එන්න, මා අනුගමනය කරන්න 2024
දෙසැම්බර් 23–29: “උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම උදෙසා උන්වහන්සේ ලෝකයට පැමිණෙන සේක.” නත්තල


“දෙසැම්බර් 23–29: ‘උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම උදෙසා උන්වහන්සේ ලෝකයට පැමිණෙන සේක.’ නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“දෙසැම්බර් 23–29. නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යෝසෙප්, මේරි, සහ ගවමඩුවේ සිටින ළදරු යේසුස්වහන්සේ

වෝල්ටර් රනේ විසින්, Behold the Lamb of God [බලන්න දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්]

දෙසැම්බර් 23–29: “උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම උදෙසා උන්වහන්සේ ලෝකයට පැමිණෙන සේක”

නත්තල

නෙපී සිට මොරෝනි දක්වා මොර්මොන්ගේ පොතේ සෑම අනාගතවක්තෘවරයෙක්ම මාතෘකා පිටුවෙහි සාරාංශගත කර ඇති ලෙස: “යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව [සියලු ජනයාට] ඒත්තු ගැන්වීම” යන පරිශුද්ධ අරමුණ වෙනුවෙන් කැපවී සිටිනවා. එක් අනාගතවක්තෘවරයෙක් උන්වහන්සේව පෙර ආත්මික ආත්මයක් ලෙස දැක්කා, ඒ වගේම තවත් කෙනෙක් උන්වහන්සේගේ ලෞකික දේවසේවය දර්ශනයකින් දැක්කා. එක් අයෙක් උන්වහන්සේගේ උපත හා මරණය පිළිබඳ සංඥා ප්‍රකාශ කිරීම සඳහා පවුරක් මත සිටගෙන සිටියා, ඒ වගේම තවත් අයෙක් උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටි ශරීරය ඉදිරිපිට දණ ගසා, උන්වහන්සේගේ අත්, පාද සහ පැත්තෙහි ඇති තුවාල ස්පර්ශ කළා. ඔවුන් සියලුදෙනාම මෙම ඉතා වැදගත් සත්‍යය දැන සිටියා: “එනම් එහි මනුෂ්‍යයා මුදවීමට වෙනත් මාර්ගයක් හෝ ආකාරයක් නොමැත්තේය, එහෙත් ඒ පැමිණෙන්නට සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළින් පමණි; … උන්වහන්සේ ලෝකය මිදවීමට පැමිණෙන සේක” (හිලමන් 5:9).

ඉතින් මේ නත්තල් සමයේදී, ලොව පුරා සිටින ඇදහිලිවන්තයන්, තම පුත්‍රයාණන්ව එවීමේ දෙවියන්වහන්සේගේ යහපත්කම හා ප්‍රේමය සමරන අතරතුර, මොර්මොන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේගේ උපත ගැන ඔබ සිතද්දි, උන්වහන්සේ පැමිණියේ මන්දැයි සහ උන්වහන්සේගේ පැමිණීම ඔබගේ ජීවිතය වෙනස් කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. එවිට නත්තලේ සැබෑ ප්‍රීතිය—එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට දෙන ත්‍යාගය ඔබට අත්විඳින්න පුළුවන්.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් වීම සඳහා ඉපදුණා.

නත්තල් සමයේදී අලුත් ගිවිසුමේ ගැලවුම්කරුවාණන්ගේ උපත පිළිබඳ කතාව කියවීම සම්ප්‍රදායිකයි, නමුත් ඔබට මෙම පූජනීය සිදුවීම පිළිබඳ සිත්ඇදගන්නා සුළු අනාවැකි මොර්මොන්ගේ පොතෙන්ද සොයාගන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ උපත සහ දේවසේවය පිළිබඳ අනාවැකි 1 නෙපී 11:13–36; මොසායා 3:5–10; හිලමන් 14:1–13 තුළ සොයාගන්න පුළුවන්. මෙම ඡේද කියවා උන්වහන්සේගේ උපතේ සලකුණු වල අර්ථයන් පිළිබඳව මෙනෙහි කරන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට ඇතිවන හැඟීම් මොනවාද? මෙම අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සහ උන්වහන්සේගේ ධර්මදූතය පිළිබඳව ඔබේ සාක්ෂිය ශක්තිමත් කරන්නේ කොහොමද?

මෙන්න නත්තල් සමයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට උදවු වෙන තවත් යෝජනා කිහිපයක්:

  • නත්තල් ප්‍රීතිය පැතිරවීමට අදාළ පණිවිඩ සහ සංගීතය බෙදා ගැනීම ගැන සලකා බලන්න.

  • යම් කෙනෙකුට සේවය කිරීම හෝ එකට එකතු වී නත්තල් ගීතිකා ගායනා කිරීම වැනි ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය දැනීම සඳහා නත්තලට පෙර දිනවලදී ඔබට හෝ ඔබේ පවුලේ අයට කළ හැකි ක්‍රියාකාරකම් සැලසුම් කිරීම ගැන සලකා බලන්න. අදහස් සඳහා LighttheWorld.org බලන්න.

