අලුත් ගිවිසුම 2023
ඔක්තෝම්බර් 2–8. එපීස: “ශුද්ධවන්තයින්ගේ පරිපූර්ණත්වය සඳහා”


“ඔක්තෝම්බර් 2–8. එපීස: ‘ශුද්ධවන්තයින්ගේ පරිපූර්ණත්වය සඳහා,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔක්තෝම්බර් 2–8. එපීස,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පවුලක් පින්තූර දෙස බලමින්

ඔක්තෝම්බර් 2–8

එපීස

“ශුද්ධවන්තයින්ගේ පරිපූර්ණත්වය සඳහා”

ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ සහ පාවුල් එපීසවරුන්ට ලියූ ලිපිය අතර යම් සම්බන්ධයක් ඔබට පෙනේද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

එපීසයේ ශුභාරංචිය පැතිරෙන්නට පටන්ගත් විට, එය එපීසවරුන් අතර ඇතිකළේ “සුළු කැලඹීමක්” (ක්‍රියා 19:23) නොවේ. මිත්‍යාදෘෂ්ටික දේවතාවියකට සිද්ධස්ථාන නිපදවූ දේශීය ශිල්පීන් ක්‍රිස්තියානි දහම ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් ලෙස දුටු අතර වැඩිකල් නොගොස් “ඔවුන් කෝපයෙන් පිරී ගියේය… මුළු නගරයම ව්‍යාකූලත්වයෙන් පිරී ගියේය” (බලන්න ක්‍රියා 19:27–29). එවැනි පසුබිමක් තුළ ශුභාරංචියට නව හැරෙන්නෙක් වීම ගැන සිතාබලන්න. මෙම “කෝලාහලය” මධ්‍යයේ බොහෝ එපීසවරුන් ශුභාරංචිය පිළිගෙන ජීවත්වූ අතර (ක්‍රියා 19:40), “ක්‍රිස්තුස්වහන්සේ අපගේ සමාදානයයි” කියා පාවුල් ඔවුන්ට සහතික විය (එපීස 2:13–14). මෙම වචන, “සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා” (එපීස 4:31) යන ඔහුගේ ආරාධනයත් සමඟ, එවකට මෙන් දැන්ද කාලෝචිත හා සැනසීමක් සේ පෙනේ. එපීසවරුන්ට මෙන්ම, අප සෑම කෙනෙකුටම, විපත්තියට මුහුණදීමට ශක්තිය ලැබෙන්නේ “ස්වාමින්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ බලවත්කමේ බලයෙනි” (බලන්න එපීස 6:10–13).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එපීස 1:4–11, 17–19

පොළොවේ යම් යම් වගකීම් ඉටුකිරීමට දෙවියන්වහන්සේ මා තෝරාගෙන, හෝ කලින් නියම කර ඇත.

ශුද්ධවන්තයන්ව දෙවියන්වහන්සේ විසින් “කලින් නියම කර” ඇති බවත්, “ලෝකයේ අත්තිවාරමට පෙර … තෝරාගනු ලැබූ” බවත් පාවුල් කතා කළේය. කෙසේවෙතත්, සභාපති හෙන්රි බී. අයිරින් සඳහන් කර ඇති පරිදි, මින් අදහස් වන්නේ “දෙවියන්වහන්සේ තම දරුවන්ගෙන් කවරෙකු බේරා ගන්නේද යන්න කලින් තීරණය කර ඔවුන්ට ශුභාරංචිය ලබාදිය යුතු බව හෝ, කිසිදිනෙක ශුභාරංචිය නොඇසූ අයව ‘තෝරාගනු’ නොලැබෙන බව නොවේ. … දෙවියන්වහන්සේගේ සැලැස්ම ඊට වඩා බොහෝ ආදරණීයයි. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ පවුලේ සියලුදෙනාවම එක්රැස් කොට ආශිර්වාද කිරීමට උනන්දු වෙයි” (“දෙවියන්වහන්සේගේ පවුල එක්රැස් කිරීම,” ලියහෝනා, මැයි 2017, 20–21). ශුද්ධ වූ දේවමාළිගා වල මළවුන් උදෙසා කරන ලද කාර්යයන් නිසා දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ශුභාරංචිය සහ එහි නියෝග පිළිගත හැකිය.

