2010–2019
මෙය මෙහෙයවන්නේ කොහෙටද?
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


2:3

මෙය මෙහෙයවන්නේ කොහෙටද?

අපි විකල්ප දෙස බලා ඒවා අපිව මෙහෙයවන්නේ කොහෙටද කියා මෙනෙහි කල විට අපට වඩා හොඳ තෝරාගැනීම් සහ තීරණ ගැනීමට පුළුවන් වනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පිහිටවූ සුභාරංචිය අනාගතය ගැන සිතා බැලීමට අපව දිරිමත් කරනවා. එයින් මැරෙනසුලු ජීවිතයේ අරමුණ සහ පසුව පැමිණෙන ජීවිතයේ යතාර්ථය පැහැදිලි වෙනවා. එය අද දවසේ අපේ ක්‍රියාවන්ට මඟපෙන්වීම පිණිස අනාගතය ගැන උසස් අදහස් උගන්වනවා.

ඊට ප්‍රතිවිරුද්ධව, අද වියදම් කරන්න, අද විනෝද වන්න, සහ අනාගතය ගැන නොසිතන වර්තමානය ගැන පමණක් සැලකිල්ලක් දක්වන මිනිසුන්ව අපි හැමෝම දන්නවා.

අපි හැමවිටම අනාගතය ගැන දනුවත්වනවා නම් අපගේ වර්තමානය සහ අපගේ අනාගතය සතුටුදායක වෙනවා. අපි වර්තමානයේ තීරණ ගන්නා විට, අපි සෑමවිටම ඇසිය යුතුයි, “මෙය මෙහෙයවන්නේ කොහෙටද?” කියා.

I.

සමහර තීරණ, යමක් කිරීම සහ කිසිම දෙයක් නොකිරීම අතර තෝරාගැනීම් වෙනවා. මට මෙවැනි තෝරාගැනීමකට උදාහරණයක් අවුරුදු ගණනාවකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටේක සම්මන්ත්‍රණයකදී අසන්නට ලැබුනා

පසුතලය වුනේ ලස්සන විශ්වවිද්‍යාලයක්. තරුණ ශිෂ්‍යයන් පිරිසක් තණකොළ මත වාඩි වී සිටියා. මෙම තත්වය විස්තර කල කථිකයා පැවසුවේ, ලස්සන දැවමය වෘක්ෂයක් වටේ, ලොකු, ඝන වලිගයකින් යුත් ලස්සන ගස් ලේනෙක් දෙස ඔවුන් බලමින් සිටි බවයි. ලේනා සමහර වෙලාවට බිම, සමහර වේලාවට ඉහල පහල සහ කඳ වටා සිටියා. නමුත් ඇයි ඒ හුරු පුරුදු දර්ශනය ශිෂ්‍යයන්ව වශී කලේ?

ඒ අසල තණකොළ මත අයර්ලන්ත දඩයම් බල්ලෙක් මුනින් දිගාවී සිටියා. ශිෂ්‍යන්ගේ උනන්දුවෙ අරමුණ වුනේ එම බල්ලයි, ඒ වගේම ලේනා මෙම බල්ලාගේ අරමුණ වුනා. හැම වෙලාවේම මෙම ලේනා ක්ෂණිකව නොපෙනී ගොස් ගස වටා කැරකෙනවා, දඩයම් බල්ලා නිහඬව තත්පර කිහිපයක් ඉදිරියට රූටා ගොස්, පැහැදිලිවම නැවත උගේ උදාසීන ඉරියවුව පටන් ගන්නවා. ශිෂ්‍යන්ගේ උනන්දුව ගත්තේ මෙයයි. නිහඩව සහ නිශ්චලව, ප්‍රතිපලය එන්න එන්නම පැහැදිලි වන මෙම සිදුවීම දෙස ඔවුන්ගේ ඇස් යොමාගෙන සිටියා.

අවසානයේදී, දඩයම් බල්ලා පැන උගේ කටින් ලේනා අල්ලාගන්නා තරමටම ලංවී සිටියා. භයානක පණ ඇදිල්ලක් පැන නැග්ගා, එවිට ශිෂ්‍යන් පිරිස ඉදිරියට පැන පොරකා බල්ලාගෙන් පුංචි සතාව බේරාගත්තා, නමුත් එතකොටත් ගොඩාක් පරක්කු වැඩියි. ලේනා මියගොස් සිටියා.