තවත් බලන්න මතෙව් 1:18–25; 2; ලූක් 2; 3 නෙපී 1:4–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි ලෝකයේ මිදුම්කරුවාණන්.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරන ප්‍රධාන හේතුව තමයි උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව. එම පූජාව නිසා, උන්වහන්සේට අපව පාපයෙන් හා මරණයෙන් ගලවා ගැනීමටත්, පීඩාවලදී අපව සනසන්නටත්, “උන්වහන්සේ තුළ සම්පූර්ණ වීමට” අපට උදවු වෙන්නත් පුළුවන් (මොරෝනි 10:32). ඔබව මුදවාගැනීමට ගැලවුම්කරුවාණන්ට ඇති බලය ගැන ඔබ මේ වසරේ මොර්මොන්ගේ පොතෙන් ඉගෙනගත්තේ මොනවාද? කිසියම් වාර්තාවක් හෝ ඉගැන්වීමක් ඔබට කැපී පෙනුනාද? ගැලවුම්කරුවාණන්ගේ මුදවාගැනීමේ මෙහෙයුම පිළිබඳව පහත පරිච්ඡේද මගින් ඔබට උගන්වන්නේ මොනවාද කියා සලකා බලන්න: 2 නෙපී 2:6; ඇල්මා 7:7–13; 11:40; සහ හිලමන් 5:9; 14:16–17. උන්වහන්සේට ඔබේ කෘතඥතාව පෙන්වීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කරන්නටද?

රූපය
සෙමනේරි නිරූපකය
මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි” කියන්නෙ මොර්මොන්ගේ පොත සඳහා උපසිරැසියකට වඩා වැඩි දෙයක්, එය එහි දිව්‍යමය අරමුණ පිළිබඳ ප්‍රකාශයක් වෙනවා. ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට මොර්මොන්ගේ පොතේ මෙහෙවර පිළිබඳ පහත සඳහන් ශුද්ධලියවිලි පද වලින් ඔබ ඉගෙනගන්නා දේ මෙනෙහි කරන්න: 1 නෙපී 6:4; 19:18; සහ 2 නෙපී 25:23, 26; 33:4, 10.

මේ වසරේ මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් ඔබ ක්‍රිස්තුස්වහන්සේට සමීප වූයේ කෙසේදැයි දින පොතක සටහන් කිරීම ගැන සලකා බලන්න. පහත දැක්වෙන විමසීම් උදවු වෙන්න පුළුවන්:

  • “මේ අවුරුද්දේ ගැලවුම්කරුවාණන් ගැන මා ඉගෙනගත් හෝ මට දැනුණු දෙයක් තමයි …”

  • “මොර්මොන්ගේ පොතෙන් ගැලවුම්කරුවාණන් ගැන ඉගෙනීම මාව වෙනස් කළේ …”

  • “මොර්මොන්ගේ පොතේ මගේ ප්‍රියතම පුද්ගලයා [හෝ කතාව] ගැලවුම්කරුවාණන් පිළිබඳ මට ඉගැන්වූයේ …”

සමහර විට මොර්මොන්ගේ පොත ගැන ඔබට හැඟෙන ආකාරය දැන ගැනීමට කෙනෙක් ආශිර්වාදිත වෙන්න පුළුවන්. ඔබේ අත්දැකීම් සහ සාක්ෂිය ඔබ බෙදාගන්නේ කොහොමද? නත්තල් තෑග්ගක් ලෙස එහි පිටපතක් දීමට ඔබට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. මොර්මොන්ගේ පොතේ යෙදුම බෙදාගැනීම සරල කරයි

ජෙරල්ඩ් කොසේ සභානායකවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මොර්මොන්ගේ පොතෙන් කියවෙන සත්‍යයන් කිහිපයක් ලැයිස්තුගත කළා (බලන්න “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන සාක්ෂිකරුවෙක්”, ලියහෝනා, මැයි 2020, 39–40). ඔබට ඔහුගේ ලැයිස්තුව දෙස බලා මේ සෑම සත්‍යයක්ම ඔබේ ජීවිතය වෙනස් කළ ආකාරය—හෝ වෙනස් කළ හැකි ආකාරය—ගැන මෙනෙහි කරන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන් “උපග්‍රන්ථය ඹ්: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ මට ස්වර්ගික පියාණන්වහන්සේ දුන් තෑග්ගක්.

  • ස්වර්ගික පියාණන්වහන්සේ තම පුත්‍රයාණන් එවීමෙන් අපට දුන් ත්‍යාගය කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, ඔබට නත්තල් ත්‍යාගයක් මෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් ඔතන්න පුළුවන්. ඔබට සහ ඔබේ දරුවන්ට ඔබට ලැබුණු හෝ ලැබීමට බලාපොරොත්තු වන ප්‍රියතම නත්තල් තෑගි ගැන කතා කරන්න පුළුවන්. ඉන්පසු ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය ලිහා, උන්වහන්සේ අපට අගනා ත්‍යාගයක් වූයේ කෙසේද කියා සාකච්ඡා කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් වීම සඳහා ඉපදුණා.

