අලුත් ගිවිසුම 2023
ඔක්තෝම්බර් 16–22. 1 සහ 2 තෙසලෝනික: “නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණ කරන පිණිස”


“ඔක්තෝම්බර් 16–22. 1 සහ 2 තෙසලෝනික: ‘නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණ කරන පිණිස,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

ඔක්තෝම්බර් 16–22. 1 සහ 2 තෙසලෝනික,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
ධර්මදූත සහෝදරියන් තරුණ පිරිමි ළමයෙකු සමඟ කතාකරමින්

ඔක්තෝම්බර් 16–22

1 සහ 2 තෙසලෝනික

“නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණ කරන පිණිස”

ආත්මයාණන්ගෙන් අපට ලැබෙන හැඟීම් අප වාර්තා නොකරන්නේ නම්, අපට ඒවා අමතක විය හැකිය. ඔබ 1 සහ 2 තෙසලෝනික කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබව පොළඹවන්නේ කුමක් වාර්තා කිරීමටද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

තෙසලෝනිකයේ පාවුල්ට හා සීලස්ට “ලෝකය උඩු යටිකුරු කළ” බවට චෝදනා එල්ල විය (ක්‍රියා 17:6). ඔවුන්ගේ දේශනා කිරීම් යුදෙව්වන් අතර සිටි සමහර නායකයන් කෝපයට පත්කළ අතර, එම නායකයන් ජනතාවව කලබලයට පත්කළෝය (බලන්න ක්‍රියා 17:1–10). එහි ප්‍රතිඵලයක් වශයෙන් තෙසලෝනිකයෙන් පිටව යන ලෙස පාවුල්ට හා සීලස්ට උපදෙස් දෙන ලදි. නව ආගමට හැරුණු තෙසලෝනිකයන් සහ ඔවුන් මුහුණදෙන පීඩා ගැන පාවුල් කනස්සල්ලට පත්වූ නමුත් ඔවුන් බැලීමට නැවත පැමිණීමට ඔහුට නොහැකි විය. ඔහු මෙසේ ලීවේය “මට තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ විට, මම ඔබේ ඇදහිල්ල දැනගැනීමට යැව්වෙමි.” ඊට ප්‍රතිචාර ලෙස, තෙසලෝනිකයේ සේවය කරමින් සිටි පාවුල්ගේ සහායක තිමෝති “ඇදහිල්ලේත් ප්‍රේමයේත් යහපත් ආරංචි අපට ගෙන ආවේය” (1 තෙසලෝනික 3:5–6). ඇත්තවශයෙන්ම, තෙසලෝනික ශුද්ධවන්තයන් “විශ්වාස කරන සියල්ලන්ට” (1 තෙසලෝනික 1:7) උදාහරණ ලෙස හඳුන්වනු ලැබූ අතර, ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳ පුවත විදේශයන්හිද පැතිර ගියේය. ඔවුන් අතර ඔහු කළ සේවය “නිෂ්ඵල නොවූ” බව දැනගැනීමෙන් පාවුල්ගේ ප්‍රීතිය හා සහනය ගැන සිතාබලන්න (1 තෙසලෝනික 2:1). අනාගතයේදී අධ්‍යාත්මික පැවැත්ම සඳහා අතීතයේ ඇදහිලිවන්ත බව ප්‍රමාණවත් නොවන බව පාවුල් දැන සිටි අතර ශුද්ධවන්තයන් අතර බොරු ගුරුවරුන්ගේ බලපෑම ගැන ඔහු සැලකිලිමත් විය (බලන්න 2 තෙසලෝනික 2:2–3). ඔහු ඔවුන්ට සහ අපට දෙන පණිවිඩය නම්, “[අපගේ] ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණ කිරීම” සහ “වඩ වඩා ප්‍රේම කිරීමයි” (බලන්න 1 තෙසලෝනික 3:10; 4:10).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 තෙසලෝනික 1–2

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් අන් අයට අවංකව හා ප්‍රේමයෙන් සේවය කරති.

