එන්න, මා අනුගමනය කරන්න 2024
දෙසැම්බර් 16–22: “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න.” මොරෝනි 10


“දෙසැම්බර් 16–22: ‘ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න.’ මොරෝනි 10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“දෙසැම්බර් 16–22. මොරෝනි 10,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින්

ගැරී එල්. කැප් විසින්, That Ye May Know [ඔබ දැනගන්නා පිණිසය]

දෙසැම්බර් 16–22: “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න”

මොරෝනි 10

මොර්මොන්ගේ පොත පටන් ගන්නේ “ඔවුන්ගේ ඇදහිල්ල කරුණු කොටගෙන, ස්වාමින්වහන්සේ විසින් තෝරාගත් සෑම අයෙක්ම මත උන්වහන්සේගේ මෘදු කරුණාව ඇත” යන නෙපීගේ පොරොන්දුව සමඟයි (1 නෙපී 1:20). පොත අවසන් වන්නේත් ඒ හා සමාන මොරෝනිගේ ආරාධනයක් සමඟයි: “ස්වාමින්වහන්සේ කෙතරම් කරුණාවන්ත දැයි සිහි කරන්න” (මොරෝනි 10:2–3). ස්වාමින්වහන්සේගේ කරුණාව පිළිබඳ මොර්මොන්ගේ පොතේ ඔබ දුටු උදාහරණ මොනවාද? දෙවියන්වහන්සේ ලෙහිගේ පවුල පාළුකරය හරහා සහ මහා ජලය හරහා ගෙන ගිය කරුණාවන්ත ආකාරය, සමාව ඉල්ලා ඔහුගේ ආත්මය කුසගින්නේ සිටියදී උන්වහන්සේ ඊනොස්ට දැක්වූ මුදු මොළොක් කරුණාව, සභාවේ කටුක සතුරෙකු වූ පසුව එහි නිර්භීත ආරක්ෂකයින්ගෙන් කෙනෙක් බවට පත්වූ ඇල්මාට උන්වහන්සේ දැක්වූ කරුණාව පිළිබඳ ඔබට සිතන්න පුළුවන්. එහෙම නැත්නම් මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්, ඔවුන්ගේ අසනීප සුවකර ඔවුන්ගේ කුඩා දරුවන්ට ආශිර්වාද කළ විට මිනිසුන්ට උන්වහන්සේ දැක්වූ කරුණාව දෙසට ඔබේ සිතුවිලි හැරෙන්න පුළුවන්. සමහරවිට වඩාත්ම වැදගත් දෙය තමයි, මේ සියල්ලෙන් ඔබට “ස්වාමින්වහන්සේ කෙතරම් කරුණාවන්ත වී ඇත්ද” යන්න මතක්කර දෙන්න පුළුවන්, මොර්මොන්ගේ පොත ලියා ඇත්තේ දෙවියන්වහන්සේගේ කරුණාව ලබාගැනීමට අප සෑම කෙනෙකුටම ආරාධනා කිරීමටයි—මෙය මොරෝනිගේ සමුගැනීමේ වචන වල ඉදිරිපත් කෙරෙන ආරාධනයක්, “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න” (මොරෝනි 10:32).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

මොරෝනි 10:3–7

රූපය
සෙමනේරි නිරූපකය
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් මට සෑම දෙයකම සත්‍යය දැනගන්න පුළුවන්.

මොරෝනි 10:3–7 තුළ ඇති පොරොන්දුව ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත වෙනස් කර තිබෙනවා. එය ඔබගේ ජීවිතය වෙනස්කර තිබෙන්නේ කොහොමද? ඔබ මොරෝනි 10:3–7 කියවද්දි, ඔබ අතීතයේදී කිවෙව්වාට වඩා සැලකිල්ලෙන් කියවීම ගැන සැලකිලිමත් වෙන්න ඔබට පුළුවන්. ඔබට එක් එක් වාක්‍ය ඛණ්ඩය පරීක්ෂා කර බලා, මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න පුළුවන්: මෙයින් අදහස් කරන්නේ මොකක්ද? මම එය වඩා හොඳින් කරන්නේ කොහොමද? මේ පිළිබඳව මා ලැබූ අත්දැකීම් මොනවාද?

අධ්‍යාත්මික සත්‍යය සඳහා ඔබේ පුද්ගලික සෙවීම ගැන ඔබ මෙනෙහි කරද්දි, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් අනෙක් අය සත්‍යය සොයාගෙන ඇති ආකාරය ඉගෙන ගැනීමට එය උදවු වෙන්න පුළුවන්. වැඩිහිටි මතියස් හෙල්ඩ් සභාවේ අලුත් සාමාජිකයෙකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් විස්තර කළා (බලන්න “ආත්මයාණන් තුලින් දැනුම සෙවීම,” ලියහෝනා, මැයි 2019, 31–33). වැඩිහිටි ඩේවිඩ් එෆ්. එවන්ස් සභාවේ හැදී වැඩුණු නමුත් ප්‍රශ්න තිබුණු කෙනෙක් ලෙස ඔහුගේ අත්දැකීම් බෙදාගත්තා (බලන්න “සියල්ලෙහි සත්‍යය,” ලියහෝනා, නොවැ. 2017, 68–70). මෙම පණිවිඩ වලින් එකක් හෝ දෙකම කියවීම සහ ඔබේ දේවල් සඳහා ඔබට උදවු වන ඔවුන්ගේ සත්‍යය සෙවීමේ අත්දැකීම් වලින් ඔබ ඉගෙන ගන්නා ඕනෑම දෙයක් ලිවීම ගැන සලකා බලන්න.

