2010–2019
ආත්මයාණන් තුලින් දැනුම සෙවීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආත්මයාණන් තුලින් දැනුම සෙවීම

අප සත්‍ය තේරුම්ගැනීමට ඉගෙනගත යුත්තේ අපගේ තාර්කික මනසින් පමණක් නොවේ, ආත්මයාණන්වහන්සේගේ නිශ්චල සහ කුඩා හඬ තුලින්ද අප සත්‍ය සෙවිය යුතුයි.

ආදර සහෝදර සහෝදරියනි, “අධ්‍යනය සහ ඇදහිල්ල තුලින්ද ඉගෙනගන්න” කියා ස්වාමින්වහන්සේ අපට නැවත නැවතත් කියා තිබෙනවා.1 අපගේ මනසින් කෙරෙන තර්කානුකුල තර්කනයෙන් පමණක් නොවේ, ශුද්ධාත්මයානන්වහන්සේගේ මඟපෙන්වීමෙන් සහ ඥානය තුලින්ද අපට ආලෝකය සහ තේරුම්ගැනීම ලබාගත හැක.

මෙම අමතර දැනුම් මුලාශ්‍රය සෑමවිටම මගේ ජීවිතයේ කොටසක් වී තිබුනේ නැහැ.

මගේ ආදරණීය බිරිඳ අයිරීන්, සහ මම, සභාවට සම්බන්ධ වුනේ අවුරුදු 31කට ඉහතදී අපි විවාහ වූ අලුතයි. අපි දෙදෙනාම හැදී වැඩුනේ කොලොම්බියාවේ, නමුත් අපේ විවාහයෙන් මාස කිහිපයකට පසු, මගේ රැකියාව අපව ජර්මනියේ පදිංචියට ගෙන ආවා. අපි ගොඩක් තරුණයි ඒ වගේම බොහෝ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබුනා; එය අප දෙදෙනාට අති විශේෂ ආකර්ශනීය සහ සතුටුදායක කාලයක් වුනා.

රූපය
වැඩිහිටි හෙල්ඩ් සහ සහෝදරිය

මම මගේ රැකියාවට අවධානය යොමුකර සිටින විට, අයිරින්ට දැනුනා ස්වර්ගයෙන් මොනයම් හෝ පණිවිඩයක් අපට ලැබෙයි කියලා, කොහොමද නැතිනම් කවදාද කියලා දන්නේ නැතිව. ඉතින්, ඇය විශ්වකෝෂ, වැකියුම් ක්ලීනර්, කෑම වට්ටෝරු සහිත පොත්, මුළුතැන්ගෙයි උපකරණ ආදී දේ රැගෙන දොරින්-දොරට යන සියලුම භාණ්ඩ අලෙවි කරන්නන් නිවසට කැඳවා ගනිමින්, සෑම විටම එම විශේෂ පණිවිඩය ලැබෙන තෙක් බලාසිටියා.

එක සැන්දෑවක ඇය මට කීවා කළු ඇඳුම් කට්ටලයකින් සැරසුණු තරුණ පිරිමින් දෙදෙනෙක් අපේ දොරට තට්ටු කල බව සහ ඔවුන්ව නිවස තුලට ගැනීමට ඇයට බොහොම පැහැදිලි සහ නිශ්චිත හැගීමක් දැනුන බව. ඔවුන් පවසා තිබුනා ඔවුන් හට ඇය සමඟ දෙවියන්වහන්සේ පිළිබඳව කතා කිරීමට අවශ්‍ය බව නමුත් මම නිවසේ සිටින වෙලාවක නැවත යලි පැමිණෙන බවටත්. බලාපොරොත්තු වූ පණිවිඩය මෙය විය හැකිද?

ඔවුන් අපව බැහැදැකීමට පටන්ගත්තා, ඒ වගේම ඔවුන්ගේ මඟපෙන්වීම ඇතිව, අපි ශුද්ධලියවිලි තුලින් කියවා අපගේ ගැලවුම්කරුවාණනන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තීරණාත්මක වැදගත්කම පිළිබඳව තේරුම් ගැනීමකට පැමිණියා. කිසිදු තෙරුම් ගැනීමකින් තොර ගිවිසුම් ඇතිකර ගැනීමක් වූ ළදරු කාලයේ අපව බෞතිස්ම කර තිබීම පිළිබඳව, අපි ඉක්මනින්ම දුක්වුණා. කෙසේ නමුත්, නැවත බෞතිස්ම වෙනවා යනු මෙම නව සභාව තුල සාමාජිකයන් වීමයි, ඒ නිසා පළමුවෙන්ම අපිට ඒ පිළිබඳව සියලු දේම හොඳින් තේරුම් ගැනීමට අවශ්‍ය වුනා.