ගැලවීම ලැබීමට හෝ ගැලවීම නොලැබීමට කිසිවෙකු කලින් නියම කර නොතිබුණද, නූතන එළිදරව්වෙන් උගන්වනුයේ, පොළොවේ දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුකිරීමට යම් යම් වගකීම් සම්පූර්ණ කිරීම සඳහා දෙවියන්වහන්සේගේ දරුවන්ව තෝරාගෙන හෝ “පූර්ව නිශ්චය කර” ඇති බවයි. ඔබ එපීස 1 කියවන විට, මෙම සත්‍යය ඔබට අදාළ වන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.

එපීස 1:10

දෙවියන්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල එක්රැස් කරනු ඇත.”

ඔබ සිතන ලෙස අපේ දවස “සම්පූර්ණ කාලයේ කාලපරිච්ඡේදය” ලෙස හඳුන්වන්නේ ඇයි? “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල එකට එකතු වීම” යන්නෙන් අදහස් කළ හැක්කේ කුමක්ද? ඔබ මෙම වාක්‍ය ඛණ්ඩ මෙනෙහි කරන විට, පහත සඳහන් ශුද්ධලියවිලි පද කියවන්න: එපීස 4:13; 2 නෙපි 30:7–8; දහම සහ ගිවිසුම් 110:11–16; 112:30–32; 128:18–21. මෙම වාක්‍ය ඛණ්ඩ පිළිබඳ ඔබේම පැහැදිලි කිරීම් ලිවීමට ඔබට පෙලඹීමක් ඇතිවිය හැකිය.

තවත් බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු දෙයෙහි එකට එක්වීම,” ලියහෝනා, නොවැ. 2018, 21–24.

එපීස 2:19–22; 3:1–7; 4:11–16

සභාව ආරම්භ කර ඇත්තේ ප්‍රේරිතයන් හා අනාගතවක්තෘවරුන් මත වන අතර, මෙහි ප්‍රධාන ගල වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

එපීස 2:19–22; 3:1–7; 4:11–16 දක්වා පද වලට අනුව, අපට අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතවරුන් සිටින්නේ ඇයි? ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඔබ අසා ඇති අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන්ගෙන් ලැබුණු පණිවිඩ ගැන සිතන්න. ඔවුන්ගේ ඉගැන්වීම් පාවුල් විස්තර කළ අරමුණු ඉටුකරන්නේ කෙසේද? උදාහරණයක් ලෙස “දහමේ සෑම සුළඟක් සමගම” ගසා නොයාමට මෙම ඉගැන්වීම් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සභාව සඳහා ප්‍රධාන ගලක් මෙන් වන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතය සඳහා ප්‍රධාන ගලක් මෙන් වන්නේ කෙසේද?

තවත් බලන්න ක්‍රියා 4:10–12.

රූපය
ගොඩනැගිල්ලක ප්‍රධාන ගල

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සභාවේ ප්‍රධාන ගලය.

එපීස 5:216:4

ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් මගේ පවුල් සබඳතා ශක්තිමත් කරගත හැකිය.

ඔබ එපීස 5:216:4 කියවන විට, මෙම පදවල ඇති උපදෙස් ඔබේ පවුල් සබඳතා ශක්තිමත් කළ හැකි ආකාරය ගැන සිතා බලන්න.

එපීස 5:22–24 හි පාවුල්ගේ වචන ලියා ඇත්තේ ඔහුගේ යුගයේ සමාජ සිරිත් විරිත් වල සන්දර්භය තුළ බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අද දින අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා උසස් නොවන බවත් කලත්‍රයන් “සමාන හවුල්කරුවන්” විය යුතු බවත්ය (බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2017, 145). එසේ වුවද, ඔබට තවමත් එපීස 5:25–33 හි අදාළ උපදෙස් සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධවන්තයන්ට උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද? සහකරු සහ සහකාරිය සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාට සැලකිය යුතු ආකාරය ගැන මෙයින් ඇඟවෙන්නේ කුමක්ද? මෙම පද වලින් ඔබ ඔබ සඳහා සොයාගන්නා පණිවිඩ මොනවාද?