එම පිරිස අතරින් එක්කෙනෙක්ට හරි එම ලේනාට ඕනෑම වෙලාවක ඔහුගේ හෝ ඇයගේ අත වනමින් හෝ කෑ ගසමින් අනතුරු අඟවන්න ඉඩ තිබුනා, නමුත් කිසිකෙනෙකු එලෙස කලේ නෑ. අනිවාර්යෙන්ම සිදුවීමට යන ප්‍රතිපලය ලංවන තුරුම ඔවුන් නිකම් බලාසිටියා. කිසිකෙනෙකු ඇසුවේ නෑ, “මෙය මෙහෙයවන්නේ කොහෙටද?” කියා. වෙන්න පුළුවන් වූ දෙය සිදුවූ පසු, සියලු දෙනාම ප්‍රතිපලය නවත්වන්න දිවගියා, නමුත් එතකොට ගොඩක් පරක්කු වැඩියි. ඔවුන්ට දීමට හැකි වුනේ කඳුලින් පිරිච්ච පශ්චාත්තාපය විතරයි.

එම සත්‍ය කතාව උපමාවක් වගේ. අපගේම ජීවිත වල මෙන්ම අප වටා ජීවිත වල සහ තත්වයන් වල අප දකින දේවල්වලට මෙය අදාළ කරගත හැකියි. මිනිසුන් පිට හෝ අප ආදරය කරන දේවල් මත තර්ජන එල්ල වෙනවා අප දුටු විට, ඒ වෙනුවෙන් කතාකිරීමට හෝ ක්‍රියා කිරීමට හෝ නැතිනම් නිහඬව සිටීමට අපට තෝරා ගත හැකියි. “මෙය මෙහෙයවන්නේ කොහෙටද?” කියා අපෙන් ඇසීම වැදගත්. ප්‍රතිවිපාක ක්ෂණික සහ බරපතල වන අවස්ථාවල අපට කිසිවක් කල නොහැකියි. කාලය තවමත් තිබියදී සුදුසු අනතුරු ඇගවීම් හෝ වැළැක්වීමට අනුබල දෙන සුදුසු ප්‍රයන්තයන් සඳහා හඬ නැගිය යුතුය.

මම දැන් විස්තර කෙරූ තීරණයන් ක්‍රියාකිරීම හෝ කොසිදු ක්‍රියාවක් නොකිරීම යන තෝරාගැනීම් අතර සම්බන්ධ වේ. එක ක්‍රියාවක් හෝ තවත් ක්‍රියාවක් අතර තෝරාගැනීම් වඩාත් බහුලයි. මෙයට හොඳ හෝ නපුර අතර තීරණයන් ඇතුලත් වන අතර, බොහෝ විට මේවා හොඳ දේවල් දෙකක් අතර තෝරාගැනීම් වෙනවා. මෙහිදීත් මෙය මෙහෙයවන්නේ කොහෙටද කියා ඇසීම යහපත් වෙනවා. අපි බොහෝ වෙලාවට හොඳ දේවල් දෙකක් අතරින් තෝරාගැනීම් කරනවා, බොහෝ විට අපි අපගේ කාලය ගතකරන්නේ කොහොමද කියන දෙය මෙයට සම්බන්ධ වෙනවා. වීඩියෝ ක්‍රීඩා හෝ පණිවිඩ යැවීම හෝ රුපවාහිනිය නැරඹීම හෝ දුරකතනයකින් කතාකිරීමෙහි කිසිදු වරදක් නැහැ. නමුත් මේ සෑම දෙයක්ම “ආවස්ථික පිරිවැයට” සම්බන්ධ වනවා, එහි තේරුම වන්නේ අපි එක දෙයක් කිරීමට කාලය වැය කරන විට, තවත් දෙයක් කිරීමට ඇති අවස්තාව අහිමි වීමයි. මට විශ්වාසයි එක ක්‍රියාවක නිරත වීමේදී ඒ ක්‍රියාව කොතරම් හොඳ එකක් වුනත් අපට අහිමි වන්නේ කුමක්ද කියා කල්පනාකාරීව මැන ගැනීමට අවශ්‍ය බව ඔබට පෙනෙන බව.

කාලයකට ඉහතදී “හොඳ, වඩාත් හොඳ, උසස්” යන තේමාව යටතේ මම කතාවක් පැවැත්වුවා. එම කතාවේ මම පැවසුවා “යමක් හොඳ වූ පමණින් කිරීමට එම හේතුව ප්‍රමාණවත් නොවේ. අපට කල හැකි හොඳ දේවල් ගණන ඒවා ඉටු කිරීමට ගතවන කාලය ඉක්මවනවා. සමහර දේවල් හොඳ දේවල් වලට වැඩිය වඩා හොඳයි, ඒ වගේම අපගේ ජීවිත තුල ප්‍රමුඛත්වය දීමට අවධානය ලබා දිය යුත්තේ මෙම දේවල් වලටයි. වඩාත් හොඳ හෝ උසස් දේවල් තෝරාගැනීමට අපට සමහර හොඳ දේවල් අතහැරීමට සිදුවෙනවා.”