නමුත් අපි කොහොමද දැනගන්නේ ධර්මදූතයන් අපට මෝර්මන් පොත පිළිබඳව, ජෝසෆ් ස්මිත් පිළිබඳව, සහ ගැලවීමේ සැලැස්ම පිළිබඳව කියනා දේවල් ඇත්තටම සත්‍ය බව? ස්වාමින්වහන්සේගේ වචන වලින් අපිට “එහි ඵලයන්ගෙන් ඒ දේවල් පිළිබඳව දැනගත හැකි”බව අපි තේරුම් ගත්තා.2 ඉතින්, බොහොම ක්‍රමානුකූලව, අපි අපගේ තාර්කික මනසේ ඇස්වලින් එම ඵලයන් සොයමින් සභාව අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අපි මොනවද දැක්කේ? ඉතින්, අපි දැක්කා:

  • මේ ජීවිතයේදී අපි වේදනාවන් සහ දුක පමණක් නොව ප්‍රීතියද විදිය යුතු බව තේරුම්ගත් මිත්‍රශීලී සහ ප්‍රීතිමත් මිනිසුන් සහ සුන්දර පවුල්.

  • ගෙවීමක් කරන දේවගැතිවරයෙකු නැති, නමුත් එහි සාමාජිකයන් විසින්ම පැවරුම් සහ වගකීම් බාරගන්නා සභාවක්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ පවුල සෑම දෙයකම මධ්‍යස්ථය කරගත්, සාමාජිකයන් මසකට වරක් නිරාහාර ශීලය රැක අවශ්‍යතාවන් ඇති සහ දුප්පත් අයට උදවුකිරීම සඳහා පරිත්‍යාග කරන, සෞඛ්‍ය සම්පන්න පුරුදු සඳහා අනුබල දෙන, හානිකර ද්‍රව්‍යයන්ගෙන් වැලකී සිටීමට උගන්වන සභාවක්.

එයට අමතරව:

  • පෞද්ගලික වර්ධනය, අධ්‍යාපනය, මහන්සි වී වැඩකිරීම සහ ස්වශක්තියෙන් ස්වාධීනව සිටීමට කරනු ලබන අවධාරනයන්ට අපි කැමති වුනා.

  • අපුරු මානවවාදී වැඩසටහන පිළිබඳව අපි ඉගෙන ගත්තා.

  • ඒ වගේම අපි ප්‍රධාන සම්මන්ත්‍රණය සහ එහි අසිරිමත් සංගීතය ද එහිදී බෙදාගනු ලබන හෘදයාංගම ආත්මික මුලධර්මයන් අපේ සිතට කාවැදුනා.

මේ සෑම දෙයක්ම දැකීමෙන්, අපිට සභාව පිළිබඳව කිසිදු වරදක් සොයාගැනීමට නොහැකි වුනා. ඊට ප්‍රතිවිරුද්ධව, අපි දුටු සියලු දෙයකටම අපි බොහෝ සෙයින් කැමති වුනා. කෙසේ වෙතත්, අපිට මේ වන විටත් බෞතිස්ම වීමට තීරණය කල නොහැකි වුනා, මන්ද එය සිදුකිරීමට පෙර සෑම දෙයක් පිළිබඳවම දැනගැනීමට අපට අවශ්‍ය වුනා.

නමුත්, අපි තීරණයකට නොපැමිනියාට පසුවත්, ස්වාමින්වහන්සේ ඉතා ඉවසීමෙන් අපව සුදානම් කළා, උන්වහන්සේ අපව හැඩ ගැසුවා, ඒ වගේම අපි සත්‍ය වටහා ගැනීමට ඉගෙනගත යුත්තේ අපගේ තාර්කික මනසෙන් පමණක්ම නොව විශේෂයෙන්ම අපගේ හදවතට කතාකරණ ආත්මයාණන්වහන්සේගේ නිශ්චල කුඩා හඬට බව සොයාගන්නට අපට උදවු කළා.

එම හඬ සහ එයින් දැනෙන හැගීම සුභාරංචිය ඉගෙනගෙන මාස 10කට පසුව එක සන්ධ්‍යාවක, අපි මොසායා පොතේ 18 මෙසේ කියවන විට පැමිණියා: “සැහැල්ලු වන පිණිස එකිනෙකාගේ බර ඉසිලීමට කැමැත්තද, … සහ සැනසිල්ල අවශ්‍ය වන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, … ඔබලාගේ හදවත් තුල කැමැත්ත මෙය නම්, ස්වාමින්වහන්සේගේ නාමය තුල බෞතිස්ම වීමට කුමක් නුඹලාට විරුද්ධව තිබේද …?”3