ඔබට විශේෂයෙන් දේවානුභාවය ලබාදෙන බවක් පෙනෙන ශුද්ධලියවිලි පද මොනවාද? සමහර විට ඔබට ආත්මයාණන්ගෙන් සත්‍යය සොයන වෙනත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට එයින් එකක් තෝරාගන්න පුළුවන්.

තවත් බලන්න හෙන්‍රි බී. අයිරින්, “ඉල්ලීමට හා පසුව ක්‍රියාකිරීමට ඇදහිල්ල,” ලියහෝනා, නොවැ. 2021, 74–76.

අදහස් වාර්තා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරීම යන්නෙන් අදහස් කරන්නේ ශුභාරංචිය දැනගෙන ඒ අනුව ජීවත්වීම යන දෙකම ගැනයි. ඔබ එය ලියා ඇත්නම් ඔබ ඉගෙන ගන්නා දේ මත ක්‍රියා කිරීමට ඔබට වැඩි ඉඩක් තිබෙනවා. ඔබ උගන්වනවා නම්, ඔබ උගන්වන පුද්ගලයින්ට ඔවුන්ගේ අධ්‍යාත්මික හැඟීම් සටහන් කිරීමට ආරාධනා කරන්න.

මොරෝනි 10:8–25

දෙවියන්වහන්සේ මට අධ්‍යාත්මික දීමනා ලබා දී තිබෙනවා.

පුද්ගලයෙකුට “දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප කිරීමට” බොහෝ ක්‍රම තිබෙනවා (මොරෝනි 10:8). මෙම දීමනා පවතින බව පවා සමහරු ප්‍රතික්ෂේප කරනවා. තවත් සමහරු ඔවුන්ගේ දීමනා නොසලකා හැරීමෙන් හෝ ඒවා වර්ධනය කිරීමට අපොහොසත් වීමෙන් ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඔබ මොරෝනි 10:8–25 කියවද්දි, ඔබේ අධ්‍යාත්මික දීමනා සොයා ගැනීමට සහ දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට ඒවා භාවිතා කිරීමට උදවු වන සත්‍යයන් සොයන්න. මෙවැනි ප්‍රශ්න උදවු වෙන්න පුළුවන්: අධ්‍යාත්මික දීමනා කියන්නෙ මොනවාද? ඒවා ලබා දී තිබෙන්නෙ කාටද? ඒවා ලබා දී තිබෙන්නෙ ඇයි? අපි ඒවා ලබාගන්නෙ කොහොමද? මොරෝනි 10:9–16 තුළ ලැයිස්තුගත කරලා තිබෙන දීමනා භාවිතා කරන පුද්ගලයින්ගේ උදාහරණ ගැන ඔබට සිතන්න පුළුවන්ද?

මොරෝනි 10:30–33

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් මට පරිපූර්ණ වෙන්න පුළුවන්.

“ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න” යන මොරෝනිගේ උපදේශයට උන්වහන්සේ ගැන ඉගෙනීමට හා සිතීමට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. ඒ වෙනුවට, මෙය හැකි උපරිම අර්ථයෙන් උන්වහන්සේ මෙන් වීමට—ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ආරාධනයක්. ඔබ මොරෝනි 10:30–33 කියවද්දි, ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, එය කළ හැකි ආකාරය සහ එසේ කිරීමේ ප්‍රතිඵල තේරුම් ගැනීමට ඔබට උදවු වන වාක්‍ය ඛණ්ඩ වෙත අවධානය දෙන්න.

මෙම වසරේ මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ අධ්‍යයනය දෙස ආපසු හැරී බලන්න, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දැනුණු දේවල් සහ ඉගෙනගත් දේවල් ගැන මෙනෙහි කරන්න. නිදසුනක් වශයෙන්, උන්වහන්සේ වෙතට පැමිණීමට ඔබට මොර්මොන්ගේ පොත උදවු වී තිබෙන්නේ කොහොමද? උන්වහන්සේගේ කරුණාව මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමට එය ඔබට උදවු වී තිබෙන්නේ කොහොමද? ගැලවුම්කරුවාණන්ගේ බලය “ප්‍රතික්ෂේප නොකිරීමට” එය ඔබට උදවු වී තිබෙන්නේ කොහොමද? මොර්මොන්ගේ පොතේ ඔබේම සාක්ෂිය එහි පණිවිඩය ගැන නොදන්නා ආදරණීයයන් සහ මිතුරන් ඇතුළුව එය ඇසීමට අවශ්‍ය කෙනෙකු සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොරෝනි 10:3–4

මොර්මොන්ගේ පොත සත්‍ය බව මට මා වෙනුවෙන්ම දැනගන්න පුළුවන්.