1 තෙසලෝනික පොතෙහි, පාවුල්ගේ වචන වලින් හෙළිවන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම සඳහා මුළුමනින්ම කැපවී සිටින කෙනෙකුගේ සැලකිල්ල සහ ප්‍රීතියයි. විශේෂයෙන්ම 1 තෙසලෝනික පළමු පරිච්ඡේද දෙකෙහි, ස්වාමින්වහන්සේගේ ගෝලයෙකුගේ ආකල්ප සහ ක්‍රියා විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබට හමුවනු ඇත. උදාහරණයක් වශයෙන්, 1 තෙසලෝනික 1:5–8; 2:1–13 න් ස්වාමින්වහන්සේට සේවය කිරීම ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට ඔබට ඇති අවස්ථා ගැන සිතන්න. ඔබේ සේවය වැඩිදියුණු කිරීමට ඔබව පොළඹවන මෙම පරිච්ඡේද වල ඔබ සොයාගන්නා දේවල් මොනවාද? “මම දන්නා දේවල් සඳහා මම උදාහරණයක්ද?” වැනි ඔබ සොයාගන්නා දේ මත පදනම්ව ඔබෙන්ම ප්‍රශ්න ඇසීම සලකා බලන්න. (බලන්න 1 තෙසලෝනික 1:7).

1 තෙසලෝනික 3:7–13; 4:1–12

“ප්‍රේමයෙන් වර්ධනය වී බහුල වන්න.”

පාවුල් තෙසලෝනික ශුද්ධවන්තයන්ගේ ඇදහිලිවන්තකම ගැන ප්‍රීතිවිය (බලන්න 1 තෙසලෝනික 3:7–9). නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඔවුන් එම ඇදහිලිවන්තකම තුළ “වඩ වඩාත් වර්ධනය” වීමයි (1 තෙසලෝනික 4:1). ඔබ 1 තෙසලෝනික 3:7–13; 4:1–12 කියවන විට; ඔබට ආත්මිකව “වඩ වඩා වර්ධනය” වියහැකි ආකාරය ගැන මෙනෙහි කරන්න (1 තෙසලෝනික 4:10). නිදසුනක් වශයෙන්, පාවුල් “ශුද්ධකම” සහ “පාරිශුද්ධ කිරීම” වැනි වචන භාවිත කළ බව සලකන්න. මෙම වචන වල තේරුම ගැන පාවුල්ගේ ලියවිලි වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? වඩාත් ශුද්ධ හා පාරිශුද්ධ වීමට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කරන්නේ කෙසේද?

1 තෙසලෝනික 4:16–18; 5:1–10; 2 තෙසලෝනික 1:4–10

මම ඇදහිලිවන්තව හා සෝදිසියෙන් සිටී නම්, ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා මම සූදානම්වනු ඇත.

1 තෙසලෝනික 5:1–10 හි, යේසුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන කාලය පිළිබඳ ඉගැන්වීමට උපමා කිහිපයක් භාවිතා කළේය. ඔබ මෙම උපමා අධ්‍යයනය කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව ඔබට ඇති හැඟීම් ලිවීම ගැන සලකා බලන්න:

  • “රාත්‍රියේ සොරෙකු”:

  • “ගර්භණියට විලිරුදාව පැමිණෙන්නාක් මෙන්”:

  • ඔබ සොයාගන්නා වෙනත් උපමා:

1 තෙසලෝනික 4:16–18; 5:1–10; 2 තෙසලෝනික 1:4–10 හි ඔබ ඉගෙනගන්නා අමතර සත්‍යයන් මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම නැරඹීමට හා එයට සූදානම් වීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේ කුමක් කිරීමටද?

තවත් බලන්න ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “ස්වමින්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීම,” ලියහෝනා, මැයි 2019, 81–84.

2 තෙසලෝනික 2

ඇදහිල්ලෙන් වැටීම, නැතහොත් සත්‍යයෙන් ඉවත්වීම, දෙවන පැමිණීමට පෙර සිදුවන බව පුරෝකථනය කරන ලදි.

වැඩිවන පීඩා මධ්‍යයේ, තෙසලෝනික ශුද්ධවන්තයන් බොහෝදෙනෙක් විශ්වාස කළේ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම ආසන්න විය යුතු බවයි. නමුත් යේසුස්වහන්සේ නැවත පොළොවට පැමිණීමට පෙර ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමක්—හෝ සත්‍යයෙන් “වැටීම” සිදුවන බව පාවුල් දැනසිටියේය (බලන්න 2 තෙසලෝනික 2:1–4). පහත දැක්වෙන සමහරක් මෙනෙහි කිරීමෙන් ඔබට මහා ඇදහිල්ලෙන් වැටීම පිළිබඳ ඔබේ අවබෝධය—සහ නැවත පිහිටුවීම පිළිබඳ ඔබේ අගය ගැඹුරු කළ හැකිය:

  • ඇදහිල්ලෙන් වැටීම ගැන පුරෝකථනය කළ ශුද්ධලියවිලි: යෙසායා 24:5; ආමොස් 8:11–12; මතෙව් 24:4–14; 2 තිමොති 4:3–4

  • ඇදහිල්ලෙන් වැටීම පාවුල්ගේ කාලයේ පටන් ආරම්භ වී තිබුණු බව ශුද්ධලියවිලි පෙන්වයි: ක්‍රියා 20:28–30; ගලාති 1:6–7; 1 තිමොති 1:5–7

  • ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරණවාදීන් විසින් මහා ඇදහිල්ලෙන් වැටීම පිළිබඳ නිරීක්ෂණ:

    මාටින් ලූතර්: “ශුද්ධලියවිලි වලට අනුකූලව සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වඩා වැඩි යමක් මා සෙව්වේ නැත. … මම සරලව කියන්නේ ක්‍රිස්තියානි දහම රැකගත යුතු අය අතරේ එය නැතිවී ඇති බවයි” (in E. G. Schweibert, Luther and His Times: The Reformation from a New Perspective [1950], 590).

    රොජර් විලියම්ස්: “ඇදහිල්ලෙන් වැටීම… මේ දක්වා සියල්ලම දූෂිත වී ඇති අතර, ක්‍රිස්තුස්වහන්සේ නව ප්‍රේරිතයන් නැවත සභාව සිටුවීමට යවනතුරු එම ඇදහිල්ල අත්හැර යෑමෙන් මිදීමට නොහැකි විය” (in Philip Schaff, The Creeds of Christendom [1877], 851).

තවත් බලන්න 2 නෙපි 28.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 තෙසලෝනික 3:9–13.පාවුල් තම මිතුරන්ට දැක්වූ හැඟීම් ගැන ඔබ කැමති කුමකටද? අපට “එකිනෙකා කෙරෙහිත් ප්‍රේමය වැඩිකර, එයින් පිරී” සිටිය හැක්කේ කෙසේද? (12 වන පදය).

1 තෙසලෝනික 4:13–18.මරණයෙන් නැවත නැගිටීම ගැන ඔබට සහනයක් ලබාදෙන මෙම පදවල ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද?

1 තෙසලෝනික 5:14–25.ඔබ 1 තෙසලෝනික 5:14–25 හි පාවුල්ගේ උපදෙස් සමාලෝචනය කරන විට, ඔබේ පවුලට අවධානය යොමුකළ හැකි වාක්‍ය ඛණ්ඩයක් සොයාගැනීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම ආරාධනා කරන්න. මතක්කිරීමක් ලෙස මෙම වාක්‍ය ඛණ්ඩ ඔබේ නිවසේ සංදර්ශන කිරීමට නිර්මාණාත්මක ක්‍රම සොයන්න. නිදසුනක් වශයෙන්, එක් එක් පුද්ගලයාට ඔහු හෝ ඇය තෝරාගත් වාක්‍ය ඛණ්ඩය නිරූපණය කරන හෝ ශක්තිමත් කරන පින්තූර සොයාගැනීමට හෝ ඇඳීමට හැකිය.

2 තෙසලෝනික 3:13.“යහපත් ක්‍රියා වලින් වෙහෙසට පත්ව සිටින” බවක්—සමහරවිට අනුගාමිකත්වයේ ඉල්ලීම් වලින් වෙහෙසක් අපට කවදා හෝ දැනී ඇත්ද? අපට මේ ආකාරයෙන් දැනෙන විට අපට උපකාරවත් වන්නේ මොනවාද? (බලන්න ගලාති 6:9; දහම සහ ගිවිසුම් 64:33.) මෙසේ සිදුවූ විට අපට එකිනෙකාට සහයෝගය දැක්විය හැක්කේ කෙසේද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

දිනපතා එළිදරව් සොයන්න. “එළිදරව් බොහෝවිට පැමිණෙන්නේ ‘පේළියෙන් පේළියට මිස’ (2 නෙපි 28:30), එකවරම නොවේ. … [ශුභාරංචි අධ්‍යයනය] ඔබ කාලය මිඩංගු කරන දෙයක් ලෙස නොව ඔබ සැමවිටම කරන දෙයක් ලෙස සිතන්න” (Teaching in the Savior’s Way, 12).

රූපය
ක්‍රිස්තුස්වහන්සේ වළාකුළු මත

රොබර්ට් ටී. බැරට් විසින්, Resurrected Christ [මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ]

මුද්‍රණය කරන්න