මෝර්මන් පොතේ එම පාඨය අපගේ හදවත් වලට සහ ආත්මයට ප්‍රවිෂ්ඨ වු පසු, එකවරම අපට හැඟුනා සහ දැනගත්තා බෞතිස්ම නොවී සිටීමට අපට කිසිදු හේතුවක් නොමැති බව. මෙම වගන්තියේ සඳහන් එම ආශාවන් අපගේ හදවත් වලද ප්‍රාර්ථනාවන් බව සහ ඇත්තටම වැදගත් වන්නේ ඒ දේවල් පමණක් වන බව අපි තේරුම්ගත්තා. මේ වනවිටත් අප බොහෝ දේ දැනසිටි නිසා සෑම දේම තෙරුම්ගන්නවාට වඩා ඒ දේවල් වඩා වැදගත් වුනා. අප සෑම විටම ආදරණීය ස්වර්ගික පියානන්ගේ මඟපෙන්වීමේ දෑත් මත විශ්වාසය තැබූ අතර උන්වහන්සේ දිගින් දිගටම අපට මගපෙන්වන බව නිසැකයි.

ඉතින්, එම දිනයේදීම, අපගේ බෞතිස්මය සඳහා දිනයක් නියම කර, අවසානයේදී අප ඉක්මනින්ම බෞතිස්ම වුනා.

රූපය
වැඩිහිටි හෙල්ඩ් සහ සහෝදරියගේ බෞතීස්මය

එම අත්දැකීමෙන් අප ඉගෙනගත්තේ කුමක්ද?

පළමුව, අපි ඉගෙනගත්තා උන්වහන්සේ දන්නා අපට වීමට හැකි පුද්ගලයා බවට පත්වීමට සෑමවිටම අපට උදවු කිරීමට උත්සහ කරන, ආදරණීය ස්වර්ගික පියානන්වහන්සේව මුළුමනින්ම විශ්වාස කල හැකි බව, උන්වහන්සේගේ වචන වල ගැඹුරු සත්‍ය උන්වහන්සේ මෙසේ කී විට අපි ස්ථීර කර ගත්තා: “මම මනුෂ්‍ය දරුවන් වෙතට පේලියෙන් පේලියට, අඥාවෙන් අඥාවට මෙහි ටිකක් එහි ටිකක් දෙන්නෙමි; තවද මාගේ උපදේශ වලට කන්දෙන්නාවූද, මගේ අඥාවන් ඇහුන්කම් දෙන්නනටද, ආශිර්වාද කරන්නෙමි, මක්නිසාද ඔවුන් ප්‍රඥාව ඉගෙනගන්නේය; ලබාගන්නාවූ තැනැත්තාට මම වැඩියෙන් දෙන්නෙමි.”4

දෙවනුව, අපි ඉගෙනගත්තා, අපගේ තාර්කික මනසට අමතරව, දැනුම ලබාගැනීමේ තවත් මිනුමක් අපට මගපෙන්වීම් සහ තෙරුම්ගනීම් ලබා දෙන බව. එය අපගේ හදවත්වලට සහ මනසට කතාකරන උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ නිශ්චල සහ මෘදු හඬයි.

මම කැමතියි මෙම මුලධර්මය අපගේ පෙනීමේ ධාරිතාව සමඟ සංසන්දනය කරන්න. අපගේ පියාණන්වහන්සේ අපට එක ඇසක් පමණක් නොවේ ඇස් දෙකක්ම ලබා දී තිබෙනවා. අපට ප්‍රමාණවත් ලෙස දැකීමට පුළුවන් එක ඇසකින් පමණයි, නමුත් අනෙක් ඇස අපට වෙනත් දෘෂ්ඨිකෝණයක් ලබා දෙනවා. දෘෂ්ඨිකෝණයන් දෙකම අපගේ මොළයත් සමඟ එකට එකතු වූ විට, එය අපේ වටපිටාවේ ත්‍රීමාන රූප ගෙනහැර දක්වනවා.

එලෙසම, අපගේ ශාරීරික සහ ආත්මික ධාරිතාවලින්, අපට තොරතුරු සපයන ප්‍රභව දෙකක් ලබා දී තිබෙනවා. අපගේ ශාරීරික සංවේදනයන් තුලින් සහ අපගේ තර්කනය තුලින් අපගේ මනස එක අදහසක් ඉදිරිපත් කරනවා. නමුත් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව තුලින්, පියාණන්වහන්සේද අපට අදහසක් ඉදිරිපත් කරනවා, එය සැබවින්ම වඩාත් වැදගත් සහ සත්‍යවූ අදහස වනවා , මන්ද එය උන්වහන්සේගෙන් කෙලින්ම එන නිසා. නමුත්, ආත්මයාණන්වහන්සේගේ හඬ බොහෝ විට ඉතා සියුම් නිසා, බොහෝ මිනිසුන් එම අමතර ආකාරය පිළිබඳව දැනුවත් නැහැ .