  • ඔබේ දරුවන්ට ඔවුන් යේසුස්වහන්සේගේ උපත ගැන දන්නා දේ ඔබ සමඟ බෙදා ගැනීමෙන් සතුටු වෙන්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය සහ වන්දිගෙවීමේ පූජාව නිරූපණය කරන පින්තූරද ඔබට බලන්න පුළුවන්. ස්වර්ගික පියාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වේ ඇයි?

    රූපය
    දේවදූතයා
  • ඔබේ දරුවන්ට යේසුස්වහන්සේගේ උපත සහ දේවසේවය ගැන ඔවුන්ගේම පින්තූර ඇඳීමෙනුත් සතුටු වෙන්න පුළුවන්. 1 නෙපී 11:13–23; මොසායා 3:5–10; හිලමන් 14:1–13; සහ 3 නෙපී 1:4–22 තුළ විස්තර කර ඇති දේවල් ඔවුන්ට අඳින්න පුළුවන්. ඉන්පසු ඔවුන්ගේ පින්තූර වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන දේවල් ඔවුන්ට ඔබ සමඟ බෙදාගන්න පුළුවන්.

  • බයිබලය සහ මොර්මොන්ගේ පොත යන දෙකම යේසුස්වහන්සේගේ උපත ගැන උගන්වන බව අවධාරණය කිරීමට, ඔබට ලූක් 2:4–14; මතෙව් 2:1–2; සහ 3 නෙපී 1:15, 19–21 තුළ විස්තර කර ඇති සිදුවීම් ලැයිස්තුගත කරන්න පුළුවන්. එවිට බෙත්ලෙහෙමේ, අමෙරිකාවේ හෝ ඒ ස්ථාන දෙකෙහිම සිදු වූ සිදුවීම් මොනවාදැයි තීරණය කිරීමට ඔබේ දරුවන්ට මෙම ශුද්ධලියවිලි පද උවමනාවෙන් කියවන්න පුළුවන්. යේසුස්වහන්සේගේ උපත පිළිබඳ දෙවන සාක්ෂියක් ලෙස මොර්මොන්ගේ පොත තිබීම ගැන අපි ස්තූතිවන්ත වන්නේ ඇයි?

දරුවන් කතන්දර වලට ආසයි. කතන්දර යනු දරුවන්ට සත්‍ය ඉගෙන ගැනීමට සහ මතක තබා ගැනීමට උදවු කිරීමට හොඳම ක්‍රමයක්. ඔබ යේසුස්වහන්සේගේ උපත පිළිබඳ කතාව බෙදා ගද්දි, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට උදවු වූ ඔබේ ජීවිතයේ කථා බෙදාගැනීම ගැනත් සලකා බලන්න.

මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා.

  • ඔබ සහ ඔබේ දරුවන් මෙම වසරේ මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ අධ්‍යයනය අවසන් කරද්දි, ඔබේ ප්‍රියතම කථා හෝ මෙම පූජනීය පොතේ ඡේද එකිනෙකා සමඟ බෙදා ගැනීමට එය හොඳ කාලයක් වෙන්න පුළුවන්. එන්න මා අනුගමනය කරන්න තුළ ඇති සමහර පින්තූර දෙස බැලීම, ඔබේ දරුවන්ට ඔවුන් මේ වසරේ ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට උදවුවක් වෙන්න පුළුවන්.  යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මේ කතන්දර අපට උගන්වන දේවල් දැකීමට ඔවුන්ට උදවු කරන්න.

  • ඔබට ඔබේ දරුවන්ට යේසුස්වහන්සේගේ පින්තූරයක් දෙන්න පුළුවන්, නැත්නම් ඔවුන්ට ඔවුන්ගේම පින්තූරයක් ඇඳීමට ඉඩ දෙන්න. ඔබ 2 නෙපී 25:23, 26 කියවද්දි, ක්‍රිස්තුස්වහන්සේගේ නම ඇසෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ පින්තූර එසවීමට ඔවුන්ට ආරාධනා කරන්න. මොර්මොන්ගේ පොත ලියා ඇත්තේ “ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට” අපට උදවු වීමට බව සාක්ෂි දරන්න (2 නෙපී 25:23).

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
දේවදූතයෙක් දර්ශනයකින් නෙපී හට කන්‍යා මරියතුමිය පෙන්වමින්

ජුඩිත් ඒ. මෙහර් විසින්, Nephi’s Vision of the Virgin Mary [කන්‍යා මරියතුමිය පිළිබඳ නෙපීගේ දර්ශනය]

මුද්‍රණය කරන්න