දීර්ඝ දර්ශනය ගැන සිතා බලන්න. වර්තමානයේ අපි ගන්නා තීරණ අපගේ අනාගතයට බලපාන්නේ කෙසේද? අධ්‍යාපනයක් ලබාගැනීමේ, සුභාරංචිය ඉගෙනගැනීමේ, සක්‍රමේන්තුව ගැනීම තුලින් ගිවිසුම් අලුත් කිරීමේ, සහ දේවමාලිගාවට සහභාගී වීමේ වැදගත්කම මතක තබාගන්න.

II.

අපි අපි ගැන සිතන දේ සහ අපි අපිට පනවන සීමාවන් තෝරාගැනීමේදී ද “මෙය මෙහෙයවන්නේ කොහෙටද?” යන්න වැදගත් වෙනවා. වැදගත්ම දේ, අනාගත ඉරණම සදාකාලික ජීවීතය කරගැනීමට හැකියාවක් ඇති අපි සියලුදෙනාම දෙවියන්වහන්සේගේ දරුවන් වෙනවා. අනෙකුත් සෑම ලේබලයක්ම, රැකියාව, ජාතිය, ශාරීරික ලක්ෂණ, හෝ ගෞරවය ද ඇතුළුව, සදාකාලිකත්වයෙදී තාවකාලික හෝ නොවැදගත් කරුණු වනවා. ඔබට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන අරමුණකට සීමාවන් පැනවීමට සිදුවන ලෙස ඔබගැන සිතන්න හෝ ඔබවම ලේබල් ගත කිරීමට තෝරා නොගන්න.

මම මෙහි පවසන දේ නරඹන හෝ කියවන මගේ සහෝදරයිනි, සහ මගේ සහෝදරියනි, මම හිතනවා ඔබේ නායකයන් ලෙස අපි විසින් කරන්නාවූ මේ ඉගැන්වීම් සහ උපදේශ කරන්නේ ඇයි කියා ඔබ දන්නා බව. අපි ඔබට ආදරෙයි, ඒ වගේම ස්වර්ගයේ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ඔබට ආදරෙයි. අප වෙනුවෙන් ඔවුන්ගේ සැලැස්ම වන්නේ “ශ්‍රේෂ්ඨ සතුටේ සැලැස්මයි” (ඇල්මා 42:8). එම සැලැස්ම සහ ඔවුන්ගේ අණපනත් සහ වත්පිළිවෙත් සහ ගිවිසුම් මෙම ජීවිතයේදී සහ එලඹෙන්නාවූ ජීවිතයේදී ශ්‍රේෂ්ඨ සතුට සහ ප්‍රීතිය වෙත අපව ගෙන යනවා. පියාණන්ගේ සහ පුත්‍රයාණන්ගේ සේවකයන් වශයෙන්, ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ඔවුන් අපට මගපෙන්වා ඇති ආකාරයට අපි උගන්වනවා සහ උපදේශ දෙනවා. සත්‍ය කතාකිරීම සහ “දෙවියන්වහන්සේගේ සියලුම තෑගී වලින් හොඳම තෑග්ග” (දහම සහ ගිවිසුම 14:7), වන සදාකාලික ජීවිතයට යන මාර්ගයේ ඔවුන් මායිම් කර ඇති දේ කිරීමට ඔබව දිරිමත් කිරීම හැරෙන්නට අපට වෙන කිසිම අරමුණක් නැත.

III.

වර්තමානයේ ගන්නා තීරණ අනාගතය සඳහා කරන බලපෑම පෙන්වන තවත් උදාහරණයක් මෙන්න. වැදගත් අනාගත අරමුණක් අත්කරගැනීමට වර්තමානයේ පරිත්‍යාගයක් කිරීමට ගත යුතු තීරණයක් මෙම උදාහරණයේ අදාළ වෙනවා.