මෙම දෘෂ්ඨිකෝණයන් දෙකම අපගේ ආත්මය තුල ඒකාබද්ධ වූ විට, එක සම්පූර්ණ රුපයක් ලෙස එහි සත්‍ය ඇති සැටියෙන්ම යතාර්ථය පෙන්නුම් කරයි. ඇත්තවශයෙන්ම, අපගේ මනසින් පමණක් කරනු ලබන තේරුම්ගැනීම් සමහරකගේ “යථාර්තයන්” ශුද්ධාත්මයාණන්වහන්සේගේ අමතර දෘෂ්ඨිකෝණය තුලින්, රැවටිල්ලක් හෝ පැහැදිලිවම වරදක් ලෙස අනාවරණය විය හැක. මොරෝනිගේ වචන මතකයේ තබා ගන්න: “ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් නුඹලා සත්‍ය සම්බන්ධව සියලු දේවල් දැනගන්නාහුය.”5

සභාවේ සාමාජිකයෙකු ලෙස අවුරුදු 31ක් පුරාවට, බොහෝ අවස්ථාවල අපි අපගේ තාර්කික මනස තුල පමණක් විශ්වාසය තබා ශුද්ධාත්මයාණන්ගේ හඬ සහ හැගීම් තුලින් ලබාගත හැකි ආත්මික තේරුම්ගැනීම ප්‍රතික්ෂේප හෝ නොසලකා හැරීම, හරියට එක ඇසකින් පමණක් ජීවත්වනවා හා සමානය බව මම අත්දැක තිබෙනවා. නමුත්, සංඛ්‍යාත්මකව කතාකරන විට, ඇත්තවශයෙන්ම අපට ඇස් දෙකක් දී තිබේ. අපගේ ජීවිතයේ අප අත්දකින සෑම දෙයක්ම සහ සියලුම සත්‍යන් වල මෙන්ම ජීවමාන ස්වර්ගික පියෙකුගේ දරුවන් ලෙස අපගේ අනන්‍යතාවයේ සමස්ත ගැඹුරු අවබෝධය සහ අරමුනෙහි, සම්පූර්ණ සහ සත්‍ය රුපය අපට දිය හැක්කේ, එම දර්ශනයන් දෙකෙහිම එකතුවකට පමණයි.

වසරකට පෙර සභාපති රසල් එම්. නෙල්සන් කියූ දෙයක් මට මතක් වෙනවා, ඔහු පවසා සිටියා “එලඹෙන්නාවූ දිනයන්වල, ශුද්ධාත්මයාණන්වගන්සේගේ මගපෙන්වීම, උපදේශ, සැනසීම සහ නිරන්තර බලපෑම නොමැතිව ආත්මිකව ජීවත්වීම කල නොහැකි වනු ඇත.”6

නියත වශයෙන්ම මා දැනගෙන තිබෙනවා:

  • අපට ආදරණීය ස්වර්ගික පියෙකු සිටින බව සහ, ඒ වගේම අපි සියලුදෙනාම දිව්‍යමය සැලැස්මක කොටසක් ලෙස මෙම පොළොවට පැමිනීමට එකඟ වූ බව.

  • යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව; උන්වහන්සේ ජීවමාන බව සහ ඒ වගේම උන්වහන්සේ මගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව.

  • ගොවිපලක හැදී වැඩුණු නිහතමානී පිරිමි දරුවෙක් වන ජෝසෆ්, දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පුජකත්වයේ සියලුම යතුරු, බලය සහ අධිකාරීත්වය සමඟ කාලවල පූර්ණත්වයේ කාලපරිච්චේදයට මුලපිරු ප්‍රභල දිවසිවරයෙකු වුවා මෙන්ම ඒ සඳහා කැඳවීම ලැබුවා.

  • මෝර්මන් පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් බව සහ ඒ තුලින් පවුල් සදහටම එකට සිටීමට අදහස් කරනවා.

  • අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද මෙම සභාව, අපගේ ජීවමාන දිවැසිවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් විසින් මෙහෙයවනවා.

මෙම සත්‍යයන් සහ තවත් බොහෝ වටිනා සත්‍යයන් දෙවියන්වහන්සේ විසින් මා හට සුදුසු පුද්ගලයා වීමට උදවු කරන ආත්මික ගොඩනැගීමේ කොටස් බවට පත්ව ඇත. අපි මෙම ආශ්චර්යමත් ජීවිතය තුලින් ගමන් කරන විට මෙන්ම “අධ්‍යනය සහ විශ්වාසය තුලින් … ඉගෙනගන්නා විට” තවමත් උන්වහන්සේ මට-සහ ඔබට- ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින තවත් බොහෝ අලුත් ඉගැන්වීම් ලැබෙන තුරු මම බලා සිටිනවා.

මම දන්නවා මෙම දේවල් සත්‍ය බව සහ ඒ පිළිබඳව සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න