  • මොර්මොන්ගේ පොත සත්‍යදැයි දෙවියන්වහන්සේගෙන් ඇසීමට මොරෝනිගේ ආරාධනය පිළිගැනීමට ඔබ ඔබේ දරුවන්ට උදවු කරන්නේ කොහොමද? කියවන්න, මතක තබාගන්න, මෙනෙහි කරන්න සහ අසන්න යන වචන ලියා ඇති කඩදාසි ඔවුන්ට ලබා දීම ගැන සලකා බලන්න. ඔබේ දරුවන්ට මොරෝනි 10:3–4 තුළ මෙම වචන සොයාගන්න පුළුවන්. මොර්මොන්ගේ පොත පිළිබඳ අපගේ සාක්ෂි ලබා ගැනීමට හෝ ඒවා ශක්තිමත් කිරීමට අප කියවිය යුතු, මතක තබාගත යුතු, මෙනෙහි කළ යුතු සහ ඉල්ලා සිටිය යුතු දේවල් මොනවාද?

  • මොරෝනි රන් තහඩු වළ දැමීම ගැන කතා කිරීමට ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය භාවිතා කරන්න පුළුවන්. කුඩා දරුවන්ට මොරෝනි ලෙස රඟ දක්වමින් තහඩු මත ලිවීම හා ඒවා වළ දැමීම නිරූපණය කරමින් විනෝද වෙන්න පුළුවන්. මොර්මොන්ගේ පොත ගැන ඔබේ සාක්ෂි එකිනෙකා සමඟ බෙදා ගන්න.

මොරෝනි 10:8–19

ස්වර්ගික පියාණන්වහන්සේ මට අධ්‍යාත්මික දීමනා ලබා දෙනවා.

  • අධ්‍යාත්මික දීමනා ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, ඔබට අංක 9 සිට 16 දක්වා වෙන වෙනම කඩදාසි කැබලි මත ලිවීමට සහ තෑග්ගක් ලෙස ඒ සෑම කඩදාසියක්ම ඔතා ගන්න පුළුවන්. ඔබේ දරුවන්ට ඒ ත්‍යාග ගලවා අරිමින්, අංකවලට අනුරූප වන මොරෝනි 10:9–16 දක්වා පද කියවීමට සහ ඒ එක් එක් අධ්‍යාත්මික දීමනාව හඳුනාගැනීමට අවස්ථා ලබාගන්න පුළුවන්. මෙම දීමනා ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා අපි භාවිතා කරනවාට උන්වහන්සේ කැමති කොහොමද කියලා ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට ස්වර්ගික පියාණන්වහන්සේ ලබා දී ඇති දීමනා දැකීමට ඔවුන්ට උදවු කරන්න ඔබට පුළුවන්.

මොරෝනි 10:32–33

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම උන්වහන්සේට අවශ්‍යයි.

  • “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම” යන්නෙහි තේරුම ඔබේ දරුවන් දන්නවාද? සමහර විට ඔබට මොරෝනි 10:32 කියවා ඔබ සමඟ එම වාක්‍ය ඛණ්ඩය නැවත නැවත කීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔබ කාමරයේ කොතැනක හෝ යේසුස්වහන්සේගේ පින්තූරයක් තබන විට ඔවුන්ට ඔවුන්ගේ ඇස් වසාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සෙ ඔවුන්ට ඔවුන්ගේ ඇස් විවෘත කර, පින්තූරය සොයා ගැනීමට, එය වටා රැස් වී, අපට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය හැකි මාර්ග ගැන කතා කරන්නට ඔවුන්ට ඉඩදෙන්න. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය ලියා තැබීමත් උදවු වෙන්න පුළුවන්. පිළිතුරු සොයා ගැනීමට මොරෝනි 10:32–33 උවමනාවෙන් කියවන්නට ඔවුන්ට උදව් කරන්න (තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:3–4). අප කරනවාට ක්‍රිස්තුස්වහන්සේ කැමති දේවල් සහ උන්වහන්සේ අප වෙනුවෙන් කිරීමට පොරොන්දු වන දේවල් ලැයිස්තුගත කිරීමට එකට එක් වී වැඩ කරන්න.

  • “මම දෙවියන්වහන්සේට මගේ මුළු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් ප්‍රේම කරනවා” කියා හදවත් හැඩැති කොළ වල ලියා ඒවා අලංකාර කිරීමෙන් ඔබේ දරුවන්ට විනෝද වෙන්න පුළුවන් (බලන්න මොරෝනි 10:32). ඔවුන් එසේ කරන අතරතුර, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව පෙන්විය හැකි ආකාර ගැන ඔවුන් සමඟ කතා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
මොරෝනි රන් තහඩු වළලමින්

වාර්තා වළලා දැමීමට පෙර, “ස්වාමින්වහන්සේ කෙතරම් දයාවන්ත වූවාදැයි මතක තබාගන්නා” ලෙස මොරෝනි අපට ආරාධනා කළා (මොරෝනි 10:3).

මුද්‍රණය කරන්න