොසලකා හැරියහොත් කුමක් සිදුවේද යන්න ගැන සිතීම උදවු වෙනවා. අනෙක් අයව අධ්‍යාත්මිකව “පෝෂණය” කිරීමට ඔබට උදවු කළ හැකි ආකාරය පිළිබඳ අදහස් සඳහා මොරෝනි 6:4–9 ඕනෑකමින් කියවන්න. ඔබව පෝෂණය කිරීමට සෙසු ගෝලයන් උදවු කර තිබෙන්නේ කොහොමද?

සභාවේ රැස්වීම්වලදී “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනයා අතර ගණන් ගැනීම” සහ “බොහෝ විට එකට හමුවීම” වැදගත් වන්නේ ඇයි කියා සෑම කෙනෙකුටම පැහැදිලිව පෙනෙන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු වීම ගැන ඔබ ස්තූතිවන්ත වන්නේ ඇයි කියා ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? (සභාපති ඕක්ස්ගේ “සභාවක අවශ්‍යතාවය” යන පණිවිඩයේ අනෙකුත් කොටස් බලන්න).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොරෝනි 2–6

ශුද්ධාත්මයාණන්වහන්සේ කියන්නෙ ශුද්ධ වූ ත්‍යාගයක්.

  • මොරෝනි 2–6 තුළ ශුද්ධාත්මයාණන් හෝ ආත්මයාණන් ගැන කිහිප වතාවක්ම සඳහන් කර තිබෙනවා. සමහරවිට උන්වහන්සේව සඳහන් කරන සෑම පදයක්ම සොයා ගැනීමටත්, එම පද කියවන්නටත්, ඔවුන් ශුද්ධාත්මයාණන් ගැන ඉගෙන ගන්නා දේ ලැයිස්තුගත කිරීමටත් ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ආත්මයාණන්ගේ බලපෑම ඔබට දැනෙන විට ඔබ ලැබූ අත්දැකීම් ඔබට එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්.

මොරෝනි 4–5

මම සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කරන බව පෙන්වීමට මම සක්‍රමේන්තුව ලබා ගන්නවා.

  • ඔබේ දරුවන් සමඟ සක්‍රමේන්තු යාච්ඤා කියවීම, සක්‍රමේන්තුව සමඟ වඩාත් අර්ථවත් අත්දැකීම් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට මගපෙන්වන්න පුළුවන්. මිතුරෙකු පළමු වරට සක්‍රමේන්තු රැස්වීමට පැමිණෙන බව මවාගැනීම ඔවුන්ට උදවු වෙන්න පුළුවන්. සක්‍රමේන්තුව කියන්නෙ මොකක්ද සහ එය පරිශුද්ධ වන්නේ ඇයි කියා අපි අපගේ මිතුරාට පැහැදිලි කරන්නේ කොහොමද? ඔවුන්ගේ පැහැදිලි කිරීම්වලදී මොරෝනි 4 හෝ 5 වෙතින් යමක් භාවිතා කිරීමට ඔබේ දරුවන්ව දිරිමත් කරන්න. කුඩා දරුවන්ට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිත කරන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් ගැන සිතීමට උදවු වන ගීතයක් එකට ගායනා කිරීම සලකා බලන්න. ඔබට සක්‍රමේන්තුව අතරතුර ගෞරවාන්විතව වාඩි වී සිටීමටද පුරුදු වෙන්න පුළුවන්.

මොරෝනි 6:1–3

මට බව්තීස්ම වීමට සූදානම් වෙන්න පුළුවන්.

  • බව්තීස්ම වෙන්න පුළුවන් කාටද? මොරෝනි 6:1–3 තුළින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. “බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක්” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මොරෝනි 6:2). බව්තීස්ම වීමට සූදානම් වීමට මෙය අපට උදවු කරන්නේ කොහොමද? ඔබ බව්තීස්ම වීමට සූදානම් වූ ආකාරය ඔබේ දරුවන්ට පැවසීම ගැන සලකා බලන්න.

මොරෝනි 6:4–6, 9

අපි සභාවට යන්නේ සක්‍රමේන්තුව ලබාගැනීමට සහ එකිනෙකාට සහයෝගය දැක්වීමටයි.

  • ඔබ සභාවට යාමට කැමති ඇයි කියා ඔබේ දරුවන් දන්නවාද? මොරෝනි 6:4–6, 9 කියවීමෙන් අපි සභාවේ කරන සමහර දේවල් එකට එක් වී සාකච්ඡා කිරීමට ඔබට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. සමහර විට ඔවුන් කරන (යාච්ඤා කිරීම, ඉගැන්වීම, ගායනා කිරීම සහ සක්‍රමේන්තුව ගැනීම වැනි) දේවල් චිත්‍රයට නගන්න ඔවුන්ට පුළුවන්.

  • එකට එකතු වී මොරෝනි 6:4 කියවීමෙන් පසු, ඔබට සහ ඔබේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවල පින්තූර හෝ උදාහරණ දෙස බලා අපගේ ශරීරය පෝෂණය කිරීම “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය වීම” සමඟ සසදන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
මොරෝනි ගුහාවක සැඟවී සිටිමින්

ජොර්ජ් කොකෝ විසින්, Moroni in the Cave [මොරෝනි ගුහාවක් තුළ]

මුද්‍රණය කරන්න