එපීස 6:10–18

දෙවියන්වහන්සේගේ සන්නාහය නපුරෙන් මා ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

ඔබ එපීස 6:10–18 කියවන විට, පාවුල් සෑම සන්නාහයක්ම ඔහු කළ ආකාරයට නම් කළේ ඇයි කියා සලකා බලන්න. “දෙවියන්වහන්සේගේ මුළු යුද්ධායුධ කට්ටලය” ඔබව ආරක්ෂා කරන්නේ කුමකින්ද? සෑමදිනකම එක් එක් ආයුධ කොටස බැගින් වඩාත් හොඳින් පැළඳීමට ඔබට කුමක් කළ හැකිද?

තවත් බලන්න 2 නෙපි 1:23; දහම සහ ගිවිසුම් 27:15–18.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

එපීස 1:10.මෙම පදය ගැන ඉගැන්වීමට, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ලණුවක උදාහරණය භාවිතා කළේය (බලන්න “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු දෙයෙහි එකට එක්වීම”). ඔබ වැඩිහිටි බෙඩ්නර්ගේ පණිවිඩයේ කොටස් බෙදාගන්නා අතරතුර පවුලේ සාමාජිකයින්ට ලණුවක් පෙන්වීම සහ එය අල්ලාගෙන පරීක්ෂා කිරීමට ඉඩදීම සලකා බලන්න. දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල එක්රැස් කරන්නේ කෙසේද? මෙම එක්රැස්වීම නිසා අපි ආශිර්වාද ලබන්නේ කෙසේද?

එපීස 2:4–10; 3:14–21.මෙම පදවල විස්තර කර ඇති දෙවියන්වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා දයාව ඔවුන්ට දැනුණු අත්දැකීම් බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

එපීස 2:12–19.ඔබේ පවුලේ අයට කොට්ට හෝ වෙනත් වස්තූන් වලින් බිත්ති ඉදිකර ඒවා කඩාදැමිය හැකිය. පාවුල් අන්‍ය ජාතිකයන් සහ යුදෙව්වන් අතර “පවුර” ගැන සඳහන් කරද්දී, අද මිනිසුන්ව වෙන්කරන්නේ කුමන ආකාරයේ පවුරුද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම පවුරු “කඩාබිඳ” ඇත්තේ කෙසේද? උන්වහන්සේ “[අපිව] දෙවියන්වහන්සේ සමඟ සමාදාන” කරන්නේ කෙසේද? (16 වන පදය).

එපීස 6:10–18.ඔබේ පවුලේ අයට නිවසේ භාණ්ඩ භාවිතා කරමින් තමන්ගේම “දෙවියන්වහන්සේගේ සන්නාහය” සාදාගත හැකිය. සෑම සන්නාහයක්ම ආත්මිකව අපව ආරක්ෂා කරන්නේ කෙසේද? “දෙවියන්වහන්සේගේ සන්නාහයම පැළඳීමට” (එපීස 6:11) එකිනෙකාට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේ අධ්‍යයනයට මගපෙන්වීමට ආත්මයාණන්ට ඉඩදෙන්න. ඔබ මුලින් සැලසුම් කර නොතිබූ මාතෘකාවක් හැදෑරීමට මෙය ඔබව යොමුකළත්, ඔබ දිනපතා ඉගෙනගත යුතු දේ කෙරෙහි උන්වහන්සේ ඔබට මගපෙන්වන බැවින් ආත්මයාණන්ට සංවේදී වන්න.

රූපය
අලුත් ගිවිසුමේ යුගයේ සන්නාහයෙන් සන්නද්ධ වූ මිනිසා

දෙවියන්වහන්සේගේ සන්නාහය පැළඳීමෙන් අපව ආත්මිකව ආරක්ෂා කළ හැකිය.

මුද්‍රණය කරන්න