කොලොම්බියාවේ, කාලි හි ස්ටේක සම්මන්ත්‍රණයකදී, එක සහෝදරියක් ඇය සහ ඇගේ විවාහ ගිවිසගත් තැනැත්තා දේවමාළිගාවේ විවාහ වීමට තීරණය කර තිබුණි, නමුත් එම අවස්ථාවේ ඔවුන්ට ආසන්නම වූ දේවමාළිගාව වූයේ ඈත පිහිටි පේරු දේවමාළිගාවයි. බොහෝ කාලයක සිට, ඔවුන් බස් ගාස්තුව වෙනුවෙන් මුදල් එකතු කර තිබුණි. අවසානයේදී ඔවුන් බෝගොටා වෙත බසයෙන් ගමන් අරඹා, එහි පැමිණි පසු, ලිමා පේරු වෙත ඇති බස් රථයේ සියලුම ආසන වෙන්කර ඇති බව දැනගත්තා. ඔවුන්ට විවාහ නොවී ගෙදර යාමට හැකියාව හෝ දේවමාළිගාවෙන් පිටත විවාහ වීමට හැකියාව තිබුණා. වාසනාවකට, ඔවුන්ට තවත් විකල්පයක් තිබුණි. ලිමා වෙත දවස් පහක සහ රැයවල් පහක මුළු ගමනම බසයේ බිම හිඳගෙන යාමට ඔවුන් කැමතියි නම් ඔවුන්ට ලිමා වෙත බසයෙන් ගමන් කිරීමට හැකියාව තිබුණි. ඔවුන් එය කිරීමට තෝරාගත්තා. සමහර වෙලාවට සමහර මගීන් වාඩි වීමට ඔවුන්ට තම ආසන ලබාදුන්නත් එම ගමන බොහෝ අමාරු වූ බව ඇය පැවසුවා.

ඇයගේ කතාවේ මගේ සිතට කා වැදුනේ එම සහෝදරියගේ ප්‍රකාශයයි. එය නම් මේ ආකාරයෙන් ඇයට සහ ඇයගේ ස්වාමිපුරුෂයාට දේවමාළිගාවට යාමට හැකි වීම තුලින් ඔවුන්ට සුභාරංචිය ගැන සහ දේවමාළිගාවේ විවාහවීම ගැන ඔවුන්ට හැඟුන ආකාරය වෙනස් වූ නිසා නිසා ඇය කෘතඥ වන බව කියූ ප්‍රකාශනයයි. පරිත්‍යාගය තුලින් එන්නාවූ වර්ධනය සමග ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර තිබුණා. පරිත්‍යාගයෙන් තොර බොහෝ දේවමාළිගා බැහැදකීම් වලට වඩා, ඔවුන්ගේ දවස් පහේ දේවමාළිගා ගමන තුලින් ඔවුන්ගේ අධ්යාත්මිකත්වය වර්ධනය කර ගැනීම බොහෝ සාර්ථක වූ බව ඇය තවදුරටත් නිරීක්ෂණය කර තිබුනා.

එම සාක්ෂිය අසා අවුරුදු ගණනාවකදීම, දේවමාළිගාවේ විවාහවීම සඳහා අවශ්‍ය වූ එම පරිත්‍යාගය නොකර වෙනත් තෝරාගැනීමක් ඔවුන් කලානම් එම තරුණ යුවලගේ ජීවිත කොපමණ වෙනස් වේවිද කියා මම සිතා තිබෙනවා.

සහෝදරවරුනි, සමහරක් විශාල සහ සමහරක් පෙනුමෙන් කුඩා, වශයෙන් අපි ජීවිතයේ ගණන් කල නොහැකි තරම් තෝරාගැනීම් කරනවා, ආපසු හැරී බලනවිට, අපට දැකගැනීමට පුළුවන් කොතරම් ලොකු වෙනසක් අපගත් සමහර තෝරාගැනීම් අපගේ ජීවිත තුල ඇතිකර තිබෙනවාද කියා. අපි විකල්ප දෙස බලා ඒවා අපිව මෙහෙයවන්නේ කොහෙටද කියා මෙනෙහි කල විට අපට වඩා හොඳ තෝරාගැනීම් සහ තීරණ ගැනීමට පුළුවන් වනවා. අප එසේ කරණ විට, සභාපති රසල් එම්. නෙල්සන්ගේ අවසානය සිතේ තබාගෙන ආරම්භ කරන්න යන උපදේශය අපි අනුගමනය කිරීමට පුළුවන් වෙනවා. අපට නම්, සෑම විටම අවසානය වන්නේ ගිවිසුම්ගත මාර්ගය මත දේවමාළිගාව හරහා දෙවියන්වහන්සේගේ සියලුම තෑගී අතරින් උතුම්ම තෑග්ග වන සදාකාලික ජීවිතයයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගේවීමේ ප්‍රතිවිපාක සහ උන්වහන්සේගේ සදාකාලික සුභාරංචියේ අනෙකුත් සත්‍යන් පිළිබඳව මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.